භාවනාව හැඳින්වීම

භාවනාව හරියාකාරව මුලසිට ඉගෙනගනිමු.

ශ්‍රද්ධාව

තුනුරුවණ කෙරේ ශ්‍රද්ධාවන්තයින් වී උතුම් නිර්වාණ මාර්ගය විවර කරගමු.

Tuesday, February 7, 2023

කෘත්‍රිම සිනාව

 

ප්‍රශංසාව අපේ මුදල් ඉතිරි කරයි. අපේ සබඳතා වඩා ශක්තිමත් කරයි. සතුට නිර්මාණය කරයි. එබැවින් එය වඩාත් පැතිරවිය යුතු ය.

කුමන ප්‍රශංසාවක් වුව ද ප්‍රදානය කිරීම වඩාත් අපහසු තමන්ටම ය. මා මෙතෙක් විශ්වාස කළේ තමන්ට ම ප්‍රශංසා කර ගන්නා අය උඩඟු වන බව ය. එය එසේ නොවේ. ඔවුහූ කාරුණික අය බවට පත් වෙති. අපේ යහපත් ගුණාංග වලට ප්‍රශංසා කිරීමෙන් ඒවා ධනාත්මක ලෙස වර්ධනය වේ.

මා සාමණේර භික්ෂුවක වශයෙන් ගත කළ කාලයේ මගේ භාවනා ආචාර්යවරයා මට ප්‍රායෝගික උපදෙසක් දුන්නේ ය.

“උදේ පිබිදුණු විට, ඔබ මුලින් ම කරන්නෙ කුමක් ද..” එතුමා මගෙන් ඇසී ය.

“නාන කාමරයට යනවා”

“එහි කන්නාඩියක් තිබේ ද..? ”

“ඔව්”

“හොඳයි, හැමදාම උදේ දත් මැදීමට පවා පෙර ඒ කණ්ණාඩිය දිහා බලාගෙන තමන් සමග ම සිනාසෙන්න.”

“ස්වාමීනි, මම සමහර විට නින්දට යන්නෙ හුඟක් පමා වෙලා. උදේ නැගිටින කොට මට තෙහෙට්ටු බවක් දැනෙනවා. සමහර දවස්වල උදේට සිනාසීම කෙසේ වෙතත් මගේ බලන්නවත් බය හිතෙනවා”

එතුමා මා දෙස බලා සිනාසුණේ ය.

“ස්වාභාවික විදිහට සිනාසෙන්න ඔබට බැරි නම් අත් දෙකේ දබරැඟිලි දෙක කටේ දෙකෙලවරට තබා මෙන්න මේ වගේ තද කරන්න”

එසේ කළ විට එතුමාගේ මුහුණෙහි ඇති වුණු විකට පෙනුම දුටු මම සිනාසුනෙමි. එය අත්හදා බලන ලෙස එතුමා මට නියෝග කලේය. නාන කාමරයට ගොස් කණ්ණාඩිය දිහා බලා ගෙන මා එසේ කළ විට ඇති වූ මෝඩ සිනාව, මගේ විනෝදයට හේතු විය. එය සැනෙකින් ස්වාභාවික සිනාවකට පරිවර්තනය විය. කණ්ණාඩිය තුළ සිටි සාමණේර භික්ෂුව මා දෙස බලා සිනාසෙන විට මම ද ඉහු සමග සිනාසුණෙමි.

දෙවසරක් තිස්සේ හැම උදෑසනක ම මම ඒ සිනාව පුරුදු වීමි. සාමාන්‍යයෙන් මා සිනාව ආරම්භ කළේ දබරැඟිලි දෙකේ ආධාරයෙනි. මා මේ දිනවල නිතර සිනාසෙන බව මිනිස්සු පවසති. ඇතැම් විට මගේ මුව දෙපස මාංශ පේශී සිනාවට ම හැඩ ගැසෙන්නට ඇත.

දවසේ කුමන වෙලාවක වුවද ඇඟිලි දෙකේ ක්‍රමය අත්හදා බැලිය හැකිය. එය විශේෂයෙන් ප්‍රයෝජනවත් වන්නේ රෝගී බවක් උදාසීන බවක් හෝ දොම්නසක් දැනුණු විටය. සිනාව මගින් අපේ ප්‍රතිශක්ති පද්ධතිය වඩා ශක්තිමත් වී සිත සතුටු කරන බව විද්‍යානුකූලව තහවුරු වී තිබේ. අප තුළ පවතින අයහපත් ගුණාංග පමණක් නොව යහපත් ගුණාංග ද අවබෝධ කර ගැනීමට සිනාව අපට ආධාර කරයි. එපමණක් නොව සිනාව අපට රූමත් පෙනුමක් ලබා දේ.

