Friday, January 21, 2022

ලද දෙයින් සතුටු වීම

 

ලද දෙයින් සතුටු වීම හැටියට බුදු දහම පෙන්වන්නේ, තියෙන දෙයකින් සතුටු වීමම හා දියුණු වීමට උත්සහ නොකර සිටිනා තත්වයේ රැඳී සිටීම නොවෙයි. නමුත් අද සමාජයේ බොහෝ දෙනෙක් ගන්නේ ඒ අදහස ය. වචනාර්ථයට සීමා නොවී බුදු දහමේ පෙන්වා දෙන අයුරු විමසා බැලුව හොත්, එය මේ විදිහට තේරුම් ගන්නට පුළුවන්

අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලදී


“තිබෙන දෙයින් උපරිම ඵල ප්‍රයෝජන අරගනිමින් සිත විඩාපත් කරන ගැටීම් හෝ තද ඇලීම් ඇති නොකරගෙන, දියුණු වෙන්නට යහමින් වෙර වඩමින් වර්තමානයේ සතුටින් ජීවත් වීම”.

ලද දෙයින් සතුටු නොවීම.  මේ සම්බන්ධව කතා කිරීමේ දී කොටස් දෙකක් සමාජයේ අපට දක්නට ලැබේ.

එක් කොටසක් නම් - සිටිනා තැනින් උසස් තැනකට යාමට කිසිවක් නොකර අනාගත සිහින මත දිවි ගෙවමින් වර්තමානය ගැන ද්වේශයෙන්, පසුතැවීමෙන් වෙසෙන පිරිසයි.

අනෙක් කොටස නම් - සිටිනා තැනින් උසස් තැනකට යාමට උත්සහ කරමින් යන නමුත් වර්තමානය ගැන ද්වේශයෙන්, පසුතැවීමෙන් වෙසෙන පිරිසයි.

    මේ දෙපිරිසම සතුට නම් ජීවිතයේ මිහිරි ඵලය අත් නොවිදී..

ලද දෙයින් කිසි සතුටක් නැති පුද්ගාලයා නිතරම කුමක් හෝ අපේක්ෂාවෙන්මයි සිටින්නේ. අහස උසට බලාපොරොත්තු පොදි ගහගෙන ඉන්න මේ කෙනා නිතරම කුමක් හෝ හඹා යෑමක් අරමුණු කරගෙන ජීවත් වේ. ඉතින් කිසි මොහොතක, සතුටක් මොහුට නො ලැබෙයි. දැවීම, පෙළීම ඔහුව අසතුටින් තබයි. ඒ අසතුට ජීවිත පුරා විදිහී ඔහුගේ මරණය කරාද පැමිණේ. තියෙන පහසුකම් වලින් ඔහු උපරිම ප්‍රයෝජන නොගනිමින්, නැති දේ කවදා හිමි වේ දැයි සිතයි. ළඟ නැති මිලාදික වාහනයක්, සුපිරි නිවහනක්, නවීන ජංගම දුරකතනයක්... වැනි දෑ ගැන ඒ ලෙස සිහි කරමින් ළඟ ඇති දෑ වලින් හරි හැටි ඵල ප්‍රයෝජන නොගනී. වර්තමායේ අරපිරිමැස්මෙන් තිබෙන දේ උපරිමයෙන් භාවිතා කර.. සිහින වල නොව ඉලක්ක, වැඩසටහන් සදා ගමිනින් කටයුතු කර ඒ අනාගතය කරා යන ගමන වෙත ඔහු/ඇය නොයයි. සිහින මත සිටිමින්, වර්තමාන තත්වයට සාප කරමින් ඒ ගමන අත හැර ගනී. වීර්යයෙන් තමන් වෙත ලඟා කර ගත යුතු දෙයක් තිබේ නම් එය නොකර උපන් තැනට ගරහමින්, දෙමව්පියන්ට සාප කරමින්, ජීවිතය කරුමයට බාර දී සසරම නරාවලක් කර ගනී. ගොඩ යන මගක් වෙනුවට ජීවිතයට සාපයක් එක් කර ගනිමින් වෙනත් අය විඳිනා සැප දෙස බලා හිඳී. ඒවාටද  ඊර්ෂ්‍යා කරමින් තවත් සිත පෙළා ගනී. දුකින් දුකටම පත් වේ.

මේ කොටස පුද්ගලයිනුත් අනෙත් පෙන්වූ කොටස සේ ජීවිතයට, වර්තමානයට, උපන් තැනට ගරහමින් සැප විඳිනා අය දෙස බලමින් ඊර්ෂ්‍යාද සිතින් තැවුල්ව වාසය කරයි. නමුත් මේ පිරිස වර්තමාන තත්වය වෙනස් කර ගෙන සැප සම්පත් ලඟා කර ගැනීමට උත්සහ ගනී. නමුත් සිතේ තිබෙනා ඊර්ෂ්‍යා, කුහකකම් නිසා ඔවුනුත් වර්තමානයේ දැවෙමින් සිටී.

