Friday, May 7, 2021

මහා කාශ්‍යප මහරහතන් වහන්සේ

ගෞතම බුද්ධ ශාසනයේ සීලයෙන්, ගුණයෙන් සඳක් සේ බැබළෙන දුප්පතාගේ හිතවතා ලෙස හඳුන්වනු ලැබූ යම් විරාගී මහා රහතන් වහන්සේ කෙනෙක් වේද මේ ගෞතම බුදු සසුනේ ඒ වෙන කවුරුත් නොව තෘතීය ශ්‍රාවක රත්නය වන කස්සප රහතන් වහන්සේය. උන්වහන්සේට බුදුරුවට සමානවූ රූපයක් ලැබී තිබුණේ සසරේ කළ අපමණ පිනටය. බුදුන් වහන්සේගේ කඨින සිවුර තමන්වහන්සේ ගෙන, තමාගේ සිවුර බුදු හිමියන්ට පූජා කරමින්, තුන්ලෝකාග්‍ර බුදුහිමි කෙනෙකුගේ තථාගත සිවුරක් දරාගැනීමට මේ සාසනයේ හැකිවූ එකම රහතන් වහන්සේ කස්සප හිමියන් පමණි. මේ මොහොතේදී මහ පොළොවද කම්පා විය. ඒසා ගුණ ඇති උන්වහන්සේ නිතරම නිරෝධ සමවතට සමවැදී එයින් නැගී සිට දිව්‍ය, රාජ භෝජන අතැර අසරණ, දුප්පතුන් සොයා ගොස් ඒ අයගේ පිණ්ඩපාතය බාරගත්හ. ඒ වෙන කරුණක් නිසා නොව නිරෝධ සුවය විඳි රහතන් වහන්සේ නමකට යමෙක් පහන් සිතින් දන් හැන්දක් හෝ පූජා කරත්ද එය මහා කුසලස්කන්දයක් වන නිසාය. දෙව්ලොවට, පරලොවට ඉනිමඟක් වන නිසාය. නිවනටම හේතුවන නිසාය. දිනක් දෙව් බඹුන්ගේ ප්‍රිය දසුන වූ මහා කාශ්‍යප මහරහතුන් නිරෝධ සමාපත්තියෙන් නැගිට අද කාට පිහිටවන්නේ දැයි සිතා සිටු ගෙවල් දන් පූජා කිරීමට බලා සිටිද්දී, අපිරිසිඳු මැහැල්ලක් ලුණුත් නැති කැඳකින් තම කුසගින්න නිවාගැනීමට හදනා මොහොතේ, ඇය වෙත වැඩ සිටියහ. වෙනකුගේ දනක් නොගෙන මා කරා මේ උත්තමයෝ පැමිණියේ මටම අනුකම්පාවෙන් යැයි සිතා මැහැල්ලද තම අපිරිසිඳු කැඳ ස්වල්පය පිළිගැන්විය. ඇය ඒ කරගත් පිනෙන්ම මහා තේජානුභාවෙන් යුත් දිව්‍ය සැපසම්පත් ඇති දිව්‍යාංගනාවක් ලෙස උපත ලැබීය. තවත් දිනක් නිරෝධ සමවතින් නැගී සිටි කස්සපයන් වහන්සේට දෙවි දේවතාවුන් රැස් කමින් දන් දීමට සැරසෙද්දී එය වලකාලූ නිසා  දෙවිවරු දුකින් ගොස් මේ බව සක්‍ර දෙවියන්ට සැලකර සිටියහ. එවිට සක් දෙවිඳුද හොර රහසේ තම සුජා දෙවියත් සමග ඒ මාවතේ කටුමැටි ගෙයක් මවා මහලු යුවලක් සේ වෙස්ගෙන උන්වහන්සේට දන් බෙදන්නට සැරසුණි. පාත්‍රයට දන් බෙදද්දීම මේ දිව්‍ය භෝජන බව දැන, ප්‍රතික්ෂේප කර “නුඹලා කවුරුන්දැයි” විමසා සිටියහ. එවිට සක්දෙවිඳු වැඳ නමස්කාර කරමින් මෙසේ පැවසීය. “ස්වාමීණි, දෙවියන් වූ අපටත් පිරිහීයන පින නිසා දිව්‍ය ආනුභාවය පිරිහෙයි, ඒ වාගේම මනුලොව සිටින්නන් බුදුන් හා සංඟයාට දන් දී මහත් තෙජානුභාව සහිතව දිව්‍යතලයේ උපදිද්දී ඔවුන් අපට වඩා ආනුභාවයි, ඒ නිසායි දන් පුජාවට වෙස්ගෙන ආවේ, ඔබ වහන්සේට දෙන දානය අග්‍රයි ” ලෙස පවසා සිටියේය. එවිට උන්වහන්සේ මින් මතු මෙවන් දේ නොකරන ලෙසට අවවාද කර දෙවියගේ දන පිළිගත්හ.

