භාවනාව හැඳින්වීම

භාවනාව හරියාකාරව මුලසිට ඉගෙනගනිමු.

ශ්‍රද්ධාව

තුනුරුවණ කෙරේ ශ්‍රද්ධාවන්තයින් වී උතුම් නිර්වාණ මාර්ගය විවර කරගමු.

Friday, June 9, 2023

බුද්ධිමත් ආහාර අනුභවය

 

නිවසින් බැහැර ගොස්, අවන්හලකින් රාත්‍රී ආහාරය අනුභව කිරීමට, මගේ ඇතැම් යහළුවෝ ප්‍රිය කරති. විශේෂයෙන් ප්‍රනීත ආහාර සඳහා අධික මුදලක් වැය කිරීමට ඔවුන් සූදානම් ය. කෙසේ වෙතත්, ආහාරවල රසවත් බව ගැන නො තකා, සිය සගයා සමග යෙදෙන සාකච්ඡාවක් කෙරෙහි පූර්ණ අවධානය යොමු කිරීමෙන් ඔවුහූ ඒ අවස්ථාව අපතේ යවති. දක්ෂ වාදක මණ්ඩලයක් මගින් පවත්වනු ලබන සංගීත ප්‍රසංගයක් අතර තුර, කතාබස් කරන්නෙ කවුරුන් ද? එවිට, ඔබේ ආස්වාදයට බාධා වීම පමණක් නොව, ඔබ ශාලාවෙන් නෙරපා හැරීමට ද ඉඩ තිබේ. උසස් චිත්‍රපටයක් නරඹමින් සිටින විට, යාබද ආසනවල සිටින ප්‍රේක්ෂකයින්ගේ කතාබහෙන් බාධා සිදු වීම අපි පිළිකුල් කරමු. එසේ නම්, අවන්හලකට ගොස් ආහාර අනුභව කරද්දී, පිළිසඳර කතාවෙහි යෙදෙන්නේ මන්ද? එය, නීරස ආහාර ඇති සාමාන්‍ය අවන්හලක් නම්, අවධානය අන් අතකට යොමු කිරීම සඳහා කතාබස් කිරීමේ වරදක් නැත. එහෙත් ආහාර සැබවින් ම ප්‍රනීත නම්, මිල අධික නම් ඒ මුදලට සරිලන සේ ආහාර අනුභව කිරීමට ඉඩ දී නිහඬව සිටින ලෙස ඔබේ සගයාට පැවසීම, බුද්ධිමත් ආහාර අනුභාවයක් සේ සැලකිය හැකි ය.

අප නිහඬව ආහාර අනුභව කරන විට පවා එහි උපරිම ආස්වාදය විඳීමට අපට නොහැකි වේ. ඒ වෙනුවට එක් ආහාර කැබැල්ලක් සපන අතර, අපේ අවධානය යොමු වන්නේ, ගෑරුප්පුවේ අමුණා ඇති ඊළඟ කැබැල්ල කෙරෙහි ය.

ජීවිතය පිළිබඳ පූර්ණ අවබෝධයක් ලැබීමට, අප නිහඬව, වරකට එක් මොහොතක් බැගින් රස විඳිය යුතු ය. එවිට ජීවිතය නමැති තරුපහේ හෝටලයට අප ගෙවන මුදලෙහි සම්පූර්ණ වටිනාකම අපට ලැබෙනු ඇත.

Wednesday, June 7, 2023

ප්‍රඥාව යනු කුමක් ද

 

මා ශිෂ්‍යයකු වශයෙන් සිටිය දී, මගේ ගිම්හාන නිවාඩුවෙන් වැඩි කාලයක් ගත කළේ, ස්කොට්ලන්තයේ කඳුකර ප්‍රදේශවල ය. එහි පැවති හුදකලා බැවින්, සුන්දරත්වයෙන් හා නිසල බවින්, ඉමහත් ආස්වාදයක් අත් වින්ඳෙමි.