එසේ නම් සිත දවන, දුකට පත්කරන සතුට ඇති කරන ස්වභාවය ඇති කරන එක් ප්‍රධාන කරුණක් වන්නේ ලද දෙයින්, තිබෙනා දෙයින්, මේ මොහොතේ යපෙනා දෙයින් සතුටු වන්නට නොහැකි වීමය. සතුටු කරන්නට නොහැකි තැනැත්තා රත්තරන් ආකාරයක් ලැබුවද සතුට, සැනසීම උරුම කර නොගනී. රණ හංස පිහාටු ලැබූ කාන්තාව ලැබූ ඒ දෙයින් සෑහීමකට පත් නොවීම නිසා සිදු වූ දෙය බෞද්ධ ඔබ හොඳාකාරවම දනී. අවසානයේ කිසිවක්ම නැති වීම මේ අය බොහෝ විට උරුම කර ගනී.

කාමය විඳ හෝ තෘප්තිමත් කර අපට කවදා හෝ ඉවරකරන්න අපට නොහැක. බුදුහිමියන් අප-ට එය පෙන්වූයේ  මස් කොටයත්, පිහියටත් සමාන කරය. ඒ දෙකම කිසිදා මස් රස නොදැනම අවසානය දක්වා ගෙවී යයි. වෙළඳපොලෙන් නානා මාදිලියේ දේවල් මිලදීගෙන කාමය සන්තර්පණය කරල අවසානයක් දකින්න කිසිවෙකුටත් නොහැක. මේ සැප සම්පත් විඳීමට ඇති ආසාව ඕඝයට සමාන කර බුදුරජාණන් වහන්සේ දැක්වුයේ ඒ නිසාය. ගහගෙන යන දිය පහරකට කුමක් දැමුවත් නොරැඳේ. මෙවන් සිතක් අප කවදා නම් සතුටු කර අවසන් කරන්නද. ලොවේ ධනවත්ම පුද්ගලයෙකුවත් මේ සතුටු වීම, සිතේ සැනසීම ලබා නැත්තේ ඒ හෙයිනි. අවසාන මොහොතේ පවා බලාපොරොත්තු කන්දක බරක් දරමින් වේදනා තවතවත් වැඩි කරගමිනින් අතෘප්තිමත් සිතින් මෙලොව හැර යයි. එයද ඔබටත් අවශ්‍යය..?

සොයා යෑම නවත්තමුද?

අපි උත්සවයකට හෝ කොහේ හෝ හොඳ තැනකින් කන්න ලැබුණු ප්‍රනීත කෑමකින්.. සත්‍යය වශයෙන්ම දිව පිනවා ගෙන සතුටු වේද. ඒ කෑම සෑදු පිළිවෙල, සෑදු කෙනා, එයට එක් කළ දේවල් නොසොයා සිටින කාන්තාවන් සිටින්නේ කොතරම් අඩුවෙන්ද.. එය එතනින් රස විඳ අවසන් කරන්නේ නැත... රස පවා හරිහැටි විඳ ගන්නේ ද නැත. ප්‍රනීත කෑමකින් විඳ ගන්න තිබු ඒ අපමණ රස... අපේ ලද දෙයින් සතුටු නොවීම මං පෙලීම විසින් යටපත් කර ඇත. ඒ පෙලීම වැඩි වී කෑම සෑදු කෙනා හමුවී, තම උත්සවයකට ඔහුව ගෙන්වා ගැනීමේ අදහසින් ඔහුව දැන හඳුනා ගෙන, සම්බන්ධතා ඇති කරගෙන.... ඉවරය නොවන සිදුවීම් පෙළක් ඔබ විඳින්න තිබු රස එතනින් නොවිඳ ගෙනියපු දුරක හැටි.

ලස්සන කාන්තාවක් දුටු විට, ඒ මොහොතේ ලැබෙන දැකීමෙන් එය විඳ ගන්නේ කවර පිරිමියාද. ඇසට රසඳුනක් ලැබූ මොහොතේ එයින් තෘප්තිමත් නොවී ඇයගේ වයස, විවාහක බව, ඉන්නේ කොහිද දහසකුත් එකක් සිතුවිලි මත ඒ මොහොතේ ලබන්න තිබු තෘප්තිය පෙලීමෙන් යටපත් කරගෙන විඳවයි. සතුටක් ඇති කර නොගනී. එතනින් ඉවරයක් කර නොගන්නා සතුට නිසා අප අනවරත සසරක පැටලී සිටිමු.

 

එකතු කිරීම නවත්වමුද ?

උපන් දා පටන් අප කෙතරම් දේවල් එකතු කර තිබේද. උපන් දා පටන් සසර නැමැති අවසානයක් නොපෙනෙන මාර්ගයක් සකස් කර ගත්තේ, අප එකතු කිරීම් නම් මග වියදම් උපයා ගත් නිසා නොවේද.

