භාවනාව හැඳින්වීම

භාවනාව හරියාකාරව මුලසිට ඉගෙනගනිමු.

ශ්‍රද්ධාව

තුනුරුවණ කෙරේ ශ්‍රද්ධාවන්තයින් වී උතුම් නිර්වාණ මාර්ගය විවර කරගමු.

Tuesday, June 20, 2023

අඥාන නිගමන

 

වර්ෂ කීපයකට පෙර, තායිලන්ත භික්ෂූන් පිළිබඳව ඔපාදූපැ රැසක්, අන්තර්ජාතික පුවත්පත්වල පළ විය. නියත වශයෙන් බඹසැර රැකීමට, භික්ෂූහු විනය නීති මගින් බැඳී සිටිති. ප්‍රචාරය වූ ඕපාදූප වලට අනුව, ඇතැම් භික්ෂූන් ඒ විනය නීති කඩකර තිබිණි. පාඨකයින් උනන්දුවක් දැක්වුයේ සිල්වත් භික්ෂූන් පිළිබඳ තොරතුරු කෙරෙහි නොව, විනය නීති කඩ කරන භික්ෂූන් පිළිබඳ ඕපාදූප වලට බව, පුවත්පත් දැන සිටියේ ය.

මේ තොරතුරු පළ වූ දිනවල, මා පිළිබඳ පාපොච්චාරණයක් කිරීම යෝග්‍ය බව කල්පනා කලෙමි. එක් සිකුරාදාවක සන්ධ්‍යා කාලයේ දී, පර්ත් නුවර අපෙගේ විහාරස්ථානයේ දී, තුන්සීයක් පමණ පිරිසක් ඉදිරිපිට, මම ධෛර්ය උපදවා ගෙන සත්‍යය පැවසීමි.

“මා පාපොච්චාරණයක් කළ යුතුව තිබෙනවා. මේක පහසු වැඩක් නොවෙයි... අවුරුදු කීපයකට පෙර...” දෙගිඩියාවෙන් මම මදක් නිහඬ වීමි.

“අවුරුදු කීපයකට පෙර, මගේ ජීවිතයේ ඉතාමත් ප්‍රීතිමත් යුගයක් මම ගත කළා. වෙනත් මිනිසකුගේ බිරිඳක් තුරුල්ලේ.”

යළිත් මද වෙලාවක් නිහඬව සිටියෙමි.

“අපි ඔවුනොවුන් වැලඳ ගත්තා, සිප ගත්තා, සුරතල් වුණා”

හිස බිමට නමා ගෙන, පලස දෙස බලා සිටියෙමි.

මා පැවසූ දේ අසා කම්පාවට පත් පිරිස නැගූ සිහින් හඬ මට ඇසිණි.

“වෙන්න බැහැ, අචාන් බ්‍රහ්මවංසෝ හිමියන් ඒ වගේ වැරදි වැඩක් කරාවි ද?” සමහර අය මිමිනූහ.

ඉතා පැරණි දායකයින්, යළිත් කිසි විටක ආපසු නො එන්නට මෙන්, දොර දෙසට පිය නගනු දුටුවෙමි.

ගිහි බෞද්ධයින් වුව ද, සෙසු පිරිමින්ගේ භාර්යාවන් සමග සබඳකම් පැවැත්වූයේ නැත. එය පරදාර සේවනය නම් වූ පාප කර්මයකි. මම හිස ඔසවා, පිරිස දෙස ආත්ම විශ්වාසයෙන් බලා මද සිනා පහළ කලෙමි.

“ඒ කාන්තාව, වෙන කවුරුත් නෙවෙයි. මගේ මව...මා ළදරුවෙකු සිටි කාළයේ...”

පිරිස කඳුළු පිසිමින් හඬ නගා සිනාසෙන්නට වූහ.

“ඒක ඇත්ත කතාවක්, අය තවමත් පිරිමියෙකුගේ බිරිඳක්. ඒ පිරිමියා තමයි, මගේ පියා. අපි ඔවුනොවුන් වැළඳ ගත්ත, සුරතල් වුණා, සිප ගත්තා”

මගේ ශ්‍රාවක පිරිසගේ සිනාව නතර වූ විට, ඔවුන් කවුරුත් වාගේ, මා වරදවා නිගමනය කළ බව පෙන්වා දුනිමි.

“ජීවිතයේ කොපමණ වාර ගණනක්, සැබෑ තොරතුරු නො විමසා හදිසි තීරණවලට අප එළඹී ඇද්ද?” යනුවෙන් මම ඔවුන්ගෙන් ප්‍රශ්න කළෙමි.