එක් සිහිකටයුතු සවස් කාලයක, උස් තුඩු හා කලපු අතරින් වැටී තිබුණු මුහුදු බඩ පටු මාවතක මම සක්මන් කරමින් සිටියෙමි. උණුසුම්, දීප්තිමත් සූර්යයා, මා අවට පැවති සුවිශේෂ සුන්දරත්වය විදහා දක්වන, විදුලි ආලෝක ධාරාවක් වැනි විය. කඳුගැට අතර ඔවිටියාය, වසන්ත සමයේ නැවුම් හරිත වර්ණයෙන් යුත් විල්ලුද වැනි තැන පඳුරු සහිත අනන්ත භූමි දර්ශනයක් සිරි ඉසිලී ය. රැලි නගන සයුරට ඉහළින් වූ ගිරි ශිඛර දිස්වූයේ මූර්තිමත් කරන ලද ‘දෙව්මැදුරු මෙන්. නිල්වන් සාගර ජලය මත සන්ධ්‍යා හිරු කිරණ දිදුලනු පෙනිණි. කාන්තිමත් වටපිටාවෙන් ප්‍රමෝදයට පත් වැහිලිහිණියෝ අහසෙහි සැරිසරන්නට වූහ. සොබා දහම, සිය උපරිම සෞන්දර්යය ප්‍රදර්ශනය කළා මෙනි.

ඉමහත් ප්‍රබෝධයෙන් යුතුව සක්මන් කරමින් සිටි මම, කඳුගැටය පාමුල පාර අයිනේ නතර කර තිබුණු කුඩා කාරයක් දුටුවෙමි. එදින පැවති සුන්දරත්වයෙන් වශී වූ එහි රියැදුරා, කාරය නතර කර එහි රස විඳිමින් සිටිනු ඇතැයි සිතුවෙමි. ඊහෙත් එතනට ළඟා වූ විට දකින්නට ලැබුණේ, ඉදිරි අසුනෙහි හිඳ ගත් මැදිවියේ පුද්ගලයෙකු පුවත්පතක් කියවමින් සිටින බවය.

පුවත් පත ඉතා විශාල වූ බැවින්, අවට දර්ශනය ඉන් ආවරණය විය. සාගරය, කඳුගැට, ඕවිටි ආදය වෙනුවට ඔහුගේ අවධානය යොමුව පැවතියේ, යුද්ධය, දේශපාලනය සහ ඕපාදූප කෙරෙහි ය. පුවත්පතට වැසුණු සෞන්දර්යය ඔහුට පෙනෙන පරිදි, මගේ ගමන් මල්ලෙන් කතුරක් ගෙන, එහි සිදුරක් කැපීමට මට සිතුණන්, ඔහු දැවැන්ත මිනිසකු වූ අතර, ම මගේ කුස පිරෙන්නට ආහාර නො ලැබුණු, කෙට්ටු ශිෂ්‍යයකු වූ බැවින් පුවත් පත කියවීමට ඔහුට ඉඩ දී මම ඉදිරියට ගමන් කළෙමි.

අපේ සිත් බොහෝ විට පිරී පවතින්නේ, යුධ ගැටුම්, සේවා ස්ථාන වන ආරවුල් ලොව ප්‍රකට පුද්ගලයින් පිලිබඳ ඔපාදූප ආදී, පුවත්පත් පුරවා ඇති අප්‍රසන්න ආරංචිවලිනි. අපේ සිත් තුළ ඇති ‘පුවත් පත’ වරින් වර හෝ බැහැර කිරීමට අප නො දන්නෙ නම්, අප ඊට වශී වී ඇත්නම්, අපට කිසි විටක, ස්වාභාවික සෞන්දර්ය ය පිළිබඳ නිර්මල ප්‍රමෝදය අත්විඳීමට නොහැකි වනු ඇත. ප්‍රඥාව කිසි විටක පහළ නො වනු ඇත.


Sunday, June 4, 2023

දරු සෙනෙහස

 

තම දරුවාගේ අවශ්‍යතා ගැන වඩාත් හොඳින් දන්නේ තමන් යයි දෙමාපියන් නිගමනය කිරීම, ගැටලුවක් බවට පත්ව තිබේ. බොහෝ විට ඒ නිගමන වැරදි වන අතර, නිවැරදි වන අවස්ථා ද තිබෙන බව, වසර දහසකට පමණ පෙර, චීන කවියකු වූ, සූ ටුං පෝ විසින් රචිත පහත දැක්වෙන පද්‍යයෙන් පැහැදිලි වේ.

