Monday, May 17, 2021

ආනාපානාසති භාවනාව

 

රූපය - අන්තර්ජාලයෙන්

ආනාපාන යන වචනය ආන හා පාන යන වචන දෙක සන්දි වීමෙන් සෑදී ඇත. ආන යනු ආශ්වාසයයි. පාන යනු ප්‍රශ්වාසයයි. හුස්ම ගැනීම හා පිට කිරීම පිලිබඳ සිහිය පිහිටුවීම ආනාපානාසති භාවනාවයි. සමහරෙක් දෙනා බුදු දහමේ පෙන්වා ඇති ක්‍රමය සමග වෙනත් භාවනා ක්‍රමද පටලවා ගනිමින් වැරදි ලෙස ආනපානාසති භාවනාවේ යෙදේ. විශේෂයෙන්ම යෝග අභ්‍යාස සමග මෙය පටලවාගෙන ඇත. (සමහර අය හුස්ම ශරීරයේ ගමන් කරන සියලු තැන් කරා මනසිකාරය මෙහෙයවයි. නැතිනම් ස්වභාවිකව වන හුස්ම වැටීම පසෙකලා කෘතිමව, හයියෙන් හුස්ම ගනිමින් භාවනා කරයි). මේ නිසා නිවන් මග දක්වාම වැටි ඇති බුදු දහමේ පෙන්වාදුන් ආනාපානාසති භාවනාව, බොහෝ දෙනා නොදැන සිටීම මහත් අවාසනාවකි. (ආනාපානාසතිය නිවන දක්වාම දියුණු කිරීමට හැකි බව බුදුරජාණන් වහන්සේ රාහුල මහරහතන් වහන්සේට වදාළ මහා රාහුලෝවාද සුත්‍රයෙන් පෙනී යයි). ඒ නිසා බුදුරජාණන් වහන්සේම දේශණා කළ ආනාපානාසති සති භාවනාව අප බෞද්ධයන් වශයෙන් දැනගැනීම බොහෝ වටී. නිවනට මහෝපකාරී වේ.

ආනාපානාසති භාවනාවේ අනුසස් ගැන සලකතොත් පළමුවෙන්ම වගේ භාවනා යෝගියාට ශාරීරිකව සිදුවන ක්‍රියාවලිය පිලිබඳ යම් මූලික අවබෝධයක් ලැබේ. සිත සංසිඳේ. ඔහුගේ භාහිර කයත් සිත අනුවම සංසිඳීමකට කෙමෙන් කෙමෙන් පත්වේ. හරියාකාරව, භාවනාව බහුලව වඩන පුද්ගලයාගේ මේ සංසිඳීම ධ්‍යාන මට්ටම දක්වා දියුණු වේ. නමුත් ධ්‍යාන වල ඇලී එහිම දෙන්නාට ඊට වඩා සැනසීමක් ඇති නිවන් මග මගහැරේ. නමුත් මුල් කාලයේදී මේ සංසිඳීම අත්විඳීමට භාවනායෝගියෝ නිතැතින්ම පෙළඹේ. එය වරදක් නැත. ඒ වාගේම මේ නිසා තවතවත් භාවනාව කඩිනම් කිරීම සිදුකරයි. නැතිනම් භාවනාව කරන කාලය වැඩිකිරීම සිදුකරයි. නමුත් අප හැමදෙනා මග වරද්දා නොගෙන, ඉක්ම ක්‍රම නොසොයා බුද්ධානුශාසනාව පරිදි භාවනාව සිදුකිරීමට වග බලා ගතයුතුය.

