අසහාය ශ්‍රේෂ්ඨතම
සමාජ සේවකයාණන් වහන්සේ - අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක
මාහිමිපාණන් වහන්සේ
සිංහල බෞද්ධයා 1968.05.10 ප්‍රඥාප්‍රභා 6
යතුරුලිවීම: චමිත ලක්මාල් මහතා
ලෝකයෙහි
විසූ ශ්‍රේෂ්ඨතම අසහාය සමාජ සේවකයාණෝ බුදුරජාණන් වහන්සේ යයි කිව යුතු ය. උන්වහන්සේ
බුදු වී සත්සති ගෙවා බරණැස ඉසිපතන්හි දම්සක් පවත්වා පස්වග මහණුන් නිවන් දැක් වූ
තැන් පටන් අවුරුද්දකට නව මසක් හෝ අට මසක් හෝ සත් මසක් හෝ ගමින් ගමට ඇවිදිමින් ගිය
ගිය තැන සුළු වේලාවකට වඩා විවේක නොගෙන තමන් සුව නො තකා අනුන් සුව සඳහා වැඩ කළ සේක.
ආගම්, රාෂ්ට්‍ර, ජාති, කුල
ආදී කිසිදු භේදයක් නොසැලකූ බුදුරජාණන් වහන්සේ හැම දන හට එක සේ මෙත් සිතින් සෙත්
කළහ.
මෙසේ
අවුරුදු හතළිස් පහක් මුළුල්ලේ ස්වල්ප වූ ද ලාභයක් පුද සත්කාරයක් කීර්ති ප්‍රශංසාදියක්
නො තකා, ''මේ සත්ත්‍වයන් දුකන් මුදවන්නෙමි, සුඛිත මුදිත
කරවන්නෙමි" යි යන කරුණා මෛත්‍රී පෙරදැරි සිතින් ආදර්ශයත් සමඟ කළ අනුශාසනා
වලින් ජන සමාජයට සිදු වූ සේවය, සැලැසුණු ශාන්තිය
අතිවිශාලය.
බුදුරජාණන්
වහන්සේ අනුශාසනා වලින් රට වැසියා සසර දුකින් මිදුණා පමණක් නො ව එසේම අගුණ
දුර්වලකම් අඩු කැරැ ගනිමින් ගුණ නුවණ දියුණු කැරැ ගත්තා පමණක් නො වැ නොයෙක් ලෙසින්
සමාජයට සෙත සැලැසිණ. මිනීමරුවෝ සාහසික ක්‍රියා අත් හළහ. නොයෙක් ලෙසින් නොයෙක්
වෙසින් වූ අපරාධකරුවෝ අපරාධ හළහ.
එසේ ම ඒ
අනුශාසනා වලින් ගිහියෝ ගිහිකම්හි ද පැවිද්දෝ පැවිදිකම්හි ද හොඳින් යෙදුණහ. රජවරු
රාජසභා දියුණු කැරැ ගත්හ. මැති ඇමතිවරු නමින් නො වැ ක්‍රියාවෙන් ම ගුණයෙන්ම
ජනනායකයෝ වූහ. ගම් වඩන්නෝ ගම්සභා දියුණු කැරැ ගත්හ. මවුපියවරු දරුවන් ලැබීම මාත්‍රයෙන්
නො වැ නියම ගුණයෙන්ම මවුපියෝ වූහ. ස්වාමි පුරුෂවරු ද භාර්යාවෝ ද ඉන්ද්‍රියයන්
පිණවන අදහසින් නොවැ රටට ජාතියට භාෂාවට හා ආගමට වැඩ ඇති දරුවන් ලැබීමේ පරමාධ්‍යාශයෙන්ම
ස්වාමි පුරුෂයෝ භාර්යාවෝ වූහ.
ඥාති මිත්‍රයෝ
කතාවෙන් හිනාවෙන් ගනුදෙනුවෙන් පමණක් නොවැනියම ඥාති ධර්මයෙහිම පිහිටිය හ. සමාජ
සේවකයෝ වේදිකාවන්හි බෙරිහන් දීමෙන් පමණක් නො නැවතී ලොකුකම ලොකු නම් ලොකු තනතුරු
ගැන නොබලා කීර්ති ප්‍රශංසාදියට වහල් නොවී රට වැසියා සුඛිත මුදිත කිරීමේ අදහසින් ම
ක්‍රියා කළහ. ජනතාව ලොවි ලොවුතුරා දියුණුවේ මඟ පමණක් නො වැකන - බොන - යන - එන -
කතා කරන - හිනා හෙන සැටි පවා ඉගෙන ගත්හ.
