Monday, May 17, 2021

කයෙහි ඡන්ද රාගය - රජයේ මුද්‍රණාලය

 රජයේ මුද්‍රණාලයීය බෞද්ධ සංගමය - රජයේ මුද්‍රණාලය කොළඹ 08

ධම්මො හවෙ රක්ඛති ධම්මචාරී

මාසික ධර්ම ප්‍රකාශනය - අංක 237 

බු. ව. 2559 වූ මැදින් පුර පසළොස්වක පොහෝදා                       

 කයෙහි ඡන්ද රාගය දුරලා නිවන් ලබමු

සුපින්වතුනි,

රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ යන පංචස්කන්ධ ඉගැන්වීම අනුව කය හෙවත් ශරීරය රුපස්කන්ධයෙහි ඇතුළත්ය. කය නිර්මාණය වී ඇත්තේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා භූතයන්ගෙනි. බෞද්ධ දෘෂ්ටිය අනුව කය පිළිබඳ සංෂිප්ත පැහැදිලි කිරීමක් පහත දක්වමු.

රූපං භික්ඛවේ, අනත්තා, රුපඤච හිදං භික්ඛවේ, අනත්තා අභවිස්ස නයිදං රූපං ආබාධය සංවතත්තෙය, ලබෙභථ ච රූපෙ එවං මෙ රූපං හොතු, එවං මේ රූපං මා අහොසති. යස්මා ච ඛො භික්ඛවෙ, රූපං අනත්තා, තස්මා රූපං ආබාධය සංවත්තති. න ච ලබභති රූපෙ ‘එවං මෙ රූපං හොතු, එවං මේ රූපං මා අහෝසි ති ”.

 මහණෙනි, මේ රූපය හෙවත් රූපස්කන්ධය අනාත්මයි. මහණෙනි, මේ රූපය ආත්ම වන්නේ නම්, මේ රූපය ආබාධ පිණිස නොපවත්නේය හෙවත් මේ රූපයට රෝග පීඩාදියක් නොවන්නේය. මගේ රූපය මෙසේ වේවා, මගේ රූපය මෙසේ නොවේවායි හෙවත් ශරීරය නිරෝගිව නොදිරා පවතීවාය තමා කැමති ලෙස පවත්වන්නේය. මහණෙනි, යම් ලෙසකින් මේ රූපය අනාත්මවේද තමා කැමති හා තමාට අවශ්‍ය පිණිස නොපවතින්නේය. අතිශයින්ම අසාරවූ විකාරයක් වේද එහෙයින්ම මෙම රුපස්කන්ධය යයි කියන ලද කය හෙවත් ශරීරය ආබාධ පිණිස පවත්නේය. රෝග පීඩාදියට කාරණා වන්නේය. මාගේ මේ රූපය මෙසේ නොදිරා ලෙඩ දුක්ද නොවී නොනැසී පවතීවායි ද. මෙසේ නොවේවා, මෙසේ වේවායිද තමා කැමති ලෙස පැවැත්මක් නොලැබෙන්නේ යයි රූපයෙහි අස්ථිර බව වදාළ සේක.

 පංචවග්ගිය භික්ෂූන් විෂයෙහි තවදුරටත් පඤ්චස්කන්ධය පිලිබඳ දහම් දෙසමින් බුදුහු මෙසේ වදාළහ.

තං කිම්මංඤ්ඤථ භික්ඛවෙ, රූපං නිච්චං වා අනිච්චං වාති ” මහණෙනි, රූපය පිලිබඳ තෙපි කුමක් සිතන්නාහු ද ? රූපය නිත්‍ය වේද? අනිත්‍ය වේද?

අනිච්චං භන්තෙ” ස්වාමිනි රූපය අනිත්‍යයි.

යං පනානිච්චං, දුක්ඛංවා තං සුඛංවාති ” යම් රූපයක් අනිත්‍ය වෙයි නම් ඒ රූපය දුකක්ද ? සැපයක්ද ?

දුක්ඛං භන්තෙ” ස්වාමිනි ඒ රූපය දුකකි.

යං පනානිචචංම දුකඛං විපරිණාමධම්මං, කලලං නු තං සමනුපසසිතුං, එතං මම එසොභමසමි. එසො මෙ අතතාති ?” යම් රූපයක් අනිත්‍ය නම් දුකක් නම් වෙනස්වන ස්වභාවයෙන් යුක්ත නම් ඒ රූපය මගේය, මම වෙමි, ,අගේ ආත්මය වෙමියි කියා සිතා බලන්නට සුදුසුද?