මගේ පුතා උපන් විට

දරුවකු මේ ලොව උපත ලැබූ විට

ඔහු මහා නුවණැති දරුවකු වේ නම්

සතුටට පත් වෙති පවුලේ කවුරුත්

මගේ මුළු දිවිය ම නාස්ති වූයේ,

මහ නුවණැත්තකු වීම නිසයි

චූටි පුතා නූගතකු වුණොත්

ඒ වගේ ම අමනයකු වුණොත්

ශාන්ත වනු ඇත මුළු ජීවිතය ම

මතු දවසක වී ඇමති කෙනෙක්



Sunday, May 28, 2023

කරුණාවේ පියාපත්

 කරුණාව සුන්දර පරවියකු වශයෙන් උපකල්පනය කළොත්, ප්‍රඥාව උගේ පියාපත් ය. ප්‍රඥාවෙන් තොර කරුණාව, කිසි විටක පියසර නො කරයි. බාලදක්ෂයෙක්, වයස්ගත කාන්තාවක, රථවාහන අධික මාර්ගයක් හරහා කැඳවා ගෙන යාමෙන් යහපත් ක්‍රියාවක් කලේ ය. ගැට‍ළුව වූයේ, ඇයට පාර හරහා යාමට අවස්ථාවක් නොතිබීම ය. ඒ බව ඔහුට පැවසීමට නොහැකි තරමට, ඇය වික්ෂිප්ත වී සිටියා ය.

අවාසනාවකට මෙන්, ඒ කතන්දරයෙන් විස්තර වන්නේ, කරුණාවේ නාමයෙන් ලොව සිදු වන දේවල් ය. අප බොහෝ විට සිත ගෙන සිටින්නේ, අනෙක් තැනැත්තාට අවශ්‍ය දේ අප දන්නා බව ය.

උපතින් ම බිහිරු වූ තරුණයෙක්, නිතිපතා සිදු කළ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා, දෙමාපියන් සමග වෛද්‍යවරයා වෙත ගියේ ය. වෛද්‍ය සඟරාවක දකින්නට ලැබුණු නවතම වෛද්‍ය ක්‍රියාමාර්ගයක් පිළිබඳව, වෛද්‍යවරයා දෙමාපියන්ට දැන්වීය. සරල, ලැබ ශල්‍ය කර්මයක් මගින්, උපතින් ම බිහිරි අගයෙන් 10% දෙනෙකුට, සම්පූර්ණ ශ්‍රවණය ලබා දිය හැකි බව, ඒ සඟරාවේ සඳහන්ව ඇති බවත්, දෙමාපියන්ගේ අනුමැතිය ඒ සඳහා අවශ්‍ය බවත්, වෛද්‍යවරයා පවසූ විට, ඔවුහූ එක හෙළා ඊට කැමති වූහ.

ඒ අනුව, තරුණයාගේ ශ්‍රවණ ශක්තිය, මුළුමනින් ප්‍රකෘතිමත් කරන ලදී. එවිට දෙමාපියන් සහ වෛද්‍යවරයා කෙරෙහි ඔහු තුළ ඇති වූයේ දැඩි කෝපයකි. ශල්‍යකර්මය පිළිබඳව ඔවුන් අතර ඇති වූ සාකච්ඡාව ඔහුට නෑසුණු අතරම ඊට ඔහුගේ අනුමැතිය විමසා නො තිබිණි. නිරන්තර ඝෝෂාවෙන් ඇති වූ පීඩාව, දර ගත නොහැකි බවට ඔහු මැසිවිලි නැගී ය. ශ්‍රවණය ලබා ගැනීමට ඔහුට කිසි විටක අවශ්‍ය නො වී ය.

දෙමාපියන්, වෛද්‍යවරයා පමණක් නොව මා ද, එතෙක් සිත ගෙන සිටියේ, හැම දෙනා ම ශ්‍රවණය කිරීමට කැමති බව ය. එබඳු අනුමාන කිරීම් මගින් උද්ගත වන කරුණාව, අඥාන මෙන් ම අනතුරුදායක ය.