බුදුරජාණන්
වහන්සේ මෙලෙසින් ආදර්ශයත් සමඟ වූ අනුශාසනාවෙන් ම ජන සමාජයට සිදු කළ සේවය ස්වල්පද? මෙතරම්
සේවයක් මේ ලොවැ වෙන කවුරුන් හෝ කැරැ තිබෙනුවා දැයි සලකා බලන්න. එසේම උන් වහන්සේ
සේවය කළ විශේෂාකාරය ගැන ද සිතා බැලිය යුතු වේ.
දිනක් ද්‍රෝණ
නම් බ්‍රාහ්මණයා,
" ඔබ වහන්සේ කවරෙක් දැයි බුදුරජාණන් වහන්සේගෙන් ඇසී ය.
" බ්‍රාහ්මණය, උපුලක් හෝ පියුමක් හෝ පුණ්ඩරීකයක් හෝ
ජලයෙහි හට ගත්තේ ජලයෙහි වැඩුණේ ජලයෙන් උඩට නැගි ජලය හා නො ගැටී වාසය කරමි. මම
බුදුවෙමි යි වදාළහ. බුදුරජාණන් වහන්සේ සමාජයට සේවය කළේ සමාජය හා ඇලී ගැලී ගැටී
නොවන බව මෙයින් මැනවින් පැහැදිලි වේ.
ලොවැ ශ්‍රේෂ්ඨතම
සමාජ සේවකයාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වන අප ගිහි පැවිදි බෞද්ධයන් විසින් සමාජ සේවය
කළ යුතු ම යි. ගිහි පක්‍ෂයට සමාජ සේවය කළ හැකි නොයෙක් ආකාර ඇත ද භික්ෂූන් වන අප එය
කළ යුත්තේ බුදුරජාණන් වහන්සේ කළ ආකාරයට ආදර්ශයත් සමඟ වූ අනුශාසනාවෙනි.
ඈත අතීතයේ
පටන් ජන සමාජය පිරිහීම් මුඛයෙන් මුදා නිවැරදි දියුණුවෙහි යෙදීමේ මූලික වැ අනුශාසනා
කළාහු භික්ෂූන් වහන්සේ මය. මුළු භික්ෂු ජීවිතය ම සමාජ සේවයට කැප වූවෙකි. ගිහි
භවතුන් සමාජ සේවය කරන්නේ එක්තරා කාල පරිච්ඡේදයක් ඇතුළත පමණ ය. භික්‍ෂූන් වහන්සේ
පැවිදි වූදා පටන් අපවත් වන දා දක්වා මත් සමාජයට සේවය කරන්නෝ ය. පැවිදි වු දාමත්
දායක වරුන්ගේ දානයට වඩිති. එතැන් පටන් සැමදා මත් කරන්නේ මහජනයාගේ කටයුතු මයි.
බලවත් රෝගයක් නැත්නම් අපවත් වන දාත් එය එසේ ම ය. එය එසේ වුවද බොහෝ භික්ෂූන් වහන්සේ
ඉගෙනීම ලබන්නෙත් මහත් කරදරයෙනි, ජීවත් වන්නෙත් මහත් පීඩා සහිතවය. මුළු
ජීවිතය පුදා කරන හොඳ වැඩ සඳහා ලැබෙන ප්‍රශංසාදියට වඩා එක දවසකදී සිදු වූ ප්‍රමාද
දෝෂයට සමාජයෙන් නින්දා චෝදනා ලැබෙයි. එය ස්වභාවික සිද්ධියෙකි. බුදුරජාණන්
වහන්සේටත් එය එසේ ම ය. භික්‍ෂූන් වන අප හට ඒවාට නො කළකිරී සමාජ සේවය කළ යුතු ම ය. එහෙත්
කවර තරමේ සමාජ සේවයක් වුව ද කළ යුත්තේ තමාගේ මහණ කමත් රැක ගෙනමය. සියලු දුකින්
මිදී නිවන් සුව පසක් කරනු සඳහා ය යන පැවිද්දේ පරමධ්‍යාශයට බාධාවක් නොවන පරිදි ම ය.
ධර්මය
ඉගැන්වීම භික්ෂූන් වහන්සේගෙන් සිදුවිය යුතු උසස් ම සේවයකි. සෑම පාසලකම ධර්මය
ඉගැන්වීමට ආගමික අංශය භාර වැ කටයුතු කිරීමට භික්ෂූන් වහන්සේ නමක් පත් වී සිටිනුවා
නම් එයින් ඉතා උසස් ප්‍රතිඵල ලබා ගත හැකි වනුවා ඇත. එහෙත් එය කළ යුත්තේ රජයේ
සේවකයකු වශයෙන් නොවැ අනුශාසකයකු වශයෙනි. ගුරු කම්, වෙද කම්, නැකැත් කම්, දේශපාලන කම් කිරීමට ලක්ෂ ගණන්
ජනයා සිටිති. මහණ කම් කරන්නට සිටින්නෝ පහළොස් දහසක් තරම වන අපි ටික දෙනා පමණය. මේ
මහණ කම අප නො කළොත් කරන්නට වෙන කෙනෙකුත් නැත. භික්ෂූන් නැති වූවෝත් ශාසනයක් නැත.