“නො හෙතං භන්තෙ” නැත ස්වාමිනි.

මහණෙනි, අතීතයේ හටගත්තා වුද, අනාගතයේ හටගන්නා වුද, දැන් පවතින්නා වුද, තමන් හෝ අනුන් පිළිබඳ මහත් වූ හෝ සියුම් වූ හෝ ප්‍රනීත වූ හෝ දුර සිටියා වූ හෝ ළඟ සිටියා වූ හෝ යම්කිසි රූපයක් වෙයි නම් සියලුම ප්‍රමාණවලට අයත් ඒම රූපයෝ ඒ ඒ තැන ඉපද නැසෙයි. එහෙයින් අනිත්‍ය බවද, පීඩාජනක හෙයින් දුක් බවද, අසාර හා තමන්ට අවශ්‍ය පරිදි පාලනය කරගත නොහැකි හෙයින් අනාත්ම බවද  එහෙයින් මේ රූපය මම නොවෙයි, මගේ නොවෙයි, මගේ ආත්මය නොවෙයි යයි යහපත් වූ නුවණින් දැක්ක යුතුය.

අනාත්ම ලක්ෂණ සූත්‍රයෙහි දකින්නට ලැබෙන කය පිළිබඳ මෙම විග්‍රහයට අනුව ‘කායගතා සතිය කායානුපස්සනාව’ වැඩීමෙන් විමුක්ති මාර්ගගත විය හැකිය.

 මහණෙනි, එක් ධර්මයක් වදන ලද්දේ, බහුල වශයෙන් ප්‍රගුණ කරන ලද්දේ කය පිළිබඳ යතා ස්වභාවය වැටහීමෙන් මහත් සංවේගයට පැමිණෙයි. මහත් වූ අර්ථයට පැමිණෙයි. යෝගක්ෂේම සංඛ්‍යාත සති සම්ප්‍රජන්‍ය පිණිස වෙයි. විදර්ශනා ඤාණයට පැමිණීම පිණිස වෙයි.

 මහණෙනි, ඒ එක ධර්මය කවරක් ද යත්? කායගතා සතියයි. මහණෙනි, මේ එකම ධර්මය බහුල වශයෙන් වඩන ලද්දේ විමුක්ති සාධනය පිණිස වෙයි. (අංගුත්තර නිකාය).

 ලෝකය රඟමඩලෙකැයි සිතන මිනිසා විවිධ රංගනයන්හි යෙදී කෙළිදෙලෙන් සිටිනු දක්නා ලැබෙයි. රූපය නිසා හිස උදුම්මවා ගන්නා නළු නිළියෝ වරෙක රූප මදයෙන් මත වෙයි. මම කෙතරම් ලස්සනදැයි අන්‍යයන් සමග සසඳා බලමින් ආඩම්බරයක් ඇති කර ගනී. මට කිසිත් රෝගයක් නැතැයි ආරෝග්‍ය මදයෙන් මුලාවට වැටෙයි. තරුණ මදයෙන් පිස්සු වැටෙයි. ‘ජීවිතය සුන්දරද මෙතරම්’ යනුවෙන් ගී කියමින් ජීවිත මදයෙන් උදම් බවට පැමිණෙයි. මෙලෙස සිතන්නාත් මේ සිතුවිල්ලත් දහමට අනුව දුශ්චරිතයට තෝතැන්නකි. සැබවින්ම එවන්නන්ගේ ජීවිතය මහපොළවට බරකි. ලොවටම ශාපයකි. තමාට ද ශාපයකි. දෙතිස් කුණපයකින් ගැවසීගත්, නවදොරකින් නිතරම ඕජස් ගලන මේ කුණු සිරුරෙහි කවර සැපයක් ද?

කායගතා සති යනු කය පිළිබඳව නිරන්තර අවදියෙන් සිටීමයි. සිහිය පවත්වා ගැනීමයි. මේ කයෙහි කෙස්, ලොම්, නිය.... ආදී වශයෙන් කුණු දෙතිසක් පවත්නා බව අනුලෝම, ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කල යුතුය. දත යුතුය. මෙසේ සලකා බලන කල්හි ශරීරය පෙන පිඬක් මෙන් දියෙහි ඇඳි ඉරක් මෙන්, දියෙහි නැගී දියෙහිම වැනසෙන දිය බුබුලක් මෙන්, ඉන්ද්‍රජාලයක් මෙන්, ඇවිදයන ඇටසැකිල්ලක් මෙන්, අසුචි පිඬක් මෙන්, ඇතුලේ අසුචි පුරවා පිටින් සායම් කරන ලද මැටිකළයක් මෙන් වැටහෙනු ඇත. එක දවසක් ශරීරය නොසේදුවොත්, නොනාවොත්, දත් නොමැද්දොත් තමා තමාටම එපා වෙයි.

