Monday, May 3, 2021

බුදුගුණ භාවනාව

 

තුන් ලෝකයටම ශාස්තෘ වූ, සම්මා සම්බුදු මහා කාරුණිකයාණන් වහන්සේගේ අනන්ත වූ ද අපරිමේය ගුණ සයුර තවත් බුදුකෙනෙකුට වුවද කල්පයක් තුලදීවත් කියා නිමකළ නොහැකි බව ගෞතම බුදුහිමියන්ම වදාල සේක. ඒසා තිබියදී අපට මෙනෙහි කිරීමට තබා සිතා ගැනීමටවත් නොහැකි බුදු ගුණ සමුදායෙන් අප දන්නා වූ  ගුණ කිහිපය හෝ සිත පහදවාගෙන සිහිකිරීම, භාවනා නිමිත්ත කරගැනීම බුද්ධානුස්සති භාවනාවයි. මෙයට අප දන්නා නව අරහාදී බුදුගුණ ගැනීමට හැකිය. නමුත් බොහෝ දෙනා වචනයෙන් දැන සිටිනවා පමනක් විනා ඒ වචනයන්ට කැටිව ඇති බුදුගුණවල සරල තේරුම වුවද නොදනී. ඒ නිසා මෙම ලිපිය නිසි ලෙස අප දන්නා බුදුගුණ වුවද විස්තරාත්මකව, අර්ථසහිතව භාවනාව හරියාකාරව වැඩෙන ලෙස කිරීමට උපකාර කරගත හැක. (මේ සඳහා ධර්මධර ස්වාමීන් වහන්සේලාගේ කෘති කිහිපයක්ද යොදාගෙන කරගෙන ඇත).

බුදුගුණ සිහිකිරීම ප්‍රධාන වශයෙන් අපට බුදුරජාණන් වහන්සේ ගැන, උන්වහන්සේ අවබෝධ කොට වදාළ ශ්‍රී සත්ධර්මය ගැන, සංඟ රත්නය ගැන සිත පහදවා ගැනීමට පළමුකොටම උපකාරවේ. ආලවක යක්ෂයා “මේ සත්වයා ගසාගෙන යන ඕඝය තරණය කරන්නේ කුමක පිහිටා සිටදැයි ?” අසූ විට බුදුරජාණන් වහන්සේ පිළිතුරු ලෙස වදාළේ “ශ්‍රද්ධාය තරතී ඕඝං” යනුවෙනි. එනම් මේ සසර සැඩ පහර තරණය කිරීමට ශ්‍රද්ධාව උවමනා බවයි. එයින් පැහැදිලි වන තවත් කරුණක් නම් මේ සසරින් මිදීමට ශ්‍රද්ධාව නැති කිසිවෙකුට, කිසිකලකවත් නොහැකි වූ බවයි. අනාගතයේද නොහැකිවන බවයි. ඒ ශ්‍රද්ධාව ඇති කරගත යුත්තේ වෙනින් කිසිවකට නොව තෙරුවන් කෙරෙහිය. එහිදී තෙරුවන් ලෝකයට පහළ වීමට බුදුරජාණන් වහන්සේ නමක් පහළ විය යුතුමය. ඒ නිසියි අප පළමුවෙන්ම බුදුන් සරණ යන්නේ. මෙතරම් ගුණ ඇති බුදුරජාණන් වහන්සේ කෙරේ පැහැදුණු ආනන්ද හිමියන්ගේ ශ්‍රද්ධාව කැටිවූ කුසල චිත්තයට කල්ප ගණනාවක්ම සක්විති රජ පදවිය දරන්නට තරම් විපාක සිත බලවත්වූ බව ගෞතමයන් වහන්සේ දිනක් යම් සිදුවීමක් මුල් කරගනිමින් පෙන්වා දුන් සේක. නමුත් උන්වහන්සේ එම භවයේම නිවන් අවබෝධ කරන බවද බුදුරජාණන් වහන්සේ දේශණා කළ සේක. ඒ වාගේම බුදු ගුණයට සුළු සිත් පැහැදීමකින් මට්ටකුණ්ඩලී, වයසක මැහැල්ලක්, තිරිසන් සත්වයන් පවා දෙව් බඹුන්ගේ සැප ලද බව ධර්මයේ සඳහන් වේ.