මේ කරුණ හොදින් නුවණින් සලකා බලා භික්‍ෂූන් වන අප බුදුරජාණන් වහන්සේ අනුගමනය
කෙරෙමින් සමාජ සේවය කරන්නටත් ගිහි පින්වතුන් එයට සියලු පහසුකම් සලසා දෙන්නටත් තරයේ
ම ඉටා ගන්නේ මැනවි. ගිහි භවතුනට සමාජ සේවය කළ හැකි ක්‍රම බොහෝ ය.
සමාජ සේවය
තුන් ආකාරයකට බෙදිය හැකි ය.
1. සමාජයට
අපකාර නොකිරීම,
2. උපකාර
කිරීම,
3. තමන්
යහපත් වීම.
සමාජයට
අපකාර - කරදර නොකිරීම උසස් සේවයකි. බෝධිසත්ත්ව ගුණයෙකි. අන්‍යයනට කරදර නොවන පරිදි
කතා කිරීම,
ක්‍රියා කිරීම, ජීවිතය පැවැත්වීම උසස්
සමාජ සේවයකි. අන්‍යයනට කරදර නොවන පරිදි ගුවන් විදුලි යන්ත්‍ර ක්‍රියා කරවීම,
පාරේ ගමන් කිරීම, රිය පැදවීම, පාඩම් කිරීම, සෙල්ලම් කිරීම උසස් සමාජ සේවයකි.
වැදගත් මහත්මයකු සේ අන්‍යයනට කරදර නොවන පරිදි කෙළ ගැසීම පවා බුදුරජාණන් වහන්සේ
ඉගැන්වූ සැටි සිහියේ තබා ගත යුතුවේ. මහජනයාට උපකාර කිරීම මුදල් වියදමෙනුත් කළ හැකි
වෙයි. මුදල් නැති වත් කළ හැකි වෙයි. මහජනයා යන එන රැස්වෙන තැන්වල වැටී තිබෙන කටු
අතු, වීදුරු කටු, ගල් මුල්,
අඹ ලෙලි, කෙහෙල් ලෙලි ආදිය බැහැරට දැමීම
දුප්පත් පොහොසත් ලොකු කුඩා කාටත් කළ හැකි සමාජ සේවා ය. පාර වැරදී සිටින්නෙකුට පාර
කියා දීම, ගිලන් හල, බෙහෙත් හල,
දුම්රිය පළ, පොලිසිය ආදිය සොයන කෙනෙකුට
එය කියා දීම, දුප්පත් අසරණයනට උපකාර කිරීම උසස් සමාජ
සේවාය.
පාරවල්
තැනීම, ඒ දඬු දැමීම, ගිලන් හල් තැනීම්, බෙහෙත් වැවීම, සෙවණ පිණිස ගස් සිට වීම,
පින් පැන්තාලි තැබීම, නවාතැන් හල් තැනීම,
මහජනයාගේ සුව පහසුව සඳහා මල් පළතුරු උයන් වැවීම ඉතා උසස් සමාජ
සේවා ය. මෙකල ප්‍රසිද්ධ ව තිබෙන විවිධ ශ්‍රමදාන කටයුතු ද මීට ඇතුළත් වේ. තමන්
ගුණවත් වීම ද, යහපත් වීම ද උසස් සමාජ සේවයකි. සතුන්
නොමැරීම, සොරකම් නොකිරීම, කාමයෙහි
වරදවා නොහැසිරීම, බොරු කේළාම් හිස් වචන පරුෂ වචන නො කීම,
මත් පැන් නො බීම, සුදුවෙහි නො යෙදීම,
ක්‍රෝධ නො කිරීම, ඊර්ෂ්‍යා නො කිරීම ද
උසස් සමාජ සේවා ය.
ආගම හොඳින්
ඇදහීම, සිල් රැකීම, භාවනා කිරීම, දෙමාපියන් වැදීම පිදීම, ගුරුවරුන් වැඩිහිටියන්
හට සැලකීම, සහෝදර සහෝදරියන් හට ප්‍රිය මනාප වැ සිටීම,
නෑදෑ හිත මිතුරන් සමඟ සමගියෙන් විසීම, සියලු
දෙනාට ම මෛත්‍රී කිරීම ද ඉතා උසස් සමාජ සේවාය.
ශ්‍රේෂ්ඨතම සමාජ සේවක බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රාවකයන්
වන අප බෞද්ධයන් සමාජ සේවයෙහි තව තවත් යෙදිය යුතු වේ.