බුදු දහමේ, පුද්ගලයෙක් ලබන්නා වූ ලෞකික දියුණුවට කිසිසේත් අකුල් නොහෙලනා අතර ඒ සඳහා මාර්ගයද යහමින් පෙන්වා දෙයි. දේපළ වලට තණ්හාවෙන් දේපළ එකතු කරමින්, මුදලට ආසාවෙන් මුදල් බැංකුවල පොදි ගසමින් අප සිදු කලේ තියෙනා දෙයින් සතුටකට පත් වීම නොවේද.

එකතුකරපු දේට ආසවෙලා, සිටිනා තාක් දේපලවලට තන්හා වී, ඉන්න අය එක්ක වෛර බැඳගෙන මරිල යනව ඒ කිසි දෙයක් ගෙනියන්නේ නොමැතිව. හැබැයි ඒ ආසාව, තණ්හාව, වෛරය අනිත් භාවයට ගෙනියනවා. සසර පුරා ඒ දේවල් ගෙනියනව. ඒ අසතුට, පෙලීම සහිත අන්‍යන්ටත් වේදනා ගෙන දෙන සසර ගමනටයි බුදු දහම එරෙහි වන්නේ.

අයෙක් බොහෝ අමාරුවෙන් උපයාගත් දනය, නය වීම මගින් සැපපහසුව තකා වාහනය ගනී. එන් ලැබෙන අනාගත අනතුරු ගැනද සතයකට මායිම් නොකරමින්. පාරේ යද්දී කෙතරම් සිතේ කේන්තිය හට ගනීද තම වාහනය පසුකර යන නොසැලකිලිමත් රිය දාවකයින් හේතුවෙන්. පොඩි හෝ සීරීමක් නොවන්නට වග බලා ගනිමින් සැප විඳින්නට ගත් වාහනය තබා ගෙන ඔහු/ඇය දුක් විඳි. සමහර පුද්ගලයින් ගත් වාහනය ගෙදර තබා පාරේ බසයෙන් ගමන් යයි. අවසාන ලබාගත් සැපය හෝ සතුට කොයි සැඟවුනිද.

ඒ නිසා සතුටින් සිටින්නට නම්,

වර්තමානයේ අප සතු දේවල් වලින් උපරිම ඵල ප්‍රයෝජන ලැබ මතු දියුණුව උදෙසා වීර්යයෙන් කටයුතු කරන අතර ලෞකික වස්තූන් කෙරේ සිත තුළ ඇති අධික හා නොනිමි ආසාව ටිකෙන් ටික යටපත් කිරීම, සිඳ දැමීම කළ යුතුය. ඒ සඳහා ලද දෙයින් සතුට නම් මහඟු ගුණධර්මය අප තුළ වඩා ගත යුතුය. ඒ සඳහා අප තේරුම ගත යුතු සත්‍යය නම් අප වටා ඇති මේ ලෞකික ලොවේ ඇති බඩු භාණ්ඩ තුළ සතුට නොමැති බවයි. කෙනෙක් හට කෞතුක වස්තු මත ආසාවක් හා තව කෙනෙක් හට නවීන දේවල් කෙරේ ආසාව ලෙස ආශාවන් විවිධ වේ. නව දේවල් කෙරේ ආසා කාරන්නා පැරණි දේවල් කෙරෙන් සතුටක් නොලබයි. ඒ සතුට ඔහු නොලැබූයේ මන්ද....?. ඔහුගේ ආසාව පදනම් කරගෙනයි.

එසේ නම් සතුටට හා සැපයට හේතු වන්නේ භාහිර වස්තුවේ ස්වභාවය මතද, පුද්ගලයා ඒ මත තබා ඇති ආශාව මතද..?

ඒ වාගේම මේ කරුණින් අපට තවත් තේරුම් ගත හැකි මහඟු දෙය නම් අපි ළඟ ඉන්න, තියෙන දේවල් තුළ සැප, දුක, සතුට කියා පරම සත්‍යය වශයෙන් දෙයක් නොතිබෙන අතර ඇලීම, ආශාව, පෙලීම මේ හැම දේම තීරණය කරන තීරකයා වෙයි.

ඒ නිසා ලද දෙයින් තෘප්ත වීම නැමැති ගුණය තුල සියල්ලන්ට සැපවත් ජීවත් ගෙවන්නට හැකි වේවා!. ඒ සඳහා සම්බුදුරජාණන් වහන්සේ සර්වඥාතා ඥානයෙන්ම අවබෝධ කර ලෝ සත්වයාට පතල මහා කරුණාවෙන් දේශනා කල මධ්‍යම ප්‍රතිපධාව නැමැති උතුම් ජීවන සැලැස්මත් ඒ සඳහා සියල්ලෝම යොදා ගනිත්වා!

සෑදු සෑදු සෑදු !

0 comments:

Post a Comment