භාවනාව හැඳින්වීම

භාවනාව හරියාකාරව මුලසිට ඉගෙනගනිමු.

ශ්‍රද්ධාව

තුනුරුවණ කෙරේ ශ්‍රද්ධාවන්තයින් වී උතුම් නිර්වාණ මාර්ගය විවර කරගමු.

Friday, May 7, 2021

මහා කාශ්‍යප මහරහතන් වහන්සේ

ගෞතම බුද්ධ ශාසනයේ සීලයෙන්, ගුණයෙන් සඳක් සේ බැබළෙන දුප්පතාගේ හිතවතා ලෙස හඳුන්වනු ලැබූ යම් විරාගී මහා රහතන් වහන්සේ කෙනෙක් වේද මේ ගෞතම බුදු සසුනේ ඒ වෙන කවුරුත් නොව තෘතීය ශ්‍රාවක රත්නය වන කස්සප රහතන් වහන්සේය. උන්වහන්සේට බුදුරුවට සමානවූ රූපයක් ලැබී තිබුණේ සසරේ කළ අපමණ පිනටය. බුදුන් වහන්සේගේ කඨින සිවුර තමන්වහන්සේ ගෙන, තමාගේ සිවුර බුදු හිමියන්ට පූජා කරමින්, තුන්ලෝකාග්‍ර බුදුහිමි කෙනෙකුගේ තථාගත සිවුරක් දරාගැනීමට මේ සාසනයේ හැකිවූ එකම රහතන් වහන්සේ කස්සප හිමියන් පමණි. මේ මොහොතේදී මහ පොළොවද කම්පා විය. ඒසා ගුණ ඇති උන්වහන්සේ නිතරම නිරෝධ සමවතට සමවැදී එයින් නැගී සිට දිව්‍ය, රාජ භෝජන අතැර අසරණ, දුප්පතුන් සොයා ගොස් ඒ අයගේ පිණ්ඩපාතය බාරගත්හ. ඒ වෙන කරුණක් නිසා නොව නිරෝධ සුවය විඳි රහතන් වහන්සේ නමකට යමෙක් පහන් සිතින් දන් හැන්දක් හෝ පූජා කරත්ද එය මහා කුසලස්කන්දයක් වන නිසාය. දෙව්ලොවට, පරලොවට ඉනිමඟක් වන නිසාය. නිවනටම හේතුවන නිසාය. දිනක් දෙව් බඹුන්ගේ ප්‍රිය දසුන වූ මහා කාශ්‍යප මහරහතුන් නිරෝධ සමාපත්තියෙන් නැගිට අද කාට පිහිටවන්නේ දැයි සිතා සිටු ගෙවල් දන් පූජා කිරීමට බලා සිටිද්දී, අපිරිසිඳු මැහැල්ලක් ලුණුත් නැති කැඳකින් තම කුසගින්න නිවාගැනීමට හදනා මොහොතේ, ඇය වෙත වැඩ සිටියහ. වෙනකුගේ දනක් නොගෙන මා කරා මේ උත්තමයෝ පැමිණියේ මටම අනුකම්පාවෙන් යැයි සිතා මැහැල්ලද තම අපිරිසිඳු කැඳ ස්වල්පය පිළිගැන්විය. ඇය ඒ කරගත් පිනෙන්ම මහා තේජානුභාවෙන් යුත් දිව්‍ය සැපසම්පත් ඇති දිව්‍යාංගනාවක් ලෙස උපත ලැබීය. තවත් දිනක් නිරෝධ සමවතින් නැගී සිටි කස්සපයන් වහන්සේට දෙවි දේවතාවුන් රැස් කමින් දන් දීමට සැරසෙද්දී එය වලකාලූ නිසා  දෙවිවරු දුකින් ගොස් මේ බව සක්‍ර දෙවියන්ට සැලකර සිටියහ. එවිට සක් දෙවිඳුද හොර රහසේ තම සුජා දෙවියත් සමග ඒ මාවතේ කටුමැටි ගෙයක් මවා මහලු යුවලක් සේ වෙස්ගෙන උන්වහන්සේට දන් බෙදන්නට සැරසුණි. පාත්‍රයට දන් බෙදද්දීම මේ දිව්‍ය භෝජන බව දැන, ප්‍රතික්ෂේප කර “නුඹලා කවුරුන්දැයි” විමසා සිටියහ. එවිට සක්දෙවිඳු වැඳ නමස්කාර කරමින් මෙසේ පැවසීය. “ස්වාමීණි, දෙවියන් වූ අපටත් පිරිහීයන පින නිසා දිව්‍ය ආනුභාවය පිරිහෙයි, ඒ වාගේම මනුලොව සිටින්නන් බුදුන් හා සංඟයාට දන් දී මහත් තෙජානුභාව සහිතව දිව්‍යතලයේ උපදිද්දී ඔවුන් අපට වඩා ආනුභාවයි, ඒ නිසායි දන් පුජාවට වෙස්ගෙන ආවේ, ඔබ වහන්සේට දෙන දානය අග්‍රයි ” ලෙස පවසා සිටියේය. එවිට උන්වහන්සේ මින් මතු මෙවන් දේ නොකරන ලෙසට අවවාද කර දෙවියගේ දන පිළිගත්හ.

මහමෙව්නා වෙබ් පිටුවෙන් උපුටා ගන්නා ලදි


උන්වහන්සේගේ ගුණ, බුදුරජාණන් වහන්සේ පවා විවිධ අවස්ථාවාදී වර්ණනා කළහ. දිනක් බුදුරජාණන් වහන්සේ “එක්කෝ මා භික්ෂුන්ට අවවාද කල යුතුයි. නැතිනම් කස්සප හෝ කස්සප වැනි කෙනෙක් ”  යනුවෙන් භික්ෂූන්ට අවවාද අනුශාසනා කර යුත්තේ කවුරුන් වගේ අය දැයි පෙන්වාදුන් සේක. තවත් තැනෙක බුදුරජාණන් වහන්සේ තම දිවියත් කස්සප හිමියන්ගේ දිවියත් සසඳමින් කරුණු දැක්වූ සේක. එවැනි සම කිරීමක් බුදුහිමියන් වෙන කර නැති තරම්ය. ඒ සා ගුණ ඇති උන්වහන්සේගේ වන්දනාව මේ ලෝක ධාතුව තුළ බුදු කෙනෙක් හැර වෙන කෙනෙක් හට දරන්නට නොහැකි බව ගෞතමයන් වහන්සේම තවත් තැනෙකදී වදාළ සේක. ඒසා ගුණ සයුරක් වූ උන්වහන්සේගේ අපමණ තේජස සිතා ගැනීමට නොහැකී නම් උන්වහන්සේත්, අපත් සරණ ගිය අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ සතුව කොපමණ ගුණ සමුදායක්, තේජසක්, බලයක් ඇද්දැයි සිතා ගැනීමට කෙසේවත් නොහැකිය.

උදෑසන උන්වහන්සේගේ කුටිය අවට දින කිහිපයක් ඇමද, පිරිසිඳුකර, පැන් කළ පුරවා ඇති නමුත් කළ කවුරුත් නැති තැන මෙය දෙවි කෙනෙකුගේ ක්‍රියාවක් බව කාශ්‍යප හිමියෝ දැන ගත්හ. පසුදා උදැසන දිව්‍යාංගනාවක් පැමිණ පිරිසිඳු කිරීම් පටන්ගත් මොහොතේ කස්සප හිමියෝ පැමිණ මේ ඇයිදැයි විමසා සිටියහ. පෙර භවයේ ස්ත්‍රියක්ව සිටියදී කාශ්‍යප හිමියන්ට සැදැහැ සිතින් පොරි පූජා කරගත් මහා පිනෙන් මරණින් මතු මහත් සශ්‍රීකව ලාජා දේවතාවිය ලෙස උපත ලැබීය. මෙයට ප්‍රතිඋපකාර වශයෙන් හා තවතවත් පින් රැස් කරගැනීමේ සිතින් තමා පැමිණි බව ඇය කියා සිටියදී, උන්වහන්සේ නැවත මේ වාගේ වැඩ නොකරන්නැයි කියමින් ඇයව පිටත්කර හැරියහ. මෙසේ උන්වහන්සේගේ කරුණාව නිසාම, පුණ්‍ය තේජස නිසාම බොහෝ මිනිසුන් දන් දී මරණින් මතු සුගති ලෝකවල උපත ලැබීය. නමුත් දෙව් මිනිසුන් උන්වහන්සේට කැමති තරමට උන්වහන්සේ නිහඬ බවට, වනයට වී පිරිසෙන් වෙන්ව කල් ගෙවීමට, කැමති විය. දිනක් උන්වහන්සේට මහත් ආදරයෙන් සත්කාර  කරන මහලු කතක් වැරදීමකින් තථාගතයන් වහන්සේගේ පාත්‍රයට දානය පිළිගැන්විය. පසුව පිටිපසින් වඩින කාශ්‍යප හිමියන් හඳුනාගත් මේ මහලු කත බුදුරජාණන් වහන්සේට පිදූ දානය නැවත අත දමා ගෙන කස්සපයන් වහන්සේට පිළිගැන්විය. මේ නිසා තමා බුදුරජාණන් වහන්සේ වෙසෙන පෙදෙසේ වාසය කිරීම භාග්‍යවතුන් වහන්සේට කරන අගෞරවයක් බව සිතා එදා පටන් උන්වහන්සේ වනයේ දිවි ගෙවීමට හුරුවිය.

