භාවනාව හැඳින්වීම

භාවනාව හරියාකාරව මුලසිට ඉගෙනගනිමු.

ශ්‍රද්ධාව

තුනුරුවණ කෙරේ ශ්‍රද්ධාවන්තයින් වී උතුම් නිර්වාණ මාර්ගය විවර කරගමු.

Saturday, May 15, 2021

අංගුලිමාල මහරහතන් වහන්සේ

 

අංගුලිමාල මහරහතන් වහන්සේ යනු වලාකුළින් මිදුන සඳක් සේ මේ බුද්ධ සාසනය තුළ බබළමින් වරදින් මිදී, වරද පිටු දැක සසර කතරින් එතෙර වූ මහා අරිහත් හිමි නමකි. උන්වහන්සේ සසර පුරා පින් ඇති උතුමෙකි. ඒ පාරමී පුරණ සසර පුරා උන්වහන්සේ සත්‍යයට, ධර්මයට හිස නැමූහ. ගුරුවරයාට ගෞරවය කළහ. ඒ නිසාම සසරේ වරදින් මිදී යහපතට පැමිණියහ. (නමුත් අංගුලිමාල වීමට පමණක් නරක ගුරු උපදේශ හේතු විය). එසේ ආ සසරේ එම බොහෝ අවස්ථාවල උන්වහන්සේව වරදින් මුදවා ධර්මය, යහපත පෙන්වා දමනය කළේ අප සියලු ලෝ සත්වයාගේම මහා වීරයාණන් වහන්සේ වන ගෞතම බෝසතාණන් වහන්සේය. නමුත් ඒ කිසිඳු ආත්මභාවයකදී අප බෝ සතුන්ට හැර උන්වහන්සේව වෙන රටවැසියෙකුට, රජෙකුට තියා දෙවියෙකුවත් දමනය කළ නොහැකි විය. ඒ උන්වහන්සේගේ තේජස් ආනුභාවයයි. සසරේ මහා පුණ්‍ය ආනුභාවයයි. ඒ බව පඤ්චායුධ ජාතකය, මහා සුතසෝම ජාතකය, ජයද්දීස ජාතකය යන ජාතක කතා වලින් පෙනී යයි.

උන්වහන්සේ කොසොල් රජුගේ අග්‍ර පුරෝහිත ගග්ග බමුණාටත්, මන්තානි බැමිණියටත් දාව ඉපදුණු ඒ දවසේ රජුගේ ආයුධ ගබඩාවේ ඇතුළු මුලු නුවර පවා සියලු අවිආයුධ දිලිසිණි. නමුත් අහිංසක, කීකරු කුමරෙකු වූයෙන් අහිංසක යයි නම් තැබීය. නිසි වයසේදී තක්ෂිලාව වෙත ශිල්ප ලැබීමට යැවූ කුමරුවා ගුරුවරයාගේද සිත දිනාගත්, කියන දෙය එකෙනෙහිම වටහාගන්නා ශක්තියෙන් යුත් නිසා අන් සිසුන්ගේ ඊරිසියාවට ලක්විය. මේ නිසා සිසුන් ගුරුවරයා හා බිඳවීමට විටින් විට බොරු කියා කෙටවූහ. මේ නිසා කරුණු නොදැන කිපුණු ගුරුවරයා අහිංසකට දඬුවමක් වශයෙන් ගුරුපඬුරු ලෙස ඇඟිලි දහසක් වුවමනා යැයි පැවසීය. ඒ අහිංසක මහා ශක්තිවන්ත පුරුෂයෙක් නිසා උපක්‍රමයක් යොදා නැසීමේ අදහස ඇතිවය. පළමුව විරුද්ධ වූවත් ගුරු ගෞරවය නිසා එයට අවනත වූහ. මුලින්ම වනයට වැදී, එහි පැමිණෙන අය දඩයමට පෙළඹිණි. එකතු කරන ඇඟිලි සතුන් ගොදුරු කරගන්නා නිසාත්, කල් යද්දී නරක්වන නිසාත් කපාගත් ඇඟිලි මාලයක් කර කරේ දමා ගත්හ. මේ නිසා මරු බියෙන් කැලයට එන පිරිස නතර වූ නිසා ගම් වැදී එහිදී හසුවන ඕනෑම පුද්ගලයකුගේ ඇඟිලි කපා ගැනීමට පුරුදු විය. සමහරු අංගුලිමාල දකිද්දී භයටම මැරී වැටුණි. මේ අපරාධය නැවත්වීමට අවසානයේ මහා සේනාවක් රැගෙන අංගුලිමාල ඇල්ලීමට කොසොල් රජු තීරණය කළහ. මෙය ඇසූ මන්තානි මවද අංගුලිමාලව බේරා ගැනීමට කැලයට පිවිසුණි. නමුත් මහා කරුණා ඇති බුදුහිමි අංගුලිමාල මාතෘ ඝාතනයෙන් ගලවා ගැනීමත් සසරින් ගලව ගැනීමත් සියලුදෙනා එපා කියද්දී ද උන්වහන්සේ කැලයට වැඩම කර අංගුලිමාලව දමනය කළහ. එසේ අංගුලිමාලයෝ බුදු සසුනට ඇතුලත් විය. අංගුලිමාල ස්වාමීන්වහන්සේව කොසොල් රජතුමා පළමුවරට දකිද්දී වෙව්ලා ගියේය. බුදුරජාණන් වහන්සේ එතැන නොසිටියානම් රජු සිහිනැතිවීමට පවා ඉඩ තිබිණි. එතරම් උන්වහන්සේ තේජස් සහිත, කිසිවෙකුට මැඩලීමට නොහැකි කෙනෙක් විය. නමුත් තුන් ලොවටම පුරිසදම්මසාරී වන බුදුරජාණන් වහන්සේගේ එක වචනයකට අංගුලිමාලයෝ නතර වුනි, පැවිදි වුනි. එසේනම් තථාගතයන් වහන්සේ සතුව කෙතරම් බල පරාක්‍රමයක් තිබෙන්නට ඇත්ද, කෙතරම් තේජසක්, ශක්තියක්, බලයක් තිබෙන්නට ඇත්ද. එම නිසායි බුදුරජාණන් වහන්සේ අනන්ත බල ඇත්තා වන්නේ.

මහමෙව්නා වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදි.

දිනක් ගැබිනි මවක් ප්‍රසූත වේදනාවෙන් හඬ නගනවා ඇසී ඇයට පිහිට වීමට සිතීය. එදා ඇඟිල්ලක් උවමනාවෙන් මිනී මැරූ දාමරිකයා දැන් බුදුසසුනේ පිහිට ලැබ කෙනෙකුගේ වේදනාවට පිහිටක් වීමට සිතක් ඇතිකරගෙන ඇත. ඒ සිතින් බුදුරජාණන් වහන්සේ වෙත ගො මේ බව කියා සිටියහ. එවිට “අංගුලිමාල, ඔබ පරපණ නොනැසීමේ සත්‍ය මෙනෙහි කර ඒ මවට සෙත් පතන්න” යැයි බුදුහිමියන් වදාළ සේක. අංගුලිමාලයන් වහන්සේ බුදුහිමියන්ගෙන් අසා සිටියේ “මා බොහෝ ඝාතන මේ දෑතින් කර තිබෙනවා, එසේ තිබියදී කොහොමද ස්වාමීනි මෙවන් සත්‍යක්‍රියාවක් කරන්නේ ” යනුවෙනි. “අංගුලිමාල ඔබ ආර්ය ජාතියේ උපන්දා පටන් කිසිඳු හිංසාවක් කර නැහැ, ඒ බව මෙනෙහි කර සත්‍යක්‍රියාව කරන්න” යයි නැවත බුදුරජාණන් වහන්සේ වදාළ සේක. ඒ ආකාරයටම අංගුලිමාල තෙරුන් එම මවට වේදනාව සමනය කර ගැනීමටත්, දරුවා සුවසේ බිහිකිරීමටත් සත්‍යක්‍රියා කොට සෙත් සැලසුහ. පිඬුසිඟා වඩින විට ගල්, කෝටු ඇඟේ වැදී ලේ පෙරේද්දී ඒ වෙනුවෙන් කිසිඳු පිහිටක් බුදු හිමියන්ගෙන් නොඉල්ලූ මුත් මවකගේ වේදනාවට පමණක් උන්වහන්සේ, බුදුහිමියන්ගෙන් පිහිට පැතූහ. තමාගේ දුක විඳගනිමින් අනුන්ගේ දුකට පිහිටවූහ. අදටත් ගැබිනි මව්වරුන් තම වේදනාව දුරුකර ගැනීමට, ආශීර්වාද ලබාගැනීමට එම ස්ථානයට යයි. ඒ ආශිර්වාදය, පිහිට කල්පයක් පුරා බුද්ධ අධිෂ්ඨානයෙන් නොනැසී පවතී.

