භාවනාව හැඳින්වීම

භාවනාව හරියාකාරව මුලසිට ඉගෙනගනිමු.

ශ්‍රද්ධාව

තුනුරුවණ කෙරේ ශ්‍රද්ධාවන්තයින් වී උතුම් නිර්වාණ මාර්ගය විවර කරගමු.

Friday, March 25, 2022

කෘතගුණ සැලකීම, ප්‍රේම බන්ධන


කෘතගුණ සැලකීම

 

වසර කීපයකට පෙර, සිංගප්පුරුවේ පැවති මංගල උත්සවයකින් පසු මනාලියගේ පියා බෑණා පසෙකට කැඳවා, විවාහය දිගු කලක් සතුටින් ගත කරන ආකාරය පිළිබඳව උපදෙසක් දුන්නේය.

“ඔබ සමහර විට මගේ දුවට හුඟාක් ආදරය කරනවා ඇති කියලා මට හිතෙනවා”

“ඔව් ඇත්තටම” තරුණයා සුසුමක් හෙළීය.

“ඔබ සමහර විට සිතනවා ඇති ඇය, මේ ලෝකයේ සිටින වඩාත් ම ප්‍රියමනාප තරුණිය කියල.”

“එයා හැම අතින්ම සර්ව සම්පූරණයි.” තරුණයා මිමිණීය.

“විවාහ වෙන කොට එහෙම තමයි. නමුත් අවුරුදු කීපයකට පසු මගේ දුවගේ අඩුපාඩු වැරදි ඔයාට පේන්න පටන් ගන්නවා. ඔබ මේක මතක තියා ගත යුතුයි. එයාගෙ අඩුපාඩු නො තිබුනා නම් එයා කසාද බඳින්නේ ඔබට වඩා හුඟක් හොඳ කෙනෙක්.”

ඒ නිසා, අපේ සහකරුගේ හෝ සහකාරියගේ අඩුපාඩු හා වැරදි පිලිබදව අප හැම විටම කෘතඥ විය යුතු ය. මුල සිට ම එබඳු අඩුපාඩු නොතිබුණා නම් අපට වඩා උසස් කෙනෙකු සමග විවාහ වීමට ඔහුට හෝ ඇයට හැකි වනු ඇත.

 

ප්‍රේම බන්ධන

අප ප්‍රේමයෙන් බැඳී සිටින විට, අපට පෙනෙන්නේ සහකරුගේ, සහකාරියගේ යහපත් ගුණාංග පමණි. අප දකින්නට කැමති එපමණකි. පසුව, දික්කසාද නඩුවක් ගොනු කිරීම සඳහා නීතීඥයකු වෙත යන විට අපට පෙනෙන්නේ, සහකරුගේ / සහකාරියගේ අඩුපාඩු පැමිණි. යහපත් ගුණාංග අපට නො පෙනේ. ඒවා දැකීමට අප අකමැති ය.

මන්දාලෝකය ඇති සමාජ ශාලාවක දී හෝ සඳ පහන් රැයක දී හෝ පෙම් සබඳතා ආරම්භ වන්නේ මන්ද? ඇගේ මුහුණේ කුරුලෑ ද, ඔහුගේ බොරු දත්ද ඔවුනොවුන්ට නො පෙනෙන බැවිනි. ඒ වාගේම මන්දාලෝකක් ඇති විට, ඉදිරියෙහි හින්දා ගෙන සිටින තරුණිය සුරූපී නිරූපිකාවක් වශයෙන් ද තරුණයා සිනමා නළුවෙකුට සමාන යයි ද සිතේ මවා ගැනීමට නිදහස තිබේ. එසේ සිතේ මවා ගැනීමට අප ආශා කරන අතර අප මවා ගන්නේ ප්‍රේමයයි.

