භාවනාව හැඳින්වීම

භාවනාව හරියාකාරව මුලසිට ඉගෙනගනිමු.

ශ්‍රද්ධාව

තුනුරුවණ කෙරේ ශ්‍රද්ධාවන්තයින් වී උතුම් නිර්වාණ මාර්ගය විවර කරගමු.

Monday, May 3, 2021

බුදුගුණ භාවනාව

 

තුන් ලෝකයටම ශාස්තෘ වූ, සම්මා සම්බුදු මහා කාරුණිකයාණන් වහන්සේගේ අනන්ත වූ ද අපරිමේය ගුණ සයුර තවත් බුදුකෙනෙකුට වුවද කල්පයක් තුලදීවත් කියා නිමකළ නොහැකි බව ගෞතම බුදුහිමියන්ම වදාල සේක. ඒසා තිබියදී අපට මෙනෙහි කිරීමට තබා සිතා ගැනීමටවත් නොහැකි බුදු ගුණ සමුදායෙන් අප දන්නා වූ  ගුණ කිහිපය හෝ සිත පහදවාගෙන සිහිකිරීම, භාවනා නිමිත්ත කරගැනීම බුද්ධානුස්සති භාවනාවයි. මෙයට අප දන්නා නව අරහාදී බුදුගුණ ගැනීමට හැකිය. නමුත් බොහෝ දෙනා වචනයෙන් දැන සිටිනවා පමනක් විනා ඒ වචනයන්ට කැටිව ඇති බුදුගුණවල සරල තේරුම වුවද නොදනී. ඒ නිසා මෙම ලිපිය නිසි ලෙස අප දන්නා බුදුගුණ වුවද විස්තරාත්මකව, අර්ථසහිතව භාවනාව හරියාකාරව වැඩෙන ලෙස කිරීමට උපකාර කරගත හැක. (මේ සඳහා ධර්මධර ස්වාමීන් වහන්සේලාගේ කෘති කිහිපයක්ද යොදාගෙන කරගෙන ඇත).

බුදුගුණ සිහිකිරීම ප්‍රධාන වශයෙන් අපට බුදුරජාණන් වහන්සේ ගැන, උන්වහන්සේ අවබෝධ කොට වදාළ ශ්‍රී සත්ධර්මය ගැන, සංඟ රත්නය ගැන සිත පහදවා ගැනීමට පළමුකොටම උපකාරවේ. ආලවක යක්ෂයා “මේ සත්වයා ගසාගෙන යන ඕඝය තරණය කරන්නේ කුමක පිහිටා සිටදැයි ?” අසූ විට බුදුරජාණන් වහන්සේ පිළිතුරු ලෙස වදාළේ “ශ්‍රද්ධාය තරතී ඕඝං” යනුවෙනි. එනම් මේ සසර සැඩ පහර තරණය කිරීමට ශ්‍රද්ධාව උවමනා බවයි. එයින් පැහැදිලි වන තවත් කරුණක් නම් මේ සසරින් මිදීමට ශ්‍රද්ධාව නැති කිසිවෙකුට, කිසිකලකවත් නොහැකි වූ බවයි. අනාගතයේද නොහැකිවන බවයි. ඒ ශ්‍රද්ධාව ඇති කරගත යුත්තේ වෙනින් කිසිවකට නොව තෙරුවන් කෙරෙහිය. එහිදී තෙරුවන් ලෝකයට පහළ වීමට බුදුරජාණන් වහන්සේ නමක් පහළ විය යුතුමය. ඒ නිසියි අප පළමුවෙන්ම බුදුන් සරණ යන්නේ. මෙතරම් ගුණ ඇති බුදුරජාණන් වහන්සේ කෙරේ පැහැදුණු ආනන්ද හිමියන්ගේ ශ්‍රද්ධාව කැටිවූ කුසල චිත්තයට කල්ප ගණනාවක්ම සක්විති රජ පදවිය දරන්නට තරම් විපාක සිත බලවත්වූ බව ගෞතමයන් වහන්සේ දිනක් යම් සිදුවීමක් මුල් කරගනිමින් පෙන්වා දුන් සේක. නමුත් උන්වහන්සේ එම භවයේම නිවන් අවබෝධ කරන බවද බුදුරජාණන් වහන්සේ දේශණා කළ සේක. ඒ වාගේම බුදු ගුණයට සුළු සිත් පැහැදීමකින් මට්ටකුණ්ඩලී, වයසක මැහැල්ලක්, තිරිසන් සත්වයන් පවා දෙව් බඹුන්ගේ සැප ලද බව ධර්මයේ සඳහන් වේ.

මෙලොවදී අපට බුදුගුණ සිහිකිරීමෙන් ලැබෙන අනුසස් නම් සිතේ අකුසල චේතනා දුරුවේ, සිත හා කය සැහැල්ලු වේ, වස විසෙන් වන හානි දුරුවේ, විපත් අඩුවේ, අමනුෂ්‍ය උවදුරු අඩුවේ, දේව ආරක්ෂාව සැලසේ, නොපමවාම චිත්ත සමාධිය වැඩේ. ඉඳුරන් ශාන්තවේ. රුව ප්‍රසන්න වේ. මරණාසන්න මොහොතේ සිහිවිකල් නොවේ, මරණින් මතු සම්මා දිට්ඨි ඇති භවයක උපදී, බුදුකෙනෙකුන් හෝ මහා රහතන් වහන්සේ වැඩ සිටිනා සමයක උපත ලබුවේ නම් උන්වහන්සේ තමා වෙත එළඹ ධර්මයෙන් සංග්‍රහ කරයි. බුදුගුණ භාවනාවට කැමැත්ත ඇතිකර ගැනීමටද, ඇති කැමැත්ත වැඩි කර ගැනීමටද මේ අනුසස් නිතර සිහිකිරීම හොඳය. මන්ද අප සියලු දෙනාම අන් අයට ප්‍රිය ඇති, උවදුරු නැති කෙනෙක් වීමට කැමති නිසාය. මෙසේ අනුසස් දැන බුදුගුණ මෙනෙහි කරන්නා අවසන අමාමහ නිවනෙන්ම සැනසීම ලබයි.



අරහං බුදු ගුණය -

          ස්වාමීනි! භාග්‍යවතුන් වහන්ස! ඔබ වහන්සේ අවිද්‍යා, සංඛාර, විඥාණ, නාමරූප, සළායතන, ඵස්ස, වේදනා, තණ්හා, උපාදාන, ජාති, ජරා, ව්‍යාධි, මරණ ඉක්මවූ හෙයින්ද,

        ඔබ වහන්සේ අනන්ත යසස, කීර්තිය, ධනය, බලය, ශීල, සමාධි, ප්‍රඥා, ධ්‍යාන යන කිසි දෙයකින් උඩඟු නොවූ හෙයින්ද,

අතිශය පාරිශුද්ධ රහසින්වත් පවක් නොමැති තුන් දොරක් ඇති හෙයින්ද,

ඇසින් රූප දැක, කනින් ශබ්ද අසා, නාසයෙන් ගඳ සුවඳ දැන, දිවෙන් රස දැන, ශරීරයෙන් ස්පර්ශය ලබා, මනසින් අරමුණු දැන ඒවාට නොඇලුනු සේක. නැවත නුපදින පරිදි සියලු කෙළෙසුන් දුරින්ම දුරුකළ සේක. මේසා අනන්ත ගුණ ඇති ඔබ වහන්සේ අරහං නම් වන සේක.....

 

සම්මා සම්බුද්ධ බුදු ගුණය -

ස්වාමීනි! භාග්‍යවතුන් වහන්ස! ඔබ වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයටම අයත් අකාලික වූ ශ්‍රී සත්ධර්මය තමන් වහන්සේම අවබෝධකරගත් සේක.