අනාපානාසති භාවනාව අන් බොහෝ භාවනා ක්‍රම මෙන් සතර ඉරියව්වෙන්ම සිදුකිරීමට නොහැකි අතර ‘පළඟක් බැඳගෙන’ හිඳි ආකාරයෙන් සිදුකිරීමට බුදුරජාණන් වහන්සේ දේශණා කළ සේක. එසේ හිඳගත් නවක භාවනායෝගියා යම්කිසි කාල සීමාවක් යොදාගෙන පිළිවෙලකට ඇරඹීම හොඳය. මෙලෙස පිළිවෙලකට, අධික වෙහෙසක් නොයොදා ක්‍රමානුකූලව කිරීම, ඔබට භාවනාව නීරස වීමට ඇති ඉඩ වැලක්වීමකි. භාවනාව අමිහිරි, කටුක, නොවැඩෙන එකක් වන්නේ ඉහත කී ආකාරයට ක්‍රමානුකුලව, හොඳින් දැනගෙන නොයෙදෙන පුද්ගලයාටය. මෙය බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ “නාහං භික්ඛවෙ මුට්ඨස්සතිස්ස අසම්පජානස්ස ආනාපාන සති භාවනං වදාමි ” යනුවෙනි. එහි තේරුම ‘මහණෙනි, මම මුළා වූ සිහිය ඇති විමසුම් නුවණ නැත්තාට ආනාපාන සතිය නොකියමි’ යනුවෙනි. සතිපට්ඨාන සුත්‍රයේ භාවනාව පටන්ගැනීම සම්බන්ධව එන කරුණු වන්නේ, “නිසිදති පල්ලංකං ආභුජිත්වා උජුං කයං පනීධාය පරිමුඛ සති උපට්ඨපෙත්වා” යනුවෙනි. “පළඟ බැඳ කය කෙලින් සෘජුව තබාගෙන, සිහිය ඉදිරියෙහි පිහිටුවාගෙන හිඳී” එහි තේරුමයි. මේ සියල්ල දැනගෙන ආනාපානාසති භාවනාවට වාඩිවන යෝගාවචරයා නිවැරදි ඉරියව්වට පැමිණ දෑස් සෙමෙන් වසාගෙන සිටිනා ඉරියව්වට සිත යොමුකර බෙල්ල, කඳ, සෘජුව ඇත්දැයි බලා, ඇසිපිය තදින් වසා ඇත්දැයි බලා, සිරුර නැමී, හිරවී ඇත්දැයි කියා දැනගෙන ඒ සියල්ල නිවැරදි කරගත යුතුය.

එසේ හිඳගත් පසු කලින් සඳහන් කළ අයුරින් ඉබේ වැටෙන හුස්ම වෙත අවධානය යොමු කරනවා විනා කෘතිමව හුස්ම ගැනීමක් සිදු නොකළ යුතුය. මෙය නොදන්නා බොහෝ දෙනා භාවනා නිමිත්ත වන හුස්ම ප්‍රකට කරගැනීමේ අරමුණෙන් හිතාමතාම දැඩිව හුස්ම ගැනීම හා පිටකිරීමට පෙළඹෙති. මේ අස්වාභාවික බව නිසා සිරුරට වෙහෙසක් දැනේ. එම නිසා වැඩිවෙලාවක් භාවනාව කිරීමට නොහැකිවේ. ඒ වාගේම කලබල සිතක් ඇති කෙනෙක්ටද වැඩි වෙලාවක් භාවනාවේ යෙදීමට නොහැකිය. ඊට යෙදිය යුතු පිළියම නම් භාවනා කරන වාර ගණන කෙමෙන් වැඩි කිරීමත්, භාවනාව ඇරඹීමට පෙර කාලය හැකි තරම් සිත විසිරෙන්නට නොදී තබා ගැනීමත්ය.

