භාවනාව හැඳින්වීම

භාවනාව හරියාකාරව මුලසිට ඉගෙනගනිමු.

ශ්‍රද්ධාව

තුනුරුවණ කෙරේ ශ්‍රද්ධාවන්තයින් වී උතුම් නිර්වාණ මාර්ගය විවර කරගමු.

Sunday, May 21, 2023

රජතුමාගේ ප්‍රශ්න තුන

 පර්ත් නුවර පැවති අධ්‍යාපන සම්මන්ත්‍රණයක ප්‍රධාන දේශනය පැවැත්වීම සඳහා මට ආරාධනයක් ලැබී තිබිණි. මා ඒ ස්ථානයට ලඟා විට, කාන්තාවක් පෙරට අවුත්, මා පිළිගත්තා ය. සම්මන්ත්‍රණයේ සංවිධායිකාව ඇය බව, පැළඳ සිටි ලාංඡනයකින් දැක්විණි.

“ඔබ වහන්සේට මා මතක ද...?” ඇය මගෙන් ඇසුවා ය.

එය පිළිතුරු දීමට අපහසු, ඉතා අනතුරුදායක ප්‍රශ්නයකි.

“නැහැ” මම සෘජු පිළිතුරක් දුන්නෙමි.

සත් වසරකට පෙර, ඇය විදුහල්පති තනතුරු දැරූ පාසලේ දී මා පැවැත් වූ දේශනයක ඇතුළත් වූ කතන්දරයක්, ඇඟේ ජීවිතයේ ගමන් මග වෙනස් කිරීමට හේතු වූ අයුතු ඇය සිහිපත් කළා ය. විදුහල්පති තනතුරින් ඉල්ලා අස් වූ අයුරු ඇය සිහිපත් කළා ය. විදුහල්පති තනතුරින් ඉල්ලා අස් වූ ඇය, පාසල් හැර ගොස්, වීදි දරුවන්, ළාබාල ගණිකාවන් සහ මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවන් බවට පත්ව සිටි ළමයින් නිසි මගට යොමු කිරීම සඳහා වැඩ සටහනක් ක්‍රියාත්මක කිරීමෙහි නිරත ව සිටියා ය. තමන්ගෙ වැඩ සටහනක් ක්‍රියාත්මක කිරීමෙහි නිරතව සිටියා ය. තමන්ගෙ වැඩ සටහනට රුකුලක් වූයේ, මා පැවසු කතාන්දරය බව ඇය පැවසුවා ය. මා ඒ කතාන්දරය උපුටා ගත්තේ, ලියෝ ටෝල්ස්ටෝයිගේ කෙටි කතා පොතකිනි. ඈත අතීතයේ දී, එක් රජ කෙනෙක් ජීවිතය පිළිබඳ දර්ශනයක් සෙවීමෙහි උත්සුක විය. සිය රාජ්‍ය පාලනයකට මග පෙන්වීම සඳහා ඔහුට බුද්ධිය අවශ්‍ය විය. එකල පැවති ආගම් හා දර්ශන පිළිබඳව එතුමා තෘප්තිමත් නො වීය. එබැවින්, එතුමා ජීවිත අත්දැකීම් මගින්, සිය දර්ශනය පිළිබඳව සොයා බැලී ය.

මූලික ප්‍රශ්න තුනකට පමණක් පිළිතුරු ලබා ගත යුතු බව, අන්තිමේ දී එතුමාට වැටහිණි. ඒ පිළිතුරු ඇසුරින්, තමන්ට අවශ්‍ය බුද්ධිමත් මාර්ගෝපදේශකත්වය ලබා ගත හැකි බව එතුමා කල්පනා කළේ ය.

ඒ ප්‍රශ්න තුන මෙසේ ය.

01. ඉතා ම වැදගත් වෙලාව කුමක් ද..?

02. ඉතා ම වැදගත් පුද්ගලයා කවුද..?

03. කළ යුතු ඉතා ම වැදගත් කාර්යය කුමක් ද..?

දීර්ඝ කාලයක් සොයා බැලීමෙන් පසු තාපසයකු හමු වී, පිළිතුරු තුන සොයා ගැනීමට රජතුමාට හැකි විය. ඒ පිළිතුරු මොනවා දැයි ඔබට සිතා ගත හැකි ද? කරුණාකර ඒ ප්‍රශ්න දෙස යළිත් අවධානය යොමු කරන්න.