රූප, වේදනා, සංඥා සංඛාර, විඥාන යන පංච උපාදානස්කන්ධය දුකක් බව මැනවින්, පිරිසිඳුව පරම සත්‍යයක් ලෙස අවබෝධ කරගත් සේක.

එම දුක උපදවන්නා වූ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා යන ත්‍රිවිධ තණ්හාවන් සමුදය සත්‍ය වශයෙන් මැනවින්, පිරිසිඳුව පරම සත්‍යයක් ලෙස අවබෝධ කරගත් සේක.

අවිද්‍යාවෙන්, තණ්හාවෙන් තොරව පවත්නා වූ නිර්වාණ ධාතුව නිරෝධ සත්‍ය වශයෙන් මැනවින්, පිරිසිඳුව පරම සත්‍යයක් ලෙස අවබෝධ කරගත් සේක.

 

සංඛාර, විකාර, ලක්ඛණ, ප්‍රඥාප්ති, නිබ්බාන යන පස් වැදෑරුම් නෛයය ධර්මයන්, ගුරු උපදෙස රහිතවම තමන් වහන්සේ විසින්ම අවබෝධ කරගත් නිසා සම්මා සම්බුද්ධ නම්වන සේක.

 

විජ්ජාචරණ සම්පන්න බුදු ගුණය -

ස්වාමීනි! භාග්‍යවතුන් වහන්ස! ඔබ වහන්සේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණය අවබෝධ කරගන්නා වූ විදර්ශනා ඥානයන්ගෙන්ද,

අසම සම වූ අනන්ත අපරිමාණ වූ සෘධි ප්‍රාතිහාර්යන් පාන්නා වූ සෘධි ප්‍රාතිහාර්ය ඥානයන්ගෙන්ද,

මේ ලෝක ධාතුව තුළ පවතින ඕනෑම කටහඬක් ඒ මොහොතේම අසා දැන ගත හැකි දිව්‍ය ශ්‍රෝත ඥානයෙන්ද,

අනන්ත වූ සත්වයාගේ පරක් තෙරක් නොමැති සිත් දන්නා වූ නුවණ ඇති පරචිත්ත විජානන ඥානයෙන්ද,

අනන්ත වූ සත්වයාගේ කෙළවරක් නොමැති පෙර භාවයන් දැන ගැනීමට හැකි පුබ්බේ නිවාසානුස්මෘති ඥානයෙන්ද,

අනන්ත වූ සත්වයා මැරී මැරී ගොස් උපදින තැන් ගැන දැනගන්නා වූ දිබ්බ චක්ඛු ඥානයෙන්ද,

කාමාශ්‍රව, භාවාශ්‍රව, දිට්ඨාශ්‍රව ආදී ආශ්‍රවයන් ක්ෂය කරන ආශ්‍රව ක්ෂයකරන ඥානයෙන්ද,

ප්‍රාතිමෝක්ෂ සීලය, ඉන්ද්‍රිය සංවර සීලය පමණ දැන ආහාර වැළඳීම, කුසලාකුසල කර්ම, ශ්‍රධාව, හිරි ඔතප්, බහුශ්‍රැත භාව, වීර්ය, සිහිය, ප්‍රඥාව, ධ්‍යාන සතර යන පසළොස් චරණ ධර්මයගෙන්ද සමන්නාගත වන හෙයින්ද ඔබවහන්සේ විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

සුගත බුදු ගුණය -

ස්වාමීනි! භාග්‍යවතුන් වහන්ස! ඔබ වහන්සේ දීපංකර බුද්ධ පාදමුලයේ සිට විජය ශ්‍රී ජයශ්‍රී බෝ මැඩ දක්වාම ශාන්ත ගමනින්, යහපත් ප්‍රතිපධාවෙන් පැමිණි හෙයින්ද,

දෙතිස්මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුක්ත වන හා අසහාය, ශාන්ත, අසමසම රූප කාය විලාශයක් ඇති හෙයින්ද,

අන්තයන් දෙකෙන් බැහැරව මධ්‍යම ප්‍රතිපධාවෙන් උතුම් වූ චතුරාර්ය සත්‍ය තමාම අවබෝධ කරගත් හෙයින්ද,

පරම සත්‍ය වු ද, සාරවත්, ගම්භීර වූ ද, අර්ථවත් වූ ද, මුල මැද හා අග යහපත් වූ ස්කන්ධ වශයෙන් අසූ හාරදහසක් වූ ශ්‍රී සත්ධර්මය සත්වයාගේ අමා සුවය පිණිසම දේශණා කළ හෙයින්ද ඔබවහන්සේ සුගත නම් වන සේක.

ලෝක විදු බුදු ගුණය -

ස්වාමීනි! භාග්‍යවතුන් වහන්ස! ඔබ වහන්සේ ලෝකය, ලෝක සමුදය, ලෝක නිරෝධය, ලෝක නිරෝධ ගාමිණී පටිපදා මාර්ගයද,

සත්ව ලෝකය, සංස්කාර ලෝකය, අවකාශ ලෝකය යන ලෝකත්‍රයන්ද,

අපාය භූමි සතර, කාම භූමි සත, රූප භුමි සොලොස, අරූප භූමි සතර යන තිස් එක තලයන් හා ලෝක ධාතූන්ගේ සම්මුති, පරමාර්ථ සියල්ල යතා අයුරින් අවබෝධ කරගත් හෙයින් ඔබ වහන්සේ ලෝක විදු නම්වන සේක.

අනුත්තරෝ පුරිස ධම්ම සාරථී බුදු ගුණය -

ස්වාමීනි! භාග්‍යවතුන් වහන්ස! ඔබ වහන්සේ ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය, ආජීව පාරිශුද්ධ ශීලය, ප්‍රත්‍ය සංනිශ්‍රිත ශීලය, ඉන්ද්‍රීය සංවර ශීලය ආදී චතුර්විධ ශීලයගෙන්ද,

ශීල විසුද්ධිය, දිට්ඨී විසුද්ධිය, චිත්ත විසුද්ධිය, කංඛා විතරණ විසුද්ධිය, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය, ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය, ඥාන දර්ශන විසුද්ධිය යන සප්ත විසුද්ධියෙන් ද,

ශීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන්, විමුක්තියෙන්, විමුක්ති ඥාන දර්ශනයෙන්ද,

ලොව කිසිවෙකුටවත් දමනය කළ නොහැකි වූ චණ්ඩ වූ, පරුෂ වූ, ජෛනයන්, ජටිලයන්, තීර්ථකයන්, දෙවියන්, බඹුන්, මිනිසුන්, ප්‍රාතිහාර්ය ඥානයෙන්, ආදේශනාවෙන් මහා කරුණාව පෙරදැරිව අප්‍රමේය ප්‍රඥාවෙන් තුන් ලෝකයා දමනය කළ හෙයින් ඔබ වහන්සේ අනුත්තරෝ පුරිස ධම්ම සාරථී නම් වන සේක.

 

සත්ථා දේව මනුස්සානං බුදු ගුණය -

ස්වාමීනි! භාග්‍යවතුන් වහන්ස! ඔබ වහන්සේ දෙවි මිනිසුන්ගේ මෙලොව, පරලොව යහපත උදෙසා මහා කරුණාවෙන් ශ්‍රී සත් ධර්මය දේශණා කළ හෙයින්ද,

ලෝභ, ද්වේශ, මෝහ, මාන, දිට්ඨි යන කෙලෙස් දුරු කිරීම පිණිස ද,

දාන, සීල, භාවනා, කුසල විපාකයන් සඳහා ද,

පස් පව්, දස කුසල්, පංච නීවරණයන් දුරු කිරීම සඳහාද,

ජාති, ජරා, ව්‍යාධි, මරණයන් ඉක්මවා යෑම සඳහා ද,

තුන් ලෝකයාටම ශ්‍රී සත් ධර්මය අවබෝධ කරවීම සඳහා ධර්මය දේශනා කළ හෙයින් ද ඔබ වහන්සේ සත්ථා දේව මනුස්සානං වන සේක.

