ගෞතම බුද්ධ ශාසනයේ ප්‍රඥාවන්ත භික්ෂූන් අතරින් අග තනතුර දැරූ දකුණත්සව් මෙන්ම ධර්ම සේනාධිපතීන් වහන්සේද වූයේ අප මහා උතුමන් වහන්සේ වන සාරිපුත්ත මහ රහතන් වහන්සේය. ඇහැළ මලේ රන්වන් පාට සිරුරකින් හෙබි උන්වහන්සේට එතරම්ම පුණ්‍යස්කන්දයක්, තේජස් බලයක් තිබුණද පිරිසෙන් කැපී පෙනීමට කිසි විටෙක ක්‍රියා නොකළහ. මහා ගුණ සඟවා ගනිමින් නිහඬවම වැඩ සිටියහ. දිනක් සත් හැවිරිදි එදා පැවිදිවූ සාමණේර නමක් උන්වහන්සේට සිවුර බිම ගෑවෙන බව දක්වමින් වරද පෙන්වා දුන්හ. සැරියුත් හිමියෝ ඒ මොහොතේම තම සිවුර මනාවට සකසා ගනිමින් දෙඅත් එකතුකොට කුඩා සාමනේර හිමියන්ගෙන් “දැන් නිසිලෙස නෙවෙදැයි ආචාරිනී..” යනුවෙන් ඇසීය. උන්වහන්සේ සඟරත්නයේ පළමු ශ්‍රාවක රත්නය වෙද්දීත් එසේ නිහතමානීවම හැසිරුණි. දිනක් බුදුරජාණන් වහන්සේ පවා අගයමින් කතා කළ මන්තානිපුත්ත පුන්න රහතන් වහන්සේ හමුවීමට යන මගේ වෙහෙස නිවාගැනීමට සිටි ස්ථානයේ ශාන්ත ඉඳුරන් ඇති භික්ෂුවක් හමුව උන්වහන්සේගෙන් දහම් පරියායක් විමසා සිටියහ. මනා පිළිවදන් නිසා සැරියුත් තෙරණුවෝ ඔබ වහන්සේ කවුරුදැයි අසා සිටි විට මා මන්තානිපුත්තයන් යැයි හඳුන්වමින් “මනා සංවර ඇති පින්වත් ඔබ වහන්සේ කවුරුදැයි ” උන්වහන්සේත් අසා සිටියහ. එවිට “මා ගිහිකල උපතිස්ස දැන් සාරිපුත්ත යනුවෙන් හඳුන්නවා යැයි ” කියා සිටි විට පුන්න හිමියෝ “ඔබ වහන්සේ ධර්ම සේනාධිපතියන් වහන්සේ බව නොදැනයි දහම් කරුණු පෙන්වා දුන්නේ, හිමියනි ඔබ වහන්සේ මහා නිරහංකාරයි....” යනුවෙන් පවසමින් උන්වහන්සේගේ ගුණ වර්ණනා කළේය. තවත් දිනෙක අසංවර භික්ෂු පිරිසක් නිසා උන්වහන්සේ ගසක් මුල රාත්‍රිය ගතකළේය. උන්වහන්සේ රාත්‍රී සැතපීමට පෙර, සියලු සත්වයාගේ ගුරුවරයාවූ බුදුරජාණන් වහන්සේ වැඩසිටි දෙසටත් දෙවනුව තමාට දහම් මගට එන්නට උපකාර කළ අස්සජී හිමි සිටි දෙසටත් නමස්කාර කළහ. උන්වහන්සේ මේ ශාසනයේ පළමු ශ්‍රාවක රත්නය වූවද තමාට මග පෙන්වූ, උපකාර කළ උතුමන්ට නිසි ගෞරවය දක්වන්නට තරම් නිරහංකාර වූහ.
මහමෙව්නා වෙබ් පිටුවෙන් උපුටා ගන්නා ලදි |
උන්වහන්සේගේ පින්වත් උපත සිදුවූයේ නාලක නම්
බමුණු ගමේ වංගන්ත බමුණාත්, රූපසාරී බැමිණියත් දෙමාපියන් කොටගෙනය. ගිහිකල උපතිස්ස
නමින් හඳුන්වනු ලැබූ මේ කුමරුවාට කෝලිත නම් තම සමවයස් කල්‍යාණ මිත්‍රයෙක්ද විය.