මහමෙව්නා වෙබ් පිටුවෙන් උපුටා ගන්නා ලදි


උන්වහන්සේගේ ගුණ, බුදුරජාණන් වහන්සේ පවා විවිධ අවස්ථාවාදී වර්ණනා කළහ. දිනක් බුදුරජාණන් වහන්සේ “එක්කෝ මා භික්ෂුන්ට අවවාද කල යුතුයි. නැතිනම් කස්සප හෝ කස්සප වැනි කෙනෙක් ”  යනුවෙන් භික්ෂූන්ට අවවාද අනුශාසනා කර යුත්තේ කවුරුන් වගේ අය දැයි පෙන්වාදුන් සේක. තවත් තැනෙක බුදුරජාණන් වහන්සේ තම දිවියත් කස්සප හිමියන්ගේ දිවියත් සසඳමින් කරුණු දැක්වූ සේක. එවැනි සම කිරීමක් බුදුහිමියන් වෙන කර නැති තරම්ය. ඒ සා ගුණ ඇති උන්වහන්සේගේ වන්දනාව මේ ලෝක ධාතුව තුළ බුදු කෙනෙක් හැර වෙන කෙනෙක් හට දරන්නට නොහැකි බව ගෞතමයන් වහන්සේම තවත් තැනෙකදී වදාළ සේක. ඒසා ගුණ සයුරක් වූ උන්වහන්සේගේ අපමණ තේජස සිතා ගැනීමට නොහැකී නම් උන්වහන්සේත්, අපත් සරණ ගිය අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ සතුව කොපමණ ගුණ සමුදායක්, තේජසක්, බලයක් ඇද්දැයි සිතා ගැනීමට කෙසේවත් නොහැකිය.

උදෑසන උන්වහන්සේගේ කුටිය අවට දින කිහිපයක් ඇමද, පිරිසිඳුකර, පැන් කළ පුරවා ඇති නමුත් කළ කවුරුත් නැති තැන මෙය දෙවි කෙනෙකුගේ ක්‍රියාවක් බව කාශ්‍යප හිමියෝ දැන ගත්හ. පසුදා උදැසන දිව්‍යාංගනාවක් පැමිණ පිරිසිඳු කිරීම් පටන්ගත් මොහොතේ කස්සප හිමියෝ පැමිණ මේ ඇයිදැයි විමසා සිටියහ. පෙර භවයේ ස්ත්‍රියක්ව සිටියදී කාශ්‍යප හිමියන්ට සැදැහැ සිතින් පොරි පූජා කරගත් මහා පිනෙන් මරණින් මතු මහත් සශ්‍රීකව ලාජා දේවතාවිය ලෙස උපත ලැබීය. මෙයට ප්‍රතිඋපකාර වශයෙන් හා තවතවත් පින් රැස් කරගැනීමේ සිතින් තමා පැමිණි බව ඇය කියා සිටියදී, උන්වහන්සේ නැවත මේ වාගේ වැඩ නොකරන්නැයි කියමින් ඇයව පිටත්කර හැරියහ. මෙසේ උන්වහන්සේගේ කරුණාව නිසාම, පුණ්‍ය තේජස නිසාම බොහෝ මිනිසුන් දන් දී මරණින් මතු සුගති ලෝකවල උපත ලැබීය. නමුත් දෙව් මිනිසුන් උන්වහන්සේට කැමති තරමට උන්වහන්සේ නිහඬ බවට, වනයට වී පිරිසෙන් වෙන්ව කල් ගෙවීමට, කැමති විය. දිනක් උන්වහන්සේට මහත් ආදරයෙන් සත්කාර  කරන මහලු කතක් වැරදීමකින් තථාගතයන් වහන්සේගේ පාත්‍රයට දානය පිළිගැන්විය. පසුව පිටිපසින් වඩින කාශ්‍යප හිමියන් හඳුනාගත් මේ මහලු කත බුදුරජාණන් වහන්සේට පිදූ දානය නැවත අත දමා ගෙන කස්සපයන් වහන්සේට පිළිගැන්විය. මේ නිසා තමා බුදුරජාණන් වහන්සේ වෙසෙන පෙදෙසේ වාසය කිරීම භාග්‍යවතුන් වහන්සේට කරන අගෞරවයක් බව සිතා එදා පටන් උන්වහන්සේ වනයේ දිවි ගෙවීමට හුරුවිය.

