Friday, September 17, 2021

පටිසෝතගාමි චින්තනය - 1

දිනක් භික්ෂුවක් විසින් බුදුරජාණන් වහන්සේ හමුවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ගැන චෝදනාවක් ඉදිරිපත් කළේය. “සැරියුත් හිමියන් වහන්සේ මා ඇඟේ වැදී සමාව නොගෙනම ඉවතට ගියේය” යන්න එම චෝදනාවයි. බුදුරජාණන් වහන්සේ එකෙනෙහි භික්ෂු සංඝයා රැස්කොට ඒ මධ්‍යයේ චෝදනාව විමසා සිටි කළ සැරියුත් හිමියන් තමා ලෝකය, ජීවිතය දෙස බලනා ආකාරය පිලිබඳව කියා සිටියහ. “භාග්‍යවතුන් වහන්ස අං සිඳුණු ගවයෙක් හට ඕනෑම අයෙකුට හිරිහැර, බාදා කළ හැකි මුත් ඌ ගෙන් ඒ කිසිවෙකුටත් පීඩාවක් නැත්තා සේ මේ කුණු ශරීරයක් දරන මාගෙනුත් කිසිවෙකුට හිරිහැර නැත්තේය. ජලය මලමුත්‍ර, කුණු වැනි අපිරිසිඳු දේ හා මල්, රන් වැනි පිරිසිඳු දේ සේදුවත් ගැටීමක් නැතිවා සේ මාද ඒ අයුරින් වාසය කරමි. චණ්ඩාල කුලයේ කොල්ලෙක් තමාට කරණා උසුළු - විසුළු, නින්දා - අපහාස හමුවේ පෙරළා කිසිවක් නොකරන්නා සේ මාද ඒ අයුරින් වාසය කරමි....” මෙලෙස තම ශරීරය සහ ජීවතය දකිනා ආකාරය පා පිස්නකට, ගැරඬි හැවකට, මහපොළොවට... යනාදි විවිධ දේවල්වලට උපමා කරමින් ගෞතම බුදුරජාණන්ගේ සසුනේ දකුණත් ශ්‍රාවක හා ප්‍රඥාවෙන් අගතැන්පත්වූ සැරියුත් මහරහතන් වහන්සේ පෙන්වා දුන්හ. උන්වහන්සේගේ ශරීර වර්ණය ඇහැළ මලේ පාටින් යුත් රත්තරන් පැහැ ශක්තිමත්, ඉතා දැකුම්කලු වූ බව ධර්මයේ සඳහන් වේ.

පටිසෝතගාමි චින්තනය - ලෝකයා සිතන පතන ස්වභාවයට, ආකාරයට මුළුමනින්ම විරුද්ධ හා වෙනස් ලෙස සිතුවිලි හැසිරවීම (පරස්පරව). නමුත් ඔබට මේ මොහොතේ සිතන පතන ස්වභාවය වෙනස්කරගත හැකිද.....? අපිව රැවටිය යුතු නැත්තෙමු. නින්දා, අපහාස, දුක්, අවනම්බු විඳීම් නොලැබිය යුත්තෙමු. සැලකිලි ගරුනම්බු ලැබිය යුත්තෙමු. මේ පටු චින්තනය හමුවේ, මේ සිතන රටාව හමුවේ ලැබූ සැපයක්, සැනසීමක් ඇද්ද?. ලැබුයේ නිතර ඇතිවෙන දුක, කෝපය, හා කනගාටුව පමණි. අහස කඩා වැටීමෙන් බේරීමට දිවූ හාවා හා අනෙකුත් කැලේ සත්වයන් සේය. නමුත් සත්‍ය තත්වය වටහාගත්තේ සිදුවූ දෙය විපරම් කළ සිංහයා පමණයි. එයනම් තල් අත්තකට බෙලි ගෙඩියක් ගැටීමෙන් ඇතිවූ ශබ්දයයි.