මෙසේ තේජස්ව ඉපදීමට හේතු කාරණා වුයේ එක ආත්මභාවයක උන්වහන්සේ ශීත සෘතුවකදී, එම පීඩාවන්ගෙන් මිදීමට පසේ බුදුරජාණන් වහන්සේ නමකට ගිනි තපින, ගිනි කබලක් සැදැහැ සිතින් පූජා කිරීමත්, තවත් භවයක ගිලන් භික්ෂුන්ට ඉක්මන් සුවය පතා සැර බෙහෙත් පූජාවාකුත් කළ නිසාය. මෙසේ මහත් ආනිශංස ඇති පූජාවන් කොට පාරමී පුරණ සමයේ පටන් කිසිවෙකුට මෙල්ල කළ නොහැකි තේජසකින් උන්වහන්සේ උපත ලැබීය. එක් භවයක වෘක්ෂාධිපති යක්ෂයෙක් ලෙස ඉපදිණි. ඒ රටේ රජතුමා දිනක් මුව දඩයමේ ගොස් ගමන් මහන්සියට මේ යක්ෂයාගේ භවන වන ගස යට හිඳගත්තේය. දැන් මේ මඛාදේව රජතුමාව මරාගෙන කෑමට රාක්ෂයා පැමිණි මොහොතේ මරණ බයෙන් අභයදානය ඉල්ලා රජතුමා අපූරු යෝජනාවක් ගෙනාවේය. ඒ, රටේ වැසියා දිනයක් පාසා බිල්ලට ලබා දෙන්නම් කියාය. මෙයට කැමතිවූ යක්ෂයාට පළමුවෙන්ම සිරගෙදර සිටින පිරිස යැවූහ. සියලුම පිරිස අවසන්වූ පසු බලෙන් රටවැසියා බිල්ලට යවන්න නොහැකි නිසා, මෙයට ඉදිරිපත් වන්නෙකුට කහවණු පොදියක් දෙන බව අඬබෙරයක් යවා රටවැසියාට දැන්විය. කිසිවෙකු ඉදිරිපත් නොවන තැන සුතනු නම් මානවකයා ලෙස ඉපදී සිටි අප මහබෝසතුන් තම දුප්පත් මවට උපකාරයක්  පිණිස ඉදිරිපත්විය. මේ පණ්ඩිත සුතනු තරුණයා දෙවියෙකුටවත්, රජෙකුටවත් හිස නොනැමූ මේ යක්ෂයාව උපායෙන් දමනය කර ධර්මය පෙන්වා වරදින් මුදවා කුසලයෙහි පිහිටුවීය. එදා මඛාදේව රජ, ආනන්ද මහරහතන් වහන්සේත්, රාක්ෂයා අංගුලිමාල බවත් සුතනු මානවකයා මා බවත්, බුදුරජාණන් වහන්සේ පෙර හා පසු ජාති ගළපමින් වදාළ සේක. (සුතනු ජාතකය)

කේලාම් ඇසූ ආචාර්යවරයා නිසා අහිංසක තරුණයා, අංගුලිමාල බවට පත්විය. නමුත් කැලයේ තනියම විසූ විටදීවත්, ගමේ ගෙදරකට කඩාවැදුන විටදීවත් කාන්තාවකට කාම සිතින් අත නොතැබූහ. ඇඟිල්ලක උවමනාව පමණක් තිබුණේ. ශක්තිමත් පුරුෂයෙක් බැවින් කැලයේදී සතෙක් පවා මේ තරුණයාට අනතුරක් කිරීම තියා අසළ ගැවසීමටවත් නොආහ. පිනටම උන්වහන්සේ බුදු කරුණාවේ පිහිට ලබා පැවිදිව, පිරිසෙන් වෙන්වී, නිහඬවම වීර්ය වඩමින් නොබෝ කලකින් උතුම් අරිහත්වයට පත්විය. උන්වහන්සේ පරිනිර්වාණය දක්වාම මේ නිහඬ ජීවිතය ගතකළහ. බුදු සසුනේ වෘක්ෂ දුතාංග ආරක්ෂා කරමින් ගතකළහ. දිනක් කොසොල් රජු බුදුපාමොක් මහ සඟනට අසදෘශ දානයක් පිළියෙළ කළහ. එහිදී සියලු හිමිවරුන්ට සේසත් දරන්න තබා තිබ්බේ ඇත්තුන්ය. අංගුලිමාල මහරහතන් වහන්සේට සේසත් දැරීමට යෙදුනේ ඉතා චණ්ඩ, පරුෂ ඇතෙක්ය. නමුත් මහා අංගුලිමාල මහරහතන් වහන්සේගේ තේජානු භාවය නිසාම මේ ඇතා, හීලෑ මුව පැටවෙකු මෙන් නොසෙල්වී සේසත් දරා කිසිඳු චණ්ඩ භාවයක් නොපෙන්වමින් සිටියහ. තවත් දිනෙක වෙනදා මෙන් අසංවර ගති නැති කැලෑ සත්වයා, හඬක් නොනැගෙන කැලය දැක පුදුමයෙන් බලමින් සිටි දිව්‍ය රාජයෙකුට අංඟුලිමාල තෙරුන්ගේ ආනුභාවය බව දැන උන්වහන්සේට වැඳ නමස්කාර කර සිටියහ. එවිට දෙව් හිමියාගේ නළලේ උන්වහන්සේගේ පාදය ගෑවිණි. ඒ නිසාම ඒ දිව්‍ය රාජයාගේ නළලෙන් මහා පර්වතයක් වුවද බිම දැමිය හැකි බලයක් ලැබිණි. මෙතරම් තේජස් ඇති මහා අංඟුලිමාලයන් වහන්සේ තමාද මේ ධර්මයෙන් සැනසුණා සේ සියලු සත්වයාගේම යහපත උදෙසා ඒ සියලු සත්වයෝම මේ තෙරුවනේ සරණ යනවා නම් මැනවයි යනුවෙන් පැවසූ උදාන, තෙර ගාථාවල සඳහන් වේ. ඒවායින් සමහරක් මෙසේය.

“යමෙක් පළමුව පමා වී පසුව පමා නොවේ නම් ඔහු වලාකුළින් මිදුණ පුරසඳක් සේ මුළු ලෝකයේම බබලන්නේය”              

“මාගේ සතුරෝ බුදු බණ අසත්වා ! මාගේ සතුරෝ බුදු සසුනෙහි දෙත්වා !”                                                   

“තවදුරටත් ප්‍රමාදයෙහි නොයෙදෙව්. කාමරති ආශ්වාදය නොලබව්. අප්‍රමාදීව ධර්ම මග වඩා උතුම් වූ නිවන් සුවයම             ලබව් !”