මෙලොවදී අපට බුදුගුණ සිහිකිරීමෙන් ලැබෙන අනුසස් නම් සිතේ අකුසල චේතනා දුරුවේ, සිත හා කය සැහැල්ලු වේ, වස විසෙන් වන හානි දුරුවේ, විපත් අඩුවේ, අමනුෂ්‍ය උවදුරු අඩුවේ, දේව ආරක්ෂාව සැලසේ, නොපමවාම චිත්ත සමාධිය වැඩේ. ඉඳුරන් ශාන්තවේ. රුව ප්‍රසන්න වේ. මරණාසන්න මොහොතේ සිහිවිකල් නොවේ, මරණින් මතු සම්මා දිට්ඨි ඇති භවයක උපදී, බුදුකෙනෙකුන් හෝ මහා රහතන් වහන්සේ වැඩ සිටිනා සමයක උපත ලබුවේ නම් උන්වහන්සේ තමා වෙත එළඹ ධර්මයෙන් සංග්‍රහ කරයි. බුදුගුණ භාවනාවට කැමැත්ත ඇතිකර ගැනීමටද, ඇති කැමැත්ත වැඩි කර ගැනීමටද මේ අනුසස් නිතර සිහිකිරීම හොඳය. මන්ද අප සියලු දෙනාම අන් අයට ප්‍රිය ඇති, උවදුරු නැති කෙනෙක් වීමට කැමති නිසාය. මෙසේ අනුසස් දැන බුදුගුණ මෙනෙහි කරන්නා අවසන අමාමහ නිවනෙන්ම සැනසීම ලබයි.



අරහං බුදු ගුණය -

          ස්වාමීනි! භාග්‍යවතුන් වහන්ස! ඔබ වහන්සේ අවිද්‍යා, සංඛාර, විඥාණ, නාමරූප, සළායතන, ඵස්ස, වේදනා, තණ්හා, උපාදාන, ජාති, ජරා, ව්‍යාධි, මරණ ඉක්මවූ හෙයින්ද,

        ඔබ වහන්සේ අනන්ත යසස, කීර්තිය, ධනය, බලය, ශීල, සමාධි, ප්‍රඥා, ධ්‍යාන යන කිසි දෙයකින් උඩඟු නොවූ හෙයින්ද,

අතිශය පාරිශුද්ධ රහසින්වත් පවක් නොමැති තුන් දොරක් ඇති හෙයින්ද,

ඇසින් රූප දැක, කනින් ශබ්ද අසා, නාසයෙන් ගඳ සුවඳ දැන, දිවෙන් රස දැන, ශරීරයෙන් ස්පර්ශය ලබා, මනසින් අරමුණු දැන ඒවාට නොඇලුනු සේක. නැවත නුපදින පරිදි සියලු කෙළෙසුන් දුරින්ම දුරුකළ සේක. මේසා අනන්ත ගුණ ඇති ඔබ වහන්සේ අරහං නම් වන සේක.....

 

සම්මා සම්බුද්ධ බුදු ගුණය -

ස්වාමීනි! භාග්‍යවතුන් වහන්ස! ඔබ වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයටම අයත් අකාලික වූ ශ්‍රී සත්ධර්මය තමන් වහන්සේම අවබෝධකරගත් සේක.

රූප, වේදනා, සංඥා සංඛාර, විඥාන යන පංච උපාදානස්කන්ධය දුකක් බව මැනවින්, පිරිසිඳුව පරම සත්‍යයක් ලෙස අවබෝධ කරගත් සේක.