පාරමී පුරණ සමයේ එක භවයක උන්වහන්සේ වලස් කුලයක උපත ලැබූහ. දිනක් මේ වලසා ජීවත්වන ස්ථානය නුදුරේම පිහිටි ගැමි ගෙදරක කෑම සුවඳ දැනී ඒ ගෙදර අසලට ගියේය. එවිට ගැමියන් කැලෑ සතෙක් කියා දඬු මුගුරු වලින් පහර දී නැවත කැලයටම පන්නා දැමූහ. සිහිය උපදවාගත් වලසා කෑමට ලොල් වීම නිසා තව සුළු මොහොතකින් දිවියත් අහිමි කරගන්නවා යයි සිතා දවසක් තිස්සේම නොකා නොබී සිටියහ. ඒසා ආහාරය ගැන ඇල්ම දුරුකරමින් පාරමී පුරා පැමිණ ගමනේදී දිනක් උන්වහන්සේ ලාදුරු රෝගියෙකුට පිහිටවීමට ඒ රෝගියාගේ වෙත පිඬුසිඟා වැඩියහ. එවිට ශාන්ත ඉඳුරන් දැක පැහැදුණු සිතින් යුතුව තමන් කමින් සිටි අපිරිසිඳු ආහාරය දෙකට බෙදා කොටසක් උන්වහන්සේගේ පාත්‍රයට බෙදුවේය. ඒ මොහොතේම ලාදුරු සෑදී කුණු වී ගිය ඇඟිල්ලක කොටසක් පාත්‍රයට වැටින. ලාදුරු රෝගියාගේ මුහුණ මේ නිසා අසතුටට පත්ව “මේ දානය උන්වහන්සේ දැන්නම් කීයටවත් නොවළඳයි ” යන සිතිවිල්ල ඇතිවූ බව දැනගත් කස්සප මහරහතන් වහන්සේ ඒ මොහොතේම මාර්ගයේ පසෙකට වැඩම කර ඒ කුණුවූ ඇඟිල්ල පසෙකින් තබා දෙවි බඹුන් පමණක් නොව පොලොවද කම්පා කරවමින්  ඒ අපිරිසිඳු බත වැළඳුහ.

 

කස්සප හිමියන් දිනක් භාග්‍යවතුන් වහන්සේ හමුවට ආ මොහොතක “කස්සපය, දැන් මේ වෘක්ෂ ප්‍රතිපදාව, පාංශකූලික සිවුරු අත්හැර, දායකයන්ගේ දානාරධනා බාරගෙන, හුදෙකලාවෙන් සහ වනයෙන් මිදී සැහැල්ලු දිවි පෙවෙතකට එන්න පිළිවන් නෙවෙදැයි” අසා සිටි සේක. එවිට උන්වහන්සේ “හිමියනි, මේ දහතුනක්වූ දූතාංගයෙන් යුත් මේ දිවිය මා දරා සිටින්නේ කරුණු දෙකක් උදෙසායි. එකක් එය මට සැනසිල්ල දනවන දෙයක් නිසාවෙනි. අනෙක මා මේ මහලු වයසේදී වෘක්ෂ ප්‍රතිපදා අත්හැරි විට, අපටත් අපහසු මොහොතේ මේ ප්‍රතිපදා අතහැරිය හැකි යැයි අනාගතයේ පහළවන භික්ෂුන් සිතාවී”. එම නිසා මා මේ ප්‍රතිපදාවන් තුළ සතුටින් වාසය කරනවා යයි කියා සිටියහ. එවිට කස්සප මහරහතන් වහන්සේගේ උතුම් ගුණ වර්ණනා කරමින් භාග්‍යවතුන් වහන්සේ සාදුකාර කළ සේක. එලෙස උන්වහන්සේ සියලු දෙනාගේ නිවන පිණිස, සසුනේ චිරස්ථිතිය පිණිස වැඩ වාසය කළහ. මේ බුද්ධ සාසනයේ දහතුනක් වූ දුතාංග සියල්ලම සමාදන් වූ භික්ෂූන් කිහිප දෙනා අතරින් කස්සප මහරහතන් වහන්සේද එක් භික්ෂුවකි.

 

මීට කල්ප ලක්ෂයකට පෙර පදුමුත්තර බුදුරජාණන් වහන්සේ දවස කාශයප හිමියන් විදේහ නමින් මනුලොව උපත ලැබුහ. භාග්‍යවතුන් වහන්සේ දිනක් තෘතීය අග්‍රශ්‍රාවක පදවියත්, අග්‍ර දුතාංගධාරී පදවියත් නිසභ නම් රහතන් වහන්සේ හට පිරිස මධ්‍යයේ පිරිනමනවා දැක පැහැදුණු මේ පුද්ගලයා මා හටත් අනාගත යම් බුදු සසුනක මෙවන් තනතුරක් ලබන්නට ඇත්නම් යයි සිතා, හැටඅට දහසක් වූ භික්ෂු පිරිස හා භාග්‍යවතුන් වහන්සේ හට සත්දිනක් දන්පැන් පුදකර සිටියහ. පුදා බුදුරජාණන් වහන්සේට නමස්කාර කරමින් තම සිතේ ඇති අදහස පවසා සිට විවරණ ලැබ ගත්හ. මෙවිට මේ විදේහ ගෘහපතියාගේ බිරිඳත් යම් ප්‍රාර්ථනයක් කරමින් සිටියහ. එය නම් “මේ පින්වත් පුරුෂයාගේ සසර මගේ මාද ඔහු සමග විය යුතුයි ” යනුයි.

 

මෙසේ කුසලයෙහි හැසිරෙමින් පැමිණ විපස්සී බුදුන් දවස මේ යුවල ඒකසාටක නමින් උපත ලැබුහ. දෙපලටම එක් සළුවක් ඇති නිසා මේ නම ලැබිණි. මේ නිසා දෙදෙනාටම දහම් ඇසීමට යෑමට හැකිවූයේ මාරුවෙන් මාරුවටය. දිනක් දහම් ඇසීමෙන් මහත් ශ්‍රද්ධාව ඇතිවූ මේ පුරුෂයා, දෙදෙනාටම තිබූ එකම සළුව භාග්‍යවතුන් වහන්සේට පුජා කරමින් මහත් සතුටට පත්වූහ. මේ පින්වතාගේ අසිරිමත් ශ්‍රද්ධාව නිසා බංඳුම රජුගෙන් වටිනා සළු බොහෝ ලැබිණි. නැවත ඒවාද බුදුරජාණන් වහන්සේ හට පූජා කරමින් ඔහු අපමණ පින් රැස් කරගත්තේය. රැස් කර දෙදෙනාම දෙව්, බඹලොව අපමණ සැප විඳගනිමින් ගුණදහම්ද පුරා ගෞතම බුදුරජාණන් වහන්සේ ලොව පහළ වන කළ පිප්පලී කුමරු හා භද්‍රා කාපිලාණි කුමාරිකාව ලෙස උපත ලැබූහ. දෙපැත්තේම මාපියන්ගේ බලකිරීම මත විවාහ දිවියට එළඹියද දෙදෙනාම බඹලොව සිට ආ නිසා එක යහනේ සිටියද බඹසර රැකගෙන කාමයෙන් වෙන්ව වාසය කළේය. නමුත් වැඩිකල් නොගොස් දෙදෙනාම ගිහිගේ ගැන කලකිරී නිවන් සුව සොයා ශ්‍රමණ ජීවිතයට පැමිණියහ. මේ යන ගමනේදී එක මග දෙදෙනාම ගමන් කිරීම නුසුදුසුයි සිතා පිප්ඵලී ශ්‍රමනයන්, භද්‍රාවන් අමතා “නැගෙණිය, ස්ත්‍රී වූ ඔබත්, පුරුෂ වූ මාත් එක්ව ගමන් කිරීම ලෝකයේ උදහසටත්, අපගේ නිවනටත් අවැඩ පිණිසයි. අප මේ දෙමංසන්දියෙන් වෙන්වී, තනිව ගමන් කරමු ” යැයි කතිකා කර ගෙන වෙන්වන මොහොතේ මහ පොලොව කම්පා විය. ඒ විරාගී උතුමන් දෙදෙනාගේ ගුණ දරාගැනීමට නොහැකිවය. ඒ උතුම් දෙදෙනා සසරේ නැවත එක නොවන නිසාය. එසේ වෙනව ආ ගමනේ පිප්ඵලී ශ්‍රමණයන්ට බුදුරජාණන් වහන්සේව දැක ගන්නට ලැබිණි. දැකගත් සැනින් සසරේ හුරුව පැමිණ “ස්වාමීනි, ඔබ වහන්සේමයි මාගේ ශාස්තෘවරයා, ඔබමයි මාගේ ගුරුවරයා... මා ශිෂ්‍යයා වෙමියි...” කියා උන්වහන්සේට තුන් වරක් නමස්කාර කර සිටියහ. එහිදී උන්වහන්සේ ඒහි භික්ෂු භාවයෙන් පැවිදි බිමට ඇතුළත් විය. පැවිදි වී නොබෝ කලකින්ම උතුම් අරිහත්වයට පත්විය. භද්‍රාවන්ද භික්ෂුණි සසුනේ පැවිදිව අරිහත්වය ලබා ගත්තාය.

 

ලෝකනාථ බුදුරජාණන් වහන්සේ වෙසක් පෝ දින මහා පරිනිර්වාණය සිදුකළ විට කුක්කුට පර්වතයේ වැඩසිටි කස්සප හිමියන්ගේ සිරුරේ වනයේ මල් පරවී පතිතවිය. එවිට භාග්‍යවතුන් වහන්සේ බැහැදැකීමට අදහසින් ගමන් ආරම්භ කළ උන්වහන්සේ හට පරසතුමලක් ගෙන යන පුද්ගලයෙක් හමුවිය. ඔහුගෙන් තොරතුරු විමසූ විට බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණය කර ඇති බව දැන ඒ පෙදෙසට ලඟා විය. මේ මොහොතේ බුදු හිමියන්ගේ චිතකය දල්වන්නට හැදුවත් දෙවියන් කස්සප හිමියන් එනතෙක් උතුම් සෑය දැල්වීමට නොදී සිටියහ. උන්වහන්සේ පැමිණ, සඳුන් දර සෑයක තබා ඇති බුදුන්ගේ ශ්‍රී දේහය දක්ෂිනාවෘතව පැදකුණු කර “මාගේ ශාස්තෲන් වහන්සේගේ සිරිපතුල් යුග්මය මා අවසාන මොහොතට වන්දනාමාන කළ යුතුයි ” සිතා අධිෂ්ඨානයක් කර සෑයේ එක් පැත්තකට පැමිණ වන්දනයට නැමුණි. එවිට භාග්‍යවතුන් වහන්සේගේ සිරි පතුල් යුග්මය සඳුන් දෙනෙන් පිටතට පැමිණ කස්සප හිමියන්ගේ නළල මත පිහිටියහ. එවිට නැවත තුන් ලෝක වාසියාටම බුදුහිමියන්ගේ සිරිපා නැවත දැක ගෙන වන්දනාමාන කරගත හැකිවිය. කස්සපයන් වහන්සේද සිරිපතුල් සිඹිමින් වන්දනා කර පසු නැවත දෙන පෙර පරිදිම වැසී ගිය පසු සඳුන් දර සෑය දැල් විනි.

