භාවනාව හැඳින්වීම

භාවනාව හරියාකාරව මුලසිට ඉගෙනගනිමු.

ශ්‍රද්ධාව

තුනුරුවණ කෙරේ ශ්‍රද්ධාවන්තයින් වී උතුම් නිර්වාණ මාර්ගය විවර කරගමු.

Thursday, November 25, 2021

අක්‍රමවත් බිත්තියක්...

 

 

පරම්පරා දායාදයක් සේ අපට ලැබී ඇති බුදු දහම, අප සලකන්නේ ආගමක් ලෙසයි. ලොවේ ඇති ආගම් අතර තවත් එකක් ලෙසයි. දෙමාපියන්, වැඩිහිටියන්, පාසලේ පවා උගන්වන්නේ ඒ ආකාරයටයි. ඒ අනුව යමින් අප උප්පැන්න සහතිකයේ, ජාතික හැඳුනුම් පතේ වැනි තැන්වල ආගම යන හිඩැසට ඉදිරියෙන් බෞද්ධ ලෙස යොදයි. නමුත් අප සියලු දෙනාම බුදු දහම වනාහි ලෝක ස්වභාවය, ලෝක යතාර්ථය මිස අන් දෙයක් නොවන වග මොහොතකඳු සිතුවාද...? බුදුරජාණන් වහන්සේ පරිපූරණයෙන්ම ලොවේ ඇති සැටි ඇති විදිහටම අවබෝධ කොට ගෙන, අපට පරම අනුකම්පාවෙන් වදාළ දහම, එකම සත්‍ය, ඒකායන ඇත්ත බව තේරම් ගත්තාද...? සිතන්නට හෝ තේරුම් ගන්නට වෙර දැරුවාද..?. නැත. සමාජ පිළිවෙතට යමින් පන්සල් යෑම, වැඳුම් පිදුම් කිරීම, බණ ඇසීම කළා මිසක බුද්ධිය, ප්‍රඥාව, සිහිණුවන මෙහෙයවා බුදු දහම නම් කිමැයි.. බුදුරජාණන් වහන්සේ දේශනා කල දහම තවත් එක් ආගමක් දැයි කියා විමසුම් ඇස යොමු කළේද?. නැත.

නමුත් ආසියාවේ අති බහුතරය ලෙස ආගම හුදු ඇදහිල්ලක් නොකරගත් බටහිර ඇතුළු සමහර විද්වත් සමාජයන් බුදු දහමේ ඇති සර්වකාලීන බව, සත්‍යට එහි ඇති ඉඩකට පිලිබඳ හොඳ හැටි තේරුම් ගත්හ. එසේ තේරුම් ගෙන තම රට, පවුල, ධනය යන සියල්ල හැරදා බුදු දහම වෙත, කසාවත වෙත පැමිණියහ. එසේ පැමිණියවුන් අතර අජාන් බ්‍රක්මවන්සෝ හා අජාන් සුමේධ හිමි බොහෝ ප්‍රසිද්ධ වූවන්ය. මේ භික්ෂූන් දෙනම අතරින් බ්‍රක්මවන්සෝ හිමි ලන්ඩනයේ හැදී වැඩී සිට බුදු දහමේ හරය වටහා ගෙන, වෙනත් ආගම් තුල නොදකින තම අභ්‍යන්තර ශාන්තිය ළඟා කර ගැනීමට, ලෝක සත්‍යට බුදු දහම දක්වන ඇල්ම කෙරේ බැඳුණි. ඒ නිසා ඔහු බුදු දහමේ ශක්තිය ලොවට බෙදා දීමේ තවත් මහා මෙහෙයක් තම දිවි පැවැත්ම තුලින්ම ඔප්පු කොට පෙන්වා ලූ මහා යතිවරයෙකු වූ අචාන් චා හිමියන් ළඟ මහන විය. උන්වහන්සේගෙන් ඉගෙනගත් බුදු දහමේ හරය ලොව පුරා තම හැකි පමණින් නිර්ව්‍යාජ ව, අජාන් බ්‍රක්මවන්සෝ හිමියන් ඉටු කළහ. ඒ කළ සත්‍යවාදී දේශනා... තම අවබෝධයෙන්, ලොවේ තමාට හමු වූ ගැටලු වලින් හෙම්බත් වූ පුද්ගලයන්ට හට ලබා දුන් දාර්ශනික වූත්, සත්‍යවාදී සටහන් රැගත් පොත කොටස් වශයෙන් මෙලෙස ඔබ වෙත දිග හැරේ...

මේ එහි පළමු කොටසයි.

 

 

1 - අක්‍රමවත් බිත්තියක්

 

1983 දී, අපේ ආශ්‍රමය තැනීම සඳහා ඉඩමක් මිලට ගත් පසු, අප සිටියේ බංකොලොත් තත්ත්වයකය. අපි ණය බරින් ද මිරිකී සිටියෙමු. ඒ ඉඩමෙහි මඩුවක් වත් නොවිය. මුල් සති කීපය අප නිදා ගත්තේ ඇඳන්වල නොව, අඩු මුදලට මිලට ගත පැරණි දොරවල්  මතය. පොළොවෙන් මදක් ඔසවා තැබීම සඳහා අප ඒ දොරවල් ගඩොල් මත තැබුවෙමු. අපට මෙට්ට නොතිබුණු බව කිවයුතු නොවේ. අපි ආරණ්‍ය වාසී භික්ෂූහු වීමු.