පළමුවැනි ප්‍රශ්නයට පිළිතුර, අප කවුරුත් දැන සිටියත්, බොහෝ විට එය අමතක වේ. ඉතා ම වැදගත් වේලාව, මේ මොහොත ය. අපට හැම විට ම ඇත්තේ, මේ මොහොත පමණකි. ඔබේ මවට හෝ පියාට, ඔබ කොපමණ ආදරේ දැයි, කොපමණ කෘතවේදී දැයි පැවසීමට ඔබට අවශ්‍ය නම්, එය මේ මොහොතෙහි ම කරන්න. හෙට නො වේ, තවත් මිනිත්තු කීපයකින් නොවේ. මිනිත්තු කීපයකින්, ඔබ පමා වුණා විය හැකි ය. ඔබ පසුතැවිලි වන බව, ඔබේ සහකරුට/ සහකාරියට පැවසීමට ඔබට අවශ්‍ය නම්, එසේ නොකිරීමට හේතු සොයමින් නො සිට, මේ මොහොතෙහි ම එසේ කරන්න. ඒ අවස්ථාව යළිත් කිසි විටක් උදා නොවනු ඇත. මේ මොහොතෙහි ම එසේ කරන්න. ඒ අවස්ථාව යළිත් කිසි විටක උදා නොවනු ඇත. මේ මොහොත ඩැහැගන්න.

දෙවැනි ප්‍රශ්ණයට පිළිතුර ඉතා ගැඹුරු ය. නිවැරදි පිළිතුර අනුමාන කරන්නේ ටික දෙනෙකි. ශිෂ්‍යකු වශයෙන්, මම ඒ පිළිතුර ගැන දින ගණනක් කල්පනා කළෙමි. ඉතා ම වැදගත් පුද්ගලයා මේ මොහොතෙහි ඔබ, ඉදිරිපිට සිටින තැනැත්තා ය. විශ්ව විද්‍යාල මහාචාර්යවරුන් වෙත මා ඇතැම් ප්‍රශ්න යොමු කළ විට, ඔවුන් ඒ ගැන උනන්දුවක් නො දැක්වූ සැටි මට සිහිපත් වේ.  මා ධෛර්යය උපදවා ගෙන සුප්‍රකට කථිකාචාර්යවරයකු වෙත ලං වූ විට, එතුමා සිය පූර්ණ අවධානය මා වෙත යොමු කළේ ය. එවකට, දිග කෙස් වැටියක් සහිත සාමාන්‍ය ශිෂ්‍යයකු වූ මා තුළ යම් වැදගත්කමක් ඇති බව සිතා ගැනීමට එතුමා මට පිහිට විය. මහාචාර්යවරුන්ගේ සහ කථිකාචාර්යවරයාගේ ප්‍රතිචාර අතර වෙනස ඉතා විශාල විය.

අදහස් සහ ආදරය බෙදා හදා ගත හැකි වන්නේ, ඔබ ඉදිරිපිට සිටින තැනැත්තා කවුරුන් වුවත්, ඒ අවස්ථාවේ, මුළු ලොව ම සිටින වඩාත් ම වැදගත් පුද්ගලයා ඔහු බව හැඟෙන පරිදි කටයුතු කිරීමෙනි. තම සහකරු/ සහකාරිය, උවමනාවෙන් තමන්ට සවන් නො දෙන බවට විවාහක අය බොහෝ විට මැසිවිලි නගති. එහි අදහස, ඔහු /ඇය තවදුරටත් තමන් වැදගත් යයි හැඟෙන පරිදි කටයුතු නොකිරීම ය. රජතුමාගේ දෙවැනි ප්‍රශ්නයට පිළිතුර, මේ සඳහා කදිම විසඳුමකි. අප කෙතරම් කාර්ය බහුල වුවත්, වෙහෙස වී සිටියත්, අපේ සහකරු /සහකාරිය සමග සිටින විට, ඔහු /ඇය මෙලොව සිටින වඩාත් ම වැදගත් පුද්ගලයා බව හැඟෙන පරිදි, ඒ දෙවැනි පිළිතුර ක්‍රියාත්මක කළ යුතු ය.