 

බුදුරජුන්ගේ මහා පිරිනිවීමත් සමගම සුභද්‍ර භික්ෂුවගේ අභද්‍ර කතා කන වැකුනු උන්වහන්සේ ධර්මයට, සාසනයට අනාගතයේ ඇතිවන අනතුරු ගැන සිතට ගනිමින් පළමු ධර්ම සංඟායනාව අජාසත් රජුගේ රාජ්‍ය අනුග්‍රහයද ඇතිව පැවැත්විය.

 

උන්වහන්සේ පුරා අවුරුදු එකසීය විසිපස් වසරක් වැඩ සිටිමින් පිරිනිවන් පෑමට කාලය බව දැන අජාසත් රජතුමාගේ රාජ්‍යයටද දන්වා කුක්කුටපාද පර්වතයට යලි වැඩම කර ගලක් දෙපළුවූ තැනින් පර්වතයේ මුදුනටම වැඩියහ. ඒ මොහොතේ රජතුමා නිදාගෙන සිටි නිසා කස්සප හිමියන් මාලිගයට වැඩි බව හා උන්වහන්සේ පිරිනිවන බව දැනගන්නට නොලැබිණි. මන්ද සේවකයෝ බියෙන් රජතුමාව ඇහැරවා නොසිටි නිසායි. පසුව කරුණු දැනගත් රජතුමා මහත් සංවේගයට පත්ව සිහිනැතිව ඇද වැටිනි. කස්සප හිමියන්ට දෙවිවරුන්ගේ අනුග්‍රහය සහිතව සත්රුවන් සයනයකින් යුත් දිව්‍යමය කුටියක් පර්වත අභ්‍යන්තරයේ සකසා තිබිණි. එහි උන්වහන්සේගේ ධාතු පරිනිර්වාණය වන මෛත්‍රී බුදු සසුන දක්වා නොනිවෙන පහන් සතරකුත්, කුටිය පුරා පරසතු මලුත් ඒ අයුරින්ම තිබේ. උන්වහන්සේ මහා ප්‍රාතිහාර්ය පාමින් භාග්‍යවතුන් වහන්සේ ලබාදී තිබූ සිවුරක් පෙරවාගෙන සිංහ සෙයියාවෙන් සයනයේ සැතපී අධිෂ්ඨාන කිහිපයක් කළහ. පිරිනිවීමෙන් පසු නැවත පර්වතය හා වේවා. මතු පහළවන මෛත්‍රී බුදුරජාණන් කළ දක්වා දේහයට කිසිවක් නොවී උන්වහන්සේ මේ පර්වතයට පිරිස සමග වැඩි කළ ඒ මොහොතේ මේ කය ආදාහනය වේවා සහ අජාසත් රජු පිරිනිවීම දැනගත් විට සංවේගයෙන් මේ ස්ථානයට ආ මොහොතේ මේ දෙන විවෘතව රජුට මගේ කය වන්දනාමාන කරගැනීමට හැකිවේවා යන අධිෂ්ඨානයන් කර තුන්ලෝකයාම සංවේගයට පත්කරමින් පිරිනිවන් පෑහ. පසුව අජාසත් රජු හඬා වැටෙමින් උන්වහන්සේ දැක ගැනීමට පැමණි විට කුටිය විවෘත වීමෙන් පසු මහත් ශ්‍රද්ධාවෙන් යුතුව රජු  වන්දනාමාන කළහ. ඒ වාගේම අනාගතයේදී මෛත්‍රී බුදුරජාණන් වහන්සේද මෙතනට වැඩ සිටිමින් සඟයා හට කස්සප හිමියන්ගේ දෙන විස්තර කරමින් පෙන්වන මොහොතේ උන්වහන්සේගේ දේහය සෘදියෙන් පැමිණ බුදුහිමි සමීපයේ ආදාහනය වේ. එතෙක් උන්වහන්සේගේ ශ්‍රී දේහයට කිසිවක් නොවී පවතී. එම නිසා උන්වහන්සේගේ ධාතු මේ ලොවට ලැබෙන්නේ මෙත් බුදුරජාණන් වහන්සේ දවසය. නමුත් අනන්ත ගුණැති උන්වහන්සේ ජීවමාන කාලයේදී මුවින් ගිලිහුන දන්ත ධාතූන් නමක් හා රන් කරඬුවක බහාලූ ඩාබිඳු වහන්සේ නමක්, ධාතූන් වශයෙන් අප හට වන්දනාමාන කිරීමට ඉතිරිව පවතී.

Wednesday, May 5, 2021

මුගලන් මහරහතන් වහන්සේ

      කෝලිත නම් බමුණු ගමේ ප්‍රධානියා වන මොග්ගල්ලාන බමුණාටත්, මොග්ගලී බැමිණියටත් පින්වත් පුත් කුමාරයෙක් උපත ලැබීය. කුමරාට කෝලිත නමින් නම් තැබිණි. කම්සැපය ගැන වැඩි උනන්දුවක් නැති මේ තරුණ කුමරුවා හා සම අදහස් ඇති උපතිස්ස නම් අතිජාත සමවයස් මිත්‍රයෙක්ද විය.

 මේ දෙදෙනාටම තරුණ පිරිස පන්සීයක්ද සිටියහ. යහපත් පැවතුම් ඇති මේ පින්වත් කුමාරවරු පිරිස දිනක් උත්සව භූමියකට ඇතුල් විය. විවිධ නෘත්‍ය, සාදා ආදී කම්සැප දනවන සිත් වශීකරන දෑ මේ භුමියේ සිදු වූවත් වෙනදා තරම්වත් මේ සිත් බඳවන දේවල් කෙරේ නොඇලී ‘ගිරග්ග සමජ්ජ’ නාට්‍ය නරඹන අතරතුර මේ අර්ථධර්ම විරහිත, නොගැඹුරු දේ තුළ තවත් බැසගෙන සිටීම නොවටිනා බව සිතා දෙමිත්‍රයන්ම අර්ථයක්, ධර්මයක් විමසා, සොයා යෑමට අනෙත් පිරිසේද කැමැත්ත ඇතිව ගිහිගෙයින් නික්ම ගියහ. එහිදී විවිධ ශාස්තෲන් හමුවූහ. නමුත් දෙමිත්‍රයෝ තමන් සොයා ආ මග මෙය නොවන බව වහාම පසක් කරගතහ. මේ නිසා පිරිස එකම මග මෙලෙස ගමන් කිරීම ආ කාරණය පමා කරනා නිසා එක මග ගමන් නොකිරීමටද, සොයනා යම් ධර්මයක් හමුවූවකු අන් පිරිසටද දන්වන ලෙස කතිකා කරගෙන වෙන් වෙන් මාර්ගයන් කර යොමුවිය. මෙසේ යන ගමනේ උපතිස්ස කුමාරයාට ශාන්ත ඉඳුරන් ඇතිව මග වඩිනා අස්සජී මහරහත් තෙරුන් හමුවී උන්වහන්සේගෙන් කෙටි ධර්ම කරුණක් අසා උතුම් සෝවාන් ඵලයට පත්විය. වහාම අන් පිරිසත් තම කලන මිතුරාත් හමුව ගිහිගෙයින් එකට නික්මුනා සේම බුදුරජාණන් වහන්සේගේ පිහිට පතාගෙන උන්වහන්සේ බැහැදැකීමට එකටම ගමන් ඇරඹීය. එසේ එන පිරිසට භාග්‍යවතුන් වහන්සේ ශ්‍රී හස්තය දිගු කරමින් “අර පිරිසේ මුලින්ම පැමිණෙන්නේ මගේ සාසනයේ අග්‍රශ්‍රාවක යුගලය යැයි” පෙන්වාලූ සේක. එසේ පැමිණි සියලු දෙනාම ඒහිභික්ෂු භාවයෙන් පැවිදි විය. මේ කුමරුවා මොග්ගල දෙමාපියන්ගේ පුත් යන අදහස ඇති මොග්ගල්ලාන නැතිනම් මුගලන් යන නමින් සාසනයේ ප්‍රකට විය.