බුද්ධෝ බුදු ගුණය -

ස්වාමීනි! භාග්‍යවතුන් වහන්ස! ඔබ වහන්සේ දුක, දුක ඇතිවීම, දුක නිවීම, දුක නිවීමේ මග යන සතර ආර්ය සත්‍යයෝ, සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන වසයෙන් දොළොස් ආකාරයකින්ද,

පිළින, සංඛත, සන්තාප, විපරිනාම යන දුක්ඛාර්ත සතරකින්ද,

ආයුහන, නිදාන, සංයෝග, පළිබෝධ යන සමුදයාර්ථයන් සතරින්ද,

නිස්සරණ, විවේක, අසංඛත, අමතා යන නිරෝධාර්ථයන් සතරින්ද,

නියයායන, හේතු, දස්සන, ආධිපත්‍ය යන මාර්ගාර්ථයන් සතර යන චතුරාර්ය සත්‍ය ධර්මයන් දොළොස් අයුරකින් අවබෝධ කර දේශණා කළ හෙයින්ද,

අත්ථ පටිසම්භිදෙ, ධම්ම පටිසම්භිදෙ, නිරුක්ති පටිසම්භිදෙ, පටිභාන පටිසම්භිදෙ යන චතු විශාරද ඥානයෙන් ද,

ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානය, යමක පටිහාරියේ ඥානය, මහා කරුණා සමාපත්ති ඥානය, සබ්බඤ්ඤූ ඥානය, අනාවරණ ඥානය යන ෂට් අසාධාරණ ඥානයන්ගෙන්ද.

නවා අරහදී බුදුගුණ බලයෙන්ද, දස බල ඥාන බලයෙන්ද, සූවිසි ප්‍රත්‍ය ඥාන බලයෙන්ද, තෙසැත්තෑ ඥානයෙන්ද, සත්සැත්තෑ ඥානයෙන්ද, අනන්ත අප්‍රමේය වූ ඥානයෙන්ද සමන්විත වන ඔබ වහන්සේ හෙයින් බුද්ධ නම් වන සේක.

භගවා බුදු ගුණය -

ස්වාමීනි! භාග්‍යවතුන් වහන්ස! ඔබ වහන්සේ ශ්චර්ය භාග්‍ය, කාම භාග්‍ය, යස භාග්‍ය, ශ්‍රී භාග්‍ය, ධර්ම භාග්‍ය, ප්‍රයත්න භාග්‍ය යන් භාග්‍යන්ගෙන් ද,

ක්ලේශ මාර, අභිසංස්කාර මාර, ස්කන්ධ මාර, දේවපුත්‍ර මාර, මච්චු මාර යන මාරයෝ සියල්ල පරාජය කළ හෙයින්ද,

ස්කන්ධ, ධාතු, ආයතන, සත්‍ය, ඉන්ද්‍රිය, පටිච්ච සමුප්පාද ධර්ම, දශ අකුසල ධර්ම, දස කුසල ධර්ම, දස සංයෝජන ධර්ම, දස පාරමී, දස සංඥා හා පංච නීවරණ ධර්මයෙන් මනා කොට අවබෝධ කළ හෙයින්ද,

සතර සතිපට්ඨානය, සතර සෘධිපාද, සතර සම්‍යක් ප්‍රධාන වීර්ය, පංච බල, පංච ඉන්ද්‍රිය, සප්ත බෝධිඅංඟ, ආර්ය අෂ්ටාංගික මාර්ග යන සත් තිස් බෝධි පාක්ෂික ධර්මයන් අවබෝධ කර හෙයින්ද,

මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා, දානය, ප්‍රිය වචනය, අර්ථ චර්යාව, සමානාත්මතාවය, ත්‍රිවිධ චර්යා සහ පංච මහා දානයන්ගෙන්ද,

භාජනය කලයුතු ගුණ භාජනය කළ හෙයින්ද, විභාග කළ යුතු සියලු ධර්මයන් විභාග කළ හෙයින්ද ඔබ වහන්සේ භගවා නම් වන සේක.

සාරිපුත්ත මහරහතන් වහන්සේ

ගෞතම බුද්ධ ශාසනයේ ප්‍රඥාවන්ත භික්ෂූන් අතරින් අග තනතුර දැරූ දකුණත්සව් මෙන්ම ධර්ම සේනාධිපතීන් වහන්සේද වූයේ අප මහා උතුමන් වහන්සේ වන සාරිපුත්ත මහ රහතන් වහන්සේය. ඇහැළ මලේ රන්වන් පාට සිරුරකින් හෙබි උන්වහන්සේට එතරම්ම පුණ්‍යස්කන්දයක්, තේජස් බලයක් තිබුණද පිරිසෙන් කැපී පෙනීමට කිසි විටෙක ක්‍රියා නොකළහ. මහා ගුණ සඟවා ගනිමින් නිහඬවම වැඩ සිටියහ. දිනක් සත් හැවිරිදි එදා පැවිදිවූ සාමණේර නමක් උන්වහන්සේට සිවුර බිම ගෑවෙන බව දක්වමින් වරද පෙන්වා දුන්හ. සැරියුත් හිමියෝ ඒ මොහොතේම තම සිවුර මනාවට සකසා ගනිමින් දෙඅත් එකතුකොට කුඩා සාමනේර හිමියන්ගෙන් “දැන් නිසිලෙස නෙවෙදැයි ආචාරිනී..” යනුවෙන් ඇසීය. උන්වහන්සේ සඟරත්නයේ පළමු ශ්‍රාවක රත්නය වෙද්දීත් එසේ නිහතමානීවම හැසිරුණි. දිනක් බුදුරජාණන් වහන්සේ පවා අගයමින් කතා කළ මන්තානිපුත්ත පුන්න රහතන් වහන්සේ හමුවීමට යන මගේ වෙහෙස නිවාගැනීමට සිටි ස්ථානයේ ශාන්ත ඉඳුරන් ඇති භික්ෂුවක් හමුව උන්වහන්සේගෙන් දහම් පරියායක් විමසා සිටියහ. මනා පිළිවදන් නිසා සැරියුත් තෙරණුවෝ ඔබ වහන්සේ කවුරුදැයි අසා සිටි විට මා මන්තානිපුත්තයන් යැයි හඳුන්වමින් “මනා සංවර ඇති පින්වත් ඔබ වහන්සේ කවුරුදැයි ” උන්වහන්සේත් අසා සිටියහ. එවිට “මා ගිහිකල උපතිස්ස දැන් සාරිපුත්ත යනුවෙන් හඳුන්නවා යැයි ” කියා සිටි විට පුන්න හිමියෝ “ඔබ වහන්සේ ධර්ම සේනාධිපතියන් වහන්සේ බව නොදැනයි දහම් කරුණු පෙන්වා දුන්නේ, හිමියනි ඔබ වහන්සේ මහා නිරහංකාරයි....” යනුවෙන් පවසමින් උන්වහන්සේගේ ගුණ වර්ණනා කළේය. තවත් දිනෙක අසංවර භික්ෂු පිරිසක් නිසා උන්වහන්සේ ගසක් මුල රාත්‍රිය ගතකළේය. උන්වහන්සේ රාත්‍රී සැතපීමට පෙර, සියලු සත්වයාගේ ගුරුවරයාවූ බුදුරජාණන් වහන්සේ වැඩසිටි දෙසටත් දෙවනුව තමාට දහම් මගට එන්නට උපකාර කළ අස්සජී හිමි සිටි දෙසටත් නමස්කාර කළහ. උන්වහන්සේ මේ ශාසනයේ පළමු ශ්‍රාවක රත්නය වූවද තමාට මග පෙන්වූ, උපකාර කළ උතුමන්ට නිසි ගෞරවය දක්වන්නට තරම් නිරහංකාර වූහ.