Friday, May 7, 2021

බුදුගුණ භාවනාව - 2

 


අරහං බුදු ගුණය -

          භාග්‍යවත් වූ අප අමාමෑණී බුදුරජාණන් වහන්ස,

ඔබ වහන්සේ - සියලු කෙළෙසුන් නැසූ හෙයින්ද, සියලු පාපයන්ගෙන් මිදුන හෙයින්ද, රහසින්වත් පව් නොකළ හෙයින්ද, තුන්ලෝකවාසී සියලු සත්වයන්ගේම සියලු පුද පුජා ලැබීමට සුදුසු වන හෙයින් ඔබ වහන්සේ අරහං වන සේක.

 

සම්මා සම්බුද්ධ බුදු ගුණය -

භාග්‍යවත් වූ අප අමාමෑණී බුදුරජාණන් වහන්ස,

 

ඔබ වහන්සේ - ගුරූපදේශ රහිතව සියලු ධර්මයන් තමා විසින්ම මනාකොට, පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කළ හෙයින් ඔබ වහන්සේ සම්මා සම්බුද්ධ නම් වන සේක.

 

විජ්ජාචරණ සම්පන්න බුදු ගුණය -

භාග්‍යවත් වූ අප අමාමෑණී බුදුරජාණන් වහන්ස,

 

ඔබ වහන්සේ - අනන්ත සීලයෙන්ද, අනන්ත සමාධියෙන්ද, අනන්ත ප්‍රඥාවෙන්ද සමන්විත වන හෙයින් ඔබ වහන්සේ විජ්ජාචරණ සම්පන්න වන සේක.

 

සුගත බුදු ගුණය -

භාග්‍යවත් වූ අප අමාමෑණී බුදුරජාණන් වහන්ස,

 

ඔබ වහන්සේ - මනා තෙපුල් ඇති හෙයින්ද, සුන්දර වූ ගමන් ඇති හෙයින්ද, ශාන්ත වූ ප්‍රනීත වූ ඒ අමාමහ නිවනට වැඩම කළ හෙයින්ද ඔබ වහන්සේ සුගත නම් වන සේක.

 

ලෝක විදු බුදු ගුණය -

භාග්‍යවත් වූ අප අමාමෑණී බුදුරජාණන් වහන්ස,

 

ඔබ වහන්සේ - සත්ව සංස්කාර, අවකාශ යන ලෝකයන් අවබෝධ කළ හෙයින්ද, ඒ සියලු ලෝකයන්ගෙන් මිඳුණ හෙයින්ද ඔබ වහන්සේ ලෝක විදූ නම් වන සේක.

 

අනුත්තරෝ පුරිස ධම්ම සාරථී බුදු ගුණය -

භාග්‍යවත් වූ අප අමාමෑණී බුදුරජාණන් වහන්ස,

 

ඔබ වහන්සේ - තමාගේ තුළ ඇති අසමසම අනන්ත ගුණයන්ගෙන් නොදැමුණු ලෝක සත්වයෝ මහා කරුණාවෙන්ම දමනය කළ නිසා ඔබ වහන්සේ අනුත්තර පුරිස දම්ම සාරථි නම් වන සේක.

 

සත්ථා දේව මනුස්සානං බුදු ගුණය -

භාග්‍යවත් වූ අප අමාමෑණී බුදුරජාණන් වහන්ස,

 

ඔබ වහන්සේ - දෙවි, බඹ මිනිස් සියල්ලෝටම එකම ශාස්තෘන් වහන්සේ වන නිසා ඔබ වහන්සේ සත්ථා දේව මනුස්සානං වන සේක.

 

බුද්ධෝ බුදු ගුණය -

භාග්‍යවත් වූ අප අමාමෑණී බුදුරජාණන් වහන්ස,

 

ඔබ වහන්සේ - උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කොට අන් සියලු සත්වයාට මහා කරුනාවෙන්ම දේශණා කළ නිසා ඔබ වහන්සේ බුද්ධ නම් වන සේක.

 

භගවා බුදු ගුණය -

භාග්‍යවත් වූ අප අමාමෑණී බුදුරජාණන් වහන්ස,

 

ඔබ වහන්සේ - අනන්ත වූ ගුණ නුවණ දරමින් අන් සැමට වැඩිය ශ්‍රේෂ්ඨ වන හෙයින් ද, ජෙෂ්ඨ වන හෙයින් ද උතුම් වන හෙයින්ද, අගර වන හෙයින්ද, භාග්‍යවත් වන හෙයින්ද ඔබ වහන්සේ භගවා නම් වන සේක.

මහා කාශ්‍යප මහරහතන් වහන්සේ

ගෞතම බුද්ධ ශාසනයේ සීලයෙන්, ගුණයෙන් සඳක් සේ බැබළෙන දුප්පතාගේ හිතවතා ලෙස හඳුන්වනු ලැබූ යම් විරාගී මහා රහතන් වහන්සේ කෙනෙක් වේද මේ ගෞතම බුදු සසුනේ ඒ වෙන කවුරුත් නොව තෘතීය ශ්‍රාවක රත්නය වන කස්සප රහතන් වහන්සේය. උන්වහන්සේට බුදුරුවට සමානවූ රූපයක් ලැබී තිබුණේ සසරේ කළ අපමණ පිනටය. බුදුන් වහන්සේගේ කඨින සිවුර තමන්වහන්සේ ගෙන, තමාගේ සිවුර බුදු හිමියන්ට පූජා කරමින්, තුන්ලෝකාග්‍ර බුදුහිමි කෙනෙකුගේ තථාගත සිවුරක් දරාගැනීමට මේ සාසනයේ හැකිවූ එකම රහතන් වහන්සේ කස්සප හිමියන් පමණි. මේ මොහොතේදී මහ පොළොවද කම්පා විය. ඒසා ගුණ ඇති උන්වහන්සේ නිතරම නිරෝධ සමවතට සමවැදී එයින් නැගී සිට දිව්‍ය, රාජ භෝජන අතැර අසරණ, දුප්පතුන් සොයා ගොස් ඒ අයගේ පිණ්ඩපාතය බාරගත්හ. ඒ වෙන කරුණක් නිසා නොව නිරෝධ සුවය විඳි රහතන් වහන්සේ නමකට යමෙක් පහන් සිතින් දන් හැන්දක් හෝ පූජා කරත්ද එය මහා කුසලස්කන්දයක් වන නිසාය. දෙව්ලොවට, පරලොවට ඉනිමඟක් වන නිසාය. නිවනටම හේතුවන නිසාය. දිනක් දෙව් බඹුන්ගේ ප්‍රිය දසුන වූ මහා කාශ්‍යප මහරහතුන් නිරෝධ සමාපත්තියෙන් නැගිට අද කාට පිහිටවන්නේ දැයි සිතා සිටු ගෙවල් දන් පූජා කිරීමට බලා සිටිද්දී, අපිරිසිඳු මැහැල්ලක් ලුණුත් නැති කැඳකින් තම කුසගින්න නිවාගැනීමට හදනා මොහොතේ, ඇය වෙත වැඩ සිටියහ. වෙනකුගේ දනක් නොගෙන මා කරා මේ උත්තමයෝ පැමිණියේ මටම අනුකම්පාවෙන් යැයි සිතා මැහැල්ලද තම අපිරිසිඳු කැඳ ස්වල්පය පිළිගැන්විය. ඇය ඒ කරගත් පිනෙන්ම මහා තේජානුභාවෙන් යුත් දිව්‍ය සැපසම්පත් ඇති දිව්‍යාංගනාවක් ලෙස උපත ලැබීය. තවත් දිනක් නිරෝධ සමවතින් නැගී සිටි කස්සපයන් වහන්සේට දෙවි දේවතාවුන් රැස් කමින් දන් දීමට සැරසෙද්දී එය වලකාලූ නිසා  දෙවිවරු දුකින් ගොස් මේ බව සක්‍ර දෙවියන්ට සැලකර සිටියහ. එවිට සක් දෙවිඳුද හොර රහසේ තම සුජා දෙවියත් සමග ඒ මාවතේ කටුමැටි ගෙයක් මවා මහලු යුවලක් සේ වෙස්ගෙන උන්වහන්සේට දන් බෙදන්නට සැරසුණි. පාත්‍රයට දන් බෙදද්දීම මේ දිව්‍ය භෝජන බව දැන, ප්‍රතික්ෂේප කර “නුඹලා කවුරුන්දැයි” විමසා සිටියහ. එවිට සක්දෙවිඳු වැඳ නමස්කාර කරමින් මෙසේ පැවසීය. “ස්වාමීණි, දෙවියන් වූ අපටත් පිරිහීයන පින නිසා දිව්‍ය ආනුභාවය පිරිහෙයි, ඒ වාගේම මනුලොව සිටින්නන් බුදුන් හා සංඟයාට දන් දී මහත් තෙජානුභාව සහිතව දිව්‍යතලයේ උපදිද්දී ඔවුන් අපට වඩා ආනුභාවයි, ඒ නිසායි දන් පුජාවට වෙස්ගෙන ආවේ, ඔබ වහන්සේට දෙන දානය අග්‍රයි ” ලෙස පවසා සිටියේය. එවිට උන්වහන්සේ මින් මතු මෙවන් දේ නොකරන ලෙසට අවවාද කර දෙවියගේ දන පිළිගත්හ.

