ඊට දින කීපයකට පෙර තමන් ඉමහත් භීතියට පත් කළ සිදු
වීමක් ගැන ඔහු මා සමග විස්තර කලේ ය. ඊට හේතු වූ පසුබිම පැහැදිලි කිරීම සඳහා ඔහු
ළමා වියේ දී හැදුණු වැඩුණු පරිසරය ගැන කෙටි සඳහනක් කළේ ය.
“මගේ ළමා විය ගත වුණේ, උතුරු අයර්ලන්තයේ බෙල්ෆස්ට් නුවර, භයානක
අපරාධකරුවන් ගැවසුණු වීදිවල මා මුල් ම අපරාධය කරන කොට මගේ වයස අවුරුදු හතයි. පාසලේ
සිටි ඉතා ම දාමරික ළමයා, දවල් කෑම සඳහා මා ළඟ තිබුණු මුදල ඉල්ලා බල කළා ම, මම ඊට කැමති වුණේ නෑ. එයා දිග පිහියක් අතට අරගෙන දෙවැනි වරටත් මුදල්
ඉල්ලුවා ම, මම හිතුවෙ එයා කරන්නේ, බොරු තර්ජනයක් කියලා. මුදල් දීම, මම යළිත් ප්‍රතික්ෂේප කළා. එතකොට එයා
මගේ අතට පිහියෙන් ඇන්නා. මගේ අතින් ලේ ගලන්නට පටන් ගත්තා. මම ගෙදර දුවගෙන ගියා.
තාත්තා මගේ තුවාලය දිහා මදක් බලා ගෙන ඉඳලා මා සමග මුළුතැන්ගෙට ගොස්, ලොකු පිහියක් මගේ අතට දීලා, ආපසු පාසලට ගොස්,
ඒ ළමයට අනින්න මට බය කළා.”
ඔහු ඇති දැඩි වුණේ එලෙස ය. ඔහු එතරම් ශක්තිමත් නො
වූවා නම් බොහෝ කලකට පෙර, කා අතින් හෝ මැරුම් කණු නියත ය.
ඒ බන්ධනාගාරය, කෙටි කාලීන සිරකරුවන් සහ නිදහස ලැබීමට ආසන්න සිරකරුවන් සඳහා වූ
ගොවිපොළක් විය. වගා කටයුතු පිළිබඳව යම් පුහුණුවක් ලබා දීමෙන් ඔවුන් කිසියම්
රැකියාවක් සඳහා සූදානම් කිරීම, ඒ ගොවිපොළෙහි අරමුණ විය. එපමණක් නොව, එහි
නිෂ්පාදන පර්ත් නුවර අවට සියලුම බන්ධනාගාරවලට පහසු මිලට සපයන ලදී. ඕස්ට්‍රේලියාවේ
සෙසු ගොවිපොළවල මෙන් එහි ද තිරිඟු සහ එළවළු වගා කිරීමට අමතරව මස් ලබා ගැනීම සඳහා
හරකුන්, ඌරන්, බැටළුවන් යන සත්තු
ද ඇති කරනු ලැබූහ. බන්ධනාගාර ගොවිපොළේ මස් මඩුවක් ද විය.
සෑම සිරකරුවෙකු ම, ඒ ගොවිපොළේ කිසියම් කාර්යයක් කළ යුතු විය. වැඩිම ඉල්ලුම තිබුණේ මස්
මඩුවේ කටයුතුවලට ය. ඒ කටයුතු භයානක අපරාධකරුවන් අතර ඉතා ජනප්‍රිය විය. වඩාත් ම
ඉල්ලුම පැවති කාර්යය වූ සත්ත්ව ඝාතක තනතුර සඳහා තරඟ කළ යුතු විය. එහි සත්ත්ව
ඝාතකයා වූයේ, ඒ යෝධ අයර්ලන්ත ජාතිකයා ය.
මස් මඩුව පිළිබඳව, ඔහු මට විස්තරේ කළේ ය. මරා දැමීමට නියමිත සතුන් මස් මඩුවේ ‘දංගෙඩිය’ වෙත යොමු කිරීම සඳහා ශක්තිමත් වානේ වැටකින් ආවරණය වූ ප්‍රවේශ මාවතක්
තිබේ. එහි කෙළවර, වරකට එක් සතෙකුට පමණක් ගමන් කළ හැකි පරිදි ක්‍රමයෙන් පටු වේ. එහි
මදක් උස් වූ වේදිකාවක් උඩ, විදුලි සැර විදිනයක් ඇතිව ඝාතකයා බලා සිටී. කෙවිටිවලින්
අනිමින්, සතුන් ඒ ස්ථානයට තල්ලු කරන විට, මරණය ඉව වැටී උන් බෙරිහන් දෙන බව, ඔහු පැවසී
ය. සතුන් මරා දැමීමට අධි බල විදුලි සැර දෙකක් යොදා ගනු ලැබේ. එක විදුලි සැරයකින් ඌ
විසඥ වන අතර දෙවැනි විදුලි සාරයෙන් ජීවිතක්ෂයට පත් වේ.
අනතුරුව,
තමන් භීතියට පත් කළ ඒ සිදු වීම ඔහු විස්තර කළේ මෙසේ ය.
“බන්ධනාගාර
සඳහා එදිනට අවශ්‍ය වුණේ හරක් මස්. මම හරකුන් මරමින් සිටින විට ඊට පෙර නුදුටු
ආකාරයේ එළදෙනක් දංගෙඩිය ලඟට ආවා. වෙන සතුන් වගේ ඇය කිසි ම ශබ්දයක් කළේ නෑ. ඇය බිම
බලා ගෙන, ස්වේච්ඡාවෙන්, දංගෙඩිය වෙත සෙමින් පිය නැගුවා. එහි දී ඇය හිස ඔසවා,
ඉතා සන්සුන්ව මා දෙස බලා ගෙන සිටියා. ඇය එතැනිනි පලා යන්න උත්සහ කළේ නෑ. විදුලි
සැර විදිනය උඩට එසවීමට වත් ඇගේ ඇස්වලින් මගේ ඇස් ඉවතට ගන්න වත් මට බැරිවුණා.
එළදෙනුන්ගේ ඇස් ලොකුයි. ඇගේ වම් ඇස බොඳ වෙලා. කම්මුල් දිගේ කඳුළු ගලන්න පටන්
ගත්තා. ඇගේ දකුණු ඇසෙනුත් ඒ වගේ ම කඳුළු ගැලුවා. ඇය අඬන බව මට තේරුණා.”
මම විදුලි
විදිනය විසි කළා. ‘මට කැමති දඬුවමක් දෙන්න අර එළදෙන නම් මරන්න බැහැ. කියල
නිලධාරීන්ට මම කිව්වා. ‘මම දැන් මස් මාළු මොකුත් කන්නෙ නෑ.’
එය සත්‍ය
කතාවක් බව, එහි සිටි අනෙක් සිරකරුවෝ මා සමග පැවසූහ. ඒ එළදෙන, ඉතා දරුණු මිනිසකුට කරුණාව දැක්වීමේ සැබෑ අර්ථය කියා දුන්නා ය.
0 comments:
Post a Comment