වඩාත් සුවපහසු දොර, නායක හිමියන්ට පිලිගැන්වීමු. මට ලැබුණු දොරෙහි එක් තැනක, තරමක සිදුරක් විය. ඒ දොර අගුල සවි කර තිබුණු සිදුරය. එවැනි සිදුරක් තිබුණු නිසා, රෑ කාලයේ වැසිකිළි යාම සඳහා ඇඳෙන් නැගිටීමට මට සිදු නොවනු ඇතැයි විහිළු කලෙමි. අමිහිරි සත්‍ය වූයේ, ඒ සිදුර තුලින් සීතල සුළඟ හමා ආ බැවින් මගේ නින්දට බාධා සිදු වීමය.

අප දිළිඳු භික්ෂූන් පිරිසක් වූ අතර, ජීවත් වීම සඳහා කිසි යම් නිවහනක් අවශ්‍යව තිබිණි. ගොඩනැගිලි ද්‍රව්‍ය මිල අධික වූ අතර ගොඩනැගිලි කොන්ත්‍රාත්කරුවෙකු යෙදවීමට තරම් වත්කමක් අපට නො තිබිණි. අත්තිවාරම් දැමීම, බිත්ති බැඳීම, කොන්ක්‍රීට් දැමීම, වහල සෑදීම ආදී කාර්යන් ඉගෙනීමට මට සිදු විය. භෞතික විද්‍යාඥයෙකු වූ මම, ගිහි ජීවිතයේ දී උසස් පාසලක ගුරුවරයෙකු වශයෙන් කටයුතු කලෙමි. එබැවින් කය වෙහෙසා වැඩ කිරීමේ පළපුරුද්දක් මට නො තිබිණි. කල් යාමේදී ගොඩනැගිලි පිලිබඳ ඉතා දක්ෂයෙක් වීමි. මගේ පිරිස මගේ පිරිස මා හැඳින්වීමට යොදා ගත්තේ BBC (Buddhist Building Company) යන නමය. එහෙත් ඒ කටයුතු ඉතා දුෂ්කර බව වැටහිණි.

බිත්තියක් තැනීම සඳහා ගඩොලක් තැන්පත් කිරීම පහසු යයි පෙනෙනු ඇත. බදාම තට්ටුවක් මත ගඩොල් තබා, මට්ටම් ලෑල්ලටත් ලඹයටත් ගැලපෙන සේ මදක් තට්ටු කළ යුතුය. මා එක් කෙළවරකට තට්ටු කළ විට අනෙක් කෙලවර උසට එසවේ. ඒ කෙලවරට තට්ටු කළ විට මේ කෙළවර ඇද වේ.



භික්ෂුවක් වශයෙන් ඉවසීමත්, අවශ්‍ය තරම් කාලයත් මට තිබුණු බැවින් හැම ගඩොලක්ම ඉතා නිවැරදි ලෙස තැබීම ගැන සුපරික්ෂාකාරී වීමි. අන්තිමේදී බිත්තිය බැඳ නිම කළ මම තරමක් ඈතට වී ඒ දෙස ආශාවෙන් බලා සිටියෙමි. මා ගඩොල් දෙකක් ඇදේට තබා ඇති බව මට පෙනුණේ එවිටය. ඒ නිසා මුළු බිත්තියම නාස්ති වී ඇතැයි පසුතැවිලි වීමි.

ඒ වන විට සිමෙන්ති බදාම හොඳින් වේලි තිබුණු බැවින් ඒ ගඩොල් දෙක ඉවත් කළ නොහැකි විය. සම්පුර්ණ බිත්තිය ම කඩා දමා නැවත බැඳීමට සිතුනත්, නායක හිමියන්ගෙන් ඊට අනුමැතිය නො ලැබිණ. මගේ අතින් සිදු වූ වරද ගැන බෙහෙවින් වික්ෂිප්ත වීමි.

යන්තම් ඉදිවෙමින් පැවති අපේ ආශ්‍රමයේ විස්තර අමුත්තන්ට පෙන්වන විට, මගේ දෝෂ සහිත බිත්තිය මග හැර යෑමට මම හැම විටම තැත් කලෙමි. ඊට තෙමසකට පමණ පසු දිනක අමුත්තකු සමග මා ආශ්‍රම භූමියේ ගමන් කරන විට, ඔහු බිත්තිය දුටුවේය.

“අර බිත්තිය හරි ලස්සනයි..!” ඔහු පැවසීය.

“සර්, ඔබතුමාගේ කණ්ණාඩිය කාර් එක ඇතුළ තියල ද ආවෙ..? නැත්තම් ඇස් පේන්නෙ නැද්ද..?” මම ඇසීමි.

ඔහු ඊළඟට පැවසූ අදහස, ඒ බිත්තිය ගැන මගේ නිගමනය පමණක් නොව, ජීවිතයේ බොහෝ අවස්ථා පිළිබඳ දර්ශනය ද වෙනස් කිරීමට හේතු විය.

“ඔව්. ඒ ගඩොල් දෙක මට පේනවා. එසේම හොඳට බැඳ තිබෙන ගඩොල් 998ක් මට පේනවා.