පර්ත් නුවර පිහිටි අපගේ බෞද්ධ විහාරස්ථානය “අචාන් බ්‍රහ්ම හිමියන්ගේ රූප ලාවන්‍යාගාරය” වශයෙන් මා හඳුන්වන්නේ එබැවිනි.


Tuesday, January 24, 2023

වැදගත් පුද්ගලයෙකු වන හැටි


 මා අපගේ ආශ්‍රමයේ ගත කළ ප්‍රථම වර්ෂයේ දී ගෙවල් තැනීම පිළිබඳව ඉගෙනීමට මට සිදු විය. මට පැවරුණු ප්‍රථම කාර්යය වූයේ, වැසිකිළි හයකින් සහ නාන කාමර හයකින් සමන්විත ගොඩනැගිල්ලකි. එබැවින් ජල නළ වෙළඳ සමාගමකට එහි සැලැස්ම ඉදිරිපත් කලෙමි.

එය තරමක ලොකු ගනුදෙනුවක් විය. අවශ්‍ය ජල නළ කොටස් සහ ඒවා සවි කළ යුතු අන්දම පිළිබඳව එහි සිටි වෙළඳ සේවක ෆ්‍රෙඩි විසින් සවිස්තර පැහැදිළි කිරීමක් කරන ලදී. අන්තිමේ දී ඔහුගේ උපදෙස් අනුව නව ගොඩනැගිල්ලේ ජල නළ සවි කිරීම සාර්ථකව අවසන් කර ගත හැකි විය. ඒ කටයුතු නිවැරදි බව ප්‍රාදේශීය සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකරයා විසින් සහතික කරන ලදි.

දින කීපයකට පසු ගනුදෙනුව සඳහා වූ බිල වෙළඳ සමාගමෙන් අප වෙත එවන ලදි. ඒ සඳහා චෙක්පතක් සමග අපට උදව් කිරීම පිළිබඳව වෙළඳ සමාගමට විශේෂයෙන් ෆ්‍රෙඩිට ස්තුති කර ලිපියක් ද යැවීමි.

එය අංශ කීපයකින් සමන්විත විශාල වෙළඳ සමාගමක් විය. මා යැවූ ලිපිය ගිණුම් අංශයට යොමු කරන ලද බවත් එය කියවා බැලූ ලිපිකරු විස්මයටත් ප්‍රීතියටත් පත්ව වහාම ගිණුම් කළමනාකරු වෙත එය රැගෙන ගිය බවත් පසුව දැන ගතිමි. සාමාන්‍යයෙන් චෙක්පතක් සමග ලැබෙන ලිපියක සඳහන් වන්නේ කුමක් හෝ චෝදනාවකි. මාගේ ප්‍රශංසාත්මක ලිපිය දැක පුදුමයට පත් කළමනාකරු එය වෙළද සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂක වෙත ඉදිරිපත් කලේ ය. ඒ ගැන බලවත් සතුටට පත් අධ්‍යක්ෂකවරයා දුරකතනයෙන් වෙළඳ සේවක ෆ්‍රෙඩිට ඒ ලිපිය ගැන දැන්වී ය.

“ෆ්‍රෙඩ් අපේ කොම්පැණියට අවශ්‍ය හරියටම මේ වගේ සේවකයෙක්, ඒ කියන්නෙ යහපත් පාරිභෝගික සබඳතා”

“ඔව් සර්”

“ඔයා කර තිබෙන්නෙ විශිෂ්ට සේවයක්”

“ඔව් සර්”

“ඔයා වගේ තවත් සේවකයින් අපට අවශ්‍යයි.”

“ඔයාට දැන් ලැබෙන වැටුප කීය ද...? අපට පුළුවන් ඒක වැඩි කරන්න”

“ඔව් සර්”

“ෆ්‍රෙඩ්, ඔයා කළේ බොහොම හොඳ වැඩක්.”

“තෑන්ක් යූ සර්”

ඊට පසු දිනක වෙනත් අවස්ථාවක් සඳහා මම ඒ වෙළඳ සමාගමට ගියෙමි. ඕස්ට්‍රේලියානු ජල නල කාර්මිකයින් දෙදෙනකු මට පෙර එහි ගොස් සිටි බැවින් මගේ වාරය එන තුරු පසෙකට වී සිටියෙමි. ෆ්‍රෙඩ් ඒ දෙදෙනාට පෙර මා ගැන සැලකිලිමත් විය. වැදගත් පුද්ගලයකු වශයෙන් මට විශේෂ සැලකිල්ලක් දක්වන ලදි.