මේ දෙදෙනාටම තරුණ පිරිස පන්සීයක්ද සිටියහ. යහපත්
පැවතුම් ඇති මේ පින්වත් කුමාරවරු පිරිස දිනක් උත්සව භූමියකට ඇතුල් විය. විවිධ නෘත්‍ය,
සාද ආදී කම්සැප දනවන සිත් වශී කරන දෑ මේ භූමියේ සිදු වූවත් වෙනදා තරම්වත්, මේ සිත්
බඳවන දේවල් කෙරේ නොඇලී ‘ගිරග්ග සමජ්ජ’ නාට්‍ය නරඹන අතරතුර මේ අර්ථධර්ම විරහිත,
නොගැඹුරු දේ තුළ තවත් බැසගෙන සිටීම නොවටිනා බව සිතා දෙමිත්‍රයන්ම ධර්මයක් විමසා,
සොයා යෑමට අනෙත් පිරිසේද කැමැත්ත ඇතිව ගිහිගෙයින් නික්ම ගියහ. එහිදී විවිධ ශාස්තෲන්
හමුවූහ. නමුත් දෙමිත්‍රයෝ තමන් සොයා ආ මග මෙය නොවන බව වහාම පසක් කරගතහ. මේ නිසා
පිරිස එකම මග මෙලෙස ගමන් කිරීම ආ කාරණය පමා කරනා නිසා එක මග ගමන් නොකිරීමටද, සොයනා
යම් ධර්මයක් හමුවූවකු අන් පිරිසටද දන්වන ලෙස කතිකා කරගෙන වෙන් වෙන් මාර්ගයන් කර
යොමුවිය. මෙසේ යන ගමනේ උපතිස්ස කුමාරයාට ශාන්ත ඉඳුරන් ඇතිව මග වඩිනා අස්සජී මහරහත්
තෙරුන් හමුවී උන්වහන්සේගෙන් කෙටි ධර්ම දේශණාවක් අසා උතුම් සෝවාන් ඵලයට පත්විය.
වහාම අන් පිරිසත් තම කලන මිතුරාත් හමුව ගිහිගෙයින් එකට නික්මුනා සේම බුදුරජාණන්
වහන්සේගේ පිහිට පතාගෙන උන්වහන්සේ සිටි දෙසට ගමන් ඇරඹීය. එසේ එන පිරිසට භාග්‍යවතුන්
වහන්සේ ශ්‍රී හස්තය දිගු කර “අර පිරිසේ මුලින්ම පැමිණෙන්නේ මගේ සාසනයේ අග්‍රශ්‍රාවක
යුගලය යැයි ” පෙන්වාලූ සේක. එසේ පැමිණි සියලු දෙනාම ඒහි භික්ෂු භාවයෙන් පැවිදි
විය. මේ කුමරුවාට රූපසාරී මවගේ පුත් යන අදහස ඇති සරිපුත්ත යන නාමයෙන් සාසනයේ ප්‍රකට
විය. දිනක් බුදුරජාණන් වහන්සේ සූකරකත ලෙනේ වැඩසිටිමින් දීඝනක තාපසයා හට දේශණා කළ ධර්මය,
සැරියුත් හිමියෝ භාග්‍යවතුන් වහන්සේට පවන් සලමින් අසා සිටියහ. ඒ මොහොතේ මේ ධර්මය
කෙරේ සිත පිහිටුවාගෙන සිටි සැරියුත් හිමියන් සියලු කෙලෙස් නසා උතුම් අරිහත් භාවයට
පත්විය.