එම දුක උපදවන්නා වූ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා යන ත්‍රිවිධ තණ්හාවන් සමුදය සත්‍ය වශයෙන් මැනවින්, පිරිසිඳුව පරම සත්‍යයක් ලෙස අවබෝධ කරගත් සේක.

අවිද්‍යාවෙන්, තණ්හාවෙන් තොරව පවත්නා වූ නිර්වාණ ධාතුව නිරෝධ සත්‍ය වශයෙන් මැනවින්, පිරිසිඳුව පරම සත්‍යයක් ලෙස අවබෝධ කරගත් සේක.

 

සංඛාර, විකාර, ලක්ඛණ, ප්‍රඥාප්ති, නිබ්බාන යන පස් වැදෑරුම් නෛයය ධර්මයන්, ගුරු උපදෙස රහිතවම තමන් වහන්සේ විසින්ම අවබෝධ කරගත් නිසා සම්මා සම්බුද්ධ නම්වන සේක.

 

විජ්ජාචරණ සම්පන්න බුදු ගුණය -

ස්වාමීනි! භාග්‍යවතුන් වහන්ස! ඔබ වහන්සේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණය අවබෝධ කරගන්නා වූ විදර්ශනා ඥානයන්ගෙන්ද,

අසම සම වූ අනන්ත අපරිමාණ වූ සෘධි ප්‍රාතිහාර්යන් පාන්නා වූ සෘධි ප්‍රාතිහාර්ය ඥානයන්ගෙන්ද,

මේ ලෝක ධාතුව තුළ පවතින ඕනෑම කටහඬක් ඒ මොහොතේම අසා දැන ගත හැකි දිව්‍ය ශ්‍රෝත ඥානයෙන්ද,

අනන්ත වූ සත්වයාගේ පරක් තෙරක් නොමැති සිත් දන්නා වූ නුවණ ඇති පරචිත්ත විජානන ඥානයෙන්ද,

අනන්ත වූ සත්වයාගේ කෙළවරක් නොමැති පෙර භාවයන් දැන ගැනීමට හැකි පුබ්බේ නිවාසානුස්මෘති ඥානයෙන්ද,

අනන්ත වූ සත්වයා මැරී මැරී ගොස් උපදින තැන් ගැන දැනගන්නා වූ දිබ්බ චක්ඛු ඥානයෙන්ද,

කාමාශ්‍රව, භාවාශ්‍රව, දිට්ඨාශ්‍රව ආදී ආශ්‍රවයන් ක්ෂය කරන ආශ්‍රව ක්ෂයකරන ඥානයෙන්ද,

ප්‍රාතිමෝක්ෂ සීලය, ඉන්ද්‍රිය සංවර සීලය පමණ දැන ආහාර වැළඳීම, කුසලාකුසල කර්ම, ශ්‍රධාව, හිරි ඔතප්, බහුශ්‍රැත භාව, වීර්ය, සිහිය, ප්‍රඥාව, ධ්‍යාන සතර යන පසළොස් චරණ ධර්මයගෙන්ද සමන්නාගත වන හෙයින්ද ඔබවහන්සේ විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

සුගත බුදු ගුණය -

ස්වාමීනි! භාග්‍යවතුන් වහන්ස! ඔබ වහන්සේ දීපංකර බුද්ධ පාදමුලයේ සිට විජය ශ්‍රී ජයශ්‍රී බෝ මැඩ දක්වාම ශාන්ත ගමනින්, යහපත් ප්‍රතිපධාවෙන් පැමිණි හෙයින්ද,

දෙතිස්මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුක්ත වන හා අසහාය, ශාන්ත, අසමසම රූප කාය විලාශයක් ඇති හෙයින්ද,

අන්තයන් දෙකෙන් බැහැරව මධ්‍යම ප්‍රතිපධාවෙන් උතුම් වූ චතුරාර්ය සත්‍ය තමාම අවබෝධ කරගත් හෙයින්ද,

පරම සත්‍ය වු ද, සාරවත්, ගම්භීර වූ ද, අර්ථවත් වූ ද, මුල මැද හා අග යහපත් වූ ස්කන්ධ වශයෙන් අසූ හාරදහසක් වූ ශ්‍රී සත්ධර්මය සත්වයාගේ අමා සුවය පිණිසම දේශණා කළ හෙයින්ද ඔබවහන්සේ සුගත නම් වන සේක.