මහමෙව්නා වෙබ් පිටුවෙන් උපුටා ගන්නා ලදි


මුගලන් හිමියන් බුදු සසුනේ පැවිදිව කල්ලවාල මුත්ත වනයේ වෙසෙමින් බණ භාවනාවේ යෙදෙද්දී ථීන මිද්දයෙන් පෙලෙන බව බුදුරජාණන් වහන්සේ දැන ගත් සේක. දැන සෘධියෙන් බුදු රුවක් මවා මේ නිදිමත, අලස ගතිය නිසා පිඩා විඳිමෙන් මිදීමට ධර්ම පරියායක් වදාරා සිටි සේක. එය දියුණු කිරීමෙන් උන්වහන්සේ උතුම් අරිහත්වයට පත්විය. උන්වහන්සේගේ සෘධිපෑමේ ශක්තිය අතිශය විශ්මය ජනකය, අපරිමාණය. උන්වහන්සේගේ හැකියාව දෙවැනි වූයේ භාග්‍යවතුන් වහන්සේට පමණි. දිනක් උන්වහන්සේ දෙව් ලොවට වැඩම කර සක්‍රදෙවියන්ව ධර්මයේ පිහිටුවීමට සුවිසල් වෛජයන්ති ප්‍රාසාදය පයේ මහපට ඇඟිල්ලෙන් ස්පර්ශ කර සෙලවීය. තවත් දිනෙක  බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ භික්ෂු පිරිස දිව්‍ය ලොව වෙත වඩිනා මග අසුරා සිටි සුනන්ද නම් දිව්‍ය නා රජුව දමනය කිරීමට උන්වහන්සේට පැවරුනි. එවිට හිමාලය තරම් විශාල සිරුරක් මවා සිටි නාගයාව ඊටත් වඩා විසාල සිරුරකින් වෙලා ගෙන තද කරමින්ද, එම නාගයා විස දුම පිටකරනා විට උන්වහන්සේත් ඊට වැඩි විස දුම් පිටකරමින්ද, නා රජු ගින්දර සිරුරින් පිටකරනා විට උන්වහන්සේත් ඊට වැඩි දුමක් පිටකරමින්ද භයටත්, තැතිගන්මටත් පත්කරමින් නා රජුව දමනය කර තෙරුවනේ පිහිටුවා ලීය. එක් වස් සමයක මාරයාගේ බලපෑම නිසා භාග්‍යවතුන් වහන්සේට සහ ශ්‍රාවක සඟ රත්නයට යව හාලෙන් යැපීමට සිදුවුණු. එහිදී මුගලන් මහ රහතන්වහන්සේ බුදුහිමියන් වෙත පැමිණ “හිමියනි, මේ ආහාර අපහසු සමයේ, මේ පෘතුවි මධ්‍යයේ ඇති රස ධාතුව මතුපිටටත්, මතුපිට ඇතුල් පිටටත් පෙරළන්න දැයි ”ඇසීය. එහිදී බුදුහිමියන් අසා සිටියේ “මේ නිසා මේ පසේ වෙසෙනා කුඩා සතුන් අපහසුවට පත්වේ යැයි ” යනුවෙනි. එවිට උන්වහන්සේ පැවසුවේ “හිමියනි, මා මේ පොළොව වැනි මතුපිටක් තනා ඒ සත්වයා එහි තබා පොළොව පෙරළා දමන්නම් ” යැයි ය. ඒ සඳහා උන්වහන්සේට අවසර නොලැබුණි. නමුත් මෙතරම් දෙයක් කිරීමට තරම් උන්වහන්සේට ඇති මහා සෘධි බලය අතිශයින් විශ්මිතය. මෙතරම් සෘධි බලයක් තිබූ නිසාම උන්වහන්සේ මේ බුදු සසුනේ සෘධිමත් භික්ෂුන් අතරින් අගතනතුර දැරූහ. ඒ වාගේම උන්වහන්සේ මේ බුදු සසුනේ දෙවන අග්‍රශාවක පදවියද දැරූහ. දිනක් උන්වහන්සේ වනයක භාවනා සුවයෙන් වැඩ සිටියදී නගර සෝභිනියක් වූ විමලා, ඒ සංවර ඉඳුරන්ගෙන් යුත් ශක්තිමත් හා මනා රූපකායට වශීව “ශ්‍රමනය, මේ තරුණ වයසේ කුමන බඹසර රැකීමක් ද, මා හා ගිහිගේ වෙසෙමින් කම්සැපයේ ජීවත්ව මහලුවූ කල දෙදෙනාම එක්ව මේ ශ්‍රමන ධර්මය රකිමු ” යැයි තම රූසිරි විදහා පෙන්වමින් කියා සිටියාය. එවිට උන්වහන්සේ “ඔබ අහසේ සිතුවම් අඳින්නට සරසේනවාද....” ආදී කරුණු කියමින් දැඩි ලෙස අවවාද කර මේ කයේ යතා ස්වභාවය කියාදී භික්ෂුනී සසුනේ පිළිසරණ ලබා ගැනීමට උපකාර කළාය.

උන්වහන්සේ මේ ශාසනයේ දෙවන ශ්‍රාවකත්වයට පත්වීමට විවරණ ලබා ගත්තේ මීට කල්ප ලක්ෂයකට පෙර දවස වැඩ සිටි අනෝමදස්සී සම්බුදු හිමියන්ගෙනි. එදවස උන්වහන්සේ සිරිවඩ්ඩ තවුසා ලෙස සිටි අතර සැරියුත් හිමියෝ සාරද තවුසා ලෙස කල් ගෙවීය. දිනක් මේ සාරද තවුසා බුදුරජාණන් ප්‍රමුඛ සංඟ රත්නය කෙරේ දානමානාදිය කර සඟ පිරිසෙන් අග්‍රස්ථානයට පත් රහතන් වහන්සේ කෙරේ පහන් සිත් උපදවා බුදුරජාණන් වහන්සේ හමුවේ වැඳනමස්කාර කර යමතු බුද්ධ සාසනයක පළමු ශ්‍රාවකත්වයට පැමිණීමට ප්‍රාර්ථනා කළ බව තම මිතුරා වූ සිරිවඩ්ඩ තවුසාට දැන්වූහ. දන්වා ඔබට ඒ සසුනෙම දෙවන ශ්‍රාවක බෝධිය ප්‍රාර්ථනා කරන්න යැයි පවසා සිටියේය. කල්‍යාණ මිත්‍රයාගේ ඇරයුමෙන් ඔහුද බුදුපාමොක් මහ සඟනට දානමානාදිය පුදා ඒ පැතුම බුදුන් වහන්සේ හමුවේ සැල කර සිටියහ. එවිට සාරද තවුසාට මෙන් “ඔබ ප්‍රාර්ථනා කරන බෝධිය ගෞතම බුදු සසුනේ සමෘද්ධි වනවායි” පවසමින් බුදුහිමියන් විවරණ ලබා දුන් සේක. එතැන් පටන් සසරේ සැරියුත් බෝසතුන් මෙන්ම, මහා බෝධිසත්වයෝද ඇතුළු අසූ මහා ශ්‍රාවක බෝධිය ප්‍රාර්ථනා කරන බෝසතුන්වද යම් යම් භව වල හමුවෙමින් පාරමී පුරණය කළහ. ඒ බව ජාතක කතා අධ්‍යනය කිරීමේදී පැහැදිලිවේ. ඒ ආ භව ගමනේ උන්වහන්සේ එක් භවයක දුසී මාරදිව්‍ය පුත්‍රයා ලෙස කකුසඳ බුදුන් දවස ඉපදී සිටියහ. ඒ සමයේ පාප ක්‍රියාවන් වල යෙදී උන්වහන්සේ නිරයට ගිය බවද, එදා දුසී මාරයාව සිටියදී උන්වහන්සේගේ සහෝදරියක් වන කාලි හට වර්තමාන මාරයා වන වසවර්තී දිව්‍යපුත්‍රයා උපත ලද බවද ධර්මයේ සඳහන් වේ. අප ගෞතම බුදුහිමියන් හට බාදා කරේ ඒ වසවර්තී මාරයාය. දිනක් එලෙසම මුගලන් මහරහතන් වහන්සේටද පීඩා කිරීමට උන්වහන්සේගේ කුටියට වැද කුස තුලට පිවිසියහ. මේ පීඩාව නිසා මහා සෘධිඇති මුගලන් හිමියෝ කුස දෙස බලා මාරයාට පිටතට පැමිණෙන ලෙස අණ කරමින් පෙර භව සඹඳතාවයද දක්වා ආර්ය උතුමන් හට බාදා නොකරන්නැයි තර්ජනය කර සිටියහ. එවිට පැරදුණු මාරයා පලා ගියේය. මේ කල්පයේම කකුසඳ බුදුහිමි දවස දුසී මාරයා වුනු උන්වහන්සේ මේ කල්පයේම හතරවනුවට පහළවූ ගෞතම බුදු සසුනේ දෙවන අග්‍රශ්‍රාවක රත්නය විය. මෙය උන්වහන්සේගේ භව මග දෙස බැලීමේදී දැකිය හැකි සුවිශේෂී වූ සිදුවීමකි.

ඒ වාගේම උන්වහන්සේ සසරේ තවත් භවයක පංචානන්තරිය පාපයක් වන දෙමාපියන් ඝාතන කිරීමට යෙදුණේ දුස්සීල භාර්යාවක් ලද නිසාය. මහලු දෙමාපියන් නිවසේ සිටීම මහත් වදයක්, සාත්තු කිරීම, පිරිසිඳු කිරීම වදයක් කොටගෙන ඈ සැමියාට බොරු ගොතා කියා කීවාය. ඉවසාගත නොහැකි තැන සැමියා තම මව හා පියා කැලයට ගෙන ගොස් දෑස් වසා තම අතින්ම ඝාතනය කළේය. තමා හදාවඩා ගත්, උස්මහත් කළ, ආහාර සපයාදුන්, ලේ කිරිකර දුන්..... දෙමාපියන් පාපී ස්ත්‍රියකගේ බහට මැරූහ. නිරයට වැටුනහ. ඒ නිසි බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් මේ සසර ගමනේ මහා භයානක, දුක් සහිත බව මෙයින් තේරුම් ගත හැක. ඒ බව මුගලන් වහන්සේගේ චරිතයෙන්ම විදහා දැක්වේ.