මහමෙව්නා වෙබ් පිටුවෙන් උපුටා ගන්නා ලදි


උන්වහන්සේගේ ගුණ, බුදුරජාණන් වහන්සේ පවා විවිධ අවස්ථාවාදී වර්ණනා කළහ. දිනක් බුදුරජාණන් වහන්සේ “එක්කෝ මා භික්ෂුන්ට අවවාද කල යුතුයි. නැතිනම් කස්සප හෝ කස්සප වැනි කෙනෙක් ”  යනුවෙන් භික්ෂූන්ට අවවාද අනුශාසනා කර යුත්තේ කවුරුන් වගේ අය දැයි පෙන්වාදුන් සේක. තවත් තැනෙක බුදුරජාණන් වහන්සේ තම දිවියත් කස්සප හිමියන්ගේ දිවියත් සසඳමින් කරුණු දැක්වූ සේක. එවැනි සම කිරීමක් බුදුහිමියන් වෙන කර නැති තරම්ය. ඒ සා ගුණ ඇති උන්වහන්සේගේ වන්දනාව මේ ලෝක ධාතුව තුළ බුදු කෙනෙක් හැර වෙන කෙනෙක් හට දරන්නට නොහැකි බව ගෞතමයන් වහන්සේම තවත් තැනෙකදී වදාළ සේක. ඒසා ගුණ සයුරක් වූ උන්වහන්සේගේ අපමණ තේජස සිතා ගැනීමට නොහැකී නම් උන්වහන්සේත්, අපත් සරණ ගිය අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ සතුව කොපමණ ගුණ සමුදායක්, තේජසක්, බලයක් ඇද්දැයි සිතා ගැනීමට කෙසේවත් නොහැකිය.

උදෑසන උන්වහන්සේගේ කුටිය අවට දින කිහිපයක් ඇමද, පිරිසිඳුකර, පැන් කළ පුරවා ඇති නමුත් කළ කවුරුත් නැති තැන මෙය දෙවි කෙනෙකුගේ ක්‍රියාවක් බව කාශ්‍යප හිමියෝ දැන ගත්හ. පසුදා උදැසන දිව්‍යාංගනාවක් පැමිණ පිරිසිඳු කිරීම් පටන්ගත් මොහොතේ කස්සප හිමියෝ පැමිණ මේ ඇයිදැයි විමසා සිටියහ. පෙර භවයේ ස්ත්‍රියක්ව සිටියදී කාශ්‍යප හිමියන්ට සැදැහැ සිතින් පොරි පූජා කරගත් මහා පිනෙන් මරණින් මතු මහත් සශ්‍රීකව ලාජා දේවතාවිය ලෙස උපත ලැබීය. මෙයට ප්‍රතිඋපකාර වශයෙන් හා තවතවත් පින් රැස් කරගැනීමේ සිතින් තමා පැමිණි බව ඇය කියා සිටියදී, උන්වහන්සේ නැවත මේ වාගේ වැඩ නොකරන්නැයි කියමින් ඇයව පිටත්කර හැරියහ. මෙසේ උන්වහන්සේගේ කරුණාව නිසාම, පුණ්‍ය තේජස නිසාම බොහෝ මිනිසුන් දන් දී මරණින් මතු සුගති ලෝකවල උපත ලැබීය. නමුත් දෙව් මිනිසුන් උන්වහන්සේට කැමති තරමට උන්වහන්සේ නිහඬ බවට, වනයට වී පිරිසෙන් වෙන්ව කල් ගෙවීමට, කැමති විය. දිනක් උන්වහන්සේට මහත් ආදරයෙන් සත්කාර  කරන මහලු කතක් වැරදීමකින් තථාගතයන් වහන්සේගේ පාත්‍රයට දානය පිළිගැන්විය. පසුව පිටිපසින් වඩින කාශ්‍යප හිමියන් හඳුනාගත් මේ මහලු කත බුදුරජාණන් වහන්සේට පිදූ දානය නැවත අත දමා ගෙන කස්සපයන් වහන්සේට පිළිගැන්විය. මේ නිසා තමා බුදුරජාණන් වහන්සේ වෙසෙන පෙදෙසේ වාසය කිරීම භාග්‍යවතුන් වහන්සේට කරන අගෞරවයක් බව සිතා එදා පටන් උන්වහන්සේ වනයේ දිවි ගෙවීමට හුරුවිය.

පාරමී පුරණ සමයේ එක භවයක උන්වහන්සේ වලස් කුලයක උපත ලැබූහ. දිනක් මේ වලසා ජීවත්වන ස්ථානය නුදුරේම පිහිටි ගැමි ගෙදරක කෑම සුවඳ දැනී ඒ ගෙදර අසලට ගියේය. එවිට ගැමියන් කැලෑ සතෙක් කියා දඬු මුගුරු වලින් පහර දී නැවත කැලයටම පන්නා දැමූහ. සිහිය උපදවාගත් වලසා කෑමට ලොල් වීම නිසා තව සුළු මොහොතකින් දිවියත් අහිමි කරගන්නවා යයි සිතා දවසක් තිස්සේම නොකා නොබී සිටියහ. ඒසා ආහාරය ගැන ඇල්ම දුරුකරමින් පාරමී පුරා පැමිණ ගමනේදී දිනක් උන්වහන්සේ ලාදුරු රෝගියෙකුට පිහිටවීමට ඒ රෝගියාගේ වෙත පිඬුසිඟා වැඩියහ. එවිට ශාන්ත ඉඳුරන් දැක පැහැදුණු සිතින් යුතුව තමන් කමින් සිටි අපිරිසිඳු ආහාරය දෙකට බෙදා කොටසක් උන්වහන්සේගේ පාත්‍රයට බෙදුවේය. ඒ මොහොතේම ලාදුරු සෑදී කුණු වී ගිය ඇඟිල්ලක කොටසක් පාත්‍රයට වැටින. ලාදුරු රෝගියාගේ මුහුණ මේ නිසා අසතුටට පත්ව “මේ දානය උන්වහන්සේ දැන්නම් කීයටවත් නොවළඳයි ” යන සිතිවිල්ල ඇතිවූ බව දැනගත් කස්සප මහරහතන් වහන්සේ ඒ මොහොතේම මාර්ගයේ පසෙකට වැඩම කර ඒ කුණුවූ ඇඟිල්ල පසෙකින් තබා දෙවි බඹුන් පමණක් නොව පොලොවද කම්පා කරවමින්  ඒ අපිරිසිඳු බත වැළඳුහ.