මහමෙව්නා වෙබ් පිටුවෙන් උපුටා ගන්නා ලදි


උන්වහන්සේගේ පින්වත් උපත සිදුවූයේ නාලක නම් බමුණු ගමේ වංගන්ත බමුණාත්, රූපසාරී බැමිණියත් දෙමාපියන් කොටගෙනය. ගිහිකල උපතිස්ස නමින් හඳුන්වනු ලැබූ මේ කුමරුවාට කෝලිත නම් තම සමවයස් කල්‍යාණ මිත්‍රයෙක්ද විය.

මේ දෙදෙනාටම තරුණ පිරිස පන්සීයක්ද සිටියහ. යහපත් පැවතුම් ඇති මේ පින්වත් කුමාරවරු පිරිස දිනක් උත්සව භූමියකට ඇතුල් විය. විවිධ නෘත්‍ය, සාද ආදී කම්සැප දනවන සිත් වශී කරන දෑ මේ භූමියේ සිදු වූවත් වෙනදා තරම්වත්, මේ සිත් බඳවන දේවල් කෙරේ නොඇලී ‘ගිරග්ග සමජ්ජ’ නාට්‍ය නරඹන අතරතුර මේ අර්ථධර්ම විරහිත, නොගැඹුරු දේ තුළ තවත් බැසගෙන සිටීම නොවටිනා බව සිතා දෙමිත්‍රයන්ම ධර්මයක් විමසා, සොයා යෑමට අනෙත් පිරිසේද කැමැත්ත ඇතිව ගිහිගෙයින් නික්ම ගියහ. එහිදී විවිධ ශාස්තෲන් හමුවූහ. නමුත් දෙමිත්‍රයෝ තමන් සොයා ආ මග මෙය නොවන බව වහාම පසක් කරගතහ. මේ නිසා පිරිස එකම මග මෙලෙස ගමන් කිරීම ආ කාරණය පමා කරනා නිසා එක මග ගමන් නොකිරීමටද, සොයනා යම් ධර්මයක් හමුවූවකු අන් පිරිසටද දන්වන ලෙස කතිකා කරගෙන වෙන් වෙන් මාර්ගයන් කර යොමුවිය. මෙසේ යන ගමනේ උපතිස්ස කුමාරයාට ශාන්ත ඉඳුරන් ඇතිව මග වඩිනා අස්සජී මහරහත් තෙරුන් හමුවී උන්වහන්සේගෙන් කෙටි ධර්ම දේශණාවක් අසා උතුම් සෝවාන් ඵලයට පත්විය. වහාම අන් පිරිසත් තම කලන මිතුරාත් හමුව ගිහිගෙයින් එකට නික්මුනා සේම බුදුරජාණන් වහන්සේගේ පිහිට පතාගෙන උන්වහන්සේ සිටි දෙසට ගමන් ඇරඹීය. එසේ එන පිරිසට භාග්‍යවතුන් වහන්සේ ශ්‍රී හස්තය දිගු කර “අර පිරිසේ මුලින්ම පැමිණෙන්නේ මගේ සාසනයේ අග්‍රශ්‍රාවක යුගලය යැයි ” පෙන්වාලූ සේක. එසේ පැමිණි සියලු දෙනාම ඒහි භික්ෂු භාවයෙන් පැවිදි විය. මේ කුමරුවාට රූපසාරී මවගේ පුත් යන අදහස ඇති සරිපුත්ත යන නාමයෙන් සාසනයේ ප්‍රකට විය. දිනක් බුදුරජාණන් වහන්සේ සූකරකත ලෙනේ වැඩසිටිමින් දීඝනක තාපසයා හට දේශණා කළ ධර්මය, සැරියුත් හිමියෝ භාග්‍යවතුන් වහන්සේට පවන් සලමින් අසා සිටියහ. ඒ මොහොතේ මේ ධර්මය කෙරේ සිත පිහිටුවාගෙන සිටි සැරියුත් හිමියන් සියලු කෙලෙස් නසා උතුම් අරිහත් භාවයට පත්විය.

මීට කල්ප ලක්ෂයකට පෙර දවස පාරමී පුරමින් සිටි සැරියුත් හිමියෝ සාරද නමින් පංච අභිඥා, අෂ්ට සමවතින් යුතුව ශිෂ්‍ය වහන්සේලා පන්සීයක්ද සමගින් හිමාලයේ එක වස් සමයක වාසය කළහ. දිනක් එදවස ලොව පහලව සිටි අනෝමදස්සී සම්බුදුහිමියන් මේ පින්වත් තවුසා දැක ඔහුට අනුග්‍රහය පිණිස අහසින් එතනට වැඩි සේක. කාය ලක්ෂණ විද්‍යාව දත් සාරද තවුසා මේ බුදුරජාණන් වහන්සේ නමක් බව වහාම හඳුනාගෙන උන්වහන්සේට වැඩ සිටීමට උස් ආසනයක් සකස් කර දුන්හ. තවුසාගේ ශිෂ්‍ය පිරිසද මේ මොහොතේ ඵලවැල නෙළා ගෙන අවුදින් අග්‍රවූද ප්‍රනීත කොටස භාග්‍යවතුන් වහන්සේට පිරිනැමූහ. සඟ පිරිසද භාග්‍යවතුන් වහන්සේ කොහේ සිටි දැයි බලද්දී කාරණා තේරුම්ගෙන සියලු මහරහත් පිරිසත් එතනට වැඩ සිටියහ. මහත් පැහැදීමට පත් ශිෂ්‍ය පිරිස සහ තවුසා, බුද්ධ ප්‍රමුක සඟ පිරිසට සැදැහැ සිතින් උවැටන් කළහ. මෙහිදී භාග්‍යවතුන් වහන්සේ තම ශ්‍රාවක පිරිසෙන් අග්‍රශාවක පදවියට පත්වන හිමිනම දක්වමින් උන්වහන්සේව එම තනතුරෙහි පිහිටුවා ලූ සේක. මෙම සිදුවීමෙන් මහත් චිත්ත ප්‍රසාදයට පත්වූ මේ තවුසා අනෝමදස්සී බුදුහිමියන්ට වන්දනා කරමින් තමාද අනාගත බුදු සමයක මෙසේ අගරශ්‍රාවක පදවියට පත්වන්නට අභිලාශයක් ඇති බව පවසා සිටියේය. එවිට බුදුරජාණන් වහන්සේ අනාගත ලෝකය දෙස බලමින්, එය ගෞතම නමින් ලොව පහළවන බුදුන් වහන්සේ දවස ඔබේ පැතුම ඒ ලෙසම සමෘධ වන බව පවසමින් විවරණ ලබා දුන් සේක. එතැන් පටන් ආ සසරේ සැරියුත් හිමියෝ ගුණදම් වඩමින් මහබෝසතුන්වද හමුවෙමින් පාරමී දම් පිරීය. එසේ ආ මේ භයානක සසරේ  උන්වහන්සේ එක භවයක සුරාසොඬෙක් හා මස් ගිජුකමකින් යුත් රජෙක්ව සිටියේය. දිනක් මස් ආහාරයක් නැති නිසා තමාට සුරතල් කුඩා කුමරුවා මරා දී, මස් භෝජනයක් පිළියෙළ කරගෙන කෑවේය. පසුව සිහිය ලැබ තමා මේ කරගත් මහා අපරාදය වෙන කුමක් නිසාවත් නොව තමාගේ සුරාවට ඇති ගිජුකම බව දැන “මතු සසරේ කිසිදිනෙක් සුරාවට ලොල් නොවෙමියි ” දැඩිව අධිෂ්ඨාන කර සිටියහ. තවත් භවයක උන්වහන්සේ රසයට නොඇලෙමියි කියා මේ අයුරින්ම දැඩිව අධිෂ්ඨාන කළහ. එසේ කෙලෙස් මාරයාගෙන් වෙන්වෙමින් ආ උන්වහන්සේගේ භික්ෂු ජීවිතයේ කිසිඳු කෑමකට, පුද්ගලයෙකුට නොඇලී වාසය කළේය. ඒ වාගේම භාග්‍යවතුන්ගේ ගිහිකළ එකම පුත්‍රයා වූ රාහුල පින්වත් කුමරුවාව පැවිදි කිරීමට බුදුරජාණන් වහන්සේම සැරියුත් හිමියන්ට පැවරූ සේක. ඒ වාගේම කිසිඳු ලැබීමක් නොමැති ලෝසක දරුවා පැවිදි කිරීම සිදුකළා සේම, ලැබීමෙන් අග්‍රස්ථානය පත්වන සීවලී කුමරුවද පැවිදි කිරීමට පැවරුණේ උන්වහන්සේටය. එය උන්වහන්සේගේ දිවිය දෙස බැලීමේදී දැකිය හැකි සුවිශේෂීවූ සිදුවීම් කිහිපයකි. ඒ වාගේම උන්වහන්සේ ගිලන් භික්ෂූන්ට නිතරම උවැටන් කළහ. ඒ අයගේ සැපදුක නිතරම සොයා බැලූහ. වරක් ලාදුරු රෝගයෙන් පීඩා විඳි සමිතිගුත්ත තෙරුන්ට උපස්ථාන, ධර්ම අවවාද කර නිවන් මග පාදා දුන්නේය. එලෙසම කිසිවෙකුගේ පිහිටක් නැති, වයස්ගත රාධ බමුනාටත් පැවිදි වීමට, මහණ දම් පිරීමට උපකාර කළේ සැරියුත් හිමියන්මය. උන්වහන්සේ මවක් සේ එතරම්ම සඟ පිරිසේ පිහිටට සිටියේය.