ඊසාන දිග තායිලන්තයේ භික්ෂුවක වශයෙන් මා ගත කළ ප්‍රථම වර්ෂයේ දී මම කාරයකින් ගමන් කරමින් සිටියෙමි. තවත් බටහිට භික්ෂුන් දෙදෙනෙකු සමග මා පසුපස අසුනේ හිඳ ගෙන සිටි අතර ඉදිරි අසුනෙහි වූයේ අචාන් චා හිමියන් ය. හදිසියේ ම පසුපස අසුනට නෙත් යොමු කළ එතුමා මා අසළ සිටි ඇමෙරිකානු භික්ෂුව දෙස බලා තායි බසින් යමක් පවසීය. තායි බස මැනෙවින් දැන සිටි අනෙක් භික්ෂුව ඒ ප්‍රකාශය ඉංග්‍රීසි බසට පරිවර්තනය කළේය.

“ඔබ ලොස් ඇන්ජලිස් නුවර සිටින, ඔබේ පෙම්වතිය ගැන කල්පනා කරන බව එතුමා පවසනවා”

සාමණේර භික්ෂුව මවිතයට පත් විය. එතුමා නිවැරදි ලෙස ඔහුගේ සිතුවිලි තේරුම් ගෙන තිබිණි.

“දුක් වෙන්න  එපා. අපි ඒ ගැන පිළිවෙලක් යොදමු. ඔබේ ඊළඟ ලිපියේ දී එයාට දන්වා යවන්න, එයා ගැන මතක් වෙන්න මොනවා හරි පෞද්ගලික දෙයක් එවන්න කියල”

“ස්වාමීනි, එහෙම කරන්න භික්ෂූන්ට අවසර ලැබෙනවා ද?”

“සත්තකින්ම”

අචාන් චා හිමියන් ඊළඟට පැවසූ වචන පරිවර්තනය කිරීමට මද වෙලාවක් ගත වූයේ පරිවර්තක භික්ෂුවට සිනාව නතර කර ගත නොහැකි වූ නිසා ය.

“එතුමා කියනවා, අසූචි බෝතලයක් එවන ලෙස, ඒ පෙම්වතියට දන්වා යවන්න ලූ. එතකොට එයා මතක් වේවි ලූ.



Friday, February 25, 2022

විවාහය, වගකීම


 

විවාහය

 

බෞද්ධ මංගල උත්සවවල දී ආගමික කටයුතු සිදු කිරීමට බෞද්ධ භික්ෂුවක වශයෙන් මගේ යුතුකමකි. නීත්‍යනුකූල වශයෙන් විවාහය ලියා පදිංචි කිරීම සිදු කරන්නේ බෞද්ධ ගිහියෙකු වුවත් බොහෝ අඹුසැමියන්ගේ නිගමනය ඔවුන්ගේ විවාහය සිදු කළේ මා බවය.

විවාහය සඳහා මුදු තුනක් යොදා ගනිතැයි කියනු ලැබේ.

01.       විවාහ ගිවිස ගැනීමේ මුද්ද

02.       මංගල මුද්ද

03.       දුක් කරදර පිළිබඳ මුද්ද

ඒ අනුව විවාහයක දී අනාගත ගැටලු අපේක්ෂා කෙරේ. එබඳු ගැටලු ඇති වූ වුට, මා විවාහය සිදු කළ අය ඒ පිළිබඳ ව උපදෙස් ලබා ගැනීමට මා වෙත පැමිණෙති. සැහැල්ලු ජීවිතය ප්‍රිය කරන භික්ෂුවක වශයෙන් ඒ සැමියාටත්, බිරිඳටත් පමණක් නොව මටත් හැකිතාක් කල් කරදරවලින් තොරව ජීවත් වීමට හැකි වන පරිදි මගේ ‘විවාහ සේවාවට’ පහත සඳහන් කතන්දර ඇතුළත් කරමි.


 

වගකීම

පෙම් සබඳතා සහ විවාහය පිළිබඳව වූ මගේ මතය මෙසේ ය.

ඒ යුවළ විවාහයට පෙර ගමන් බිමන් යන විට, ඔවුන් අතර පවතින්නේ හුදු සබඳතාවකි. විවාහ ගිවිසගත් පසුද, එය සබඳතාවක් පමණි. ඔවුන් ප්‍රසිද්ධියේ විවාහ පොරොන්දු ප්‍රකාශ කළ විට එය වගකීමක් බවට පත් වේ.