මම මවිතයට පත් වීමි. තෙමසක් තුළ මුල් වරට, දෝෂ සහිත ගඩොල් දෙකට අමතරව අනෙක් ගඩොල් ද මට පෙනිණි. ඊට පෙර මගේ දෙනෙත් සම්පූර්ණයෙන්ම යොමු වූයේ, දෝෂ සහිත ගඩොල් දෙක කෙරෙහි පමණක්ය. අවුරුදු විස්සකට පසුව අදත් ඒ බිත්තිය එසේම තිබේ. ඒ ගඩොල් දෙක තිබූ තැනවත් දැන් මට මතක නැත.

සිය සහකරුගේ සුළු වැරදි පමණක් දකින නිසා, කොපමණ සබඳතා බිඳ වැටි ඇද්ද..? දික්කසාද කොපමණ සිදු වී ඇද්ද..? අපේම වැරදි පමණක් දකින නිසා ජීවිතය ගැන කලකිරීමට පත්වන, දිවි නසා ගැනීමට පවා සිතන අය කොපමණ සිටිත් ද..? ඒ සුළු වැරදි අවට යහපත් ගුණාංග කොපමණ ඇතත්, අපේ අවධානය මුළුමනින්ම යොමු වන්නේ, ඒ සුළු වැරදි වෙත පමණි. ඇතැම් විට ඉතා ‘ලස්සන බිත්තියක් වුවද කඩා බිඳ දැමීම, කනගාටුවට කරුණකි.

වැරදිවලට වඩා විශාල ප්‍රමාණයක් යහපත් ගුණාංග අප කා ලඟත් තිබේ. ඒ බව තේරුම් ගත විට අප සමග ම සැනසීමෙන් කල් ගත කිරීමට අපට හැකි වන අතර, අපේ සහකරුවන් සමග ද සතුටින් ජීවත් විය හැකිය. මෙය දික්කසාද නඩුවලට පෙනී සිටිනා නීතිඥයින්ට අසුබ ආරංචියක් වුවත්, ඔබට සුබ ආරංචියකි.

මේ විස්තරය, මා මීට පෙර කීප වතාවක් පවසා තිබේ. එබඳු එක් අවස්ථාවක, ගොඩනැගිලි කොන්ත්‍රාත්කරුවෙකු මා හමුවීමට පැමිණ වෘත්තීය රහසක් පැවසීය.

“ස්වාමීනි, අපි ගෙවල් සාදන කොට නිතරම වැරදි සිදු වෙනවා. නමුත් එය අසල කිසිම නිවසක නැති අලුත්ම අංගයක් කියල අපි කියනවා. ඒ විතරක් නෙවෙයි, ඒ සඳහා අමතර මුදලකුත් අය කරනවා.”

ඔබේ නිවසෙහි ඇති ‘සුවිශේෂී අංග ලක්ෂණ සමහර විට යම් වරකද ප්‍රතිඵලයක් විය හැකියි. එසේම ඔබෙත්, ඔබේ සහකරුගේත් සාමාන්‍ය ජීවිතයේ වැරදි වශයෙන් ඔබට පෙනෙන දේ, පසුව සුවිශේෂී ලක්ෂණ බවට පත් වනු ඇත.


Thursday, October 7, 2021

දස බිම්බර මාරයෝ හා දස මහා නරක

 දස බිම්බර මාර සේනාව - 




 මාර සේනාව පැමිණ බුදුවෙන්නට යන සිද්ධාර්ථයන් වහන්සේට බාධා පැමිණවීම


දේවතා බිම්බර, මාර්ග බිම්බර, යක්ෂ බිම්බර, රාක්ෂ බිම්බර, ගරුඬ බිම්බර, සර්ප බිම්බර, චතුප්පාද බිම්බර, භූත බිම්බර, නර බිම්බර හා අසුර බිම්බර


දස මහ නරක (මහා නිරයන් දහය) - 



අබ්බුද නරකය, නිරබ්බුද නරකය, අබබ නරකය, අටට නරකය, අහහ නරකය, කුමුද නරකය, සොගන්ධික නරකය, උප්පල නරකය, පදුම නරකය හා පුණ්ඩරීක නරකය