මීට කල්ප ලක්ෂයකට පෙර දවස පාරමී පුරමින් සිටි
සැරියුත් හිමියෝ සාරද නමින් පංච අභිඥා, අෂ්ට සමවතින් යුතුව ශිෂ්‍ය වහන්සේලා
පන්සීයක්ද සමගින් හිමාලයේ එක වස් සමයක වාසය කළහ. දිනක් එදවස ලොව පහලව සිටි
අනෝමදස්සී සම්බුදුහිමියන් මේ පින්වත් තවුසා දැක ඔහුට අනුග්‍රහය පිණිස අහසින් එතනට
වැඩි සේක. කාය ලක්ෂණ විද්‍යාව දත් සාරද තවුසා මේ බුදුරජාණන් වහන්සේ නමක් බව වහාම හඳුනාගෙන
උන්වහන්සේට වැඩ සිටීමට උස් ආසනයක් සකස් කර දුන්හ. තවුසාගේ ශිෂ්‍ය පිරිසද මේ මොහොතේ
ඵලවැල නෙළා ගෙන අවුදින් අග්‍රවූද ප්‍රනීත කොටස භාග්‍යවතුන් වහන්සේට පිරිනැමූහ. සඟ
පිරිසද භාග්‍යවතුන් වහන්සේ කොහේ සිටි දැයි බලද්දී කාරණා තේරුම්ගෙන සියලු මහරහත්
පිරිසත් එතනට වැඩ සිටියහ. මහත් පැහැදීමට පත් ශිෂ්‍ය පිරිස සහ තවුසා, බුද්ධ ප්‍රමුක
සඟ පිරිසට සැදැහැ සිතින් උවැටන් කළහ. මෙහිදී භාග්‍යවතුන් වහන්සේ තම ශ්‍රාවක
පිරිසෙන් අග්‍රශාවක පදවියට පත්වන හිමිනම දක්වමින් උන්වහන්සේව එම තනතුරෙහි පිහිටුවා
ලූ සේක. මෙම සිදුවීමෙන් මහත් චිත්ත ප්‍රසාදයට පත්වූ මේ තවුසා අනෝමදස්සී
බුදුහිමියන්ට වන්දනා කරමින් තමාද අනාගත බුදු සමයක මෙසේ අගරශ්‍රාවක පදවියට පත්වන්නට
අභිලාශයක් ඇති බව පවසා සිටියේය. එවිට බුදුරජාණන් වහන්සේ අනාගත ලෝකය දෙස බලමින්, එය
ගෞතම නමින් ලොව පහළවන බුදුන් වහන්සේ දවස ඔබේ පැතුම ඒ ලෙසම සමෘධ වන බව පවසමින්
විවරණ ලබා දුන් සේක. එතැන් පටන් ආ සසරේ සැරියුත් හිමියෝ ගුණදම් වඩමින් මහබෝසතුන්වද
හමුවෙමින් පාරමී දම් පිරීය. එසේ ආ මේ භයානක සසරේ උන්වහන්සේ එක භවයක සුරාසොඬෙක් හා මස් ගිජුකමකින්
යුත් රජෙක්ව සිටියේය. දිනක් මස් ආහාරයක් නැති නිසා තමාට සුරතල් කුඩා කුමරුවා මරා
දී, මස් භෝජනයක් පිළියෙළ කරගෙන කෑවේය. පසුව සිහිය ලැබ තමා මේ කරගත් මහා අපරාදය වෙන
කුමක් නිසාවත් නොව තමාගේ සුරාවට ඇති ගිජුකම බව දැන “මතු සසරේ කිසිදිනෙක් සුරාවට
ලොල් නොවෙමියි ” දැඩිව අධිෂ්ඨාන කර සිටියහ. තවත් භවයක උන්වහන්සේ රසයට
නොඇලෙමියි කියා මේ අයුරින්ම දැඩිව අධිෂ්ඨාන කළහ. එසේ කෙලෙස් මාරයාගෙන් වෙන්වෙමින් ආ
උන්වහන්සේගේ භික්ෂු ජීවිතයේ කිසිඳු කෑමකට, පුද්ගලයෙකුට නොඇලී වාසය කළේය. ඒ වාගේම භාග්‍යවතුන්ගේ
ගිහිකළ එකම පුත්‍රයා වූ රාහුල පින්වත් කුමරුවාව පැවිදි කිරීමට බුදුරජාණන් වහන්සේම
සැරියුත් හිමියන්ට පැවරූ සේක. ඒ වාගේම කිසිඳු ලැබීමක් නොමැති ලෝසක දරුවා පැවිදි
කිරීම සිදුකළා සේම, ලැබීමෙන් අග්‍රස්ථානය පත්වන සීවලී කුමරුවද පැවිදි කිරීමට
පැවරුණේ උන්වහන්සේටය. එය උන්වහන්සේගේ දිවිය දෙස බැලීමේදී දැකිය හැකි සුවිශේෂීවූ
සිදුවීම් කිහිපයකි. ඒ වාගේම උන්වහන්සේ ගිලන් භික්ෂූන්ට නිතරම උවැටන් කළහ. ඒ අයගේ
සැපදුක නිතරම සොයා බැලූහ. වරක් ලාදුරු රෝගයෙන් පීඩා විඳි සමිතිගුත්ත තෙරුන්ට
උපස්ථාන, ධර්ම අවවාද කර නිවන් මග පාදා දුන්නේය. එලෙසම කිසිවෙකුගේ පිහිටක් නැති, වයස්ගත
රාධ බමුනාටත් පැවිදි වීමට, මහණ දම් පිරීමට උපකාර කළේ සැරියුත් හිමියන්මය.