දිනක් සැරියුත් හිමියන් “තම සිරුරේ ගැටී සමාවවත් නොගෙනම වැඩියේ  යැයි ” කියමින් භික්ෂුවක් බුදුහිමියන් හට ගතු කීය. එවිට සියලු භික්ෂු සඟයා මැද බුදුරදුන් මේ කාරණය ගැන සැරියුත් හිමියන්ගෙන් විමසා සිටි සේක. එවිට උන්වහන්සේ “භාග්‍යවතුන් වහන්ස, කායානුපස්සනාවෙන් යුත් මම ගින්නට පිරිසිඳුදේ හෝ අපිරිසිඳු දේ හමුවේ ගැටීමක් නැතිවා සේ, ගින්න සමකොට මාද එසේයි සිටින්නේ. ජලය පිරිසිඳු, අපිරිසිඳු දේ හමුවේ ගැටීමක් නැත්තා සේ, ජලය සම කොටයි මා සිටින්නේ. අං කැඩී ගිය ගොනා යම්සේ කිසිවෙකුට හිරිහැරයක් නැතිද මාත් එබඳු ගොනෙකු පරිද්දෙනුයි සිටින්නේ...” යනුවෙන් කියා සිටිමින් පාපිස්නකට, රොඩී කොල්ලෙකුට, සුළඟ... ආදීයට උපමා කොට තමා මේ ජීවිතය දෙස, මේ කය දෙස බලනා සැටි කියා සිටියහ. මේ නිසා චෝදනාව කළ භික්ෂුවම පසුව එය ඉවත් කරගත්හ. මහා ප්‍රඥා ඇති උන්වහන්සේ මානයෙන් තොරව, කයේ යතා ස්වභාවයම ප්‍රකට කරමින් වැඩ සිටියහ. නමුත් විවිධ භික්ෂූන් උන්වහන්සේ දොස් දැක්කේය. දිනක් උන්වහන්සේ ගැන බුදුරජාණන් වහන්සේ ආනන්ද හිමියන්ගෙන් “ඔබටත් සාරිපුත්තයන් රුස්සන්නේ නැතිද” යනුවෙන් අසා සිටි සේක. එවිට අනඳ හිමියෝ “ස්වාමීනි, යම් මෝඩනැති, මුලානැති, නොවිකෘති සිත් ඇති අයෙක් වේ නම් ඔහුට සාරිපුත්තයන් වහන්සේව නොරුස්සන්නට හේතුවක් නොමැත. මහත්වූ, වේගවත්වූ, තියුණුවූ ප්‍රඥා ඇතිව, උතුම් ගුණ ඇතිව වාසය කරයි, විවේකීව නොඇලී වාසය කරයි.....යනාදී වශයෙන් ගුණ පෙන්වා සාරිපුත්තයන් හට නොරුස්සන්නට, අපහදින්නට හේතු නොමැතයි ” අනඳ හිමියෝ කියා සිටියහ. දිනක් සමාධි සුවයෙන් වැඩසිටියදී සැරියුත් හිමියන්ට එක් යක්ෂයෙක් පවිටු සිත් ඇතිව ශක්තිමත් පහරක් හිසට එල්ල කළහ. නමුත් උන්වහන්සේගේ තේජස හා සමාධි බලය නිසාම කිසිඳු වේදනාවක් සිදු නොවුනිද ඒ පහරදුන් යක්ෂයා ඒ මොහොතේම පොලොව විවරවී ගිනි දළු මතින් නිරයට ගියේය. යක්ෂයාට දිට්ඨදම්මව කර්ම ඵල විඳීමට සිදුවුනේ ආර්ය, ගුණ ඇති, භික්ෂූන්ගේ නායකයා වූ උන්වහන්සේට හිරිහැර කිරීම නිසාය. තවත් දිනෙක විවිධ අවස්ථාවල හටගැනෙන බඩේ රුජාවක් උග්‍රවුනු මොහොතේ මුගලන් හිමියෝ බෙහෙතක් සොයා ගැනීමේ අදහසින් පිණ්ඩපාතයට පිටත්විය. මේ බව දැනගත් දෙවි කෙනෙක් නිවසකට අරක්ගෙන, මෙහෙයවා රුජා නසනා කිරිබතක් උන්වහන්සේට පිළිගැන්විය. එය උන් වහන්සේ ගෙනගොස් සැරියුත් හිමියන්ට දුන් පසු මෙය නොකැප යයි දැන, නොවළඳා විසි කරන්නට යයි කීහ. මේ නිකෙළෙස් බව නිසාම උන්වහන්සේගේ බඩේ රුජාව ඒ මොහොතේම නැතිවී ගියේය.