“මෙය නිවැරදි ය, අන් සියල්ල ම වැරදි ය යනුවෙන් තීරණ ගැනීම ප්‍රඥාව නොවේ.”

Friday, June 16, 2023

අනුවණ සවන් දීම

 

එක් සන්ධ්‍යාවක, අපගේ බෞද්ධ මධ්‍යස්ථානයේ දුරකථනය නාද විය.

“අචාන් බ්‍රහ්ම හිමියන් ඉන්නවා ද?” කෝපාවිෂ්ට පුද්ගලයෙක් ඇසී ය.

“සමාවෙන්න” ඒ අවස්ථාවේ රිසිවරය අතට ගත්, ඉතා භක්තිමත් ආසියානු කාන්තාව පිළිතුරු දුන්නා ය.

“එතුමා, කාමරය තුළ විවේක ගන්නවා. කරුණාකර, මිනිත්තු තිහකින් නැවත කතා කරන්න”

“මිනිත්තු තිහකින් එයා මැරෙනවා” ගර්ජනා කළ පුද්ගලයා රිසිවරය තැබී ය.

මිනිත්තු විස්සකට පසු, මා කාමරයෙන් පිටතට පැමිණි විට ඉතා වයස්ගත කාන්තාව සුදුමැලි වී, වෙව්ලමින් සිටිනු දුටුවෙමි. සිදු වූයේ කුමක්දැයි දැන ගැනීම සඳහා අනෙක් අය එහි රැස්වී සිටියත්, කතා කර ගත නොහැකි තරමට ඇය කම්පාවට පත්ව සිටියා ය. මා ඇය සැනසූ විට, වචන කීපයක් ඇගේ මුවින් පිට විය.

“කවුද එනවා, ඔබ වහන්සේ මරන්න”

ඕස්ට්‍රේලියානු තරුණයකුට ඒඩ්ස් රෝගය වැළඳී ඇති බව අනාවරණය වූ දා පටන්, ඔහුට අනුශාසනා කිරීමෙහි නිරතව සිටියෙමි. ඒ තත්ත්වයට මුහුණ දීමට හැකි වන පරිදි, ඔහුට භාවනා ක්‍රම ද ඉගැන්වීමි. ඒ වන විට, ඔහු මරණයට ළං වෙමින් සිටියේ ය. ඊට පෙර දින මා ඔහු හමු වීමට ගිය විට, ඔහු සිටියේ, කුමන මොහොතක හෝ සිය සහකාරියගෙන් දුරකථන ඇමතුමක් ලැබෙතැයි අපේක්ෂාවෙනි. එබැවින්, මට ලැබුණු දුරකථන ඇමතුමෙන් අදහස් වූයේ කුමක්දැයි, මට සැනෙකින් අවබෝධ විය. මිනිත්තු තිහකින් මියයන බව නිශ්චිත වූයේ, මා නොව ඒඩ්ස් රෝගයෙන් පෙළුණු ඒ තරුණයා ය.

ඒ තරුණයා මියයාමට පෙර, ඉක්මනින් ඔහුගේ නිවසට ගොස්, හමු වී සැනසිලි වදන් පැවසීමි. වයස්ගත කාන්තාව කම්පනයෙන් මිය යාමට පෙර, ඇයට ද, වැරදි අවබෝධය පිළිබඳව කරුණු පහදා දීමට මට හැකි විය.

බොහෝ විට, යම් කෙනෙකු පවසන දේත්, අපට ඇසෙන දේත් එක ම නොවේ.



Tuesday, June 13, 2023

ගැටලු විසඳීම


 සජීවී ගුවන් විදුලි වැඩ සටහන්වලට සහභාගී වන ලෙස, බෞද්ධ භික්ෂුවක වශයෙන්, මට නිතරම ආරාධනා ලැබේ. එබඳු එක් ආරාධනයක් පිළිගැනීම පිළිබඳව, මා ඊට වඩා සුපරීක්ෂාකාරී විය යුතුව තිබිණි. එදා පැවති වැඩ සටහන් වැඩිහිටි තේමාවන්පිළිබඳව බව මට පවසන ලද්දේ, මා ගුවන් විදුලි මැදිරියට පිවිසි විට පමණකි. සුප්‍රකට ලිංගික විද්‍යාඥයකු සමග ශ්‍රාවකයින්ගේ සජීවී ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමට මට පැවරිණි.