ලෝක විදු බුදු ගුණය -

ස්වාමීනි! භාග්‍යවතුන් වහන්ස! ඔබ වහන්සේ ලෝකය, ලෝක සමුදය, ලෝක නිරෝධය, ලෝක නිරෝධ ගාමිණී පටිපදා මාර්ගයද,

සත්ව ලෝකය, සංස්කාර ලෝකය, අවකාශ ලෝකය යන ලෝකත්‍රයන්ද,

අපාය භූමි සතර, කාම භූමි සත, රූප භුමි සොලොස, අරූප භූමි සතර යන තිස් එක තලයන් හා ලෝක ධාතූන්ගේ සම්මුති, පරමාර්ථ සියල්ල යතා අයුරින් අවබෝධ කරගත් හෙයින් ඔබ වහන්සේ ලෝක විදු නම්වන සේක.

අනුත්තරෝ පුරිස ධම්ම සාරථී බුදු ගුණය -

ස්වාමීනි! භාග්‍යවතුන් වහන්ස! ඔබ වහන්සේ ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය, ආජීව පාරිශුද්ධ ශීලය, ප්‍රත්‍ය සංනිශ්‍රිත ශීලය, ඉන්ද්‍රීය සංවර ශීලය ආදී චතුර්විධ ශීලයගෙන්ද,

ශීල විසුද්ධිය, දිට්ඨී විසුද්ධිය, චිත්ත විසුද්ධිය, කංඛා විතරණ විසුද්ධිය, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය, ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය, ඥාන දර්ශන විසුද්ධිය යන සප්ත විසුද්ධියෙන් ද,

ශීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන්, විමුක්තියෙන්, විමුක්ති ඥාන දර්ශනයෙන්ද,

ලොව කිසිවෙකුටවත් දමනය කළ නොහැකි වූ චණ්ඩ වූ, පරුෂ වූ, ජෛනයන්, ජටිලයන්, තීර්ථකයන්, දෙවියන්, බඹුන්, මිනිසුන්, ප්‍රාතිහාර්ය ඥානයෙන්, ආදේශනාවෙන් මහා කරුණාව පෙරදැරිව අප්‍රමේය ප්‍රඥාවෙන් තුන් ලෝකයා දමනය කළ හෙයින් ඔබ වහන්සේ අනුත්තරෝ පුරිස ධම්ම සාරථී නම් වන සේක.

 

සත්ථා දේව මනුස්සානං බුදු ගුණය -

ස්වාමීනි! භාග්‍යවතුන් වහන්ස! ඔබ වහන්සේ දෙවි මිනිසුන්ගේ මෙලොව, පරලොව යහපත උදෙසා මහා කරුණාවෙන් ශ්‍රී සත් ධර්මය දේශණා කළ හෙයින්ද,

ලෝභ, ද්වේශ, මෝහ, මාන, දිට්ඨි යන කෙලෙස් දුරු කිරීම පිණිස ද,

දාන, සීල, භාවනා, කුසල විපාකයන් සඳහා ද,

පස් පව්, දස කුසල්, පංච නීවරණයන් දුරු කිරීම සඳහාද,

ජාති, ජරා, ව්‍යාධි, මරණයන් ඉක්මවා යෑම සඳහා ද,

තුන් ලෝකයාටම ශ්‍රී සත් ධර්මය අවබෝධ කරවීම සඳහා ධර්මය දේශනා කළ හෙයින් ද ඔබ වහන්සේ සත්ථා දේව මනුස්සානං වන සේක.