Sunday, September 26, 2021

මෛත්‍රී භාවනාව


සසරේ සැරිසරන සියලු ලෝ වැසියාගේ සිත් තුළ ක්‍රෝධය, වෛරය ආදී පහත් තමාටම අවැඩ පිණිස හේතුවන කෙලෙස් මානසිකත්වයෝ ඇත. ඒ සිත මැඩලමින් සිතේ සුවය ඇතිකරන්නාවූ අනෙකාටත්, තමාටත් සැපය පිණිසම හේතුවන සිතක් ඇතිකර ගැනීම මෛත්‍රීයයි. එය කමටහනක් කොටගෙන භාවනා කිරීම මෛත්‍රී භාවනාවයි. මෙම භාවනාව වඩන තැනැත්තා වෛරය, තරහව ආදී සිතුවිලි වලින් ඇතිවන හානිය ගැනත් මෛත්‍රීය තුලින් ඇතිවන ශාන්තිය ගැනත් යම් අවබෝධයක් ඇත්නම් භාවනාව හොඳින් වැඩීමට උපකාරවේ. අනුන් කෙරේ ඇතිවන වෛරී සිත් ඇති කෙනෙක් හරියට, අන් පුද්ගලයා නැසීමට තමන් අත ගිනි පුපුරක් තබාගෙන සිටිනවා වාගේ යැයි බුදුරජාණන් වහන්සේ වදාළ සේක. ඉන් තමාත්, අනෙකාත් නැසේ. පළමුව තමාම නැසේ. තථාගතයන් වහන්සේ වෛරය ගින්නකට උපමා කළේ ඒ නිසාය. මෙයට හොඳම නිදසුන නම් මාගන්දියයි. මාගන්දිය, සාමාවතිය ඇතුළු පන්සීයක් පිරිස සිටි ශාලාව වසා ගින්නෙන් පිලිස්සුහ. නමුත් ඥානවන්ත සාමාවතිය සියලු පිරිසට කියා සිටියේ ද්වේශය ඇති නොකරගෙන මෛත්‍රී සිතින්ම සිටිනා ලෙසයි. මරණයෙන් පසු සියලුදෙනා දෙව්ලොව ඉපදුණ අතර ගිනිතැබූ මාගන්දිය අදත් නිරයේ ඒ ගින්නෙන්ම දැවී දැවී සිටියි. මේ ආකාරයට ද්වේශය වැපිරූ කෝකාලික, චිංචිමානවිකාව, සුප්‍රබුද්ධ රජු... ආදී චරිත දෙස බැලීමේදී පෙනී යන්නේ කිසිවෙකුට එයින් සැනසීමක් ලැබී නැති බවයි. බොහෝ දෙනා ඉඩකඩන්, මිල මුදල්, බලය වැනි අනිත්‍ය වන දේවලට ආසාකර, වෛර උපදවා ගනී. කෙනෙක් කියූ වචනයකටත් වෛර බැඳගන්නා අය අද සමාජයේ නැතුවා නොවේ. මේ ලෙස වචනයකට, රැවීමකට, එරවීමකට තරහ, වෛර ඇති කරගන්නා අය බොහෝයි. මේ ක්‍රෝධය, වෛරය නිසා තමාගේ සතුට අහිමි කරගෙන, මානසික පීඩා ඇති කරගෙන, රුධිරය අපිරිසිදු කරගෙන, ජීවිතයම නුරුස්සනා ස්වභාවයෙන් ගත කරනවාද නැත්නම් මෙත් සිතින් අපටත්, අනෙකාටත් යහපතක් කරගෙන සන්සුන් ඉඳුරන්, නිදහස් මනසක් ඇති ප්‍රියමනාප කෙනෙක් වනවාද කියා තීරණය ගත යුත්තේ අපමය.

එම නිසා තමාටත්, හැමදෙනාටමත් හිත සුව පිණිස හේතුවන මෛත්‍රීය වැඩීම හැමදෙනාගේ දෙලොව යහපත්ටම හේතුවේ. ඒ වගේම කෙනෙක් මේ මෙත් සිත හරියාකාරව වඩා සිතේ මුදුන්පමුණුවා ගන්නවා නම්, මෛත්‍රී විහරණයෙන්ම ජීවත් වනවා නම්, මෛත්‍රී ධ්‍යාන උපදවා ගන්නවා නම්  එය ඔහු තමාටත්, තමාගේ පවුලේ උදවියට ඇතුළු අනෙක් සියල්ලන්ටම අත් කරදෙන මහා යහපතකි. මෙහි ප්‍රතිලාභ ඔබට භාණ්ඩයක් කඩෙන් මිලදී ගත් සේ නොපෙනේ. එක්වර නොදැනේ. මෙත් සිත ඇත්තා සමග කතා කරන වෛරී පුද්ගලයාටත් ඔහුගෙ ඒ හැසිරීම නිසා, ඔහුගෙ ඒ නොගැටෙන වචන, හැසිරීම් නිසා අනෙකාට ද්වේශය පවත්වා ගැනීමට බාධක ඇතිවේ. මෛත්‍රී ධාන උපදවාගෙන සිටි විශාඛ රහතන් වහන්සේ සිතුල්පව්වට වැඩ කැලයක සතර මාසක් සිටීම නිසා එහි දෙවිදේවතාවුන්ගේ ගැටීම්, අමිත්‍රකම්පවා දුරු වූ බව දහමේ සඳහන් වේ.

බුදුරජාණන් වහන්සේගේ ආදේශනා ප්‍රාතිහාර්ය සිදු වන්නේ පිළිවෙලක් අනුවය. එහි යමක් වඩන්න, ක්‍රියාත්මක කරන්න තිබෙනවා නම් එය කිරීමෙන් ලැබෙන ඵල, ආනිසංස පළමුවෙන්ම පෙන්වා දීම බුදුරජාණන් වහන්සේගේ පිළිවෙලය. ඒ මගින් ශ්‍රාවකයාට වීර්යෙන්, උනන්දුවෙන් ඒ කර්තව්‍ය කිරීමට පෙලඹවීමක්, කැමැත්තක් ඇති වෙනවා. මෙත් වැඩිමේ දේශනාව කිරීමට පෙරද භාග්‍යවතුන් වහන්සේ එයින් ලැබෙන ආනිශංස 11ක් ශ්‍රාවකයන් හට පෙන්වා දුන් සේක. ඒ ආනිසංස දැන ගැනීම අපටද මෙත් වැඩීමට උනන්දුවෙන් කරගෙන යාමට ඉවහල් වේ. ඒ ආනිසංස 11 නම් -