ඒ වාගේම උන්වහන්සේ නිතරම දෙව්ලොව වඩිමින් දෙවි, දේවතාවුන්ගෙන් සැප දුක් විමසා, එහි ඉපදීමට හේතුවූ කරුණු අසා ගෙන, මිනිසුන්ට ඒ විස්තර පවසා පින්, ගුණ ධර්ම දියුණු කිරීමට උද්යෝගිමත් කළහ. ඒ ලෙසම අපායේ තතුද ගෙනහැර දක්වමින් සසරට බිය ඇති කරවමින් සත්වයා දහමෙහි, සීලයෙහි හික්මවා ලීය. උන්වහන්සේ අපායටද වැඩම කර එහි ගිනිදළු නිවා ඒ සත්වයාටද ධර්මය දේශණා කළහ. එතරම් සත්වයා ගැන කරුණාවෙන් කටයුතු කළ උන්වහන්සේට නිතැතින්ම බුදුහිමියන්ගෙන් පැසසුම් ලැබුනා වාගේම සාරිපුත්ත මහරහතන් වහන්සේ මව් ලෙසත් මුගලන් මහරහතන් වහන්සේ සුළුමව් ලෙසත් ශාසනයේ කටයුතු කරන බව පවසා සිටි සේක. මෙසේ සත්වයාට කිරි මව් කෙනෙකු සේ කරුණාවෙන් උන්වහන්සේ දෙව්, අපා ලෝක විවරණය කරමින් දේශණා පවත්වන නිසා බොහෝ පිරිස සසරේ ගැඹුර දැන තිසරණ සරණ ගොස් බුදු දහමේ නිත්‍ය ශ්‍රාවකත්වයට පත්වීම මත අන්‍ය තීර්තකයන්ට තම ශ්‍රාවක පිරිස විශාල ලෙස අඩු විය. ඒ නිසා ලාබ සත්කාරද, පුදපූජා අඩු විය. මෙයින් කෝපයට පත්ව ඝාතක කණ්ඩායමක් යොදා උන්වහන්සේගේ දිවි තොර කිරීමට සැලසුම් කළහ. නමුත් පළමුවරත්, දෙවනුවරත් උන්වහන්සේ සෘධි පාමින් කුටියේ යතුර සිදුරෙන් පිටතට වැඩියහ. වැඩ මෙසේ වන්නේ මන්දැයි බැලීය. එවිට මෙය සසරේ දෙමාපිය ඝාතක කර්මයේ ශේෂ විපාක් බව දැන, තෙවනවර ඒ මැර කණ්ඩායමට කුටියට ඒමට ඉඩ සලසා කුටියේම සිටියහ. එවිට කුටියට පැමිණි පිරිස උන්වහන්සේගේ සිරුරේ ඇට කුඩා කොටස් වෙනතෙක් පහර එල්ලකරමින් මැරුණා යයි සිතා පිටව ගියහ. මෙනිසා මුගලන් හිමියෝ බුදුරජාණන් වහන්සේගේද අවසරය ඇතිව පරිනිර්වාණය කළහ.

Tuesday, May 4, 2021

ලාෆින් බූදා

         ලාෆින් බුද්ධ ගැන දැනගැනීමට ප්‍රථමව මේ පිළිම, රූප, සංකේත එන ෆෙන්ශුඉ ගැන විමසා බැලීම වටී. ෆෙන්ශුඉ වලට අනුව ෆෙන්ශුඉ යනු මෙම ලෝකයේ පවතින සුභ ශක්තිය පවත්වා ගැනීම හා අසුභ ශක්තිය බැහැරවන පරිදි පුළුවන් වන පරිදි අප අවට ඇති ද්‍රව්‍ය හසුරුවා ගැනීම ලෙස විග්‍රහ කළ හැක. මෙම ශක්තිය වන්නේ හිරුගේ ශක්තිය, පිරිසිඳු වාතය, ගස්වැල් වල ශක්තිය වැනි විශ්වයේ ස්වභාවික සම්පත්වල ඇති ශක්තියයි. පොදුවේ සියලු කරුණු සලකා බැලීමේදී ෆෙන්ශුඉ වල හරය ලෙස වටහාගත හැක්කේ සොබාදහම කුමක්ද යන්න දැනගෙන, සොබාදහමේ ශක්තිය වටහාගනිමින් එම ශක්තිය මතුකර ගනිමින්, පිළිවෙල හා පිරිසිඳුව අප අවට සහ ගේ දොරේ පවත්වාගනිමින්, පරිසරයේ කොටසක් ලෙස ජීවත්වීමයි. එයින් මානසික සුවය හා සතුට දනවන නිදහස් වටපිටාවක්, හිතකර පරිසරයක් හිමිකර ගැනීමයි. මෙය අද නවීන වාස්තු විද්‍යාවද පිළිගන්නා කරුණකි. නමුත් මේ කාසි, පින්තූර, බඳුන්, ගල්, සංකේත, සීනු, සත්ව රූප... ආදිය ළඟ තබාගැන්මෙන් සැලසෙනවා යැයි කියනා වාසනාව හෝ දියුණුව මෙම වාස්තු විද්‍යාවටද හසුකරගැනීමට නොහැක. මේවා ලංකාව තුළ හඳුන්වාදුන් පුද්ගලයෙකුටද සාක්ෂි සහිතව ඔප්පුකර පෙන්වීමට නොහැක. මේ ෆෙන්ශුඉ කරන, කේන්දර බලන, ගුරුකම් කරන, හක්ගෙඩි විකුණන කඩකාරයින් මෙතරම් විස්තර කරමින්, උනන්දු කරවමින්, දිවා රෑ දෙකේ ජනතාවගේ දියුණුව අපේක්ෂා කරන්නේ, රූපවාහිනී වැඩසටහන් පවා පවත්වන්නේ කුමක් නිසාදැයි සිතාගැනීමට පවා නොහැකිය. මෙතරම් කරුණාවක් තම මවගෙන්වත් ලැබෙන්නේ නැත. මේවායින් හරියන්නේ කෙසේදැයි මේවා මිලදී ගන්නා අය හෝ මේ වැඩසටහන් වලට සහභාගීවන අය හෝ ප්‍රශ්න නොකරයි. යම් කෙනෙක් ඇසුවද ලිස්සලා යන පිළිතුරක් ඔවුන් ගාව ඇත. සමහර පුද්ගලයින් මෙවැනි ෆෙන්ශුඉ වැඩසටහන්වලට දිගටම සහභාගීවේ. ඒ කෙසේ හෝ ගොඩ යෑමටය. දේශන පවත්වන මේ කඩකාරයින්ද ඔවුන්ට අහස් මාලිගා පෙන්වා අතේ ඇති තුට්ටු දෙකත් උදුරා ගනී. ෆෙන්ශුඉ මධ්‍යස්ථාන වලට ගොඩවන පිරිමි පාර්ශවයද එතන සිටිනා ගෑනු ළමයෙකුගේ සිනාවකට, කතාවකට හිත ඇදී යමක් මිලදී ගනී. භාණ්ඩ විකිණෙන තරමටය ඇයගේ පඩියද සකස් වන්නේ. ඒ නිසා සේවිකාවන්ටද වෙන කරන්න දෙයක් නොමැති තැන තම ජීවිකාව පවත්වා ගැනීමට මෙසේ හැසිරේ.

නමුත් මේවායේ අයිතිකාරයන් රසබර සුරංඟනා කතා කියමින් මේ භාණ්ඩ විකුණයි. වැඩසටහන්, දේශන පවත්වයි.

ඇත්ත කතාව නම් ෆෙන්ශුඉ භාවිතාකර දියුණුවූ පුද්ගලයෙක් අප සැබෑවටම දැක නැත. නමුත් වෙළඳ දැන්වීම්වල හෝ පුවත්පත්වල පෙන්වන ‘ෆෙන්ශුඉ භාවිතා කර වාසනාව උදාවූ පුද්ගලයින්ගේ’ කතාද විශ්වාස කළ නොහැක. ‘මම පොතේ තිබ්බ දේ කරා දවස් දෙකින් හරිගියා’ ‘මගේ පසුම්බියේ ෆෙන්ශුඉ කාසියක් දැම්ම නොහිතපු විදිහට සල්ලි ලැබුන’ ‘අපේ ව්‍යාපාරෙටත් ෆෙන්ශුඉ භාවිතා කලා දැන් ගොඩක් සරු උනා’... මේ ආදී කතා විශ්වාස කරනවා තබා හිතාගන්නවත් බැරිය. මෙහෙම දෙයක් උනායැයි ඔප්පු කර පෙන්වීමටද නොහැකිය. අනෙක් අතට ලෝකයේ ඕනෑම දැන්වීමක ඉන්නා අය යම් ගෙවීමක් මත පෙනී සිටින බව සියලුදෙනා දන්නා කරුණකි. නළුනිළියන් සහ ක්‍රීඩකයින් ඉන් ප්‍රධානය. උදාහරණයකට රුපවාහිනියේ පෙන්වන ඕනෑම වෙළඳ දැන්වීමක් ගත හැක.

මේ කියන විදිහට ඉක්මන් දියුණුවක් කෙනෙකුට ලැබිය හැක්කේ ලොකු හොරකමක් කිරීමෙන් පමණි. නැතිනම් ලොතරැයියක පළමු දිනුම්ක් ඇදුනොත් පමණක්ය. ඒ නොමැතිව මේ මේ කියන ඒවා භාවිතා කර ඉක්මන් දියුණුවක් ලැබූ ෆෙන්ශුඉ උපන් රට වන චීනයෙවත් නොමැත. එහෙත් ෆෙන්ශුඉ භාවිතා කර ලංකාවේ දියුණුවූ පුද්ගලයන් ඇත. ඒ අපට ෆෙන්ශුඉ හඳුන්වාදුන් අයයි. ඔවුන් අපට පොත් විකිණීමෙන්, වැඩසටහන්, දේශණ පැවැත්වීමෙන්, භාණ්ඩ විකිණීමෙන් හොඳට හරිහම්බ කරගෙන ඇත. ලංකාවේ තට්ටය ඇති කෙනාටද පනාවක් විකුණන ක්‍රමය අද කඩකාරයින් හොඳින් දැනසිටී. ඒ මන්දමානසික ජනතාවක් රට තුල සිටිනා නිසාය. පිටරට දේ ලොකු කරගෙන මොලය උදුම්මවා ගත පිරිසක් ඇති නිසාය. එයිනුත් වැඩිම කොටසක් සිටින්නේ බෞද්ධ යැයි පවසන අය අතරය. මේ අයට අවශ්‍ය වැඩි වෙහෙස මහන්සියකින් තොරව ඔහේ බලාගෙන සිටියදී ලැබෙන දියුණුවක්, වාසනාවක් පෑදෙනකම් ය. ඒ සඳහා දිවා රෑ උනත් දේවාල ගානේ යෑමට කැමතිය. කේන්දර බැලීමට, සාත්තර ඇසීමට කැමතිය. මේ තැන්වලට කකුල් ගෙවෙනතුරු හෝ ඇවිදී. එක තැනකින් හරි නොගියහොත් තව තැනකටද, එතනින් තව තැනකටද මැරෙනතුරු යයි. නමුත් මේ දේවල් කිරීමෙන් ලැබෙන දියුණුවක් නැති බව ඔවුන් තේරුම් නොගනී. තේරුම් ගැනීමට උත්සාහ නොකරයි. නමුත් මොවුන් මේ යොදන වෙහෙස රැකියා ස්ථානයේ ඉහලට යෑමට, තම ව්‍යාපාරය දියුණු කරගනීමට, අමතර ආදායමක් සොයා ගැනීමට යෙදුවා නම් මීට වඩා සාර්ථක ප්‍රතිඵල ඇති කරගැනීමට හැකිවන බව අවබෝධකර ගන්නේ නැත... මොවුන් තම දරුවන්ටාද ඒ දායාදයම ලබා දේ නැතිනම් වැඩිහිටියන් කරනදේ බලාගෙන ඒ අයද වැඩිවියට පත්වී ඒ දේම කරයි. මන්ද මේක තමා විදිය, මේක තමා ක්‍රමය යැයි කුඩා දරුවන් වැඩිහිටියන් දෙස බලා ඉගෙන ගනී.