බුද්ධෝ බුදු ගුණය -

ස්වාමීනි! භාග්‍යවතුන් වහන්ස! ඔබ වහන්සේ දුක, දුක ඇතිවීම, දුක නිවීම, දුක නිවීමේ මග යන සතර ආර්ය සත්‍යයෝ, සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන වසයෙන් දොළොස් ආකාරයකින්ද,

පිළින, සංඛත, සන්තාප, විපරිනාම යන දුක්ඛාර්ත සතරකින්ද,

ආයුහන, නිදාන, සංයෝග, පළිබෝධ යන සමුදයාර්ථයන් සතරින්ද,

නිස්සරණ, විවේක, අසංඛත, අමතා යන නිරෝධාර්ථයන් සතරින්ද,

නියයායන, හේතු, දස්සන, ආධිපත්‍ය යන මාර්ගාර්ථයන් සතර යන චතුරාර්ය සත්‍ය ධර්මයන් දොළොස් අයුරකින් අවබෝධ කර දේශණා කළ හෙයින්ද,

අත්ථ පටිසම්භිදෙ, ධම්ම පටිසම්භිදෙ, නිරුක්ති පටිසම්භිදෙ, පටිභාන පටිසම්භිදෙ යන චතු විශාරද ඥානයෙන් ද,

ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානය, යමක පටිහාරියේ ඥානය, මහා කරුණා සමාපත්ති ඥානය, සබ්බඤ්ඤූ ඥානය, අනාවරණ ඥානය යන ෂට් අසාධාරණ ඥානයන්ගෙන්ද.

නවා අරහදී බුදුගුණ බලයෙන්ද, දස බල ඥාන බලයෙන්ද, සූවිසි ප්‍රත්‍ය ඥාන බලයෙන්ද, තෙසැත්තෑ ඥානයෙන්ද, සත්සැත්තෑ ඥානයෙන්ද, අනන්ත අප්‍රමේය වූ ඥානයෙන්ද සමන්විත වන ඔබ වහන්සේ හෙයින් බුද්ධ නම් වන සේක.

භගවා බුදු ගුණය -

ස්වාමීනි! භාග්‍යවතුන් වහන්ස! ඔබ වහන්සේ ශ්චර්ය භාග්‍ය, කාම භාග්‍ය, යස භාග්‍ය, ශ්‍රී භාග්‍ය, ධර්ම භාග්‍ය, ප්‍රයත්න භාග්‍ය යන් භාග්‍යන්ගෙන් ද,

ක්ලේශ මාර, අභිසංස්කාර මාර, ස්කන්ධ මාර, දේවපුත්‍ර මාර, මච්චු මාර යන මාරයෝ සියල්ල පරාජය කළ හෙයින්ද,

ස්කන්ධ, ධාතු, ආයතන, සත්‍ය, ඉන්ද්‍රිය, පටිච්ච සමුප්පාද ධර්ම, දශ අකුසල ධර්ම, දස කුසල ධර්ම, දස සංයෝජන ධර්ම, දස පාරමී, දස සංඥා හා පංච නීවරණ ධර්මයෙන් මනා කොට අවබෝධ කළ හෙයින්ද,

සතර සතිපට්ඨානය, සතර සෘධිපාද, සතර සම්‍යක් ප්‍රධාන වීර්ය, පංච බල, පංච ඉන්ද්‍රිය, සප්ත බෝධිඅංඟ, ආර්ය අෂ්ටාංගික මාර්ග යන සත් තිස් බෝධි පාක්ෂික ධර්මයන් අවබෝධ කර හෙයින්ද,

මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා, දානය, ප්‍රිය වචනය, අර්ථ චර්යාව, සමානාත්මතාවය, ත්‍රිවිධ චර්යා සහ පංච මහා දානයන්ගෙන්ද,

භාජනය කලයුතු ගුණ භාජනය කළ හෙයින්ද, විභාග කළ යුතු සියලු ධර්මයන් විභාග කළ හෙයින්ද ඔබ වහන්සේ භගවා නම් වන සේක.

0 comments:

Post a Comment