එදා මා එහි ගියේ වෙනත් කාර්යයක් සඳහා මිලට ගෙන තිබුණු ජල නළ කොටසක් මාරු කර ගැනීමටය. මාරු කරන ලද කොටසෙහි මිල පෙරට වැඩි වූවත් අමතර මුදල මගෙන් අය නො කරන ලදි.

ප්‍රශංසාවෙහි මූල්‍යමය වටිනාකමක් ද ඇති බව ඉන් පැහැදිලි වේ.


Sunday, January 15, 2023

චාටු බසින් වුවද අවශ්‍ය ප්‍රතිඵල ලද හැකිය

 

අප ගැන කරන ප්‍රශංසා ඇසීමට අප හැම දෙනා ම කැමති වුවත් බොහෝ විට අසන්නට ලැබෙන්නේ අපේ වැරදි ය. එය සාධාරණ බව සිතේ. අප හැම විට ම වාගේ කතා කරන්නේ අනුන්ගේ වැරදි ගැන ය. අප අනුන් ගැන ප්‍රශංසා කරන්නේ ම නැත. ඔබ කතා කරන විට ඊට සවන් දීමට උත්සහ කරන්න.

ප්‍රශංසාවෙන් තොර වූ විට, යහපත් ගුණාංග ප්‍රතිෂක්තිමත් නො කළ විට ඒ ගුණාංග මැල වී යයි. එහෙත් සුළු ප්‍රශංසාවකින් ඒ ගුණාංගවලට රුකුලක් ලැබේ. ප්‍රශංසා ඇසීමට අප කවුරුත් ප්‍රිය කරන අතර ඒ සඳහා අප කළ යුතු දේ නිශ්චිතව දැන ගත යුතු ය.

ආහාර අනුභවය පිළිබඳ ඉතා විරල රෝගාබාධයකින් පෙළුණු කුඩා දරුවන් සඳහා ධනාත්මක උපක්‍රමයක් අනුගමනය කළ වෛද්‍ය පිරිසක් පිළිබඳ විස්තරයක් සඟරාවක පළ වී තිබිණි. මේ දරුවන් ඝන ආහාර අනුභව කළ හැම විට ම එසැණින් ඔවුහු ඒවා වමනය කළහ. කිසි යම් දරුවකු ආහාර ස්වල්පයක් මිනිත්තු දෙකක් වත් කුස තුල රඳවා ගෙන සිටීමට සමත් වුණොත් කවුරුත් ඒ ගැන සතුට පළ කළහ. දෙමාපියන් අත්පොළසන් දෙමින් ප්‍රීති ඝෝෂා කළ අතර කිසිවෙක් ඒ දරුවන්ගේ ප්‍රියතම ගීතය පියානෝවේ වාදනය කළේය. එය එක වර ප්‍රීති උත්සවයක් බවට පත් විය.

ආහාර වැඩි වෙලාවක් කුස තුළ රඳවා ගැනීමට ආරම්භ කිරීමත් සමග දෙමාපියන් තමන් ගැන ප්‍රීති වනු දැකීමෙන් දරුවන්ගේ ස්නායු පද්ධතිය වඩා ශක්තිමත් විය. ඒ දරුවන්ට මෙන් අපට ද ප්‍රශංසාව අවශ්‍ය ය. 

Saturday, January 14, 2023

ධනාත්මක සමාව


ආශ්‍රමයක් තුළ නම් සමාව දීම සාර්ථක විය හැකි යැයි ඔබ පවසනු මට ඇසේ. එහෙත් සාමාන්‍ය ජීවිතයේ දී එසේ සමාව දෙන විට අපෙන් අයුතු වාසි ලබා ගැනීමට ඉඩ තිබේ. අප දුර්වල යයි මිනිසුන් සිතනු ඇත. මම ඊට එකඟ වෙමි. එබඳු සමාව දීම පමණක් සාර්ථක වන්නේ කලාතුරකිනි.

එක් කම්මුලකට පහර වැදුණු විට අනෙක් කම්මුල ද පෙන්වන තැනැත්තා දන්ත වෛද්‍යවරයා වෙත එක්ව වරක් නොව දෙවරක් යා යුතු යැයි කියමනක් තිබේ.

මීට පෙර කතන්දරයෙහි තායි රාජ්‍ය කොන්දේසි විරහිත පොදු සමාවට අමතරව මූලික ගැටලුව වූ දුගී බව තුරන් කිරීමට ද දක්ෂ ලෙස ක්‍රියා කළේය. පොදු සමව සාර්ථක වූයේ එබැවිනි.