වෙළඳ ව්‍යාපාරයක දී, අපේ ගනුදෙනුකරුවකු අපට සිටින වඩාත් ම වැදගත් පුද්ගලයා බව හැඟෙන පරිදි කටයුතු කළ විට, භාණ්ඩ අලෙවිය පමණක් නොව, එහි සේවය කරන අපේ වැටුප ද ඉහළ නගිනු ඇත. තමන්ගේ ගැටලු පිළිබඳව පැවසීමට මගෙ මිතුරන් මා වෙත පැමිණෙන විට, ඔවුන් ඉතා වැදගත් සේ සලකා සාකච්ඡා කරමි.

අධ්‍යාපන සම්මන්ත්‍රණයේ සංවිධායක කාන්තාව, ඒ වීදි දරුවන් සමග පැවති ප්‍රථම සම්මුඛ පරීක්ෂණයේ දී ‘වඩාත් ම වැදගත් පුද්ගලයා තමන් ඉදිරිපිට සිටින තැනැත්තා ය යන සංකල්පය ක්‍රියාත්මක කළා ය. ඒ දරුවන්ගේ ජීවිතයේ මුල් වරට, තමන් වැදගත් යයි හැඟෙන පරිදි කටයුතු කළේ, බලගතු කාන්තාවකි. එපමණක් නොව, ඔවුන් වැදගත් බව ඒත්තු ගැන්වීමෙන්, ඇය කළේ ඔවුන් ගැන තීරණ ගැනීම නොව ඔවුන්ගේ දුක්ගැනවිලි වලට සවන් දීම ය. තමන්ට ගරු කරන බව ඒ දරුවන්ට හැඟිණි. ඒ කෙසේ වෙතත්, ඒ අවස්ථාවේ දී, වඩා වැදගත් වූයේ මගේ දේශනය නො වේ. මගේ දේශනයට පසු එක් දරුවෙක් ද දේශනයක් පැවත්වී ය. පවුලේ අඬදබර, මත්ද්‍රව්‍ය, අපරාධ ආදිය පිළිබඳවත් ඒ කාන්තාවගේ වැඩසටහන් මගින්, ජීවිතය පිළිබඳ බලාපොරොත්තු යළිත් ඇති වී, ඉක්මනින් විශ්ව විද්‍යාලයට ඇතුල් වන බවත්, ඔහු සඳහන් කළේ ය. එදා ප්‍රධාන දේශනය වූයේ එයයි.

ජීවිතයේ වැඩි කාලයක් ඔබ ගත කරන්නේ තනිවම ය. ඒ නිසා, ඔබ ඉදිරිපිට සිටින වඩාත් ම වැදගත් පුද්ගලයා, ඔබම ය. ඔබ සඳහා වැදගත්කමක් ලබා දීමට, කාලය ඕනෑ තරම් තිබේ. ඔබ උදේ පිබිදෙන විට, මුලින් ම දකින්නට ලැබෙන, ඔබ දන්නා හඳුනන පුද්ගලයා කවුද? ඔබම ය. ‘සුබ උදෑසනක් යනුවෙන් ඔබ ඔබට සුබ පතනවා ද? මම නම් එසේ කරමි. ඔබ නිදන්නට සැරසෙන විට අවසන් වරට දකින්නට ලැබෙන පුද්ගලයා කවුද..? නැවතත්, ඔබම ය. ‘සුබ රැයක්’ යනුවෙන් මම මට ම සුබ පතමි. දවස තුළ, බොහෝ පෞද්ගලික අවස්ථාවල, මා වැදගත් බවට මට හැඟෙන පරිදි කටයුතු කරමි. එය බොහෝ පලදායි වේ.

රජතුමාගේ තෙවැනි ප්‍රශ්නයට (කළ උය්හ්ටු ඉතාම වැදගත් කාර්යය කුමක් ද?? පිළිතුර, කරුණාව දැක්වීම ය.

‘කරුණාව දැක්වීම යන්නෙහි අදහස පැහැදිලි කිරීම සඳහා පහත දැක්වෙන කතන්දර ඉදිරිපත් කරමි.