බ්‍රහ්මචාරී භික්ෂුවක වශයෙන්, ‘පෞද්ගලික සම්බඳතා’ පිළිබඳව මගේ දැනුම ඉතා අල්ප වුවත්, ශ්‍රාවකයින් ඉදිරිපත් කළ ගටපු, පහසුවෙන් හඳුනාගත හැකි විය. ඉක්මනින් ම, සියලු ම දුරකථන ඇමතුම් මා වෙත යොමු කරන ලද අතර, ඒ වැඩ සටහන සඳහා වූ චෙක් පත ලැබුණේ ලිංගික විද්‍යාඥයාටය.  මුදල් භාර ගැනීමට අවසර නැති භික්ෂුවක වශයෙන් මට ලැබුණේ, චොකලට් පෙත්තක් පමණි.

තවත් අවස්ථාවක, පිරිමියකු විසින් පහත සඳහන් ප්‍රශ්නය මා වෙත යොමු කරන ලදී.

“මා විවාහක කෙනෙක්, තවත් කාන්තාවක් සමග මගේ සම්බන්ධයක් තියෙනවා. මගේ බිරිඳ ඒ බව දන්නේ නෑ. එහි වරදක් නැහැ නේද?”

“එහි වරදක් නැත්නම්, ඔබ ඒ ගැන මගෙන් අහන්නෙ නැහැ නේද?”

බොහෝ අය එබඳු ප්‍රශ්න අසන්නේ, තමන් වැරදි බව දැන දැන ය. එහෙත් කිසියම් ‘විශේෂඥයකු ඔවුන් නිවැරදි බව කියති ඔවුහූ අපේක්ෂා කරති. හරි දේ කුමක් ද? වැරදි දේ කුමක් ද? යන වග බොහෝ අයගේ ඇතුල් සිත දනී.

Friday, June 9, 2023

බුද්ධිමත් ආහාර අනුභවය

 

නිවසින් බැහැර ගොස්, අවන්හලකින් රාත්‍රී ආහාරය අනුභව කිරීමට, මගේ ඇතැම් යහළුවෝ ප්‍රිය කරති. විශේෂයෙන් ප්‍රනීත ආහාර සඳහා අධික මුදලක් වැය කිරීමට ඔවුන් සූදානම් ය. කෙසේ වෙතත්, ආහාරවල රසවත් බව ගැන නො තකා, සිය සගයා සමග යෙදෙන සාකච්ඡාවක් කෙරෙහි පූර්ණ අවධානය යොමු කිරීමෙන් ඔවුහූ ඒ අවස්ථාව අපතේ යවති. දක්ෂ වාදක මණ්ඩලයක් මගින් පවත්වනු ලබන සංගීත ප්‍රසංගයක් අතර තුර, කතාබස් කරන්නෙ කවුරුන් ද? එවිට, ඔබේ ආස්වාදයට බාධා වීම පමණක් නොව, ඔබ ශාලාවෙන් නෙරපා හැරීමට ද ඉඩ තිබේ. උසස් චිත්‍රපටයක් නරඹමින් සිටින විට, යාබද ආසනවල සිටින ප්‍රේක්ෂකයින්ගේ කතාබහෙන් බාධා සිදු වීම අපි පිළිකුල් කරමු. එසේ නම්, අවන්හලකට ගොස් ආහාර අනුභව කරද්දී, පිළිසඳර කතාවෙහි යෙදෙන්නේ මන්ද? එය, නීරස ආහාර ඇති සාමාන්‍ය අවන්හලක් නම්, අවධානය අන් අතකට යොමු කිරීම සඳහා කතාබස් කිරීමේ වරදක් නැත. එහෙත් ආහාර සැබවින් ම ප්‍රනීත නම්, මිල අධික නම් ඒ මුදලට සරිලන සේ ආහාර අනුභව කිරීමට ඉඩ දී නිහඬව සිටින ලෙස ඔබේ සගයාට පැවසීම, බුද්ධිමත් ආහාර අනුභාවයක් සේ සැලකිය හැකි ය.

අප නිහඬව ආහාර අනුභව කරන විට පවා එහි උපරිම ආස්වාදය විඳීමට අපට නොහැකි වේ. ඒ වෙනුවට එක් ආහාර කැබැල්ලක් සපන අතර, අපේ අවධානය යොමු වන්නේ, ගෑරුප්පුවේ අමුණා ඇති ඊළඟ කැබැල්ල කෙරෙහි ය.

ජීවිතය පිළිබඳ පූර්ණ අවබෝධයක් ලැබීමට, අප නිහඬව, වරකට එක් මොහොතක් බැගින් රස විඳිය යුතු ය. එවිට ජීවිතය නමැති තරුපහේ හෝටලයට අප ගෙවන මුදලෙහි සම්පූර්ණ වටිනාකම අපට ලැබෙනු ඇත.