උන්වහන්සේ මවක් සේ එතරම්ම සඟ පිරිසේ පිහිටට සිටියේය.
දිනක් සැරියුත් හිමියන් “තම සිරුරේ ගැටී
සමාවවත් නොගෙනම වැඩියේ යැයි ”
කියමින් භික්ෂුවක් බුදුහිමියන් හට ගතු කීය. එවිට සියලු භික්ෂු සඟයා මැද බුදුරදුන්
මේ කාරණය ගැන සැරියුත් හිමියන්ගෙන් විමසා සිටි සේක. එවිට උන්වහන්සේ “භාග්‍යවතුන්
වහන්ස, කායානුපස්සනාවෙන් යුත් මම ගින්නට පිරිසිඳුදේ හෝ අපිරිසිඳු දේ හමුවේ ගැටීමක්
නැතිවා සේ, ගින්න සමකොට මාද එසේයි සිටින්නේ. ජලය පිරිසිඳු, අපිරිසිඳු දේ හමුවේ
ගැටීමක් නැත්තා සේ, ජලය සම කොටයි මා සිටින්නේ. අං කැඩී ගිය ගොනා යම්සේ කිසිවෙකුට
හිරිහැරයක් නැතිද මාත් එබඳු ගොනෙකු පරිද්දෙනුයි සිටින්නේ...” යනුවෙන් කියා
සිටිමින් පාපිස්නකට, රොඩී කොල්ලෙකුට, සුළඟ... ආදීයට උපමා කොට තමා මේ ජීවිතය දෙස,
මේ කය දෙස බලනා සැටි කියා සිටියහ. මේ නිසා චෝදනාව කළ භික්ෂුවම පසුව එය ඉවත්
කරගත්හ. මහා ප්‍රඥා ඇති උන්වහන්සේ මානයෙන් තොරව, කයේ යතා ස්වභාවයම ප්‍රකට කරමින්
වැඩ සිටියහ. නමුත් විවිධ භික්ෂූන් උන්වහන්සේ දොස් දැක්කේය. දිනක් උන්වහන්සේ ගැන
බුදුරජාණන් වහන්සේ ආනන්ද හිමියන්ගෙන් “ඔබටත් සාරිපුත්තයන් රුස්සන්නේ නැතිද”
යනුවෙන් අසා සිටි සේක. එවිට අනඳ හිමියෝ “ස්වාමීනි, යම් මෝඩනැති, මුලානැති, නොවිකෘති සිත් ඇති අයෙක් වේ නම් ඔහුට
සාරිපුත්තයන් වහන්සේව නොරුස්සන්නට හේතුවක් නොමැත. මහත්වූ, වේගවත්වූ, තියුණුවූ ප්‍රඥා
ඇතිව, උතුම් ගුණ ඇතිව වාසය කරයි, විවේකීව නොඇලී වාසය කරයි.....යනාදී වශයෙන් ගුණ
පෙන්වා සාරිපුත්තයන් හට නොරුස්සන්නට, අපහදින්නට හේතු නොමැතයි
” අනඳ හිමියෝ කියා සිටියහ. දිනක් සමාධි සුවයෙන් වැඩසිටියදී සැරියුත් හිමියන්ට එක් යක්ෂයෙක්
පවිටු සිත් ඇතිව ශක්තිමත් පහරක් හිසට එල්ල කළහ. නමුත් උන්වහන්සේගේ තේජස හා සමාධි
බලය නිසාම කිසිඳු වේදනාවක් සිදු නොවුනිද ඒ පහරදුන් යක්ෂයා ඒ මොහොතේම පොලොව විවරවී
ගිනි දළු මතින් නිරයට ගියේය. යක්ෂයාට දිට්ඨදම්මව කර්ම ඵල විඳීමට සිදුවුනේ ආර්ය,
ගුණ ඇති, භික්ෂූන්ගේ නායකයා වූ උන්වහන්සේට හිරිහැර කිරීම නිසාය. තවත් දිනෙක විවිධ
අවස්ථාවල හටගැනෙන බඩේ රුජාවක් උග්‍රවුනු මොහොතේ මුගලන් හිමියෝ බෙහෙතක් සොයා ගැනීමේ
අදහසින් පිණ්ඩපාතයට පිටත්විය. මේ බව දැනගත් දෙවි කෙනෙක් නිවසකට අරක්ගෙන, මෙහෙයවා
රුජා නසනා කිරිබතක් උන්වහන්සේට පිළිගැන්විය. එය උන් වහන්සේ ගෙනගොස් සැරියුත්
හිමියන්ට දුන් පසු මෙය නොකැප යයි දැන, නොවළඳා විසි කරන්නට යයි කීහ. මේ නිකෙළෙස් බව
නිසාම උන්වහන්සේගේ බඩේ රුජාව ඒ මොහොතේම නැතිවී ගියේය.