පාරමී පුරණ සමයේ එක භවයක උන්වහන්සේ වලස් කුලයක උපත ලැබූහ. දිනක් මේ වලසා ජීවත්වන ස්ථානය නුදුරේම පිහිටි ගැමි ගෙදරක කෑම සුවඳ දැනී ඒ ගෙදර අසලට ගියේය. එවිට ගැමියන් කැලෑ සතෙක් කියා දඬු මුගුරු වලින් පහර දී නැවත කැලයටම පන්නා දැමූහ. සිහිය උපදවාගත් වලසා කෑමට ලොල් වීම නිසා තව සුළු මොහොතකින් දිවියත් අහිමි කරගන්නවා යයි සිතා දවසක් තිස්සේම නොකා නොබී සිටියහ. ඒසා ආහාරය ගැන ඇල්ම දුරුකරමින් පාරමී පුරා පැමිණ ගමනේදී දිනක් උන්වහන්සේ ලාදුරු රෝගියෙකුට පිහිටවීමට ඒ රෝගියාගේ වෙත පිඬුසිඟා වැඩියහ. එවිට ශාන්ත ඉඳුරන් දැක පැහැදුණු සිතින් යුතුව තමන් කමින් සිටි අපිරිසිඳු ආහාරය දෙකට බෙදා කොටසක් උන්වහන්සේගේ පාත්‍රයට බෙදුවේය. ඒ මොහොතේම ලාදුරු සෑදී කුණු වී ගිය ඇඟිල්ලක කොටසක් පාත්‍රයට වැටින. ලාදුරු රෝගියාගේ මුහුණ මේ නිසා අසතුටට පත්ව “මේ දානය උන්වහන්සේ දැන්නම් කීයටවත් නොවළඳයි ” යන සිතිවිල්ල ඇතිවූ බව දැනගත් කස්සප මහරහතන් වහන්සේ ඒ මොහොතේම මාර්ගයේ පසෙකට වැඩම කර ඒ කුණුවූ ඇඟිල්ල පසෙකින් තබා දෙවි බඹුන් පමණක් නොව පොලොවද කම්පා කරවමින්  ඒ අපිරිසිඳු බත වැළඳුහ.

 

කස්සප හිමියන් දිනක් භාග්‍යවතුන් වහන්සේ හමුවට ආ මොහොතක “කස්සපය, දැන් මේ වෘක්ෂ ප්‍රතිපදාව, පාංශකූලික සිවුරු අත්හැර, දායකයන්ගේ දානාරධනා බාරගෙන, හුදෙකලාවෙන් සහ වනයෙන් මිදී සැහැල්ලු දිවි පෙවෙතකට එන්න පිළිවන් නෙවෙදැයි” අසා සිටි සේක. එවිට උන්වහන්සේ “හිමියනි, මේ දහතුනක්වූ දූතාංගයෙන් යුත් මේ දිවිය මා දරා සිටින්නේ කරුණු දෙකක් උදෙසායි. එකක් එය මට සැනසිල්ල දනවන දෙයක් නිසාවෙනි. අනෙක මා මේ මහලු වයසේදී වෘක්ෂ ප්‍රතිපදා අත්හැරි විට, අපටත් අපහසු මොහොතේ මේ ප්‍රතිපදා අතහැරිය හැකි යැයි අනාගතයේ පහළවන භික්ෂුන් සිතාවී”. එම නිසා මා මේ ප්‍රතිපදාවන් තුළ සතුටින් වාසය කරනවා යයි කියා සිටියහ. එවිට කස්සප මහරහතන් වහන්සේගේ උතුම් ගුණ වර්ණනා කරමින් භාග්‍යවතුන් වහන්සේ සාදුකාර කළ සේක. එලෙස උන්වහන්සේ සියලු දෙනාගේ නිවන පිණිස, සසුනේ චිරස්ථිතිය පිණිස වැඩ වාසය කළහ. මේ බුද්ධ සාසනයේ දහතුනක් වූ දුතාංග සියල්ලම සමාදන් වූ භික්ෂූන් කිහිප දෙනා අතරින් කස්සප මහරහතන් වහන්සේද එක් භික්ෂුවකි.