Friday, May 19, 2023

අනුන්ට දොස් පැවරීම


වැදගත් තීරණයක් ගැනීමට තැත් කරනා විට, මීට ඉහත කතාන්දරයේ සඳහන් ක්‍රමවේදය, ඔබට භාවිත කළ හැකි ය. එහෙත් ඔබ ඒ ක්‍රමවේදය අනුගමනය කිරීම අනිවාර්ය නොවේ. ඒ කුමක් වුවත්, තීරණය ඔබගේ ය. එය සාර්ථක නො වේ නම්, මට චෝදනා නො කරන්න.

එක් සරසවි ශිෂ්‍යාවක්, අපේ භික්ෂුවක හමුවීමට පැමිණියා ය. ඊට පසු දා වැදගත් විභාගයක් පැවති බැවින්, පිරිත් සජ්ජායනයක් මගින් තමන්ට ආශීර්වාද කරන ලෙස, ඇය ඉල්ලීමක් කළා ය. භික්ෂුව, ඇය කෙරෙහි කරුණාවෙන්, ඒ ඉල්ලීම ඉටු කළ අතර ඒ සඳහා මුදල් අය කිරීමක් නො වීය. ඇය මුදල් පරිත්‍යාගයක් කලේ ද නැත.

ඇය යළිත් කිසි දිනක දකින්නට නො ලැබිණි. අපේ විහාරස්ථානයේ භික්ෂූන් අදක්ෂ යයි ද, නිසි පරිදි ආශීර්වාද කරන සැටි අප දැන සිටියේ නැතැයි ද යනුවෙන් ඇය අපට දොස් පැවරූ බව, ඇගේ මිතුරන්ගෙන් දැන ගන්නට ලැබිණි. ඇය විභාගයෙන් අසමත් වී තිබිණි.

විනෝදකාමී තරුණියක වූ ඇය, විභාගයෙන් අසමත් වූයේ, කිසි ම පාඩමක් නො කළ නිසා බව ඇගේ මිතුරියෝ මා සමග පැවසූහ. සරසවි ජීවිතයේ ‘එතරම් වැදගත් නො වූ අධ්‍යයන කොටස, භික්ෂූන්ගේ ආශීර්වාදයෙන් ඉටු කර ගැනීම ඇගේ බලාපොරොත්තුව වන්නට ඇත.

අපේ ජීවිතයේ යම් වැරදීමක් වූ විට, තවත් කෙනකුට දොස් පැවරීමෙන් සහනයක් ලැබේ යයි පෙනුණත්, එමගින් ගැටලුව නො විසඳේ.


Sunday, April 30, 2023

තීරණ ගැනීම

 

විසඳුමක් සහිත ගැටලුවක් සඳහා තීරණයක් අවශ්‍ය වේ. එහෙත් අප අපේ ජීවිතයේ වැදගත් තීරණ ගන්නේ කෙසේ ද?

සාමාන්‍යයෙන්, අප වෙනුවෙන් අසීරු තීරණ ගැනීම වෙනත් කෙනෙකුට පැවරීමට අපි තැත් කරන්නෙමු. එවිට, ඒ තීරණය වැරදුණොත් එහි වරද ඔහු පිට පැටවිය හැකි ය. මගේ ඇතැම් මිතුරන්, ඔවුන් සඳහා තීරණ ගැනීම මට පැවරීමට තැත් කළත් මම ඊට නො රැවටෙමි. මා කරන්නේ, තමන් ම බුද්ධිමත් තීරණ ගන්නා අයුරු ඔවුන්ට පෙන්වා දීම ය.

අප සතර මංසන්ධියකට පැමිණි, කුමන දිසාවකට යා යුතු දැයි නිශ්චිතව නො දත් විට, කළ යුත්තේ, පසෙක හිඳ ගෙන, බසයක් පැමිණෙන තුරු බලා සිටීම ය. සාමාන්‍යයෙන් අප බලාපොරොත්තු නො වූ තරම් ඉක්මනින් බසයක් පැමිණෙනු ඇත. ගමනාන්තය සඳහන් නාම පුවරුවක් හැම පොදු ප්‍රවාහන බසයක ම තිබේ. ඒ පට අවශ්‍ය ගමනාන්තය නම් ඒ බසයට ගොඩ විය යුතු ය. එසේ නො වේ නම්, මැදක් රැඳී සිටින විට, තවත් බසයක් පැමිණෙනු ඇත.