මේ තත්වය වඩාත් හොඳින් වටහාගනු පිණිස නිරන්තරයෙන් ‘කායගතාසතිය - කායානුපස්සනාව’ භාවනාවක් ලෙස වැඩිය යුතුය.

 “මගේ ශරීරයෙන් බැහැරට ගියාවූ මල මුත්‍රා දී කුනපයන්ට වඩා ශරීර අභ්‍යන්තරයේ අතු මල මුත්‍රා දී කුණප පිළිකුල් සහගතය. ඇතුළත පවතින මල මුත්‍රාදිය සම මස් ඇට නහරාදී වූ කුනුපයෙහිම පිහිටියේ අතිශයින්ම පිළිකුල් වේ. මම කුමන ගමනක් ගියත් ඒ ගමන් බිමන් යන එන සාම විටකම මල ද මුත්‍රා ද රැගෙන යන්නේය. මලද මුත්‍රාද සමගින්ම නිදා ගන්නේය. මලද මුත්‍රාද සමගම නැගිටින්නේය.”

 “මගේ ශරීරය අසුචියෙහි උපන් පණුවෙකු මෙන් මව් කුසෙහි වූ අසුචියෙහි ඉපදුනේය. වැඩුණේය. පිරුණු වැසිකිළියක් මෙන් ඇතුළත මල මුත්‍රාදී අසුචියෙන්ම පිරුණේය.”

“හිල්වූ කළයක් මෙන් නිරන්තරයෙන් මල මුත්‍රාදී අසුචිය මගේ සිරුරින් වහනය වෙයි. පැසුණු ගවර වළක් මෙන් නොයෙක් පණුකුලයන්ට වාසස්ථානයක් වේ.”

 “ස්වභාවයෙන්ම පිලිකුල්වූ විකාර රූපිවූ මේ ශරීරය සංඛ්‍යාත අපවිත්‍ර කය, මල්, විලවුන්, ඇඳුම්, පැළඳුම් ආදී භාහිර අකලංකරණ නිසා ප්‍රිය උපදවන ලස්සන එකකැයි පෙනී යයි. එය කාමරාගයට හේතු වෙයි.”

“පදෙකක් ඇති, අසුචියෙන් පිරුණු මේ ශරීර සංඛ්‍යාත වැසිකිළි දොරවල් නවයකින් අසුචි වගුරවමින්, මහජනයා දුෂ්‍ය කරමින් මහා මග ගමන් කරයි.”

“ගමෙහි හැසිරෙන ඌරෙකු කෙතරම් හොඳින් නහවා සෝදා පවිත්‍ර කළද නැවත නැවතත් අසුචියෙහි ම ලගින්නා සේ මේ ශරීරයද පිටින් කෙතරම් හොඳට සෝදා පවිත්‍ර කොට සරසන ලද්දේද අභ්‍යන්තර අසුචියෙන් පිරී පවතින්නේය.”

“අසුචි පිඬක් කිසි ලෙසකින්වත් සෝදා පවිත්‍ර කළ නොහැක්කේ එහි ඇති සියල්ල අසුචි ම වන බැවිනි, මේ ශරීරය ද කෙතරම් පිරිසිඳු කළද සේදුවද පිරිසිඳු නොවන්නේය.”

“ශරීරයෙන් එක් දිනක නික්මුන අසුචිය ශරීරයෙහිම අලේප කළහොත් කොපමණ පණුවන් සංඛ්‍යාවක් එම සිරුරෙහි දක්නට ලැබේද? කෙතරම් දුර්ගන්ධයක්  පවතීද? අසුචියම අනුභවය පිණිස කෙතරම් සතුන් පැමිණේවිද? මියයන දින දක්වා ශරීරයෙන් නික්මුන අසුචිය ප්‍රමාණය කොපමණ වෙත්ද? එසේ වුවත් අඥාන පුද්ගල තෙමේ මගේ ශරීරය පිරිසිඳු ප්‍රසන්න එකකැයි උදම්වෙයි. කය නිසා කාමාශ්වාදය ඇතිව ම වෙසෙයි.”

 අනිත්‍ය වූ, දුක්ඛ වූ, අනාත්ම වූ මේ ශරීරය අසාරය. වයාධියම ස්වභාවකොට ඇත්තේය.