 

මීට කල්ප ලක්ෂයකට පෙර පදුමුත්තර බුදුරජාණන් වහන්සේ දවස කාශයප හිමියන් විදේහ නමින් මනුලොව උපත ලැබුහ. භාග්‍යවතුන් වහන්සේ දිනක් තෘතීය අග්‍රශ්‍රාවක පදවියත්, අග්‍ර දුතාංගධාරී පදවියත් නිසභ නම් රහතන් වහන්සේ හට පිරිස මධ්‍යයේ පිරිනමනවා දැක පැහැදුණු මේ පුද්ගලයා මා හටත් අනාගත යම් බුදු සසුනක මෙවන් තනතුරක් ලබන්නට ඇත්නම් යයි සිතා, හැටඅට දහසක් වූ භික්ෂු පිරිස හා භාග්‍යවතුන් වහන්සේ හට සත්දිනක් දන්පැන් පුදකර සිටියහ. පුදා බුදුරජාණන් වහන්සේට නමස්කාර කරමින් තම සිතේ ඇති අදහස පවසා සිට විවරණ ලැබ ගත්හ. මෙවිට මේ විදේහ ගෘහපතියාගේ බිරිඳත් යම් ප්‍රාර්ථනයක් කරමින් සිටියහ. එය නම් “මේ පින්වත් පුරුෂයාගේ සසර මගේ මාද ඔහු සමග විය යුතුයි ” යනුයි.

 

මෙසේ කුසලයෙහි හැසිරෙමින් පැමිණ විපස්සී බුදුන් දවස මේ යුවල ඒකසාටක නමින් උපත ලැබුහ. දෙපලටම එක් සළුවක් ඇති නිසා මේ නම ලැබිණි. මේ නිසා දෙදෙනාටම දහම් ඇසීමට යෑමට හැකිවූයේ මාරුවෙන් මාරුවටය. දිනක් දහම් ඇසීමෙන් මහත් ශ්‍රද්ධාව ඇතිවූ මේ පුරුෂයා, දෙදෙනාටම තිබූ එකම සළුව භාග්‍යවතුන් වහන්සේට පුජා කරමින් මහත් සතුටට පත්වූහ. මේ පින්වතාගේ අසිරිමත් ශ්‍රද්ධාව නිසා බංඳුම රජුගෙන් වටිනා සළු බොහෝ ලැබිණි. නැවත ඒවාද බුදුරජාණන් වහන්සේ හට පූජා කරමින් ඔහු අපමණ පින් රැස් කරගත්තේය. රැස් කර දෙදෙනාම දෙව්, බඹලොව අපමණ සැප විඳගනිමින් ගුණදහම්ද පුරා ගෞතම බුදුරජාණන් වහන්සේ ලොව පහළ වන කළ පිප්පලී කුමරු හා භද්‍රා කාපිලාණි කුමාරිකාව ලෙස උපත ලැබූහ. දෙපැත්තේම මාපියන්ගේ බලකිරීම මත විවාහ දිවියට එළඹියද දෙදෙනාම බඹලොව සිට ආ නිසා එක යහනේ සිටියද බඹසර රැකගෙන කාමයෙන් වෙන්ව වාසය කළේය. නමුත් වැඩිකල් නොගොස් දෙදෙනාම ගිහිගේ ගැන කලකිරී නිවන් සුව සොයා ශ්‍රමණ ජීවිතයට පැමිණියහ. මේ යන ගමනේදී එක මග දෙදෙනාම ගමන් කිරීම නුසුදුසුයි සිතා පිප්ඵලී ශ්‍රමනයන්, භද්‍රාවන් අමතා “නැගෙණිය, ස්ත්‍රී වූ ඔබත්, පුරුෂ වූ මාත් එක්ව ගමන් කිරීම ලෝකයේ උදහසටත්, අපගේ නිවනටත් අවැඩ පිණිසයි. අප මේ දෙමංසන්දියෙන් වෙන්වී, තනිව ගමන් කරමු ” යැයි කතිකා කර ගෙන වෙන්වන මොහොතේ මහ පොලොව කම්පා විය. ඒ විරාගී උතුමන් දෙදෙනාගේ ගුණ දරාගැනීමට නොහැකිවය. ඒ උතුම් දෙදෙනා සසරේ නැවත එක නොවන නිසාය. එසේ වෙනව ආ ගමනේ පිප්ඵලී ශ්‍රමණයන්ට බුදුරජාණන් වහන්සේව දැක ගන්නට ලැබිණි. දැකගත් සැනින් සසරේ හුරුව පැමිණ “ස්වාමීනි, ඔබ වහන්සේමයි මාගේ ශාස්තෘවරයා, ඔබමයි මාගේ ගුරුවරයා... මා ශිෂ්‍යයා වෙමියි...” කියා උන්වහන්සේට තුන් වරක් නමස්කාර කර සිටියහ. එහිදී උන්වහන්සේ ඒහි භික්ෂු භාවයෙන් පැවිදි බිමට ඇතුළත් විය. පැවිදි වී නොබෝ කලකින්ම උතුම් අරිහත්වයට පත්විය. භද්‍රාවන්ද භික්ෂුණි සසුනේ පැවිදිව අරිහත්වය ලබා ගත්තාය.