අද වනවිට මේ ෆෙන්ශුඉ සමග ඉන්දියානු ජෝතිෂ්‍යද ඈඳා ගෙන ඇත. ෆෙන්ශුඉ චීන රටේ නම් හින්දු ස්ත්‍රෝත කීම, දේව බැල්ම ලබා ගැනීම... වැනි දේවල් තිබිය නොහැකිය. දෙකම එකට ගැටගසාගෙන ඇත්තේ යහමින් මුදල් ගැරීමට විනා අන් දෙයකට නොවේය.

මේ කඩකාරයින්ට තමන් කියනා දෙය මෙතරම් විශ්වාස නම් අංගවිකල පුද්ගලයෙකු සිටිනා අසරණ, දුප්පත් පවුලක් යොදාගනිමින් මාධ්‍යය මගින් ප්‍රසිද්ධියේ ඔවුන්ව පොහොසතුන්, වාසනාවන්තයින් කර නොපෙන්වන්නේ මන්ද. එසේ පෙන්වූවා නම් ආයේ වෙන වෙළඳ ප්‍රචාරයක් උවමනාවන්නේද නැත. ඒ වාගේම මේවාට යොමුවන ජනතාවටද මේවා ගැන විශ්වාසයක් ඇති කිරීමකි. නමුත් එහෙම දෙයක් කිසිදාක සිදුවන්නේ නැත. අභියෝගයක් කළද භාරගන්නට කෙනෙක් නැත.

මේ තිබෙන්නේ බූදා ළමුන් සමග සතුටින් සිටින ඡායාරූපයි. අතේ කාසි මල්ලක්ද ඇත. මේවැනි    ඡායාරූප ඕනෑතරම් අන්තර්ජාලයේ ඇත.

ලාෆින් බුද්ධ - අප පළමුවෙන්ම දැනගතයුතු කරුණ නම් මේ රූප, පිළිම සම්බන්දව මෙයින් පිළිබිඹු වන්නේ බූදා නමැති මිනිසාය. නැතිනම් බාදා හෝ වෙනයම් චීන නමකි. බොහෝ විට එය බූදා වන්නටම ඇත. මේ නම බුද්ධ ලෙස වෙනස්වන්නට ඇත්තේ එක්කෝ ඉංග්‍රීසි ක්‍රමයට බූදා ලියූ විට එය බුද්ධා ලෙසද පෙනෙන්නට තිබෙන නිසාය (buddha). ඒ නිසා උච්චාරණයද වෙනස් වන්නට ඇත. නැතිනම් චරිත දෙකම එකයි කියා වරදවා වටහා ගන්නට ඇත. ඒ කෙසේ උනත් ලංකාවේ මේ පිලිබඳ කිසිම සෙවිල්ලක් නැතිවම ඔහේ එම නමම භාවිත කරයි. නමුත් මේ කුමක් සිදුවුණද අවසානයේදී වූයේ අපගේ තුන්ලෝකාග්‍ර සම්මා සම්බුදු රජාණන් වහන්සේට, උන්වහන්සේගේ අපමණ ගුණ සමුදායට, උන්වහන්සේගේ දෙතිස්මහා පුරුෂ ලක්ෂණ සහිත ඒ අසමසම රූපකායට නින්දා කිරීමකි. අපහාස කිරීමකි. මෙය බරපතලම වරදකි. මහත් අකුසලයකි. අනෙක් අතට බලවත්ම ආර්ය උපවාදයකි. අදද මේ බඩ මහතා චීනාට බුද්ධ නම භාවිත කරමින් වෙළඳපොළේ විකිණීමට ඇත. සුළු හෝ මොළයක් සහිත කෙනෙක් මේ බෞද්ධ රට කරවන තැන සිටිනවානම් මේ බරපතල වරද දැන් වූවද නතර කිරීමට හැක. බෝසතාණන් වහන්සේ නමක් පෙරුම් පුරනා සමයේ වුවද අවලස්සනවී, විකාරරූපී වී උපදින්නේ නැති තරම්ය. අදද ලස්සන ධනවත් පුද්ගලයෙක් දුටුවහොත් අප කියන්නේ ‘ඕව ලබන්න ඉතින් පින තියෙන්න ඕන’ කියාය. (සමහරෙක් භවවල පමණක් බෝසතාණෝ අවලස්සනව උපත ලද අතර එය පාරමී පිරීමටද උපකාරයක් වී ඇත/ මෙය කර්ම විෂය සම්බන්ද දෙයක් නිසා තේරුම් ගැනීම අපහසු කරුණකි). එසේ තිබියදී බෝසතාණන් සතුව ඇති මහා පින් බලයක් නිසා කෙසේනම් රූප සොබාව තිබෙන්නට ඔනෑද. දිනක් මහමග ගමන් කරන සිදුහත් කුමාරයා දුටු රට වැසියන් සඳහන් කර සිටියේ ‘සඳ අහසින් පොළොවට කඩන් වැටී මහමග වඩිනවා වගෙයි ’ කියාය. ඒ නිසා අපට ඒ දෙතිස්මහා රූපය සිතින් මවාගැනීමට පවා අපහසුය....

මේ බූදා නමැති මිනිසා අතීතයේ එක්තරා චීන ගමක වාසය කළ ධනවත්, ප්‍රියමනාප පුද්ගලයෙකි. මහතා දෙහෙත සිරුරක් තිබූ මොහු බොහෝ විට උඩුකය නිරුවත්ව හෝ සළුවක් පමණක් දවටා ගනිමින් සිටීමට පුරුදු වී සිටියහ. මේ ධනවත් බූදා මහමග ගමන් කරන විට මගදී හමුවන ළමුන් හට කාසි කීපයක් දී සතුටු වන අතර ඒ සඳහා කාසි මල්ලක්ද ගෙන යෑමට අමතක නොකරයි. පසුව මෙයට හුරුවූ ළමුන්ගෙන් තම මහත ඇඟත් කසා ගෙන, පොඩි සම්බාහනයක් කරගෙන සතුටු මුහුණින් කල්ගත කිරීමට පුරුදුවුනි. ළමුන් දැන් කාසිවලට කැමැත්තටත්, බූදා සතුටු කිරීමටත් මහමග දී ඔහු පසුපස්සෙන් යෑමට පුරුදුවුනි. මෙය දන්නා ගමේ දුප්පත් දෙමාපියන්ද බූදා පාරේ යනවා දුටුවිට තම ළමුන් යවා ඔහුව සතුටු කර කාසි කිහිපයක් එකතුකරගෙන ඒමට පෙළඹුණි. මේ සියලුදේ නිසා බූදාගේ හොඳ හිතත්, සිනාමුසු මුහුණත් කා අතරත් ප්‍රසිද්ධ විය. ඒ වාගේම ළමුන් පිරිවරාගෙන සතුටින් සිටින මේ ධනවතා දැක ගැමියන්ද සතුටු වූහ. ඔහුට ගෞරව කළහ. මෙසේ කලක් යද්දී ඔහු මරණයට පත්විය. නමුත් කෘතගුණ පිරි චීන ගැමියා ඔහුගේ ගුණවත්කමත්, සිනාමුසු මුහුණත් කිසිදා අමතක නොකළහ. පසුකාලයේදී ඔහු සිහි වීමට ස්මාරකද සාදා ඇත. ඒ වාගේම සතුටේ හා ධනයේ සංකේතයක් ලෙස ගැමි ජනයා ඔහුවත්, ඒ පිළිරූත් පිළිගත්හ.


        පසුකාලයේ මෙය චීන සමාජයේ ප්‍රචලිත වන්නට ඇත. මේ පිළිමද සතුටේ හා ධනයේ සංකේත නිසා පසුකාලීනව ෆෙන්ශුඉ සමග එකතු කරගන්නට ඇත. මේ කිසිවක් නොදන්නා ෆෙන්ශුඉ ලංකාවට හඳුන්වාදුන් කඩකාරයින්ද තම වාසියට බුද්ධාම යැයි කියමින් මේ පිළිම, රූප විකුණයි. මෙම පුද්ගලයා ළමුන් සමග සිටින්නේ මන්දැයි අසුවොතින් ඔවුන්ටද හරිහමන් උත්තරයක් නැත. ඇත්තටම මේ රටේ කිසිවෙකුටද මමේ විදිහට බුදු කෙනෙකු ඉන්නේ මන්දැයි දැනගැනීමට උවමනා නැත. අවශ්‍ය එකම දේ යහමින් මුදල් අතපත ගෑමටය. බල්ලෝ මරා හෝ සල්ලි හම්බ කිරීමටය. අනෙත් දෙය නම් සංකේතයක් අප භාවිතා කරන්නේ අපට යමක් එමගින් සිහිපත් කරගැනීමට හෝ  ඒ සංකේතයයේ සිටින්නේ පුද්ගලයෙක් නම් ඒ පුද්ගලයාට ගෞරව දැක්වීමක් වශයෙනි. ඒ හැර සංකේතයකින් වෙන යම් ඵලය නැත.