 

කස්සප හිමියන් දිනක් භාග්‍යවතුන් වහන්සේ හමුවට ආ මොහොතක “කස්සපය, දැන් මේ වෘක්ෂ ප්‍රතිපදාව, පාංශකූලික සිවුරු අත්හැර, දායකයන්ගේ දානාරධනා බාරගෙන, හුදෙකලාවෙන් සහ වනයෙන් මිදී සැහැල්ලු දිවි පෙවෙතකට එන්න පිළිවන් නෙවෙදැයි” අසා සිටි සේක. එවිට උන්වහන්සේ “හිමියනි, මේ දහතුනක්වූ දූතාංගයෙන් යුත් මේ දිවිය මා දරා සිටින්නේ කරුණු දෙකක් උදෙසායි. එකක් එය මට සැනසිල්ල දනවන දෙයක් නිසාවෙනි. අනෙක මා මේ මහලු වයසේදී වෘක්ෂ ප්‍රතිපදා අත්හැරි විට, අපටත් අපහසු මොහොතේ මේ ප්‍රතිපදා අතහැරිය හැකි යැයි අනාගතයේ පහළවන භික්ෂුන් සිතාවී”. එම නිසා මා මේ ප්‍රතිපදාවන් තුළ සතුටින් වාසය කරනවා යයි කියා සිටියහ. එවිට කස්සප මහරහතන් වහන්සේගේ උතුම් ගුණ වර්ණනා කරමින් භාග්‍යවතුන් වහන්සේ සාදුකාර කළ සේක. එලෙස උන්වහන්සේ සියලු දෙනාගේ නිවන පිණිස, සසුනේ චිරස්ථිතිය පිණිස වැඩ වාසය කළහ. මේ බුද්ධ සාසනයේ දහතුනක් වූ දුතාංග සියල්ලම සමාදන් වූ භික්ෂූන් කිහිප දෙනා අතරින් කස්සප මහරහතන් වහන්සේද එක් භික්ෂුවකි.

 

මීට කල්ප ලක්ෂයකට පෙර පදුමුත්තර බුදුරජාණන් වහන්සේ දවස කාශයප හිමියන් විදේහ නමින් මනුලොව උපත ලැබුහ. භාග්‍යවතුන් වහන්සේ දිනක් තෘතීය අග්‍රශ්‍රාවක පදවියත්, අග්‍ර දුතාංගධාරී පදවියත් නිසභ නම් රහතන් වහන්සේ හට පිරිස මධ්‍යයේ පිරිනමනවා දැක පැහැදුණු මේ පුද්ගලයා මා හටත් අනාගත යම් බුදු සසුනක මෙවන් තනතුරක් ලබන්නට ඇත්නම් යයි සිතා, හැටඅට දහසක් වූ භික්ෂු පිරිස හා භාග්‍යවතුන් වහන්සේ හට සත්දිනක් දන්පැන් පුදකර සිටියහ. පුදා බුදුරජාණන් වහන්සේට නමස්කාර කරමින් තම සිතේ ඇති අදහස පවසා සිට විවරණ ලැබ ගත්හ. මෙවිට මේ විදේහ ගෘහපතියාගේ බිරිඳත් යම් ප්‍රාර්ථනයක් කරමින් සිටියහ. එය නම් “මේ පින්වත් පුරුෂයාගේ සසර මගේ මාද ඔහු සමග විය යුතුයි ” යනුයි.

 

මෙසේ කුසලයෙහි හැසිරෙමින් පැමිණ විපස්සී බුදුන් දවස මේ යුවල ඒකසාටක නමින් උපත ලැබුහ. දෙපලටම එක් සළුවක් ඇති නිසා මේ නම ලැබිණි. මේ නිසා දෙදෙනාටම දහම් ඇසීමට යෑමට හැකිවූයේ මාරුවෙන් මාරුවටය. දිනක් දහම් ඇසීමෙන් මහත් ශ්‍රද්ධාව ඇතිවූ මේ පුරුෂයා, දෙදෙනාටම තිබූ එකම සළුව භාග්‍යවතුන් වහන්සේට පුජා කරමින් මහත් සතුටට පත්වූහ. මේ පින්වතාගේ අසිරිමත් ශ්‍රද්ධාව නිසා බංඳුම රජුගෙන් වටිනා සළු බොහෝ ලැබිණි. නැවත ඒවාද බුදුරජාණන් වහන්සේ හට පූජා කරමින් ඔහු අපමණ පින් රැස් කරගත්තේය. රැස් කර දෙදෙනාම දෙව්, බඹලොව අපමණ සැප විඳගනිමින් ගුණදහම්ද පුරා ගෞතම බුදුරජාණන් වහන්සේ ලොව පහළ වන කළ පිප්පලී කුමරු හා භද්‍රා කාපිලාණි කුමාරිකාව ලෙස උපත ලැබූහ. දෙපැත්තේම මාපියන්ගේ බලකිරීම මත විවාහ දිවියට එළඹියද දෙදෙනාම බඹලොව සිට ආ නිසා එක යහනේ සිටියද බඹසර රැකගෙන කාමයෙන් වෙන්ව වාසය කළේය. නමුත් වැඩිකල් නොගොස් දෙදෙනාම ගිහිගේ ගැන කලකිරී නිවන් සුව සොයා ශ්‍රමණ ජීවිතයට පැමිණියහ. මේ යන ගමනේදී එක මග දෙදෙනාම ගමන් කිරීම නුසුදුසුයි සිතා පිප්ඵලී ශ්‍රමනයන්, භද්‍රාවන් අමතා “නැගෙණිය, ස්ත්‍රී වූ ඔබත්, පුරුෂ වූ මාත් එක්ව ගමන් කිරීම ලෝකයේ උදහසටත්, අපගේ නිවනටත් අවැඩ පිණිසයි. අප මේ දෙමංසන්දියෙන් වෙන්වී, තනිව ගමන් කරමු ” යැයි කතිකා කර ගෙන වෙන්වන මොහොතේ මහ පොලොව කම්පා විය. ඒ විරාගී උතුමන් දෙදෙනාගේ ගුණ දරාගැනීමට නොහැකිවය. ඒ උතුම් දෙදෙනා සසරේ නැවත එක නොවන නිසාය. එසේ වෙනව ආ ගමනේ පිප්ඵලී ශ්‍රමණයන්ට බුදුරජාණන් වහන්සේව දැක ගන්නට ලැබිණි. දැකගත් සැනින් සසරේ හුරුව පැමිණ “ස්වාමීනි, ඔබ වහන්සේමයි මාගේ ශාස්තෘවරයා, ඔබමයි මාගේ ගුරුවරයා... මා ශිෂ්‍යයා වෙමියි...” කියා උන්වහන්සේට තුන් වරක් නමස්කාර කර සිටියහ. එහිදී උන්වහන්සේ ඒහි භික්ෂු භාවයෙන් පැවිදි බිමට ඇතුළත් විය. පැවිදි වී නොබෝ කලකින්ම උතුම් අරිහත්වයට පත්විය. භද්‍රාවන්ද භික්ෂුණි සසුනේ පැවිදිව අරිහත්වය ලබා ගත්තාය.