භාවනා ආරම්භය - සැහැල්ලු සිතින් ගන්නා සහ පිටකරනා හුස්ම දෙස විමසුම් මනසින් බලා හුස්ම හැපීම ප්‍රකට නාසිකාග්‍රය වෙත සිහිය මෙහෙයවිය යුතුය. මෙසේ දිගටම සිහියෙන් භාවනාවේ දෙන්නාට අවබෝධවෙයි හුස්ම වැටීමත්, පිටකිරීමත් සිදුවන්නේ එක් නාස් කුහරයකින් බව. සමහරෙක් දිනවල මෙය අනෙත් නාස් කුහරයට මාරුවන බවද අවබෝධවේ. මේ හුස්ම වදින තැන ගැනම සතිය පිහිටුවා, සිත භාහිරයට යන්න නොදී රඳවා ගත යුතුය. මෙසේ කිරීමේදී භාවනායෝගියාට තම හුස්ම මනාව ප්‍රකටවේ. මෙසේ කිරීම විශුද්ධි මාර්ගයේ පෙන්වාදී ඇත්තේ ‘කැලයෙන් අල්ලාගත් කුළු හරකෙකු මෙල්ල කිරීමට උත්සාහ ගන්නෙක් ඌ පොළොවේ තදින් සිටවූ කණුවක ශක්තිමත් වර පටක් ගෙන බැඳීම’ ලෙසය. කුළු හරකා නම් නොදැමුණු සිතයි. වරපට නම් සතියයි. ශක්තිමත් කණුව නම් භාවනා නිමිත්තයි. වරපටින් හරකා බැඳීම නම් සතියෙන් සිත භාවනාවේ පිහිටුවා ලීමයි. හරකා මුලින්ම නුපුරුදු නිසා දැඟලීමට පටන් ගනී. මෙලෙස සිතද මුලදී අපහසුතාවයකට, කලබලයකට පත්වේ. නමුත් දක්ෂ ලෙස කුළු හරකා නමැති සිත මෙල්ල කිරීමට සමත් පුද්ගලයා ශක්තිමත් කණුව නමැති භාවනා නිමිත්තත්, ශක්තිමත් වරපට නමැති නොසිඳෙන සතියත් නිසා කල්යත්ම සිත දැඟලීම නවතා දමා සමාධිමත් වීමට හුරුවේ. මෙසේ තවදුරටත් සතියෙන්ම භාවනාවේ දෙන්නාට ආයාසයක් නොයොදා ඇතිවන හුස්ම ගැනීමේ හා පිටකිරීමේ විශේෂ හැසිරීම් හතරක් හඳුනාගත හැකිය. මේ අවස්ථා හතර නම් -

* දීර්ඝ ආශ්වාසය                     * දීර්ඝ ප්‍රාශ්වාසය                     * කෙටි ආශ්වාසය                     * කෙටි ප්‍රාශ්වාසය      

මේ අවස්ථාවන් හතරේදීද යෝගාවචරයා හිතාමතා හුස්ම ගැනීම හෝ පිටකිරීම පාලනය කළ නොයුතු අතර මේ අවස්ථා හතර ඇතිවන මොහොතේත් සිහියේ මනාව පිහිටමින්ම භාවනාව දිගටම කලයුතුවේ. මෙසේ දිගටම භාවනාවේ යෙදෙද්දී හුස්ම දැනෙන ආකාරයන් හතරක් ධර්මයේ පෙන්වාදී ඇත. ඒවා නම් ‘ඕළාරික, සුඛුම, සහ සුඛුමතර යන තුනයි. ඕළාරික අවස්තාවේදී හුස්ම දැනීම හොඳින්ම ප්‍රකටය. සුඛුම අවස්තාවේදී හුස්ම එතරම් ප්‍රකට නැත. සියුම්ය. සුඛුමතර අවස්ථාවේ හුස්ම දැනී නොදැනෙන තරම් සියුම්ය. මේ සුඛුමතර අවස්ථාව වැරදිව වටහාගන්නා සමහර භාවනායෝගියෝ මෙය භාවනාව හරියාකාරව නොවීමක් යයි සිතා තදින් හුස්ම ගැනීමට හෝ භාවනාව නැවත මුල සිට නැවත ඇරඹීමට සැරසේ. එය වරදවා වටහා ගැනීමකි. ඒ නිසියි භාවනායෝගියෙක් ගුරුවරයකුගේ, උපාධ්‍යයන් වහන්සේ කෙනෙක් ඇසුරේ පුහුණුවිය යුත්තේ. ඇත්තෙන්ම මේ සුඛුමතර අවස්ථාව යම් දියුණු මට්ටමකට පැමිණීමකි. ඒ නිසා මේ පිළිබඳව අවබෝධයෙන් හුස්ම නොදැනී යන මොහොතේ තවතවත් සිහිය යොදමින් භාවනා අරමුණේම සිත අලවා ගතයුතුය.