1- සුවසේ නිදයි. 2- සුවසේ අවදිවෙයි. 3- නපුරු සිහින නොපෙනෙයි. 4- මිනිසුන්ට ප්‍රිය වේ. 5- අමනුශ්‍යන්ට ප්‍රිය වේ. 6- දෙවියෝ රකියි. 7- ගින්නෙන්, ආයුධයෙන් ආරක්ෂාවේ. 8- මුහුණ ප්‍රභාස්වරවේ. 9- වහා සිත සන්සුන්වේ. 10- සිහියෙන් මරණයට පත්වේ. 11 - නිවන සාක්ෂාත් නොකළේ නම් මරණින් මතු බඹලොව උපදී.

(ආනිසංස විස්තරාත්මකව දැන ගැනීමට මෙතනින්)

මේ තරම් සියලු දෙනාටම සෙත සලසන මෛත්‍රීය කිරීමට සුදානම් වන පුද්ගලයා ඇතිකරගත යුතු යහපත් චරිත ලක්ෂණ 15ක්, වනයේ සිටි භික්ෂූන් වහන්සේලා පිරිසකට ඇතිවූ වෘක්ෂදේවතා, අමානුෂ උවදුරු ආදියෙන් මිදීම අරඹයා බුදුරජාණන් වහන්සේ කරණීයමෙත්ත සූත්‍රයේදී වදාළ සේක. (සූත්‍රය මෙතැනින්). එහි පෙන්වා තිබෙන සියලු කාරණා වල පොදු ලක්ෂණය නම් දක්ෂ, අනලස්, සැහැල්ලු, ප්‍රඥාවන්ත බවින් යුතු වීමයි.

භාවනාව ආරම්භය - භාවනාව කරණා මුල් කාලයේ පලඟක් බැඳගෙන, සුපුරුදු භාවනා ඉරියව්වෙන්ම පටන් ගැන්ම හොඳය. නැතිනම් කුමන ඉරියව්වක් වුවද ගැටළුවක් නොමැත. අවශ්‍ය වන්නේ ශබ්ද අඩු, සිත නොවිසිරෙන ස්ථානයක් භාවනාවට යොදා ගැනීමය. භාවනාව වැඩෙන කුමන ආකාරයකට, කුමන ස්ථානයක වුව කළ හැක. සියලු සත්වයෝම කැමති තමා සුවෙන්, සැපවත්ව සිටින්නටයි. එතරම් භවයට සත්වයා ඇලී ඇත. එම නිසා පළමුව අප අපටම මෙත් වඩා ගෙන පසුව අන් සියලු දෙනාටම එය වැඩිය යුතුය. නමුත් මුල් කාලයේදී එදිරි පිරිසට මෙත් වැඩීමට නොහැකිවේ. නමුත් අප කෙමෙන් කෙමෙන් එයට හුරු විය යුතු වේ. ඒ වාගේම භාවනාව හැකි සෑම මොහොතක වැඩිය හැක. සෑම මොහොතකම මෙත් වඩන සිතක් කෙතරම් නම් සුවයක්, සැනසීමක් ලබයිද..

පවත්වනවා නම් කෙතරම් මානසික සුවයක් ඒ තැනැත්තාට ලැබේද..

මෙසේ පළමුව තමාටද, දෙවනුව තම දෙමාපියන්ටද පසුව සහෝදර, ගුරුවර, නෑදෑ පිරිසට, අසල්වැසි අයට... මෙසේ කෙමෙන් කෙමෙන් සියලු ලෝ සත්වයාටම මෙත් වැඩිය යුතුයි. එහිදී සියලු මනුෂ්‍ය සත්වයාට මෙන්ම තිරිසන්, නිර, දේව- බ්‍රක්ම ඇතුළු සියලුම ලෝ සත්වයන්ට මෙත් සිත පැතිරිය යුතුයි.

        මම නිදුක් වේවා !   මම නීරෝගී වේවා !   මම සුවපත් වේවා !   මම දුකින් මිදේවා !   මම වෛර නැත්තෙක් වෙම්වා !   නිවන් ලබම් වා !

මා මෙන්ම මාගේ දෙමව්පියෝද 

නිදුක් වේවා !   නීරෝගී වේවා !   සුවපත් වේවා !   දුකින් මිදේවා !   වෛර නැත්තෙක් වෙම්වා !   නිවන් ලබම් වා !