 

ලෝකනාථ බුදුරජාණන් වහන්සේ වෙසක් පෝ දින මහා පරිනිර්වාණය සිදුකළ විට කුක්කුට පර්වතයේ වැඩසිටි කස්සප හිමියන්ගේ සිරුරේ වනයේ මල් පරවී පතිතවිය. එවිට භාග්‍යවතුන් වහන්සේ බැහැදැකීමට අදහසින් ගමන් ආරම්භ කළ උන්වහන්සේ හට පරසතුමලක් ගෙන යන පුද්ගලයෙක් හමුවිය. ඔහුගෙන් තොරතුරු විමසූ විට බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණය කර ඇති බව දැන ඒ පෙදෙසට ලඟා විය. මේ මොහොතේ බුදු හිමියන්ගේ චිතකය දල්වන්නට හැදුවත් දෙවියන් කස්සප හිමියන් එනතෙක් උතුම් සෑය දැල්වීමට නොදී සිටියහ. උන්වහන්සේ පැමිණ, සඳුන් දර සෑයක තබා ඇති බුදුන්ගේ ශ්‍රී දේහය දක්ෂිනාවෘතව පැදකුණු කර “මාගේ ශාස්තෲන් වහන්සේගේ සිරිපතුල් යුග්මය මා අවසාන මොහොතට වන්දනාමාන කළ යුතුයි ” සිතා අධිෂ්ඨානයක් කර සෑයේ එක් පැත්තකට පැමිණ වන්දනයට නැමුණි. එවිට භාග්‍යවතුන් වහන්සේගේ සිරි පතුල් යුග්මය සඳුන් දෙනෙන් පිටතට පැමිණ කස්සප හිමියන්ගේ නළල මත පිහිටියහ. එවිට නැවත තුන් ලෝක වාසියාටම බුදුහිමියන්ගේ සිරිපා නැවත දැක ගෙන වන්දනාමාන කරගත හැකිවිය. කස්සපයන් වහන්සේද සිරිපතුල් සිඹිමින් වන්දනා කර පසු නැවත දෙන පෙර පරිදිම වැසී ගිය පසු සඳුන් දර සෑය දැල් විනි.

 

බුදුරජුන්ගේ මහා පිරිනිවීමත් සමගම සුභද්‍ර භික්ෂුවගේ අභද්‍ර කතා කන වැකුනු උන්වහන්සේ ධර්මයට, සාසනයට අනාගතයේ ඇතිවන අනතුරු ගැන සිතට ගනිමින් පළමු ධර්ම සංඟායනාව අජාසත් රජුගේ රාජ්‍ය අනුග්‍රහයද ඇතිව පැවැත්විය.

 

උන්වහන්සේ පුරා අවුරුදු එකසීය විසිපස් වසරක් වැඩ සිටිමින් පිරිනිවන් පෑමට කාලය බව දැන අජාසත් රජතුමාගේ රාජ්‍යයටද දන්වා කුක්කුටපාද පර්වතයට යලි වැඩම කර ගලක් දෙපළුවූ තැනින් පර්වතයේ මුදුනටම වැඩියහ. ඒ මොහොතේ රජතුමා නිදාගෙන සිටි නිසා කස්සප හිමියන් මාලිගයට වැඩි බව හා උන්වහන්සේ පිරිනිවන බව දැනගන්නට නොලැබිණි. මන්ද සේවකයෝ බියෙන් රජතුමාව ඇහැරවා නොසිටි නිසායි. පසුව කරුණු දැනගත් රජතුමා මහත් සංවේගයට පත්ව සිහිනැතිව ඇද වැටිනි. කස්සප හිමියන්ට දෙවිවරුන්ගේ අනුග්‍රහය සහිතව සත්රුවන් සයනයකින් යුත් දිව්‍යමය කුටියක් පර්වත අභ්‍යන්තරයේ සකසා තිබිණි. එහි උන්වහන්සේගේ ධාතු පරිනිර්වාණය වන මෛත්‍රී බුදු සසුන දක්වා නොනිවෙන පහන් සතරකුත්, කුටිය පුරා පරසතු මලුත් ඒ අයුරින්ම තිබේ. උන්වහන්සේ මහා ප්‍රාතිහාර්ය පාමින් භාග්‍යවතුන් වහන්සේ ලබාදී තිබූ සිවුරක් පෙරවාගෙන සිංහ සෙයියාවෙන් සයනයේ සැතපී අධිෂ්ඨාන කිහිපයක් කළහ. පිරිනිවීමෙන් පසු නැවත පර්වතය හා වේවා. මතු පහළවන මෛත්‍රී බුදුරජාණන් කළ දක්වා දේහයට කිසිවක් නොවී උන්වහන්සේ මේ පර්වතයට පිරිස සමග වැඩි කළ ඒ මොහොතේ මේ කය ආදාහනය වේවා සහ අජාසත් රජු පිරිනිවීම දැනගත් විට සංවේගයෙන් මේ ස්ථානයට ආ මොහොතේ මේ දෙන විවෘතව රජුට මගේ කය වන්දනාමාන කරගැනීමට හැකිවේවා යන අධිෂ්ඨානයන් කර තුන්ලෝකයාම සංවේගයට පත්කරමින් පිරිනිවන් පෑහ. පසුව අජාසත් රජු හඬා වැටෙමින් උන්වහන්සේ දැක ගැනීමට පැමණි විට කුටිය විවෘත වීමෙන් පසු මහත් ශ්‍රද්ධාවෙන් යුතුව රජු  වන්දනාමාන කළහ. ඒ වාගේම අනාගතයේදී මෛත්‍රී බුදුරජාණන් වහන්සේද මෙතනට වැඩ සිටිමින් සඟයා හට කස්සප හිමියන්ගේ දෙන විස්තර කරමින් පෙන්වන මොහොතේ උන්වහන්සේගේ දේහය සෘදියෙන් පැමිණ බුදුහිමි සමීපයේ ආදාහනය වේ. එතෙක් උන්වහන්සේගේ ශ්‍රී දේහයට කිසිවක් නොවී පවතී. එම නිසා උන්වහන්සේගේ ධාතු මේ ලොවට ලැබෙන්නේ මෙත් බුදුරජාණන් වහන්සේ දවසය. නමුත් අනන්ත ගුණැති උන්වහන්සේ ජීවමාන කාලයේදී මුවින් ගිලිහුන දන්ත ධාතූන් නමක් හා රන් කරඬුවක බහාලූ ඩාබිඳු වහන්සේ නමක්, ධාතූන් වශයෙන් අප හට වන්දනාමාන කිරීමට ඉතිරිව පවතී.

Wednesday, May 5, 2021

මුගලන් මහරහතන් වහන්සේ

      කෝලිත නම් බමුණු ගමේ ප්‍රධානියා වන මොග්ගල්ලාන බමුණාටත්, මොග්ගලී බැමිණියටත් පින්වත් පුත් කුමාරයෙක් උපත ලැබීය. කුමරාට කෝලිත නමින් නම් තැබිණි. කම්සැපය ගැන වැඩි උනන්දුවක් නැති මේ තරුණ කුමරුවා හා සම අදහස් ඇති උපතිස්ස නම් අතිජාත සමවයස් මිත්‍රයෙක්ද විය.