සමහර වෙළඳසැල් වල මේ බඩ මහතා පිළිම කාසි දමා තබාගෙන දුම් අල්ලමින් වාසනාව, දියුණුව ප්‍රාර්ථනා කරයි. එහෙත් අතීතයයේ චීනයේ විසූ ඒ පුද්ගලයාගේ මුහුණේ ඇඳී තිබූ අව්‍යාජ සිනා රැල්ල හෝ ඔහුගේ කරුණාවන්තකම පිළිම විකුණන අයගෙ තබා මිලදී ළඟ තබා ගන්නා කිසිවෙකුගේවත් දක්නට නොහැක. එසේ නොමැතිව ඇතිවන වාසනාව මුස්පේන්තු කමදැයි තේරුම් ගැනීමට නොහැක.

Monday, May 3, 2021

බුදුගුණ භාවනාව

 

තුන් ලෝකයටම ශාස්තෘ වූ, සම්මා සම්බුදු මහා කාරුණිකයාණන් වහන්සේගේ අනන්ත වූ ද අපරිමේය ගුණ සයුර තවත් බුදුකෙනෙකුට වුවද කල්පයක් තුලදීවත් කියා නිමකළ නොහැකි බව ගෞතම බුදුහිමියන්ම වදාල සේක. ඒසා තිබියදී අපට මෙනෙහි කිරීමට තබා සිතා ගැනීමටවත් නොහැකි බුදු ගුණ සමුදායෙන් අප දන්නා වූ  ගුණ කිහිපය හෝ සිත පහදවාගෙන සිහිකිරීම, භාවනා නිමිත්ත කරගැනීම බුද්ධානුස්සති භාවනාවයි. මෙයට අප දන්නා නව අරහාදී බුදුගුණ ගැනීමට හැකිය. නමුත් බොහෝ දෙනා වචනයෙන් දැන සිටිනවා පමනක් විනා ඒ වචනයන්ට කැටිව ඇති බුදුගුණවල සරල තේරුම වුවද නොදනී. ඒ නිසා මෙම ලිපිය නිසි ලෙස අප දන්නා බුදුගුණ වුවද විස්තරාත්මකව, අර්ථසහිතව භාවනාව හරියාකාරව වැඩෙන ලෙස කිරීමට උපකාර කරගත හැක. (මේ සඳහා ධර්මධර ස්වාමීන් වහන්සේලාගේ කෘති කිහිපයක්ද යොදාගෙන කරගෙන ඇත).

බුදුගුණ සිහිකිරීම ප්‍රධාන වශයෙන් අපට බුදුරජාණන් වහන්සේ ගැන, උන්වහන්සේ අවබෝධ කොට වදාළ ශ්‍රී සත්ධර්මය ගැන, සංඟ රත්නය ගැන සිත පහදවා ගැනීමට පළමුකොටම උපකාරවේ. ආලවක යක්ෂයා “මේ සත්වයා ගසාගෙන යන ඕඝය තරණය කරන්නේ කුමක පිහිටා සිටදැයි ?” අසූ විට බුදුරජාණන් වහන්සේ පිළිතුරු ලෙස වදාළේ “ශ්‍රද්ධාය තරතී ඕඝං” යනුවෙනි. එනම් මේ සසර සැඩ පහර තරණය කිරීමට ශ්‍රද්ධාව උවමනා බවයි. එයින් පැහැදිලි වන තවත් කරුණක් නම් මේ සසරින් මිදීමට ශ්‍රද්ධාව නැති කිසිවෙකුට, කිසිකලකවත් නොහැකි වූ බවයි. අනාගතයේද නොහැකිවන බවයි. ඒ ශ්‍රද්ධාව ඇති කරගත යුත්තේ වෙනින් කිසිවකට නොව තෙරුවන් කෙරෙහිය. එහිදී තෙරුවන් ලෝකයට පහළ වීමට බුදුරජාණන් වහන්සේ නමක් පහළ විය යුතුමය. ඒ නිසියි අප පළමුවෙන්ම බුදුන් සරණ යන්නේ. මෙතරම් ගුණ ඇති බුදුරජාණන් වහන්සේ කෙරේ පැහැදුණු ආනන්ද හිමියන්ගේ ශ්‍රද්ධාව කැටිවූ කුසල චිත්තයට කල්ප ගණනාවක්ම සක්විති රජ පදවිය දරන්නට තරම් විපාක සිත බලවත්වූ බව ගෞතමයන් වහන්සේ දිනක් යම් සිදුවීමක් මුල් කරගනිමින් පෙන්වා දුන් සේක. නමුත් උන්වහන්සේ එම භවයේම නිවන් අවබෝධ කරන බවද බුදුරජාණන් වහන්සේ දේශණා කළ සේක. ඒ වාගේම බුදු ගුණයට සුළු සිත් පැහැදීමකින් මට්ටකුණ්ඩලී, වයසක මැහැල්ලක්, තිරිසන් සත්වයන් පවා දෙව් බඹුන්ගේ සැප ලද බව ධර්මයේ සඳහන් වේ.

මෙලොවදී අපට බුදුගුණ සිහිකිරීමෙන් ලැබෙන අනුසස් නම් සිතේ අකුසල චේතනා දුරුවේ, සිත හා කය සැහැල්ලු වේ, වස විසෙන් වන හානි දුරුවේ, විපත් අඩුවේ, අමනුෂ්‍ය උවදුරු අඩුවේ, දේව ආරක්ෂාව සැලසේ, නොපමවාම චිත්ත සමාධිය වැඩේ. ඉඳුරන් ශාන්තවේ. රුව ප්‍රසන්න වේ. මරණාසන්න මොහොතේ සිහිවිකල් නොවේ, මරණින් මතු සම්මා දිට්ඨි ඇති භවයක උපදී, බුදුකෙනෙකුන් හෝ මහා රහතන් වහන්සේ වැඩ සිටිනා සමයක උපත ලබුවේ නම් උන්වහන්සේ තමා වෙත එළඹ ධර්මයෙන් සංග්‍රහ කරයි. බුදුගුණ භාවනාවට කැමැත්ත ඇතිකර ගැනීමටද, ඇති කැමැත්ත වැඩි කර ගැනීමටද මේ අනුසස් නිතර සිහිකිරීම හොඳය. මන්ද අප සියලු දෙනාම අන් අයට ප්‍රිය ඇති, උවදුරු නැති කෙනෙක් වීමට කැමති නිසාය. මෙසේ අනුසස් දැන බුදුගුණ මෙනෙහි කරන්නා අවසන අමාමහ නිවනෙන්ම සැනසීම ලබයි.



අරහං බුදු ගුණය -

          ස්වාමීනි! භාග්‍යවතුන් වහන්ස! ඔබ වහන්සේ අවිද්‍යා, සංඛාර, විඥාණ, නාමරූප, සළායතන, ඵස්ස, වේදනා, තණ්හා, උපාදාන, ජාති, ජරා, ව්‍යාධි, මරණ ඉක්මවූ හෙයින්ද,

        ඔබ වහන්සේ අනන්ත යසස, කීර්තිය, ධනය, බලය, ශීල, සමාධි, ප්‍රඥා, ධ්‍යාන යන කිසි දෙයකින් උඩඟු නොවූ හෙයින්ද,

අතිශය පාරිශුද්ධ රහසින්වත් පවක් නොමැති තුන් දොරක් ඇති හෙයින්ද,

ඇසින් රූප දැක, කනින් ශබ්ද අසා, නාසයෙන් ගඳ සුවඳ දැන, දිවෙන් රස දැන, ශරීරයෙන් ස්පර්ශය ලබා, මනසින් අරමුණු දැන ඒවාට නොඇලුනු සේක. නැවත නුපදින පරිදි සියලු කෙළෙසුන් දුරින්ම දුරුකළ සේක. මේසා අනන්ත ගුණ ඇති ඔබ වහන්සේ අරහං නම් වන සේක.....

 

සම්මා සම්බුද්ධ බුදු ගුණය -

ස්වාමීනි! භාග්‍යවතුන් වහන්ස! ඔබ වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයටම අයත් අකාලික වූ ශ්‍රී සත්ධර්මය තමන් වහන්සේම අවබෝධකරගත් සේක.

රූප, වේදනා, සංඥා සංඛාර, විඥාන යන පංච උපාදානස්කන්ධය දුකක් බව මැනවින්, පිරිසිඳුව පරම සත්‍යයක් ලෙස අවබෝධ කරගත් සේක.

එම දුක උපදවන්නා වූ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා යන ත්‍රිවිධ තණ්හාවන් සමුදය සත්‍ය වශයෙන් මැනවින්, පිරිසිඳුව පරම සත්‍යයක් ලෙස අවබෝධ කරගත් සේක.

අවිද්‍යාවෙන්, තණ්හාවෙන් තොරව පවත්නා වූ නිර්වාණ ධාතුව නිරෝධ සත්‍ය වශයෙන් මැනවින්, පිරිසිඳුව පරම සත්‍යයක් ලෙස අවබෝධ කරගත් සේක.

 

සංඛාර, විකාර, ලක්ඛණ, ප්‍රඥාප්ති, නිබ්බාන යන පස් වැදෑරුම් නෛයය ධර්මයන්, ගුරු උපදෙස රහිතවම තමන් වහන්සේ විසින්ම අවබෝධ කරගත් නිසා සම්මා සම්බුද්ධ නම්වන සේක.