· මේ ලෙස තමාගෙන් පසු දෙමාපියන්ට, තම සහෝදර සහෝදරියන්ට, ගුරුවරුන්ට, අසල්වැසියන්ට, අහිතවත් හා මැදහත් සිත් ඇත්තන්ට ඇතුළු සියලු මනුෂ්‍ය සත්වයෝද,

· දිව්‍ය ලෝකවල වාසය කරනා අල්පේශාක්‍ය සිට මහේශාක්‍ය දක්වා සියලු සදිව්‍ය ලෝකවාසී සම්‍යදෘෂ්ටික හා මිත්‍යාදෘෂ්ටික දෙවියෝද,

· සියලු බ්‍රක්ම ලෝකවල වාසය කරනා රූපී, අරුපී සියලු බ්‍රක්මයෝද,

· සතර මහා නිරයන්වලින් එකක් වන තිරිසන් ගත සත්ව ලෝකයේ ඇසට නොපෙනෙන්නාගේ සිට විශාලම සත්වයා දක්වා වෙසෙන අපා, දෙපා, සිව්පා, බහුපා ආදී තිරිසන් ලොව සිටිනා සත්වයෝද,

· සතර මහා නිරයන්වලින් එකක් වන ප්‍රේත ලෝකයේ ඒ සියලු දුක් විඳිනා සත්වයෝද ,

· සතර මහා නිරයන්වලින් එකක් වන ඇසුර නිරයේ ඒ සියලු සත්වයෝද,

· සතර මහා නිරයන්වලින් අවසන් එක වන අපායේ සිටින අට මහා නිරයන්වල ඇතුළු සියලු ඔසුපත් නිරයන් වල නිරි සත්වයාද, අනු කුඩා නිරයන්වල ඇතුළු ලෝකාන්තරික නිරයන්වල සිටින්නා වූ ඒ සියලූම සත්වයෝද,

ලෙස එකින් එක ගෙන සියලු සත්වයාටම

        නිදුක් වේවා !   නීරෝගී වේවා !   සුවපත් වේවා !   දුකින් මිදේවා !   වෛර නැත්තෙක් වෙම්වා !   නිවන් ලබම් වා !

මෙත් වැඩීමෙන් ලැබෙන ආනිසංස 11

  සුඛං සුපති - සුවසේ නිදයි..

සුවෙන්, නිදහසේ නින්දක් ලබන්නට හැකි කීයෙන් කී දෙනෙක් හට අද දවසේ හැකිද. නොහැකි පිරිසම වැඩිය. ලෙඩ රෝග නිසා, වැඩරාජකාරි අධික වීම නිසා, මානසික අසහනය.. වැනි කාරනා නිසා ඒ බොහෝ දෙනා අහිමි කරගන්නා නින්ද මෙත් වැඩීමේ ඵලයක්, ආනිසංසයක් ලෙස ලැබේ. සමහරෙක් නින්ද ළඟා කරගැනීමට වෛද්‍ය පිහිට, නිදි පෙතිවල පිහිට පතයි. නමුත් එයින් ඔබට ජීවත් වන මුළු කාලය පුරා උදව් ලබා ගත හැකිද. බැරිය. වෛද්‍යවරු පවා දීර්ඝ කාලයක් නිදි පෙති භාවිත කිරීම අනුමත නොකරන දෙයකි. මෙත් වඩන්නාගේ සිත කල්යත්ම ඇතිවන සංසින්දීම නින්දට පමණක් නොව නොනිදා සිටින මොහොතේ පවා සුවයෙන් තබයි. සතර මහා ධාතුවලට අයත් මේ සිරුර තුල ශාන්ත පැවැත්මත් ඇතිවේ. ඒ පහසුව ඔබව සුවයෙන් තබයි. ඒ සුවපත් ශරීරය හා මනසට අවශ්‍ය විවේක මොහොතට ලඟා වූ විට ඇඳේ පැය ගණන් නිදි නොමත්ව සිටීමට සිදු නොවේ. මහන්සියක් නොමැතිවම සෞම්‍ය නින්දකට පත්වේ.

  සුඛං පටිබුජ්ජති - සුවෙන් අවදි වේ..

ඒ ශාන්ත වූ නින්දට පත් පුද්ගලයාට ඇහැරෙන්නට අවශ්‍ය මොහොතේ සුවසේ නැගිට දවස ආරම්භ කරන්නට හැකි වේ. සමහර පුද්ගලයන්ට නින්ද යෑම ගැටළුවක් නොමැතිව සිදුවුණද අතරමගදී ඇහැරේ. නැතිනම් ඇඳේ දඟලමින්, කෙඳිරි ගාමින් නින්දේ පසුවේ. ඒ නින්ද නිසා උදෑසන අවදි වන්නේද මහා අමාරුවකිනි. ඒ නැගිට්ට මොහොතේ අත්වල හීරි ඇති, තුවාල වී ඇති තැන් දැක ගැනීමට හැකිවේ. ඒ නින්දෙදි සිදුවූ දේවල්ය. නමුත් මෙත් සිතින් නින්දට යන්නා සුව නින්දකට පත් වෙන්නා සේම නින්දද සුවසේ ලබා, අවදි වීමද සුව සේ සිදු කරයි. නින්දෙන් නැගිටීමට ඔහුට වෙහෙසක් දැරීමට සිදු නොවේ.

  නපාපකං සුපිනං පස්සති - නපුරු සිහින නොපෙනෙයි..

මෙහි නපුරු සිහින නොපෙනවා යැයි කීවේ සිහිනෙන් භයානක, අසුභ සිහින නොපෙනෙනවා විතරක් නොව. අඩ නින්දක්, ඇඳේ එහෙ මෙහේ දිග ඇදෙමින් හෝ කෙඳිරිගාන යන කිසිඳු අපහසු දෙයක්වත් නින්දේදි සිදු නොවන බවයි. සමහරුන් මහ රාත්‍රියේ භයානක සිහින දකිමින් ඇහැරෙන්නේ ගෙවල් දෙකතුනට ඇහෙන්නද හඬනගා ගෙනය.