මංගල උත්සවයේ අරමුණ, වගකීම ය. උත්සවයේ ආගමික කටයුතු කිරීම් දී, ඒ අරමුණු දිවි ඇති තාක් මතක තිබෙන පරිදි පහදා දීම සඳහා මම එක්තරා ක්‍රමයක් අනුගමනය කරමි. සබඳතාව සහ වගකීම අතර වෙනස, ඌරු මස් සහ බිත්තර අතර වෙනසට සමාන බව මම ඔවුන්ට විස්තර කරමි.

 

කුකුලා සහ තාරාව

මෙය මගේ ගුරුවරයා වූ අචාන් චා හිමියන්ගේ ප්‍රියතම කතාන්දරය විය.

අලුත විවාහ වූ යුවළක්, ගිම්හානයේ එක් සොඳුරු සන්ධ්‍යාවක රාත්‍රී ආහාරයෙන් පසු, වන ලැහැබක ඇවිදීමට ගියහ. ඈතින් කිසියම් ශබ්දයක් ඇසෙන තුරු ඔවුන් දෙදෙනා පසු වූයේ ඉතා විනෝදයෙනි.

“ක්වැක් ක්වැක්” දෙදෙනා ම උනන්දුවෙන් ඊට සවන් දුන්හ.

“සවන් දෙන්න” බිරිඳ කීවා ය. “කුකුළෙක් වෙන්න ඇති”

“නෑ නෑ ඒ තාරාවෙක්” ස්වාමි පුරුෂයා පැවසීය.

“වෙන්න බෑ. මට හොඳටම විශ්වාසයි. ඒ කුකුළෙක්”

කොහොමද එහෙම වෙන්නෙ?. කුකුළන් හඬලන්නේ කුක්කු කූ කූ කියල. තාරාවුන් හඬලන්නේ ක්වැක් ක්වැක් කියල ඩාලිං, ඒ තාරාවෙක්” ඔහු පැවසුවේ මදක් නුරුස්සනා ස්වභාවයෙනි.

“ක්වැක් ක්වැක්” ඒ ශබ්දය යළිත් ඇසිනි.

“පේනවා නේද? ඒ තාරාවෙක්”

“නෑ ඩාලිං. ඒ කුකුළෙක්. ඒක ස්ථිරයි. ඇය පැවසුවේ මුරණ්ඩු විලාසයෙනි.

“මේ අහන්න. ඒ තාරාවෙක්.. ඒ තාරාවෙක්. තාරාවෙක්... තේරුණා ද?” ඔහු පැවසුවේ කෝපයෙනි.

“නමුත්, ඒ කුකුළෙක්ම තමයි” ඇය කීවේ අමනාපයෙනි. යළිත් ‘ක්වැක් ක්වැක්’ ශබ්දය ඇසිණි.

“ඒ වුණාට ඒ කුකුළෙක්” ඇය කීවේ කඳුළු සලමිනි.

බිරිඳගේ දෙනෙත්වල කඳුළු දුටු විට, ඇය සමග විවාහ වීමට හේතු වූ ආදරය ඔහුට සිහිපත් විය. ඔහුගේ මුහුණෙහි ස්වරූපය සෞම්‍ය විය.

“සමාවෙන්න ඩාලිං, මම හිතන්නෙ ඔයා හරි. ඒ කුකුළෙක් තමයි.”

“තැනක් යූ ඩාලිං” ඇය පැවසුවේ ඔහුගේ ඇත මිරිකමිනි.

ඔහුන් දෙදෙනා ආදරයෙන් යුතුව යළිත් ඇවිදීමට පටන් ගත් විට වන ලැහැබ තුළින් “ක්වැක් ක්වැක්” හඬ යළිත් ඇසිණි.

අන්තිමේ දී ස්වාමි පුරුෂයාට ඇති වූ අවබෝධය මෙබඳු ය.

වඩා වැදගත් වන්නේ, ඒ සතා කුකුළකු හෝ තාරාවකු යයි පිළිගැනීම නොව, දෙදෙනා අතර එකමුතු බවයි.

නොවැදගත් කරුණු මත, විවාහ කීයක් බිඳ වැටී ඇද්ද?. “කුකුළා ද, තාරාවා ද වැනි තර්ක දික්කසාද කීයක දී සාක්ෂි වශයෙන් ඉදිරිපත් වී ඇද්ද ?