උන්වහන්සේගේ ගිහි කළ සොයුරන් වූ උපසේන, චුන්ද යන සොයුරන්ද චාලා, උපචාලා, සීසුපචාලා යන සොයුරියන්ද පැවිදිව මහරහත් භාවයට පත්විය. බාලම සොයුරා වූ රේවත කුමරුවද මහණ වීමේ ආශාවෙන් සිටි නමුත් මව බලෙන්ම වාගේ ඔහුව විවාහ කරලීය. නමුත් ගමන් ගන්නා මගුල් රථයෙන් පැන අවුත් රේවත කුමාරයා, සඟයා වහන්සේලා හට තමාව මහණ කරලන්නැයි ඉල්ලා සිටියහ. වැඩිමහල් සොයුරා වන සැරියුත් තෙරණුවෝ මේ බව පිරිසට කලින් දන්වා තිබූ නිසා රේවත කුමරුවාටද පැවිදි වී උතුම් අරිහත් භූමියට පත්වන්නට හැකිවිය. පැවිදිව කදිර වනයේ වාසය කරමින් සිටි නිසා කදිරවනීය රේවත මහරහතන් වශයෙන් උන්වහන්සේව හඳුන්වනු ලැබිණි. ඒ මුත් මව පමණක් තවමත් මිත්‍යාදෘෂ්ටියෙන් යුතු නිසා සැරියුත් හිමියෝ තම පරිනිර්වාණය සිදුකිරීමට මවගේ ගෙදර තෝරාගෙන බුදුරජාණන් වහන්සේ ශ්‍රී පාද පද්මය ස්පර්ශ කරමින් වන්දනාමාන කර පිරිනිවීමට අවසර ගෙන ගමට වැඩියහ. එවිට මව් පැමිණ සියලු උපස්ථාන කර පිළිගත් නමුත් මේ සසර මග සිඳලූ ආර්ය උතුමෙක් බව නොදැන සිටියාය. උන්වහන්සේ තම කුටියට වැඩම කර සිටිනා මොහොතේ සක්දෙවිඳු, මහ බඹු උන්වහන්සේගේ කුටියට දිව්‍ය ආලෝක පතුරුවමින් පැමිණ වැඳ නමස්කාර කොට සිටියහ. මේ ආශ්චර්යමත් සිදුවීම දැකගත් මව පැමිණ ඒ ආලෝක කුමක්දැයි අසා සිටියාය. එවිට උන්වහන්සේ “දෙදෙව් ලොවට අදිපති සක්‍ර දේවේන්ද්‍රයාත්, ඔබ සැදැහැතිව වන්දනා කරන ලෝකය මැව්වා යැයි කියන මහබඹුත් බව ” පවසා සිටි විට මව අතිශයින්ම පැහැදී දෙව්, බඹුන් වඳිනට තරම් මාගේ පුත්‍රයා උතුම් බවත්, පුත්‍රයාට පිහිටවූ ඒ භාග්‍යවතුන් වහන්සේ පරම උතුම් බවත් දැන සැදැහැතිව තෙරුවන් සරණ ගියාය. මෙසේ තම මවටද අවසන් මොහොතේ ධර්මයේ පිහිට ලබා දෙමින් ප්‍රඥාවෙන් අගතැන්පත්, තුන්ලොවටම පහන් සිලක් බඳු ගුණ සාගරයකින් හෙබි ධර්ම සේනාධිපතීන් වහන්සේ දෙව්, බඹුන් හා සැදැහැති සියල්ලෝම සංවේගයට පත්කරමින් පිරිනිවන් පෑහ.

Wednesday, April 28, 2021

දේව පිහිට

    අද සමාජයේ බොහෝ පිරිස දේව වන්දනාවට, දෙවියන්ගෙන් පිහිටක් පැතීමට හුරුවී සිටී. කරදරයකදී, අසරණවීමකදී, නඩුවකදී, විභාගයකදී... වැනි අවස්ථාවලදීය. ඒ නොමැතිව දෙවියන්ට ඇති අමුතු කරුණාවකට නොවේ. මේ ලෙස පිහිටක් බලාපොරොත්තුවෙන් දේවාල වැඳීම, පලතුරු වට්ටි පූජාව, භාර හාර වීම හා ගාථා ස්තෝත්‍ර කීම වැනි දෑ සිදු කරති. මෙය කාලයක් පුරාවට අප අතර පැවත එන්නකි. නමුත් මෙම සියලු වතාවත් හා විධික්‍රම ලක්දිව මුල් බැස තිබූ ඒවාද... නැත. දකුණු ඉන්දියාවේ පැලපදියම්ව තිබූ දේවල්ය. අද ඒ සමහරෙක්වා පන්සල් භූමියද ආක්‍රමණය කර ඇත. නොමැතිව බුදුරජාණන් වහන්සේවත්, අනුබුදු මිහිඳු මාහිමියන්වත් හඳුන්වා දුන් ඒවා නොව... ධර්ම දායාද නොව. පසු කාලවලදී ඇතිවූ සොළී ආක්‍රමණ, ඉන්දීය කුමාරිකාවන් ගෙන්වාගෙන සරණපාවා ගැනීම්, හින්දු දහම අදහන ද්‍රවිඩ ජනතාව ව්‍යාප්ත වීම... වැනි කරුණු නිසා ඇතිවූ ඒවාය. ඒ කෙසේ උනද වර්තමානයේ ඒ දේවල් මෙහේ මුල් බැසගෙන ඇත. දේව වන්දනා, ඇදහිලි, පොල් ගැසීම් වල ඇති සත්‍ය අසත්‍යතාව ධර්මයට අනුකූලව සොයා බැලීම, විමසීම වටී. ඊට පෙර මේ සියලු දේවල් කා අරමුණු කරගෙන කරන දේවල්ද, කාගේ පිහිටක් පතා කරනා දේවල්ද... දෙවියන් උදෙසායි. එසේනම් පළමුවම ඒ දෙවියන් කොහොම අයදැයි විමසා බැලීම වටී.

    දෙවියන් ලෙස අප හඳුන්වනු ලබන්නේ පින් බලය නිසාම, ඒ පින භුක්ති විඳීමට විපාක භූමියක් ලෙස ඇති දෙව් තලයේ උපත ලැබූ අයටය. හරියට අප අපගේ පින් බලමහිමය මත මිනිස් ලොව උපත ලැබීම වාගේය. වෙනස ඇත්තේ අපට වඩා දෙවියන් සතු පින්බලය වැඩිකම මත ඔවුනට විශේෂ හැකියාවන්ද, ඉහළ සැපසම්පත්ද ලැබී තිබීමය. නමුත් කාලය ආ විට අපට මරණය උරුමයි වාගේ ඔවුනටද දෙව්ලොවින් චුතවීමට සිදුවේ. ඒ කාලය තුළ ඔවුන් ඒ ලැබූ දෙව් සැප විඳිමින් රිසිසේ කාලය ගතකරයි. නොමැතිව නිතර දෙවේලේ මිනිසුන්ගේ දුක්ගැනවිලි සොයා බැලීමට, පිහිටවීමට බලා සිටින පිරිසක් නොව. නමුත් සමහර අවස්ථාවල මනුලොව සත්වයින්ට උපකාර කළ තැන් නැතිවාද නොවේ... ඒ මනුසත්වයින් තුළ ඇති ගුණධර්ම, සීලය වැනි කාරණා දැකය (මෙත් වැඩීමේ ආනිශංසයක් ලෙස දේව රැකවරණය ලැබෙන බවද ධර්මයේ සඳහන්වේ). එවැනි බොහෝ අවස්ථා බුදු දහමේ සඳහන්වේ. අප මහා බෝසතානන් සහ උන්වහන්සේගේ ශ්‍රාවක සංඟ රත්නයේ උතුමන් පාරමී පුරන සමයේදීද දෙවිවරු උදව්කල බොහෝ අවස්ථා ඇත. නැතිනම් කෙනෙකුට උපකාරයක් කිරීමට ඉදිරිපත්වන එකම හේතුව පෙර භවයක ඇති ඥාති සඹඳතාවක්  මතය.