උන්වහන්සේගේ ගිහි කළ සොයුරන් වූ උපසේන, චුන්ද යන සොයුරන්ද චාලා, උපචාලා, සීසුපචාලා යන සොයුරියන්ද පැවිදිව මහරහත් භාවයට පත්විය. බාලම සොයුරා වූ
රේවත කුමරුවද මහණ වීමේ ආශාවෙන් සිටි නමුත් මව බලෙන්ම වාගේ ඔහුව විවාහ කරලීය. නමුත්
ගමන් ගන්නා මගුල් රථයෙන් පැන අවුත් රේවත කුමාරයා, සඟයා වහන්සේලා හට තමාව මහණ
කරලන්නැයි ඉල්ලා සිටියහ. වැඩිමහල් සොයුරා වන සැරියුත් තෙරණුවෝ මේ බව පිරිසට කලින්
දන්වා තිබූ නිසා රේවත කුමරුවාටද පැවිදි වී උතුම් අරිහත් භූමියට පත්වන්නට හැකිවිය.
පැවිදිව කදිර වනයේ වාසය කරමින් සිටි නිසා කදිරවනීය රේවත මහරහතන් වශයෙන් උන්වහන්සේව
හඳුන්වනු ලැබිණි. ඒ මුත් මව පමණක් තවමත් මිත්‍යාදෘෂ්ටියෙන් යුතු නිසා සැරියුත්
හිමියෝ තම පරිනිර්වාණය සිදුකිරීමට මවගේ ගෙදර තෝරාගෙන බුදුරජාණන් වහන්සේ ශ්‍රී පාද
පද්මය ස්පර්ශ කරමින් වන්දනාමාන කර පිරිනිවීමට අවසර ගෙන ගමට වැඩියහ. එවිට මව් පැමිණ
සියලු උපස්ථාන කර පිළිගත් නමුත් මේ සසර මග සිඳලූ ආර්ය උතුමෙක් බව නොදැන සිටියාය. උන්වහන්සේ
තම කුටියට වැඩම කර සිටිනා මොහොතේ සක්දෙවිඳු, මහ බඹු උන්වහන්සේගේ කුටියට දිව්‍ය ආලෝක
පතුරුවමින් පැමිණ වැඳ නමස්කාර කොට සිටියහ. මේ ආශ්චර්යමත් සිදුවීම දැකගත් මව පැමිණ
ඒ ආලෝක කුමක්දැයි අසා සිටියාය. එවිට උන්වහන්සේ “දෙදෙව් ලොවට අදිපති සක්‍ර
දේවේන්ද්‍රයාත්, ඔබ සැදැහැතිව වන්දනා කරන ලෝකය මැව්වා යැයි කියන මහබඹුත් බව ”
පවසා සිටි විට මව අතිශයින්ම පැහැදී දෙව්, බඹුන් වඳිනට තරම් මාගේ පුත්‍රයා උතුම් බවත්,
පුත්‍රයාට පිහිටවූ ඒ භාග්‍යවතුන් වහන්සේ පරම උතුම් බවත් දැන සැදැහැතිව තෙරුවන් සරණ
ගියාය. මෙසේ තම මවටද අවසන් මොහොතේ ධර්මයේ පිහිට ලබා දෙමින් ප්‍රඥාවෙන් අගතැන්පත්,
තුන්ලොවටම පහන් සිලක් බඳු ගුණ සාගරයකින් හෙබි ධර්ම සේනාධිපතීන් වහන්සේ දෙව්, බඹුන්
හා සැදැහැති සියල්ලෝම සංවේගයට පත්කරමින් පිරිනිවන් පෑහ.
0 comments:
Post a Comment