 මේ දෙදෙනාටම තරුණ පිරිස පන්සීයක්ද සිටියහ. යහපත් පැවතුම් ඇති මේ පින්වත් කුමාරවරු පිරිස දිනක් උත්සව භූමියකට ඇතුල් විය. විවිධ නෘත්‍ය, සාදා ආදී කම්සැප දනවන සිත් වශීකරන දෑ මේ භුමියේ සිදු වූවත් වෙනදා තරම්වත් මේ සිත් බඳවන දේවල් කෙරේ නොඇලී ‘ගිරග්ග සමජ්ජ’ නාට්‍ය නරඹන අතරතුර මේ අර්ථධර්ම විරහිත, නොගැඹුරු දේ තුළ තවත් බැසගෙන සිටීම නොවටිනා බව සිතා දෙමිත්‍රයන්ම අර්ථයක්, ධර්මයක් විමසා, සොයා යෑමට අනෙත් පිරිසේද කැමැත්ත ඇතිව ගිහිගෙයින් නික්ම ගියහ. එහිදී විවිධ ශාස්තෲන් හමුවූහ. නමුත් දෙමිත්‍රයෝ තමන් සොයා ආ මග මෙය නොවන බව වහාම පසක් කරගතහ. මේ නිසා පිරිස එකම මග මෙලෙස ගමන් කිරීම ආ කාරණය පමා කරනා නිසා එක මග ගමන් නොකිරීමටද, සොයනා යම් ධර්මයක් හමුවූවකු අන් පිරිසටද දන්වන ලෙස කතිකා කරගෙන වෙන් වෙන් මාර්ගයන් කර යොමුවිය. මෙසේ යන ගමනේ උපතිස්ස කුමාරයාට ශාන්ත ඉඳුරන් ඇතිව මග වඩිනා අස්සජී මහරහත් තෙරුන් හමුවී උන්වහන්සේගෙන් කෙටි ධර්ම කරුණක් අසා උතුම් සෝවාන් ඵලයට පත්විය. වහාම අන් පිරිසත් තම කලන මිතුරාත් හමුව ගිහිගෙයින් එකට නික්මුනා සේම බුදුරජාණන් වහන්සේගේ පිහිට පතාගෙන උන්වහන්සේ බැහැදැකීමට එකටම ගමන් ඇරඹීය. එසේ එන පිරිසට භාග්‍යවතුන් වහන්සේ ශ්‍රී හස්තය දිගු කරමින් “අර පිරිසේ මුලින්ම පැමිණෙන්නේ මගේ සාසනයේ අග්‍රශ්‍රාවක යුගලය යැයි” පෙන්වාලූ සේක. එසේ පැමිණි සියලු දෙනාම ඒහිභික්ෂු භාවයෙන් පැවිදි විය. මේ කුමරුවා මොග්ගල දෙමාපියන්ගේ පුත් යන අදහස ඇති මොග්ගල්ලාන නැතිනම් මුගලන් යන නමින් සාසනයේ ප්‍රකට විය.

මහමෙව්නා වෙබ් පිටුවෙන් උපුටා ගන්නා ලදි


මුගලන් හිමියන් බුදු සසුනේ පැවිදිව කල්ලවාල මුත්ත වනයේ වෙසෙමින් බණ භාවනාවේ යෙදෙද්දී ථීන මිද්දයෙන් පෙලෙන බව බුදුරජාණන් වහන්සේ දැන ගත් සේක. දැන සෘධියෙන් බුදු රුවක් මවා මේ නිදිමත, අලස ගතිය නිසා පිඩා විඳිමෙන් මිදීමට ධර්ම පරියායක් වදාරා සිටි සේක. එය දියුණු කිරීමෙන් උන්වහන්සේ උතුම් අරිහත්වයට පත්විය. උන්වහන්සේගේ සෘධිපෑමේ ශක්තිය අතිශය විශ්මය ජනකය, අපරිමාණය. උන්වහන්සේගේ හැකියාව දෙවැනි වූයේ භාග්‍යවතුන් වහන්සේට පමණි. දිනක් උන්වහන්සේ දෙව් ලොවට වැඩම කර සක්‍රදෙවියන්ව ධර්මයේ පිහිටුවීමට සුවිසල් වෛජයන්ති ප්‍රාසාදය පයේ මහපට ඇඟිල්ලෙන් ස්පර්ශ කර සෙලවීය. තවත් දිනෙක  බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ භික්ෂු පිරිස දිව්‍ය ලොව වෙත වඩිනා මග අසුරා සිටි සුනන්ද නම් දිව්‍ය නා රජුව දමනය කිරීමට උන්වහන්සේට පැවරුනි. එවිට හිමාලය තරම් විශාල සිරුරක් මවා සිටි නාගයාව ඊටත් වඩා විසාල සිරුරකින් වෙලා ගෙන තද කරමින්ද, එම නාගයා විස දුම පිටකරනා විට උන්වහන්සේත් ඊට වැඩි විස දුම් පිටකරමින්ද, නා රජු ගින්දර සිරුරින් පිටකරනා විට උන්වහන්සේත් ඊට වැඩි දුමක් පිටකරමින්ද භයටත්, තැතිගන්මටත් පත්කරමින් නා රජුව දමනය කර තෙරුවනේ පිහිටුවා ලීය. එක් වස් සමයක මාරයාගේ බලපෑම නිසා භාග්‍යවතුන් වහන්සේට සහ ශ්‍රාවක සඟ රත්නයට යව හාලෙන් යැපීමට සිදුවුණු. එහිදී මුගලන් මහ රහතන්වහන්සේ බුදුහිමියන් වෙත පැමිණ “හිමියනි, මේ ආහාර අපහසු සමයේ, මේ පෘතුවි මධ්‍යයේ ඇති රස ධාතුව මතුපිටටත්, මතුපිට ඇතුල් පිටටත් පෙරළන්න දැයි ”ඇසීය. එහිදී බුදුහිමියන් අසා සිටියේ “මේ නිසා මේ පසේ වෙසෙනා කුඩා සතුන් අපහසුවට පත්වේ යැයි ” යනුවෙනි. එවිට උන්වහන්සේ පැවසුවේ “හිමියනි, මා මේ පොළොව වැනි මතුපිටක් තනා ඒ සත්වයා එහි තබා පොළොව පෙරළා දමන්නම් ” යැයි ය. ඒ සඳහා උන්වහන්සේට අවසර නොලැබුණි. නමුත් මෙතරම් දෙයක් කිරීමට තරම් උන්වහන්සේට ඇති මහා සෘධි බලය අතිශයින් විශ්මිතය. මෙතරම් සෘධි බලයක් තිබූ නිසාම උන්වහන්සේ මේ බුදු සසුනේ සෘධිමත් භික්ෂුන් අතරින් අගතනතුර දැරූහ. ඒ වාගේම උන්වහන්සේ මේ බුදු සසුනේ දෙවන අග්‍රශාවක පදවියද දැරූහ. දිනක් උන්වහන්සේ වනයක භාවනා සුවයෙන් වැඩ සිටියදී නගර සෝභිනියක් වූ විමලා, ඒ සංවර ඉඳුරන්ගෙන් යුත් ශක්තිමත් හා මනා රූපකායට වශීව “ශ්‍රමනය, මේ තරුණ වයසේ කුමන බඹසර රැකීමක් ද, මා හා ගිහිගේ වෙසෙමින් කම්සැපයේ ජීවත්ව මහලුවූ කල දෙදෙනාම එක්ව මේ ශ්‍රමන ධර්මය රකිමු ” යැයි තම රූසිරි විදහා පෙන්වමින් කියා සිටියාය. එවිට උන්වහන්සේ “ඔබ අහසේ සිතුවම් අඳින්නට සරසේනවාද....” ආදී කරුණු කියමින් දැඩි ලෙස අවවාද කර මේ කයේ යතා ස්වභාවය කියාදී භික්ෂුනී සසුනේ පිළිසරණ ලබා ගැනීමට උපකාර කළාය.