කිහිප දෙනෙකු මේ දිවීම නවතා අවබෝධයෙන් අත්හරී, අත්හැර විඩාව නිවා ගනියි. සැප සොයා සිතන, ගමන් කරන රටාව මතම තබාගත් බලාපොරොත්තු බිඳී දුක් සහ විඩා ඇතිවන බව දකියි. ලජ්ජා ඇතිවූයේ ගරුබුහුමන් පැතූ නිසාද, දුක සහ ශෝකය ඇතිවුයේ සැප සෙවූ නිසාද කියා සිහියෙන් දකියි. සිතීමේ රටාවට ප්‍රතිවිරුද්ධ යමක් සිදුවීම, මුණගැසීම නිසාම ගැටීම, දුක් හටගන්නා බව අවබෝධ කරගනී... බලාපොරොත්තූන්ම අපව දුකට පත්කරන්නා බව තේරුම් යයි. නමුත් මේ පුරුද්ද නිතැතින්ම ඇතිවූ දෙයක්ද ? නැත. ඉපදුනු මොහොතේ පටන් මෝහයෙන් අපි විසින්ම ඇතුළත් කරගත් දෙයක් වෙමු. (මෙය සිදුවීමට භාහිර සමාජ බලපෑමද නිතැතින්ම ලැබේ. මන්ද මුළුමහත් සමාජය පවතින්නේ මේ වැඩපිළිවෙල මතය).

ඇඳුමේ පැල්ලමක් ඇතිවූ විට එය හා ගැටෙන්නේ නම් එය සිතිවිලි වල දුර්වතාවය මිස ඇඳුමේවත්, පැල්ලම්වල වරදක්වත් නොවේ. (අපිරිසිඳු පරිසරයේ වරදක්ද නොවේ). ලෝකයේ කිසිවෙක් ඇඳුමේ පැල්ලමක් නිසා දුකක්, අසතුටක් විඳිනා බව පිළිනොගනී. දකිනුයේ දුවිලි ඇති පරිසරයේ, පිරිසිඳු නොකළ පුද්ගලයන්ගේ වරදයි. ඇඳුම් නිතැතින්ම අපිරිසිඳුවේ. ඒ එහි ස්වභාවයයි. වැරැද්ද ඇත්තේ ඇඳුම් අපිරිසිඳු වියනොහැක කියා ඇතිකරගත් ඒ සිතුවිල්ලයි. ධර්මානුකූලව, යථාභූත ඤාණයෙන් හිතන පුද්ගලයා මෙසේ විමසයි... ලෝකයේ ස්වභාවය මෙයයි. නිතරම අපිරිසිඳුවීම් සිදුවේ යයි කියා සිතුවිලි හසුරුවා ගනී. මෙයාකාරයට සිතීමෙන් පැල්ලමක් හා සෑම දෙයක් මතම ගැටීම කෙමෙන් අඩුවන බවද ඒ මත සිතේ තරහ, කෝපය වන් අපව දවන සිතුවිලි ඇතිනොවන බව අවබෝධකර ගනියි. දැන් සිතන රටාව තුළ ගැටීම අඩුබව සහ මානසික සහනය මෙය යැයි අවබෝධකර ගන්න තැනැත්තා දකියි.

ක්‍රියාවලිය ඉතා සරල නමුත් අවබෝධ කොටගෙන ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීම ඉතා දුෂ්කර වේ. අපහසුවේ. අපහසුවෙන් සසරක් පුරා පුරුදු කළ පුරුද්දෙන් මිදී ඊට ප්‍රතිවිරුද්ධ දෙසට සිතුවිලි හැසිරවීමයි. ඒ දෙසට සිත හුරු කිරීමයි.

 

ස්වාමීන් වහන්සේ නමකගේ දේශනයක් ඇසුරින් මෙම ලිපිය සකස් කොට ඇත.

 

0 comments:

Post a Comment