  මනුස්සානං පියෝහෝති - මිනිසුන්ට ප්‍රිය වේ..

මෛත්‍රිය වඩන්නා එක් පැත්තකින් අන් අයට ද්වේශයකින් කතාවක් නැත්තේය. ඒ නිසාද ඔහුව අනෙක් පුද්ගලයන්ට ප්‍රියවේ. ඒ වාගේම ඔහුගේ සිතේ ශක්තිය වැඩි නිසා හතුරාද යම් දමනයට පත්වේ. (මෙත් වඩන්නාගේ ශක්තිය අනුව). ඔහු බාල, මහලු හෝ රූපයෙන් මොන විදිහේ කෙනෙක් වුවත් අනෙක් අය ඔහුගේ ඇසුරට ප්‍රියවේ. ඔහුගෙ මෙත් සිත පෙරදැරි වචන අනෙකාගේ කන්ට සුවය ගෙන්දේ.

  අමනුස්සානං පියෝ හෝති - අමනුශ්‍යන්ට ප්‍රිය වේ..

අමනුෂ්‍ය - මනුෂ නොවන අයට පවා ඔබේ ශක්තිය දැනේ. විශේෂයෙන්ම ඔබෙන් නිකුත්වන ඒ මෙත් සිතේ ශක්තිය දෙවියන්, අසුර, යක්ෂ... ආදීනට හොඳින් තේරේ. ඒ වගේම තිරිසන් සතුන්ට පවා ඔබේ ශක්තිය ප්‍රබල වෙන තරමට දැනේ. දෙවියන්, සතුන් ඔබට ප්‍රිය වේ. සතුන් ප්‍රිය වීම් යනු මෙත් කරන කෙනාට වදයක් වෙමින් පස්සේ එන බව නොවේ. ඔබ යන මාවතේ විස සහිත සතෙක් සිටියහොත් ඌ ඔබට කරදරක් නොකරයි. නැතිනම් එතනින් ඉවත් වේ. කරදරයදී දෙවියන් ඔබට උදව් දීමට පෙළඹේ ඒ ඔබ මෙත් සිත පෙරදැරි නම් පමණි. මේ දේව හා සත්ව ප්‍රිය භාවයට හොඳම උදාහරණය නම් අශෝක රජු දවස දඹදිව වැඩ සිටි අස්සගුත්ත මහා රහතන් වහන්සේය. උන්වහන්සේ මෛත්‍රී ධ්‍යාන උපදවාගෙන වැඩසිටියේ කැලයකය. ඒ කැලයේ කොටි, වලසුන්, මුවෝ ආදී සියලුම සතුන් අනෙක් සත්වයෙක්ටද, උන්වහන්සේට හිංසාවක් නොමැතිව සිටියහ.

  දේවතා රක්ඛන්ති - දෙවියන් රකී..

කලින් පෙන්වා දුන් ලෙස මෙත් වඩන්නාගේ ශක්තිය විශේෂයෙන් දෙවියන්ට දැනේ. දෙවිවරු පවා ඒ මෛත්‍රී ශක්තියට ඉතා කැමතිය. මෙත් සිතේ ආනුභාවය නිසා ඔහුව නිරතුරුවම දෙවිවරුන්ගේ අවධානයට, උපකාරයට ලක්වේ. ඒ ලෙසින්ම අමනුෂ්‍ය දෝෂයක් ඇත්නම් වහා එය දුරුවේ මේ මෙත් බලයේ අනුහසින්. ඒ නිසා උවදුරු, අපල.. වැනි දෑ ඇත්තන් මෛත්‍රියෙන් වාසය කරනවා නම් එය ඉතා යහපත සාදන දෙයකි. ඒ වාගේම මෙතරම් බලයකින් යුත් මෙත් භාවනාව වැඩු යමෙක් එක ප්‍රදේශයක, එක රටක වාසය කරනවානම් ඒ භූමියේ පිරිස පවා කෙතරම් වාසනාවන්තද.

  නාස්ස අග්ගීවා විසංවා සත්වා කැමති - ගින්නෙන්, විෂ හා ආයුදයෙන් හානි නොවේ..

මෙත් සිත පෙරදැරි මොහොතක විසක් සරීරගත වූ විටදී පවා එයින් හානිය නොවේ. ප්‍රසන්න සතර මහා ධාතුවේ ශක්තියෙන් ඔහුගේ විෂ බසී. මෛත්‍රී ධ්‍යාන උපදවා ගෙන සිටින්නෙක් ආයුධයෙන් නැසීම පවා කලා නොහැකි දෙයකි. බුදුන් දවස සිටි උත්තරා උපාසිකාව භාග්‍යවතුන් ප්‍රමුඛ සඟයාට දානය සකසමින් සිටියදී සිරිමා ඇයගේ ඇඟට ගිනි රත් වූ තෙල් හැලීය. නමුත් තෙරුවන් සරණ ගොස් සිටි උත්තරා වහා මෙත් සිත දරාගෙන සිටියාය. ඒ නිසා ඇයට කිසි හානියක් එයින් සිදු නොවිණි.