 

ලෝකනාථ බුදුරජාණන් වහන්සේ වෙසක් පෝ දින මහා පරිනිර්වාණය සිදුකළ විට කුක්කුට පර්වතයේ වැඩසිටි කස්සප හිමියන්ගේ සිරුරේ වනයේ මල් පරවී පතිතවිය. එවිට භාග්‍යවතුන් වහන්සේ බැහැදැකීමට අදහසින් ගමන් ආරම්භ කළ උන්වහන්සේ හට පරසතුමලක් ගෙන යන පුද්ගලයෙක් හමුවිය. ඔහුගෙන් තොරතුරු විමසූ විට බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණය කර ඇති බව දැන ඒ පෙදෙසට ලඟා විය. මේ මොහොතේ බුදු හිමියන්ගේ චිතකය දල්වන්නට හැදුවත් දෙවියන් කස්සප හිමියන් එනතෙක් උතුම් සෑය දැල්වීමට නොදී සිටියහ. උන්වහන්සේ පැමිණ, සඳුන් දර සෑයක තබා ඇති බුදුන්ගේ ශ්‍රී දේහය දක්ෂිනාවෘතව පැදකුණු කර “මාගේ ශාස්තෲන් වහන්සේගේ සිරිපතුල් යුග්මය මා අවසාන මොහොතට වන්දනාමාන කළ යුතුයි ” සිතා අධිෂ්ඨානයක් කර සෑයේ එක් පැත්තකට පැමිණ වන්දනයට නැමුණි. එවිට භාග්‍යවතුන් වහන්සේගේ සිරි පතුල් යුග්මය සඳුන් දෙනෙන් පිටතට පැමිණ කස්සප හිමියන්ගේ නළල මත පිහිටියහ. එවිට නැවත තුන් ලෝක වාසියාටම බුදුහිමියන්ගේ සිරිපා නැවත දැක ගෙන වන්දනාමාන කරගත හැකිවිය. කස්සපයන් වහන්සේද සිරිපතුල් සිඹිමින් වන්දනා කර පසු නැවත දෙන පෙර පරිදිම වැසී ගිය පසු සඳුන් දර සෑය දැල් විනි.

 

බුදුරජුන්ගේ මහා පිරිනිවීමත් සමගම සුභද්‍ර භික්ෂුවගේ අභද්‍ර කතා කන වැකුනු උන්වහන්සේ ධර්මයට, සාසනයට අනාගතයේ ඇතිවන අනතුරු ගැන සිතට ගනිමින් පළමු ධර්ම සංඟායනාව අජාසත් රජුගේ රාජ්‍ය අනුග්‍රහයද ඇතිව පැවැත්විය.