 

විජ්ජාචරණ සම්පන්න බුදු ගුණය -

ස්වාමීනි! භාග්‍යවතුන් වහන්ස! ඔබ වහන්සේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණය අවබෝධ කරගන්නා වූ විදර්ශනා ඥානයන්ගෙන්ද,

අසම සම වූ අනන්ත අපරිමාණ වූ සෘධි ප්‍රාතිහාර්යන් පාන්නා වූ සෘධි ප්‍රාතිහාර්ය ඥානයන්ගෙන්ද,

මේ ලෝක ධාතුව තුළ පවතින ඕනෑම කටහඬක් ඒ මොහොතේම අසා දැන ගත හැකි දිව්‍ය ශ්‍රෝත ඥානයෙන්ද,

අනන්ත වූ සත්වයාගේ පරක් තෙරක් නොමැති සිත් දන්නා වූ නුවණ ඇති පරචිත්ත විජානන ඥානයෙන්ද,

අනන්ත වූ සත්වයාගේ කෙළවරක් නොමැති පෙර භාවයන් දැන ගැනීමට හැකි පුබ්බේ නිවාසානුස්මෘති ඥානයෙන්ද,

අනන්ත වූ සත්වයා මැරී මැරී ගොස් උපදින තැන් ගැන දැනගන්නා වූ දිබ්බ චක්ඛු ඥානයෙන්ද,

කාමාශ්‍රව, භාවාශ්‍රව, දිට්ඨාශ්‍රව ආදී ආශ්‍රවයන් ක්ෂය කරන ආශ්‍රව ක්ෂයකරන ඥානයෙන්ද,

ප්‍රාතිමෝක්ෂ සීලය, ඉන්ද්‍රිය සංවර සීලය පමණ දැන ආහාර වැළඳීම, කුසලාකුසල කර්ම, ශ්‍රධාව, හිරි ඔතප්, බහුශ්‍රැත භාව, වීර්ය, සිහිය, ප්‍රඥාව, ධ්‍යාන සතර යන පසළොස් චරණ ධර්මයගෙන්ද සමන්නාගත වන හෙයින්ද ඔබවහන්සේ විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

සුගත බුදු ගුණය -

ස්වාමීනි! භාග්‍යවතුන් වහන්ස! ඔබ වහන්සේ දීපංකර බුද්ධ පාදමුලයේ සිට විජය ශ්‍රී ජයශ්‍රී බෝ මැඩ දක්වාම ශාන්ත ගමනින්, යහපත් ප්‍රතිපධාවෙන් පැමිණි හෙයින්ද,

දෙතිස්මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුක්ත වන හා අසහාය, ශාන්ත, අසමසම රූප කාය විලාශයක් ඇති හෙයින්ද,

අන්තයන් දෙකෙන් බැහැරව මධ්‍යම ප්‍රතිපධාවෙන් උතුම් වූ චතුරාර්ය සත්‍ය තමාම අවබෝධ කරගත් හෙයින්ද,

පරම සත්‍ය වු ද, සාරවත්, ගම්භීර වූ ද, අර්ථවත් වූ ද, මුල මැද හා අග යහපත් වූ ස්කන්ධ වශයෙන් අසූ හාරදහසක් වූ ශ්‍රී සත්ධර්මය සත්වයාගේ අමා සුවය පිණිසම දේශණා කළ හෙයින්ද ඔබවහන්සේ සුගත නම් වන සේක.

ලෝක විදු බුදු ගුණය -

ස්වාමීනි! භාග්‍යවතුන් වහන්ස! ඔබ වහන්සේ ලෝකය, ලෝක සමුදය, ලෝක නිරෝධය, ලෝක නිරෝධ ගාමිණී පටිපදා මාර්ගයද,

සත්ව ලෝකය, සංස්කාර ලෝකය, අවකාශ ලෝකය යන ලෝකත්‍රයන්ද,

අපාය භූමි සතර, කාම භූමි සත, රූප භුමි සොලොස, අරූප භූමි සතර යන තිස් එක තලයන් හා ලෝක ධාතූන්ගේ සම්මුති, පරමාර්ථ සියල්ල යතා අයුරින් අවබෝධ කරගත් හෙයින් ඔබ වහන්සේ ලෝක විදු නම්වන සේක.

අනුත්තරෝ පුරිස ධම්ම සාරථී බුදු ගුණය -

ස්වාමීනි! භාග්‍යවතුන් වහන්ස! ඔබ වහන්සේ ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය, ආජීව පාරිශුද්ධ ශීලය, ප්‍රත්‍ය සංනිශ්‍රිත ශීලය, ඉන්ද්‍රීය සංවර ශීලය ආදී චතුර්විධ ශීලයගෙන්ද,

ශීල විසුද්ධිය, දිට්ඨී විසුද්ධිය, චිත්ත විසුද්ධිය, කංඛා විතරණ විසුද්ධිය, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය, ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය, ඥාන දර්ශන විසුද්ධිය යන සප්ත විසුද්ධියෙන් ද,

ශීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන්, විමුක්තියෙන්, විමුක්ති ඥාන දර්ශනයෙන්ද,

ලොව කිසිවෙකුටවත් දමනය කළ නොහැකි වූ චණ්ඩ වූ, පරුෂ වූ, ජෛනයන්, ජටිලයන්, තීර්ථකයන්, දෙවියන්, බඹුන්, මිනිසුන්, ප්‍රාතිහාර්ය ඥානයෙන්, ආදේශනාවෙන් මහා කරුණාව පෙරදැරිව අප්‍රමේය ප්‍රඥාවෙන් තුන් ලෝකයා දමනය කළ හෙයින් ඔබ වහන්සේ අනුත්තරෝ පුරිස ධම්ම සාරථී නම් වන සේක.

 

සත්ථා දේව මනුස්සානං බුදු ගුණය -

ස්වාමීනි! භාග්‍යවතුන් වහන්ස! ඔබ වහන්සේ දෙවි මිනිසුන්ගේ මෙලොව, පරලොව යහපත උදෙසා මහා කරුණාවෙන් ශ්‍රී සත් ධර්මය දේශණා කළ හෙයින්ද,

ලෝභ, ද්වේශ, මෝහ, මාන, දිට්ඨි යන කෙලෙස් දුරු කිරීම පිණිස ද,

දාන, සීල, භාවනා, කුසල විපාකයන් සඳහා ද,

පස් පව්, දස කුසල්, පංච නීවරණයන් දුරු කිරීම සඳහාද,

ජාති, ජරා, ව්‍යාධි, මරණයන් ඉක්මවා යෑම සඳහා ද,

තුන් ලෝකයාටම ශ්‍රී සත් ධර්මය අවබෝධ කරවීම සඳහා ධර්මය දේශනා කළ හෙයින් ද ඔබ වහන්සේ සත්ථා දේව මනුස්සානං වන සේක.

බුද්ධෝ බුදු ගුණය -

ස්වාමීනි! භාග්‍යවතුන් වහන්ස! ඔබ වහන්සේ දුක, දුක ඇතිවීම, දුක නිවීම, දුක නිවීමේ මග යන සතර ආර්ය සත්‍යයෝ, සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන වසයෙන් දොළොස් ආකාරයකින්ද,

පිළින, සංඛත, සන්තාප, විපරිනාම යන දුක්ඛාර්ත සතරකින්ද,

ආයුහන, නිදාන, සංයෝග, පළිබෝධ යන සමුදයාර්ථයන් සතරින්ද,

නිස්සරණ, විවේක, අසංඛත, අමතා යන නිරෝධාර්ථයන් සතරින්ද,

නියයායන, හේතු, දස්සන, ආධිපත්‍ය යන මාර්ගාර්ථයන් සතර යන චතුරාර්ය සත්‍ය ධර්මයන් දොළොස් අයුරකින් අවබෝධ කර දේශණා කළ හෙයින්ද,

අත්ථ පටිසම්භිදෙ, ධම්ම පටිසම්භිදෙ, නිරුක්ති පටිසම්භිදෙ, පටිභාන පටිසම්භිදෙ යන චතු විශාරද ඥානයෙන් ද,

ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානය, යමක පටිහාරියේ ඥානය, මහා කරුණා සමාපත්ති ඥානය, සබ්බඤ්ඤූ ඥානය, අනාවරණ ඥානය යන ෂට් අසාධාරණ ඥානයන්ගෙන්ද.

නවා අරහදී බුදුගුණ බලයෙන්ද, දස බල ඥාන බලයෙන්ද, සූවිසි ප්‍රත්‍ය ඥාන බලයෙන්ද, තෙසැත්තෑ ඥානයෙන්ද, සත්සැත්තෑ ඥානයෙන්ද, අනන්ත අප්‍රමේය වූ ඥානයෙන්ද සමන්විත වන ඔබ වහන්සේ හෙයින් බුද්ධ නම් වන සේක.

භගවා බුදු ගුණය -

ස්වාමීනි! භාග්‍යවතුන් වහන්ස! ඔබ වහන්සේ ශ්චර්ය භාග්‍ය, කාම භාග්‍ය, යස භාග්‍ය, ශ්‍රී භාග්‍ය, ධර්ම භාග්‍ය, ප්‍රයත්න භාග්‍ය යන් භාග්‍යන්ගෙන් ද,

ක්ලේශ මාර, අභිසංස්කාර මාර, ස්කන්ධ මාර, දේවපුත්‍ර මාර, මච්චු මාර යන මාරයෝ සියල්ල පරාජය කළ හෙයින්ද,

ස්කන්ධ, ධාතු, ආයතන, සත්‍ය, ඉන්ද්‍රිය, පටිච්ච සමුප්පාද ධර්ම, දශ අකුසල ධර්ම, දස කුසල ධර්ම, දස සංයෝජන ධර්ම, දස පාරමී, දස සංඥා හා පංච නීවරණ ධර්මයෙන් මනා කොට අවබෝධ කළ හෙයින්ද,

සතර සතිපට්ඨානය, සතර සෘධිපාද, සතර සම්‍යක් ප්‍රධාන වීර්ය, පංච බල, පංච ඉන්ද්‍රිය, සප්ත බෝධිඅංඟ, ආර්ය අෂ්ටාංගික මාර්ග යන සත් තිස් බෝධි පාක්ෂික ධර්මයන් අවබෝධ කර හෙයින්ද,

මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා, දානය, ප්‍රිය වචනය, අර්ථ චර්යාව, සමානාත්මතාවය, ත්‍රිවිධ චර්යා සහ පංච මහා දානයන්ගෙන්ද,

භාජනය කලයුතු ගුණ භාජනය කළ හෙයින්ද, විභාග කළ යුතු සියලු ධර්මයන් විභාග කළ හෙයින්ද ඔබ වහන්සේ භගවා නම් වන සේක.