දැන් තවදුරටත් භාවනාවේ දෙන්නාට සිතේ සමතයත්, කයේ සමතයත් නිසා සැහැල්ලුවත්, ප්‍රීතියත් උපදී. නමුත් ප්‍රඥා සම්පන්නව මේ සැහැල්ලුවත්, ප්‍රීතියත් ඇතිවූයේ සිතේත්, කයේත් සමතය නිසා බව දැන භාවනා නිමිත්තේම රැඳී සිටිය යුතුය. තවදුරටත් භාවනාවේ යෙදෙන පුද්ගලයා ප්‍රීතියත්, ප්‍රීතිය නිසා හටගත් සැපයත් විඳිමින් ආශ්වාසයේ ස්වභාවයත්, ප්‍රාශ්වාසයේ ස්වභාවයත් හොඳින් හඳුනා ගත යුතුය. ඒ ආශ්වාස - ප්‍රාශ්වාස නිසා යම් විඳීමක් ඇතිවනවාද ප්‍රඥාවන්ත භාවනායෝගියා ඒ පිළිබඳවත් හඳුනා ගනී. මෙසේ සංඥාවත් (හුස්ම රැල්ල), වේදනාවත් (ප්‍රීතිය හා සැපය) මනාවම හඳුනා ගනී. මේ ආකාරයට සිහියෙන් හා ප්‍රඥාවෙන්ම භාවනාවේ යෙදෙන තැනැත්තාගේ සිත ථීන -මිද්දයෙන් තොරව ප්‍රබෝධමත්වේ. මෙහිදීද සිතේ හටගත් ප්‍රබෝධය දැන හුස්ම රැල්ලේම සිත පිහිටුවමින් සිටින තැනැත්තාගේ පංචනීවරණ යටපත් වේ. එසේ දිගටම භාවනාවේ යෙදෙන්නා ඇතිවූ ආශ්වාසය මොහොතකින් නැතිවන බවද, පිටවූ ප්‍රාශ්වාසයද මොහොතින් නැතිවන බව දකිමින් මේ අනිත්‍ය වන හුස්ම රැල්ල ගැන යතා ස්වභාවයම අවබෝධ කරගනිමින් මනා සිහියෙන් දිගටම භාවනාවේ යෙදේ. එමෙන්ම මෙය කෙනෙකු මැදිහත්වෙමෙන් සිදුවන සිදුවීමක් නොව පටිච්චසමුප්පනනව වන සිදුවීමක් ලෙසද භාවනායෝගියා ප්‍රඥාවෙන්ම දැනගත යුතුය. (හේතුඵලයක් නිසාම ඇතිවන හුස්ම නැතිවන බවත්, නැතිවන හුස්ම නිසාම නැවත හුස්මක් ඇතිවන් බවත් දැනගෙන, මේ සිදුවීම තුළ මම, මගේ කියා කිසිවක් නැතිබව දතයුතුය). මෙසේ ආනාපානාසති භාවනාව අමාමහ නිවන දක්වාම වැටී ඇති ආකාරය පෙන්වා දුන් තුන්ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේ සරණ යමින්, නිසි ලෙස සිහිය දියුණු කරන්නා ආනාපානාසතිය විදසුන් දක්වා වඩා සසර කතරින් එතෙර වේ.

 

0 comments:

Post a Comment