මේ කතාන්දරය තේරුම් ගත් විට, අපේ ප්‍රමුඛතා අපට සිහිපත් වනු ඇත. නොවැදගත් තර්ක වලට වඩා ජීවිතය වැදගත්ය. ඇරත්, අප මුළුමනින් ම නියත වශයෙන් ම නිවැරදි බව කීවරක් අපට ඒත්තු ගොස් තිබේද? ඇත්ත වශයෙන් වරද සම්පූරණයෙන් අපේ බව අපට අන්තිමේ දී වැටහේ.

Thursday, January 27, 2022

පටිසෝතගාමි චින්තනය - 2

 


ගුරුවරුන්, දෙමාපියන් හා වැඩිහිටියන් උත්සාහ කළේ අලුත් මාර්ගයක්, මාවතක් පෙන්වා දීමටයි. නමුත් ඔවුන්ගේ චින්තනයෙන් ඒ දේ කරන්න බැරිඋනා. මක්නිසාද ඔවුන්ගේ චින්තනය, සිතන රටාව සාම්ප්‍රදායික වීම නිසයි. දරුවා ළදරු වියේ සිටම හොඳින් හදන්නට ඕනෑ, අපට නැති සැපවත් ජිවිතයක් ඔවුනට දෙන්නට ඕනෑ යනුවෙන් සිතූ මුත් ඔවුන්ට නොහැකි වූයේ මන්ද?. සිතන රටාව තුළ සැප හෝ දුක හිමිවන බව ඔවුන් නොදැන සිටීමයි. සිතන ක්‍රමය වෙනස් කිරීම තුලින් අලුත් ජීවිතයක් ලබනා බව තේරුම් කරගැනීමට උත්සහ නොගැනීමයි. සියලු දෙනාම එකම මාර්ගයක ගමන් කර ඊට හාත්පසින්ම වෙනස් වූ ප්‍රතිඵල බලාපොරොත්තුවේ. වෙනස් නොවේවා යයි පතා වෙනස්වන දේවල් ලඟා කර ගනී. ඒ හමුවේ දුක, කනගාටුව සහ පසුතැවීම උරුමකර ගනීයි.

ගෙයක් සෑදීමෙන්, උපාධියක් හෝ වාහනයක් ගැනීමෙන්, විවාහයකින් තමා හට නැති සැනසීමක්, සැපවත් ජීවිතයක් ලඟා කරගත හැකි බව සිතයි. අලුත් අවුරුදු සාමය තුළ අලුත් වීමට බොහෝ කටයුතු සිදු කරා. ලිප අලුත් කළා, අලුත් ඇඳුම් මිලට ගත්ත, ගෙයි තීන්ත ගෑව... නමුත් ජීවිතය අලුත් වුනාද? නැහැ. ගෙවී ගියේ පරණ ආකාරයටමයි. මක්නිසාද පරණ කෙනා තවමත් ඇතුළේ සිටීමයි. අවුරුද්දට පන්සලට ගියහම පිරිත් නූල් ඉවර වෙලා තිබුනොත්... දානෙ හැමදාම දෙන අපිට පිරිත් නූල් නෑ. හිසතෙල් හරි විදිහට ගෑවිලා නෑ. අරය මට කතා කළේ නැහැ අනිත් අයට කතා කරල, මට වඩා හොඳ ඇඳුම් තෑගී අනිත් අයට හම්බවෙලා... අවුරුද්ද, ඇඳුම් අලුත් වූනාට හිතනපතන විදිහ පරන විදිහමයි. හිතන් ඉන්නවා කතා කරන්න ඕන කියල. ඉතින් විඳවනවා. අව්ව - වැස්ස, කාලගුණය නිසාත් විඳවනවා. කාටද පාඩුව, කාගේ සතුටද නැති වූනේ. මේ විදිහට විඳවනවා. මේ ආකාරයට විඳවා මොකටද? අවසානයේදී පුරුදු උඩු දුවා ගහක කොලයක් බිම වැටුනත් කේන්ති අරගෙන විඳවනව. හැම දෙයක්ම විඳවීමක් බවට පත්කරගෙන අසහනකාරී, දුක් සහිත ජිවිතයක් සකස් කරගෙන. මෙය වෙන කිසිවෙකුගේ හෝ දෙවියෙකුගේ සිදු කිරීමක් නොව තමා විසින්ම උදාකරගත් දෙයයි.