 

උන්වහන්සේ පුරා අවුරුදු එකසීය විසිපස් වසරක් වැඩ සිටිමින් පිරිනිවන් පෑමට කාලය බව දැන අජාසත් රජතුමාගේ රාජ්‍යයටද දන්වා කුක්කුටපාද පර්වතයට යලි වැඩම කර ගලක් දෙපළුවූ තැනින් පර්වතයේ මුදුනටම වැඩියහ. ඒ මොහොතේ රජතුමා නිදාගෙන සිටි නිසා කස්සප හිමියන් මාලිගයට වැඩි බව හා උන්වහන්සේ පිරිනිවන බව දැනගන්නට නොලැබිණි. මන්ද සේවකයෝ බියෙන් රජතුමාව ඇහැරවා නොසිටි නිසායි. පසුව කරුණු දැනගත් රජතුමා මහත් සංවේගයට පත්ව සිහිනැතිව ඇද වැටිනි. කස්සප හිමියන්ට දෙවිවරුන්ගේ අනුග්‍රහය සහිතව සත්රුවන් සයනයකින් යුත් දිව්‍යමය කුටියක් පර්වත අභ්‍යන්තරයේ සකසා තිබිණි. එහි උන්වහන්සේගේ ධාතු පරිනිර්වාණය වන මෛත්‍රී බුදු සසුන දක්වා නොනිවෙන පහන් සතරකුත්, කුටිය පුරා පරසතු මලුත් ඒ අයුරින්ම තිබේ. උන්වහන්සේ මහා ප්‍රාතිහාර්ය පාමින් භාග්‍යවතුන් වහන්සේ ලබාදී තිබූ සිවුරක් පෙරවාගෙන සිංහ සෙයියාවෙන් සයනයේ සැතපී අධිෂ්ඨාන කිහිපයක් කළහ. පිරිනිවීමෙන් පසු නැවත පර්වතය හා වේවා. මතු පහළවන මෛත්‍රී බුදුරජාණන් කළ දක්වා දේහයට කිසිවක් නොවී උන්වහන්සේ මේ පර්වතයට පිරිස සමග වැඩි කළ ඒ මොහොතේ මේ කය ආදාහනය වේවා සහ අජාසත් රජු පිරිනිවීම දැනගත් විට සංවේගයෙන් මේ ස්ථානයට ආ මොහොතේ මේ දෙන විවෘතව රජුට මගේ කය වන්දනාමාන කරගැනීමට හැකිවේවා යන අධිෂ්ඨානයන් කර තුන්ලෝකයාම සංවේගයට පත්කරමින් පිරිනිවන් පෑහ. පසුව අජාසත් රජු හඬා වැටෙමින් උන්වහන්සේ දැක ගැනීමට පැමණි විට කුටිය විවෘත වීමෙන් පසු මහත් ශ්‍රද්ධාවෙන් යුතුව රජු  වන්දනාමාන කළහ. ඒ වාගේම අනාගතයේදී මෛත්‍රී බුදුරජාණන් වහන්සේද මෙතනට වැඩ සිටිමින් සඟයා හට කස්සප හිමියන්ගේ දෙන විස්තර කරමින් පෙන්වන මොහොතේ උන්වහන්සේගේ දේහය සෘදියෙන් පැමිණ බුදුහිමි සමීපයේ ආදාහනය වේ. එතෙක් උන්වහන්සේගේ ශ්‍රී දේහයට කිසිවක් නොවී පවතී. එම නිසා උන්වහන්සේගේ ධාතු මේ ලොවට ලැබෙන්නේ මෙත් බුදුරජාණන් වහන්සේ දවසය. නමුත් අනන්ත ගුණැති උන්වහන්සේ ජීවමාන කාලයේදී මුවින් ගිලිහුන දන්ත ධාතූන් නමක් හා රන් කරඬුවක බහාලූ ඩාබිඳු වහන්සේ නමක්, ධාතූන් වශයෙන් අප හට වන්දනාමාන කිරීමට ඉතිරිව පවතී.

0 comments:

Post a Comment