  මුඛවණ්ණෝ විප්පසීදති  - මුහුණ ප්‍රභාස්වරවේ...

මෙත් වඩන්නා මෙලොවදී ලබන ඊළඟ ආනිසංසය, ඵලය වන්නේ මුහුණ පැහැපත් වීමයි. මෙයින් අදහස් වන්නේ සුදුවීමම නොවේ. කාන්තිය, දැකුම්කළු භාවය ඒ මෛත්‍රිය වඩන්නා තුලින් මතුවීමයි. සතර මහ ධාතුව ප්‍රසන්නවීම මත මේදේ සිදුවේ. එයින් ඔහුගේ තරුණ පෙනුම ආරක්ෂාවෙ. සමේ රැලි වැටීම, දුර්වර්ණ වීම බොහෝ අඩුවේ. ආලෝකමත් වන සතරමහා ධාතුවෙන් වන මේ සිරුර- මුහුණ ප්‍රසන්න, ප්‍රභාෂ්වර වීම කිසිඳු රූපලාවන්‍යශාලාවකින්, වෛද්‍යප්‍රතිකාරයකින් කරගත නොහැක. නොමිලේ මෙය ලැබෙන්නේ මෙත් වඩන්නාටය.

  තුවටං චිත්තං සමාධියති - වහා සිත සමාධිමත්, සන්සුන් බවට පත්වේ..

සිතේ එකඟනැති බවද අද දවසේ පුද්ගලයන්ගේ දකින්නට හැකි ප්‍රධාන ලක්ෂණයකි. විසිරුණු සිතක් නිසා කෙනෙක් කෙතරම් අමාරුවට වටේද. රැකියාවේ, පවුලේ, සමාජයේ ඔහු අසමත් චරිතයකි. මෙත් වැඩීමෙන් ලැබෙන මේ ආනිසංසය නිසා ඔබේ සිත සතියට, සමාධියට ඉඩ දෙන තැනක් බවට නිතැතින්ම පත්වේ. බොහෝ දෙනාට භාවනා කිරීමට පවා නොහැකි මේ අසමාහිත සිත නිසායි. ඔහුටද මෙත් සිතින් සිටිය හැකි නම් බොහෝ ප්‍රයෝජන ලැබේ. මේ සිතේ තැන්පත් වීම ලෞකික ජීවිතයේ මෙන්ම ලෝකෝත්තර ජීවිතයේ දියුණුවටද එකලෙස අත්‍යවශ්‍ය වේ.

  අසම්මුල්හෝ කාලංකරෝති - අසිහියෙන් නොමරේ..

බුදු දහම අදහන, පිළිපදින අප පරලොවක් තිබෙන බව දනී. ඒ වාගේම මරණින් මතු පහත ජීවිතයක්ද අපි අපේක්ෂා නොකරමු. අසිහිය, අසමාහිත සිත පරදන මෙත් භාවනාව මේ ජීවිතයේ අවසන් මොහොතද ඔහු හට සිහියෙන්, සමාධියෙන් ගත කිරීමට ඉඩ සලසා දේ. කෙතරම් පිරිසක් අවසන් මොහොතේ අසිහියෙන්, අසහනයෙන් මරණයට මුහුණ දෙනවාද. කියව කියවා, කෑමොර දී, ඉන්නා තැනක් හෝ කරනා දෙයක් හෝ නොදැන ඒ සමුගන්නා සියලු දෙනා කොහේ උපතකට පෑහේද. නමත් මෙත් සිතින් ජීවත් වන්නා තම අවසන් මොහොතද සමාහිත සිතින් වාසය කරයි.

  මරණින් මතු බඹ ලොව උපදී...

මෙත් ආනිසංසය 11න් පරලොවදී ලබන එකම ඵලය මෙයයි. අන් සෑම කරුණක්ම දක්වා ඇත්තේ මේ භවයේම අත දකින්නට හැකි ඒවාය. බලන්න බුදු දහම මරණින් මතු සිතන වෙනත් ආගම්, මාර්ග ලෙස නොව මේ ජීවිතයේම වඩා ඵල ලබා ගන්නා අපූරු දහමකි. මේ අයුරින් කරුණු දැන මෙත් වඩන්නා නිවන් සාක්ෂාත් කර නොසිටි හා මෛත්‍රියෙන් අවසාන මොහොත දක්වා සිටිනා කෙනා ගැනයි. ඔහු සිහියෙන්ම මැරී බඹ ලොව පහලවේ. කෙනෙක් හට ධ්‍යාන තත්වයක් දක්වා මෛත්‍රිය දියුණු කරගත නොහැකි වුවත් හැකි අයුරින් මෙත් සිතින් ජීවත් වූවා නම් බඹ ලොව නැතත් ඔහුට සුගති සම්පත අනිවාර්යයෙන් උරුම වේ. ඒ වාගේම සසරේ බොහෝ කල් නොයවා උතුම් අරිහත් භාවයද ඔහු සාක්ෂාත් කර ගනී.

මෛත්‍රී භාවනාව කිරීම ගැන දැක්වෙන විස්තර කියවීමට මෙතනින් Ø