කකුලේ ඇනුණු කුඩා කටු කෑල්ල කුඩා යැයි කියා අමතක කරදමා සිටියහොත් කාලයක් යද්දී පැසවීම උඩුදුවා කකුලම විනාසකර කපා අයින් කරන්නට වුවද සිදුවේ. නැතිනම් ඒ ගණන් නොගැනීම තුළ තම ජීවිතය වුවද නැතිකර දැමීමට හැකියාව තියෙනවා. කටුව කුඩා වුනාට සිදුකරහැකි විනාශය සුළුපටු නොවේ. කුඩා කුඩා ගැටීම් කාලයත් සමග විශාලවී අවසානයේදී සෑම මොහොතකටම බලපෑම් කිරීමට හැකි තත්වයකට පත් වෙනවා. එයින් විඳවීම වැඩිවූවා මිස කිසිඳු සතුටක්, සහනයක් නිසැකවම හිමි නොවේ.

 

ස්වාමීන් වහන්සේ නමකගේ දේශනයක් ඇසුරින් මෙම ලිපිය සකස් කොට ඇත.

Sunday, January 23, 2022

සදිසා නමස්කාරය.



 දිනක් මහා කාරුණාවෙන් ලොව බලන බුදුරජාණන් වහන්සේ හට පින්වත් තරුණයෙක් කිසිඳු අර්ථයක් නොමැතිව දිසා හයට වන්දනා කරනවා දුටු සේක. මේ තරුණයාට යහපතක් කරලීම සඳහා ඔහු ඒ සිටි ස්ථානයට වැඩම කළ භාග්‍යවතුන් වහන්සේ, ඔබ ඔය කරන දේ කුමක් දැයි අසා සිටි සේක. ඉතින් මේ තරුණයා මෙය තම පවුලෙන් එන වන්දනා ක්‍රමයක් බවත්, දෙමාපියන් සිටිනා කළ ඔවුන් ගැන අගයක් නොමැතිව, දැන් ඔවුන් පරලොව ගිය බැවින් ඒ කියා දී තිබූ වන්දනා ක්‍රමය ඔවුන් සිහිවී සිදුකරන බව පවසා සිටියහ.

එවිට බුදුරජාණන් වහන්සේ මේ සිඟාල නම් තරුණ ගෘහපතියාට යහපත් ජීවිතය හා ජීවිකාව, සමාජ සම්බන්ධතා... ආදිය ගැන යම් පැහැදිලි කිරීමක් කළ සේක. ඉන්පසු අර්ථයක් නොමැතිව යෙදුනු වන්දනා ක්‍රමය වෙනුවට අර්ථ සහිත පුද්ගල බද්ධ සදිසා නමස්කාරයක් ඔහුට හඳුන්වා දුන් සේක. එසේ හඳුන්වා දෙමින් ඒ ඒ දිසාවන්ට වෙන්කළ පුද්ගලයන් තමා ඉටු කළ යුතු යුතුකම් හා වගකීම් ද මේ සිඟාල ගෘහපතියාට පෙන්වා දෙමින් සමාජයේ එකිනෙකා මේ සමාජ සම්බන්ධතා මනාසේ පවත්වා ගත යුතු අන්දමත් වදාළ සේක. (මෙහි දිසා හය සහ ඒවාට අයත් පුද්ගලයින් පමණක් දැක්වේ).

නැගෙනහිර දිසාව       -       මව්පියන්

දකුණු දිසාව               -       ගුරුවරයන්

බටහිර දිසාව              -       සැමියා, භාර්යාව හා දරුවන්

උතුරු දිසාව               -       මිත්‍රයින්

යට දිසාව                  -       යටත් සේවකයින්

උඩු දිසාව                  -       පූජ්‍ය පක්ෂය