Thursday, May 25, 2023

සර්පයා, පුරපති සහ භික්ෂුව

 මම භික්ෂුවක වශයෙන්, අවුරුදු අටකට වැඩි කාලයක් තායිලන්තයේ ගත කළෙමි. බොහෝ විට මා ජීවත් වූයේ සර්පයින් බහුල ආරණ්‍ය සේනාසනවල ය. මා 1974 දී තායිලන්තයට පැමිණි විට, එහි සර්ප වර්ග සීයක් සිටින බවත් ඉන් වර්ග අනූනවයක් දරුණු විෂ සහිත බවත්, ඉතිරි වර්ගය වූ පිඹුරන් සතුන්ගේ ගෙල මිරිකා මරා දමන බවත්, මට දැන ගන්නට ලැබිණි.

ඒ කාලය තුළ හැම දිනක ම වාගේ සර්පයින් දක්නට ලැබිණි. වරක් මගේ කුටිය තුළ සිටි අඩි හයක් දිග සර්පයකු මට පෑගුණු විට, බියට පත් ඌත්, මාත්, වාසනාවකට මෙන් දෙපැත්තකට පැන්න නිසා එදා මම බේරුණෙමි. තවත් අවස්ථාවක අප පිරිත් සජ්ජායනය කරමින් සිටිය දී, එක් භික්ෂුවකගේ පිට දිගේ සර්පයකු බද ගානු දැනී, සිවුර ගලවා දැමූ විට ඌ ඉවතට ඇදී ගියේ ය. ආරණ්‍යවාසී භික්ෂූන් වශයෙන්, සියලු සතුන්ට මෛත්‍රී කිරීමට, අපට පුහුණුවක් ලබා දෙන ලදී. ඒ දිනවල, කිසි ම භික්ෂුවකට සර්පයින් දෂ්ට නො කළේ ඒ නිසා විය යුතු ය.

තායිලන්තයේ ගත කළ කාලය තුළ අතිවිශාල සර්පයින් දෙදෙනකු දුටුවෙමි. ඉන් එකෙක්, මීටර් හතක් පමණ දිග පිඹුරෙක් විය. ඊට අවුරුදු කීපයකට පසු මම නැවතත් ඌ දුටුවෙමි. ආශ්‍රමයේ සිටි තවත් භික්ෂූන් ද ඌ දැක තිබිණි. අනෙක් සර්පයා, නාග රාජයෙක් විය. ඌ දුටු විට, මම බිරාන්ත වීමි. තවත් අවස්ථාවක මීටර් දෙකක් පමණ වූ කැලෑ අඩිපාරක මම ගමන් කරමින් සිටියෙමි. තද කළු පාට සර්පයෙකු පාර හරහා ගමන් කරනු දැක, නතර වී බලා සිටියත්, උගේ හිස හෝ වලිගය මට නො පෙනී ගියේ, ඌ මීටර් දහයකට වඩා දිග බව ය. ඌ නාග රාජයකු බව, ගම්වැසියෝ මා සමග පැවසූහ.

අචාන් චා හිමියන්ගේ ශිෂ්‍යයකු වූ කුඩා සාමණේර භික්ෂුවක්, තවත් භික්ෂූන් පිරිසක් සමග, තායිලන්තයේ වනාන්තරයක භාවනා කරමින් සිටියේ ය. කිසි යම් සතකු එහි ළඟා වන ශබ්දය ඇසී, භික්ෂූන් ඇස් ඇර බැලූහ. නාග රාජයකු ඔවුන් දෙසට බඩගා එනු දකින්නට ලැබිණි. ජ්‍යෙෂ්ඨ භික්ෂුව වෙත පැමිණි නාගරාජයා, එතුමාගේ හිසේ මට්ටමට තම හිස ඔසවා, පෙණය දිග හැර, සිහින් ශබ්දයක් නිකුත් කරන්නට විය.

එබඳු අවස්ථාවක දුවන්නට තැත් කිරීමෙන් පලක් නැත. ඒ විශාල සර්පයින්ට අපට වඩා වේගයෙන් ගමන් කළ හැකි ය.

ජ්‍යෙෂ්ඨ භික්ෂුව, මද සිනාවෙන් යුතුව, දකුණු අත ඔසවා, නාගයාගේ හිස පිරිමදිමින්, “ම හමු වීමට පැමිණීම ගැන ඔබට ස්තුතියි” යනුවෙන් පැවසී ය. එතුමා, සුවිශේෂ කාරුණික බවකින් යුත් භික්ෂුවක් විය. නාග රාජයා පෙණය හකුළා ගෙන, හිස බිමට පහත කර, ඉවතට ඇදී ගියේ ය.

ඒ ජ්‍යෙෂ්ඨ භික්ෂුව, ඕස්ට්‍රේලියාවේ, අපේ ආශ්‍රමයේ මාස කීපයක් නතර වී සිටියේ ය. අපේ ගොඩනැගිලි කීපයක් සඳහා නගර සභාවේ අනුමැතිය අවශ්‍යව තිබිණි. ඒ කටයුතු පරීක්ෂා කිරීමට, නගරාධිපතිතුමා ආශ්‍රමයට පැමිණියේ ය.

එතුමා, දිස්ත්‍රික්කයේ සිටි වඩාත් ම බලගතු පුද්ගලයා විය. සිය තනතුරට සරිලන පරිදි එතුමා කදිම ඇඳුම් කට්ටලයකින් සැරසී සිටියේ ය. පිට කබායේ බොත්තම් අමුණා නො තිබුණු බැවින්, ඔහුගේ අතිවිශාල ඕස්ට්‍රේලියානු උදරය ඉස්මතු වී පෙනිණි. භික්ෂුව ඉරිදියට ගොස් ඒ උදරයට මදක් තට්ටු කළේ ය. එය භික්ෂුවකට අකැප බවත්, එබඳු උසස් තනතුරකට ගෞරවයක්  බවත් මම කල්පනා කළෙමි.

උදාර පුද්ගලයෙකු වූ නගරාධිපති තුමා, හඬ නගා සිනාසෙන්නට විය. අපේ සියලු ගොඩනැගිලි සැලසුම්වලට අනුමැතිය ලැබිණි. එතුමා අපේ ඉතා හිතවත් මිතුරකු බවට පත් විය.

0 comments:

Post a Comment