    සුනීත, සෝපාකට, ඇඟිලි කැපූ අංගුලිමාලට හෝ ඇඟිලි අහිමිකරගත් කිසිවෙකුට දේව පිහිටක් නොලැබිණි. නමුත් මහා කාරුණිකයන් වහන්සේ ඒ හැමදෙනාටම එකහා සමානව පිහිට වූහ. මේ සියලු දෙනාම ඒ පිහිටෙන් උතුම් වූ සැනසීමට, නිවනට පත්වුහ. දිනක් ගිහිකල මිනීමරු අංගුලිමාල රහතන්වහන්සේ මග වඩිමින් සිටින විට අමාරුවෙන් සිටින ගැබිණි මවකට ප්‍රසූත වේදනාව සමනය කරගෙන, දරුවා බිහි කිරීමට බුදු හිමියන්ගේ අනුදැනුම මත සත්‍යක්‍රියාවක් කොට සෙත සැලසූහ. සමහර විට ඒ මව එම මොහොතේද දෙවියන්ගෙන් පිහිටක් යදිමින් සිටින්නට ඇත. නමුත් ඒ අසරණ මවට දෙවියන්, බඹුන් සහිත ලෝකයේ පිහිටක් ලැබුණේ බුද්ධ පුත්‍රයෙක්ගෙනි. අංගුලිමාල රහතන්වහන්සේ සත්‍යක්‍රියාව කළ තැනට සෙත සලසා ගැනීමට ගර්භණී මව්වරුන් අදටද පැමිණේ. ඒ පිහිට ලබාගත් මවට පිහිටවූ අංගුලිමාලට පිහිටක්, සරණක් ලැබුණේ කාගෙන්ද...? බුදුරජාණන් වහන්සේ සහ උන්වහන්සේ අවබෝධ කළ ශ්‍රී සත් ධර්මයයි... මිනීමරුවෙකු අපායෙන් මිදවූයේ, සැනහුවේ බුදුහිමියන් හා ධර්මයයි.

    නමුත් අප පිහිට පතාගෙන යන ඒ දෙවියන්... ඔවුන්ද අසරණය. ගැටළු, උවදුරු ඇති දෙවිවරු බුදුසමිදාණන් වැඩසිටි සමයේ උන්වහන්සේ හමුවීමට පැමිණියහ. එම නිසාම බුදුරජාණන් වහන්සේ ‘මැදියම් කිස’ යනුවෙන් රාත්‍රියේ වෙනම වෙලාවක් දෙව් බඹ පිරිසට වෙන්කරදී තිබූ සේක. හොඳම නිදසුන නම් ‘මංගල කරුණු’ පිළිබඳ ඇතිවූ ගැට‍ළුව විසඳා ගැනීමට සියලු දේව සමූහයාත් සමග සක්‍ර දේවේන්ද්‍රයා ඇතුළු පිරිසට බුදුරදුන්  වෙත පැමිණීමය. තවත් අවස්ථාවක දෙදෙව් ලොවට අදිපති සක්‍ර දේවේන්ද්‍රයා තම දේව පිරිසට “යම් බියක්, තැතිගැන්මක් ඇතිවූ විට තමාව හෝ තම ධජය හෝ පාලක දේව පුත්‍රයන් හෝ සිහිකරන මෙන්ද පවසා සිටියත් සෑම විටම ඒ මගින් යහපතක් නොවන්නේ ඔවුන් වීතරාගී, විතදොසී, වීතමෝහී නොවන නිසාත් එවැනි අවස්ථාවක බුද්ධ රත්නය, ධර්ම රත්නය හෝ සංඟ රත්නය සිහි කරන මෙන් බුදුහිමියන් වහන්සේ තම ශ්‍රාවක පිරිසට වදාළේ තුනුරුවණ වීතරාගී, විතදොසී, වීතමෝහී වන නිසා බවත් ධජග්ග සූත්‍රයෙන් පෙන්වා දුන් සේක. තවත් වරෙක රාහු අසුරින්ද්‍රයාගේ ග්‍රහණයෙන් මිදීමට චන්ද්‍ර දිව්‍ය පුත්‍රයාද පිහිට පතා පැමිණියේ බුදු හිමියන් වෙතය. බුදුන්ගේ බුදු බලය හමුවේ පලාගිය රාහු අසුරයා පවසා සිටියේ උන්වහන්සේගේ කීමට පිටින් ගියානම් තම හිස හත්කඩකට පැලීයන බවය. එලෙසම රාහු අසුරයාගෙන් බේරීමට සුර්ය දිව්‍ය පුත්‍රයාද පිහිට පැතුවේ දස දහසක් සක්වලට ආඤ්ඥා  චක්‍රය පතුරවා සිටි බුදුහිමියන්ගෙනි. එසේ තිබියදී අප රාහු අපලයට භාරහාර වේ. පිළිසරණ තිබෙන තැන අතහැර අප වෙන වෙන පිළියම් සොයයි. හරියට හිරු තිබියදී කණාමැදිරි එලිය පසුපස යෑමක් වැනිය. මෙසේ අසිහියෙන් කරනා ක්‍රියා නිසා දේව පිහිට කෙසේ වෙතත් මිත්‍යාදෘෂ්ටිකත්වයට වැටීමනම් ඒකාන්තය. මිත්‍යාදෘෂ්ටිකයකුට කල්ප ගණනක් නිවන තියා සුගති භූමියක් දැකගැනීමටවත් නොහැකි වේ. එසේ නම් සිතිය යුත්තේ කුඩා අස්වැසිල්ලකට සල්ලි වියහියදම් කර සුර දමාගෙන, පුජාවට්ටි කරගසා සතර අපායට එකතුවෙනවාද නැතිනම් දෙලොවම මහා සැප දෙන බුදු දහම මත පිහිටා නියම පිහිට ලබා ගන්නවාද කියාය. බොහෝ දෙනාට සේසතම විකුණා හෝ දෙවියන්ගෙන් පිහිටක් බලාපොරොත්තුවෙන් වන්නේ සීලය පිහිටා සිට, ධාර්මිකව සිට ස්වඋත්සාහයෙන් නැගී සිටීමට නොහැකි, ශක්තියක් නැති දීන පුද්ගලයන් නිසාය. ඒ නිසා අරක කරදෙන්න, මේක කරදෙන්න කියා දේවාල ගානේ, සාත්තරකාරයන් ගාව වැඳ වැටේ.

    බුදු දහමට අනුකූලව කිසියම් පින් කටයුත්තක යෙදී සම්‍යදෘෂ්ටික ඇතුළු සියලු දෙවි දේවතාවන්ට පින් අනුමෝදන් කරීම ඵල සහිත ක්‍රියාවක්ය. එහි වරදක් නොමැත. ධර්මයක පිහිටා රැකවරණයක් පැතීම කම්නැත. එය සපුරාම බුදු දහමට එකඟය. සතරවරම් දෙවිවරුන්ද බුදුහිමියන් හමුවේ කියා සිටියේ සත්පුරුෂ, ධාර්මිකයාට වන අමනුෂ්‍ය හෝ වෙනයම් උවදුරකදී පිහිටවීමට ඉදිරිපත්වන බවයි. සක්‍රදෙවියන්ද සත්පුරුෂයාට නමස්කාර කරන බව පවසා ඇත. එසේ තිබියදී බොරු කියමින්, වැරදි දේ කරමින්, පන්සිල් කමින්, අධාර්මිකව සිටින කෙනා හට දෙවියන් පිහිටක් වීමට ඉදිරිපත් වන්නේ කුමන කරුණක් නිසාදැයි සිතා බැලීම වටී. මන්ද ඉහළ සැපසම්පත් විඳින පිරිසක් වන දෙවියන් පලතුරකට, පූජාවකට උදව් කරනවා කියා සිතීමට නොහැක. ඒ කලින් සඳහන් කලා මෙන් ඔවුනට අපට වඩා සැපසම්පත් වලින් යුතුව ඇති නිසාය. දිව්‍ය භෝජන ඇති ඔවුන්ට අපගේ වසවිස කැවූ පලතුරු වට්ට්ටි, වැඳීම් පිදීම් අවශ්‍ය නොවේ.  එසේනම් පැහැදිලි වන එකම කරුණ නම් දේව අනුග්‍රහයක්, කරුණාවක් සත්‍ය වශයෙන්ම ලබාගැනීමට නම් යමෙක්ට උවමනාවේ නම් සත්පුරුෂ ධර්මයේ ඔහු හැසිරිය යුතුවේ. ධර්මයේ හැසිරෙන්නට නම් සත් ධර්මය කුමක්ද කියා දැනගත යුතුවේ. ධර්මය දැනගැනීමට නම් සත් ධර්මය කුමක්දැයි විමසා බැලිය යුතුවේ. ධර්මය කුමක්දැයි විමසීමට නම් දහම කෙරෙහි කැමැත්තක්, ශ්‍රද්ධාවක් ඇතිවිය යුතුවේ. ශ්‍රද්ධාව තිබේ නම් ඒ කෙනා පළමුවෙන්ම මුළාවෙන් කරනා වැඳුම් පිදුම්, යාතිකා සාස්තර ඇසීම් නතර කළ යුතුවේ.