 බහු දුක්ඛො - බොහෝ දුක් පැමිණෙන්නේය. අයං කායො බහු අදීනවො - මේ කයෙහි බොහෝ ආදීනව ඇත්තේ වේ. ඉති ඉමස්මිං කායෙ - මෙසේ මේ ශරීරයෙහි, විවිධා අබාධා උප්පජ්ජන්ති - අනෙකප්‍රකාර වූ අබාධයෝ උපදිත්, සෙයියථිදං - ඒ කවරෙක්ද?, චක්ඛු රෝගො - ඇසෙහි උපදින රෝග, සොත රෝගො - කනේ රෝග, ඝාන රෝගො - නාසයෙහි ඇතිවන රෝග, ජිව්හා රෝගො - දිවෙහි උපදිනා රෝග, කය රෝගො - කයෙහි ඇතිවන රෝග, සීස රෝගො - හිසෙහි ඇතිවන රෝග, කණ්හ රෝගො - පිටකෙණෙහි උපදින රෝග, දන්ත රෝගො - දත්වල උපදින රෝග, කාසො - කාස රෝග, සාසෝ - ශ්වසන රෝග, පිනාසෝ - පීනස, ඩහෝ - දැවිල්ල, ජරෝ - උණය, කුච්ජි රෝගො - කුසෙහි රෝග, මුච්ජා - මූර්ජාව, පක්ඛනදිකා - රක්තාතීසාරය, සුලා - ඉදිමීම, විසුචිකා - විසුචිකා නමැති රෝගය, කුට්ඨං - කුෂ්ඨය, ගණ්ඩෝ - ගඩුය, කිලාසො - කිලාසය, සොසො - සොසො නම් වූ රෝගය, අපමාරෝ - අපස්මාරය හෙවත් මීමැස්මොරය, දද්දු - දදය, කණ්ඩු - කණ්ඩු නම් රෝගය, කචඡු - මසුක නම් කුෂ්ඨ රෝගය, රබසා - කැසූ තැන වන වන රෝගය, විතචඡිකා - වොතර්චිකා නම් කුෂ්ඨය, ලෝහිත පිතතං - රත්පිතය, මධුමෙහො - දියවැඩියාව, අංසා - අංශ භාගය, පිළිකා - පිළිකා රෝගය, භගන්දලා - භගන්දලා නම් වූ භයානක රෝගය.”

 මෙසේ රෝග සහ ඒවායේ ප්‍රභේද සිය ගණනක් ඇතත් සොයාලු රෝගයනට මුල්වන ප්‍රධාන රෝග අටක් පිළිබඳව ගිරිමානන්ද සුත්‍රයෙහි සඳහන් වේ.

 පිතත සමුටඨානා ආබාධා - පිත කිපීම නිසා ඇතිවන රෝග, සෙමහ සමුටඨානා ආබාධා - සෙම කිපීම නිසා හටගන්නා රෝග, සනනිපාතා ආබාධා - තුං දොස් කිපීම නිසා හටගන්නා රෝග, විසම පරිහාරජා ආබාධා - විසම පැවැත්ම නිසා ඇතිවන රෝග, ඔපක්කමිකා ආබාධා - මොක් උපක්‍රම නිසා ඇතිවන රෝග, කම්මවිපාකජා ආබාධා - පෙර කරන ලද අකුසල කර්ම විපාකයන් හේතුවෙන් අතුවන් රෝග

 කය හෙවත් ශරීරය පිළිබඳව බුද්ධිමතව නුවණින් විමසා බල ශරීරයෙහි ඡන්ද  රාගය හැර හාත්පස කලකිරීම හෙතුහොටගෙන සියලු දුකින් නිදහස්ව ශාන්ත සුන්දර නිවන් සම්පත් ප්‍රතිලාභය වේවායි පතමු.

 

“කායේන සංවරෝ සාධු - සාධු වාචාය සංවරෝ

මනසා සංවරෝ සාදු - සාදු සබ්බතථ සංවරෝ”

 

 සැමට තෙරුවන් සරණයි !

 

 

රේටියගම ශ්‍රී ජම්බුරුක්ඛාරාමාධිපති, පැලැන්වත්ත, දිගන පුරාන රජමහා විහාරාධිකාරී පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ නියෝජය විදුහල්පති, ගෞරව ශාස්ත්‍රවේදී, ශාස්ත්‍රපති පණ්ඩිත පුජ්‍ය රේටියගම ඤාණිස්සර හිමි .

 

 

ශ්‍රී ලංකා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මුද්‍රණය කරන ලදී.


0 comments:

Post a Comment