එබඳු සමාව දීම ‘ධනාත්මක සමාව යනුවෙන් හඳුන්වමි. ධනාත්මක යනුවෙන් අදහස් වන්නේ, අප ප්‍රිය කරන යහපත් ගුණාංග අත් හැරීම ය. නිදසුනක් වශයෙන් ගෙවත්තක වල් පැළවලට පමණක් වතුර දැමීම ගැටලු වගා කිරීමට සමාන ය. කිසිම පැළයකට වතුර නො දැමීම, සමාව දීම පමණක් ක්‍රියාත්මක කිරීම වැනිය. වල් පැළවලට නොව මල් පැළවලට වතුර දැමීම ධනාත්මක සමාව දීමකි.

අවුරුදු දහයකට පමණ පෙර සිකුරාදා ධර්ම සාකච්ඡා වාරය අවසානයේ එක් කාන්තාවක් මා සමග කතා කිරීමට පැමිණියා ය. ඇය මට මතක ඇති කාලයක සිට ඒ ධර්ම සාකච්ඡාවලට නිතිපතා සහභාගී වුවත් මා සමග කතා කිරීමට පැමිණි මුල් වතාව එය විය. මට පමණක් නොව භාවනා මධ්‍යස්ථානයේ දේශන පැවැත් වූ සියලු ම භික්ෂූන්ට ස්තුති කිරීමට අවශ්‍ය බව ඇය පැවසුවා ය. ඉන් පසු ඇය ඊට හේතුව පැහැදිලි කළාය. ඇය අපේ විහාරස්ථානයට පැමිණීම ආරම්භ කළේ අවුරුදු හතකට පෙර ය.

බුදු දහම හෝ භාවනාව කෙරෙහි එතරම් උනන්දුවක් තමන් තුළ නො පැවති බව අවංකව පිළිගත් ඇය විහාරස්ථානයට පැමිණීමට ප්‍රධාන හේතුව නිවසින් පිට වී සිටීමට අවශ්‍ය වූ නිසා බව පැවසුවා ය.

ඇගේ සැමියා සාහසික පුද්ගලයෙක් විය. ඇය බිහිසුණු ගෘහස්ථ හිංසනයේ ගොදුරක් වූවා ය. එකල එබඳු කාන්තාවන්ට පිහිට වන වැඩ පිළිවෙලක් නො තිබිණි. යුග දිවිය කෙතරම් වේදනාත්මක වුවත් සදහටම නිවසින් පිට වී යාමට ඇය නොසිතුවා ය. එබැවින් ඇය අපගේ විහාරස්ථානයට පැමිණියේ දෙපැයකට හෝ ඒ හිංසනයෙන් බේරීම සඳහා ය.

අපගේ විහාරස්ථානයේ දී අසන්නට ලැබුණු උපදෙස් අගේ ජීවිතය වෙනස් කිරීමට හේතු විය. ඒ අනුව සිය සැමියා පිළිබඳව ‘ධනාත්මක සමාව’ අත්හදා බැලීමට ඇය තීරණය කළා ය.

“එයා මට පහර දුන් හැම විට ම මම එයාට සමාව දුන්නා. ඒක කලේ කොහොමද කියලා දන්නෙ මම විතරයි. ඒ වගේම එයා කරුණාවෙන් කතා කළ ක්‍රියා කළ හැම විටක ම එය කොපමණ සුළු දෙයක් වුණත් මම එයාව සිප වැළඳ ගෙන ආදරය පෙන්නුවා.”

ඒ තත්ත්වයට ඔහු පරිවර්තනය කර ගැනීම සඳහා තමන්ට අවුරුදු හතක ගත වූ බව පවසන විට ඇගේ දෙනත් කඳුළින් තෙත් විය.

“වේදනාත්මක අවුරුදු හතක..! දැන් එයා අඳුනාගන්නත් බැරි තරමට සම්පූර්ණයෙන් වෙනස් වෙලා. අපි දෙන්නා දැන් ජීවත් වෙන්නෙ බොහොම සතුටින් ආදරයෙන්. අපට දැන් සුරතල් දරුවන් දෙදෙනෙකුත් ඉන්නවා”.

ඇගේ මුහුණ ප්‍රීතියෙන් බැබළිණි.

“අර ලී බැංකුව දිහා බලන්න. එයා තමයි ඒක මට සදා දුන්නේ. අවුරුදු හතකට පෙර නම් එයා ඒක පාවිච්චි කරන්නෙ මට පහර දෙන්න”.

ඒ කාන්තාවගේ ක්‍රියා කලාපය මම බෙහෙවින් අගය කරමි. ඇගේ සතුට උදා කර ගත්තේ ඇය මය. එපමනක් නොව ඇය රාක්ෂයෙකු කාරුණික පුද්ගලයෙකු බවට පරිවර්තනය කළා ය.

මෙය ධනාත්මක සමාව පිළිබඳ ඉතා වැදගත් නිදසුනකි.