Tuesday, April 27, 2021

ශ්‍රද්ධාව

    පැහැදීම, විශ්වාසය හා ගෞරවය ශ්‍රද්ධාව ලෙස සරලව විග්‍රහ කළ හැක. මෙය කා කෙරේ, කුමක් කෙරේ ඇතිවීමද ? පළමුව තුන්ලෝකාග්‍ර බුදුහිමියන් වහන්සේ කෙරෙත් උන්වහන්සේගේ මහා ගුණ ඇතුළු ශාස්තෘ ඥානය කෙරෙත්, උන්වහන්සේ අතැඹුලක් සේ අවබෝධ කොට වදාළ ශ්‍රී සත් ධර්මය කෙරෙත් හා ඒ ශාස්තෘ සරණ සහ ධර්මය සරණ ගිය සඟ රත්නය කෙරෙත්ය. බෞද්ධයන් ලෙස අප ශ්‍රද්ධාවන්ත විය යුත්තේ මේ බුද්ධ, ධම්ම හා සඟ යන උතුම් තුණුරුවන කෙරේය. නැතිනම් දෙවියන් කෙරේවත්, දේවාල කෙරේවත්, කේන්දර හෝ යාගහෝම කෙරේවත් නොවේ.

    පිළිවෙලින් මේ ශ්‍රද්ධාව ආරම්භ වන්නේ අමුලිකා (මුල නැති) ශ්‍රද්ධාවේ සිටය. මන්ද අප උපතින් බෞද්ධයන් වුවාට හරිහැටි දැනීමකින් තිසරණ සරණ ගොස් නැත. ඒ නිසා හරිහැටි ශ්‍රද්ධාවක්ද නැත. මව්පිය පෙළඹවීමෙන්, ගුරුවර වැඩිහිටි මගපෙන්වීමෙන් හා පරම්පරාවෙන් ලබාගත් බෞද්ධකම හුදු අනුකාරකයක්, සිරිතක් පමණි. එසේ නොවී හරි හැටි බුදුරජාණන් වහන්සේගේ බලමහිමය, අනන්ත ඥානය ඇතුළු ශක්තිය දැන කෙමෙන් කෙමෙන් පැහැදීම ඇතිවී ඒ හරහා ධර්මය හා සඟ රතන්යන් දෙක ගැනද පැහැදී තමාගේ දුරවබෝධය දුරුකර ගැනුමෙනි නියම ශ්‍රද්ධාවට පැමිණෙන්නේ. මෙසේ වීමට නම් ඒ පුද්ගලයා සත්ධර්ම ශ්‍රවණයට, දහම කියවීමට අවකාශය සලසා ගත යුතුය. බුදුරජාණන් දවස අහම්බෙන් දහම අසන්නට මග පෑදුනු අයද තුනුරුවණේ සරණ ගියේය. එම නිසා අපද අහම්බෙන් හෝ ඇසෙන්නට සැලසෙන ධර්මයක් නුවණ මෙහෙයවමින් ඇසීම අපටම වන මහත් ලාබයකි. මෙසේ අසන හෝ ඇසෙන ධර්මය කෙරේ නුවණ ඇත්තාට තේරුම් යාමෙන් පැහැදීම, විශ්වාසය ඇතිවේ. මේ කෙමෙන් ඇතිවන පැහැදීම, විශ්වාසය වැඩිවී ඔහු ඒ දහම අවබෝධ කරගත් බුදුරජාණන් වහන්සේ කෙරේද එලෙසම පැහැදේ. ගෞරවය ඇතිවේ. එලෙසම උන්වහන්සේ මේ දහම අවබෝධ කරගැනීමට සසරේ විඳි අනෙක දුක්, ගත් වීර්ය ගැන කුකුස දුරුවේ. උන්වහන්සේගේ අවබෝධ ඥානය ගැන වැටහේ. ධර්මය නෛර්යාණික බව (නිවනට පමුණුවන බව) වැටහේ. ඒ මගේ ගමන් කරන සඟ පිරිස නිවැරදි ප්‍රතිපදාවේ බව වැටහේ. මෙසේ නුවණින් වටහා ගැනීමෙන්, පැහැදීමෙන් ඇතිවන ශ්‍රද්ධාව, ආකාරවතී ශාද්ධාව (කරුණු දනීමෙන්ම ඇතිවන) වේ. මෙසේ ඇතිවන ප්‍රසාදයයෙන් දහමේ යෙදෙන්නා අනිත්‍ය, දුක්ක, අනාත්ම ලෝකය නිසරු බවත්, අනන්ත බුදුගුණ හා උන්වහන්සේගේ අසිරිමත් කාය බල, ඥාන බල ගැන අවිශ්වාස නොකරයි. උදාහරණයක් වශයෙන් උන්වහන්සේගේ පින්වත් උපත සිදුවන විට ලෝකයේම මල් පිපී සැණකෙළි ස්වරුපයක් ගන්නා බව, උන්වහන්සේ උපතෙදී පළමුව සුරතට ගත්තේ නිවන් ලැබූ බ්‍රක්ම රාජයන්.... වැනි සිදුවීම් පුහු මිත්‍යා, අතිශෝක්ති ලෙස නොදකී. එය උන්වහන්සේගේ අපරිමිත පුණ්‍ය ස්වභාවයට සිදුවූ දේවල් බව තේරුම් ගනී. නැතිව විද්‍යාව සමග සසඳා බැලීමක් නැත. මේ තත්වයට පත්වන් කෙනා තුළ අචල ශ්‍රද්ධාවක් ඇත. ඔහුට තුනුරුවන කෙරේ කිසිඳු සැකයක් නොමැත. ඒ වාගේම ඔහු මහා දාන, පූජා අනවශ්‍යයි, දන් නොදී භාවනාවෙන්ම පමණක් නිවන් ලණිය හැකිය යන් මතයන්ද බොරු බව ප්‍රඥාවෙන් දකිමින් ඒවායින්ද බැහැරවේ. දැන්පැන් පූජාව, තුනුරුවන් වැඳීම, වැනි කටයුතුද හුදු ආගමික ක්‍රියාවකට ඒහා ගිය ප්‍රඥාවන්ත කමකින් කරයි. සමහරුන් ගෙදර දොරේ වැඩද දමා දුරගමන් වන්දනා වල යයි. වන්දනා කරන්න ගියේ මොකක්ද කියාවත් නොදැන. මෙසේ බුද්ධියකින් තොරව කටයුතු කරන බොහෝ වයසක පිරිස් සිටි. තවත් සමහරෙක් සෝවාන් වීමට පන්ති යයි. මේ කිසිවක් අචල ශ්‍රද්ධාවන්තයාට නැත. මන්ද ඔහු නිතැතින්ම සෘතවත් ආර්ය ශ්‍රාවකයෙකි. ඔහු නිතරම ධර්මයේ ගලපමින් හැම ක්‍රියාවක්ම කරයි.