තීරණයක් ගැනීමට අපට සිදු වූ විට, ඒ තීරණය කුමක් විය යුතු දැයි, නිශ්චිත අවබෝධයක් නැත්නම්, මදක් විවේක ගෙන බලා සිටිය යුතු ය. සාමාන්‍යයෙන් අප බලාපොරොත්තු නො වූ තරම් ඉක්මනින්, විසඳුමක් ලැබෙනු ඇත. තමන්ගේ ම ගමනාන්තයක්, හැම විසඳුමකට ම තිබේ. ඒ ගමනාන්තය අපට ගැලපේ නම්, අප ඒ විසඳුම භාර ගත යුතු ය. එසේ නො වේ නම්, මදක් රැඳී සිටින විට, තවත් විසඳුමක් ලැබෙනු ඇත. මා, මගේ තීරණ ගන්නේ, ඒ ක්‍රමයට ඇය. සියලු ම තොරතුරු රැස් කර ගෙන, විසඳුමක් ලැබෙන තුරු බලා සිටිමි. මා ඉවසීමෙන් බලා සිටින හැම විටක ම, යහපත් විසඳුමක් ලැබේ. බොහෝ විට එය ලැබෙන්නේ අනපේක්ෂිත ලෙස ය.

Thursday, April 20, 2023

ඔබේ උපන් ශක්තිය යොදන්න

 

දාහත්වැනි සියවසේ විසූ, ප්‍රංශ දාර්ශනික හා ගණිතඥ බ්ලේසි පැස්කෝල් වරක් මෙසේ පැවසී ය.

“මිනිසාගේ සියලු ගැටලු උද්ගත වන්නේ, නිශ්චලව හිඳ ගෙන සිටින සැටි ඔහු නො දත් නිසා ය.”

‘නිශ්චලව හිඳ ගෙන සිටිය යුත්තේ කුමන අවස්ථාවල දී දැයි නො දත් නිසා ය’ යනුවෙන්, ඊට යමක් එකතු කිරීමට මම කැමැත්තෙමි.

1967 වර්ෂයේ දී, ජෝර්දානය, ඊජිප්තුව සහ සිරියාව සමග, ඊශ්‍රායලය යුද වැඩී සිටියේ ය. ඒ යුද්ධය අතරමැද දී, පුවත්පත් වාර්තාකරුවෙක් බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති හැරල්ඩ් මැක්මිලන් මහතා හමු වී, මැද පෙරදිග අර්බුදය පිළිබඳව එතුමාගේ අදහස් විමසී ය.

“මැද පෙරදිග අර්බුදයක් නැහැ”යනුවෙන් මේ පරිණත දේශපාලඥයා, පැකිළීමකින් තොරව පැවසී ය.

වාර්තාකරු මවිතයට පත් විය.

“මැද පෙරදිග අර්බුදයක් නැතැ යි යනුවෙන් ඔබතුමා අදහස් කරන්නෙ කුමක් ද? එහි දරුණු යුද්ධයක් පවතින බව ඔබතුමා දන්නේ නැද්ද? අප මේ කථා කරන අතරේ, බෝම්බ හෙළන බව, යුධ ටැංකි, ඔවුනොවුන් විනාශ කරන බව, සෙබළුන් සිය ගණනින් මියයන බව, ඔබතුමාට වැටහෙන්නේ නැද්ද? ඉතින් කොහොමද කියන්නෙ, මැද පෙරදිග අර්බුදයක් නැහැ කියලා ?”

පරිණත දේශපාලනඥයා, සන්සුන්ව මෙසේ පැවසී ය.

“අර්බුදයක් නම්, ගැට‍ළුවක් නම්, ඊට විසඳුමක් තිබෙනවා, මැද පෙරදිග ප්‍රශ්නයට විසඳුමක් නැහැ. ඒ නිසා ඒක ගැට‍ළුවක් නො වේ.”

විසඳුමක් නැති ගැටලු පිළිබඳව කනස්සලු වීමට, අපේ ජීවිතය කොපමණ කාලයක් අපතේ යවා ඇද්ද?