උන්වහන්සේ මේ ශාසනයේ දෙවන ශ්‍රාවකත්වයට පත්වීමට විවරණ ලබා ගත්තේ මීට කල්ප ලක්ෂයකට පෙර දවස වැඩ සිටි අනෝමදස්සී සම්බුදු හිමියන්ගෙනි. එදවස උන්වහන්සේ සිරිවඩ්ඩ තවුසා ලෙස සිටි අතර සැරියුත් හිමියෝ සාරද තවුසා ලෙස කල් ගෙවීය. දිනක් මේ සාරද තවුසා බුදුරජාණන් ප්‍රමුඛ සංඟ රත්නය කෙරේ දානමානාදිය කර සඟ පිරිසෙන් අග්‍රස්ථානයට පත් රහතන් වහන්සේ කෙරේ පහන් සිත් උපදවා බුදුරජාණන් වහන්සේ හමුවේ වැඳනමස්කාර කර යමතු බුද්ධ සාසනයක පළමු ශ්‍රාවකත්වයට පැමිණීමට ප්‍රාර්ථනා කළ බව තම මිතුරා වූ සිරිවඩ්ඩ තවුසාට දැන්වූහ. දන්වා ඔබට ඒ සසුනෙම දෙවන ශ්‍රාවක බෝධිය ප්‍රාර්ථනා කරන්න යැයි පවසා සිටියේය. කල්‍යාණ මිත්‍රයාගේ ඇරයුමෙන් ඔහුද බුදුපාමොක් මහ සඟනට දානමානාදිය පුදා ඒ පැතුම බුදුන් වහන්සේ හමුවේ සැල කර සිටියහ. එවිට සාරද තවුසාට මෙන් “ඔබ ප්‍රාර්ථනා කරන බෝධිය ගෞතම බුදු සසුනේ සමෘද්ධි වනවායි” පවසමින් බුදුහිමියන් විවරණ ලබා දුන් සේක. එතැන් පටන් සසරේ සැරියුත් බෝසතුන් මෙන්ම, මහා බෝධිසත්වයෝද ඇතුළු අසූ මහා ශ්‍රාවක බෝධිය ප්‍රාර්ථනා කරන බෝසතුන්වද යම් යම් භව වල හමුවෙමින් පාරමී පුරණය කළහ. ඒ බව ජාතක කතා අධ්‍යනය කිරීමේදී පැහැදිලිවේ. ඒ ආ භව ගමනේ උන්වහන්සේ එක් භවයක දුසී මාරදිව්‍ය පුත්‍රයා ලෙස කකුසඳ බුදුන් දවස ඉපදී සිටියහ. ඒ සමයේ පාප ක්‍රියාවන් වල යෙදී උන්වහන්සේ නිරයට ගිය බවද, එදා දුසී මාරයාව සිටියදී උන්වහන්සේගේ සහෝදරියක් වන කාලි හට වර්තමාන මාරයා වන වසවර්තී දිව්‍යපුත්‍රයා උපත ලද බවද ධර්මයේ සඳහන් වේ. අප ගෞතම බුදුහිමියන් හට බාදා කරේ ඒ වසවර්තී මාරයාය. දිනක් එලෙසම මුගලන් මහරහතන් වහන්සේටද පීඩා කිරීමට උන්වහන්සේගේ කුටියට වැද කුස තුලට පිවිසියහ. මේ පීඩාව නිසා මහා සෘධිඇති මුගලන් හිමියෝ කුස දෙස බලා මාරයාට පිටතට පැමිණෙන ලෙස අණ කරමින් පෙර භව සඹඳතාවයද දක්වා ආර්ය උතුමන් හට බාදා නොකරන්නැයි තර්ජනය කර සිටියහ. එවිට පැරදුණු මාරයා පලා ගියේය. මේ කල්පයේම කකුසඳ බුදුහිමි දවස දුසී මාරයා වුනු උන්වහන්සේ මේ කල්පයේම හතරවනුවට පහළවූ ගෞතම බුදු සසුනේ දෙවන අග්‍රශ්‍රාවක රත්නය විය. මෙය උන්වහන්සේගේ භව මග දෙස බැලීමේදී දැකිය හැකි සුවිශේෂී වූ සිදුවීමකි.

ඒ වාගේම උන්වහන්සේ සසරේ තවත් භවයක පංචානන්තරිය පාපයක් වන දෙමාපියන් ඝාතන කිරීමට යෙදුණේ දුස්සීල භාර්යාවක් ලද නිසාය. මහලු දෙමාපියන් නිවසේ සිටීම මහත් වදයක්, සාත්තු කිරීම, පිරිසිඳු කිරීම වදයක් කොටගෙන ඈ සැමියාට බොරු ගොතා කියා කීවාය. ඉවසාගත නොහැකි තැන සැමියා තම මව හා පියා කැලයට ගෙන ගොස් දෑස් වසා තම අතින්ම ඝාතනය කළේය. තමා හදාවඩා ගත්, උස්මහත් කළ, ආහාර සපයාදුන්, ලේ කිරිකර දුන්..... දෙමාපියන් පාපී ස්ත්‍රියකගේ බහට මැරූහ. නිරයට වැටුනහ. ඒ නිසි බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් මේ සසර ගමනේ මහා භයානක, දුක් සහිත බව මෙයින් තේරුම් ගත හැක. ඒ බව මුගලන් වහන්සේගේ චරිතයෙන්ම විදහා දැක්වේ.

ඒ වාගේම උන්වහන්සේ නිතරම දෙව්ලොව වඩිමින් දෙවි, දේවතාවුන්ගෙන් සැප දුක් විමසා, එහි ඉපදීමට හේතුවූ කරුණු අසා ගෙන, මිනිසුන්ට ඒ විස්තර පවසා පින්, ගුණ ධර්ම දියුණු කිරීමට උද්යෝගිමත් කළහ. ඒ ලෙසම අපායේ තතුද ගෙනහැර දක්වමින් සසරට බිය ඇති කරවමින් සත්වයා දහමෙහි, සීලයෙහි හික්මවා ලීය. උන්වහන්සේ අපායටද වැඩම කර එහි ගිනිදළු නිවා ඒ සත්වයාටද ධර්මය දේශණා කළහ. එතරම් සත්වයා ගැන කරුණාවෙන් කටයුතු කළ උන්වහන්සේට නිතැතින්ම බුදුහිමියන්ගෙන් පැසසුම් ලැබුනා වාගේම සාරිපුත්ත මහරහතන් වහන්සේ මව් ලෙසත් මුගලන් මහරහතන් වහන්සේ සුළුමව් ලෙසත් ශාසනයේ කටයුතු කරන බව පවසා සිටි සේක. මෙසේ සත්වයාට කිරි මව් කෙනෙකු සේ කරුණාවෙන් උන්වහන්සේ දෙව්, අපා ලෝක විවරණය කරමින් දේශණා පවත්වන නිසා බොහෝ පිරිස සසරේ ගැඹුර දැන තිසරණ සරණ ගොස් බුදු දහමේ නිත්‍ය ශ්‍රාවකත්වයට පත්වීම මත අන්‍ය තීර්තකයන්ට තම ශ්‍රාවක පිරිස විශාල ලෙස අඩු විය. ඒ නිසා ලාබ සත්කාරද, පුදපූජා අඩු විය. මෙයින් කෝපයට පත්ව ඝාතක කණ්ඩායමක් යොදා උන්වහන්සේගේ දිවි තොර කිරීමට සැලසුම් කළහ. නමුත් පළමුවරත්, දෙවනුවරත් උන්වහන්සේ සෘධි පාමින් කුටියේ යතුර සිදුරෙන් පිටතට වැඩියහ. වැඩ මෙසේ වන්නේ මන්දැයි බැලීය. එවිට මෙය සසරේ දෙමාපිය ඝාතක කර්මයේ ශේෂ විපාක් බව දැන, තෙවනවර ඒ මැර කණ්ඩායමට කුටියට ඒමට ඉඩ සලසා කුටියේම සිටියහ. එවිට කුටියට පැමිණි පිරිස උන්වහන්සේගේ සිරුරේ ඇට කුඩා කොටස් වෙනතෙක් පහර එල්ලකරමින් මැරුණා යයි සිතා පිටව ගියහ. මෙනිසා මුගලන් හිමියෝ බුදුරජාණන් වහන්සේගේද අවසරය ඇතිව පරිනිර්වාණය කළහ.