භාවනාව හැඳින්වීම

භාවනාව හරියාකාරව මුලසිට ඉගෙනගනිමු.

ශ්‍රද්ධාව

තුනුරුවණ කෙරේ ශ්‍රද්ධාවන්තයින් වී උතුම් නිර්වාණ මාර්ගය විවර කරගමු.

Thursday, April 20, 2023

ඔබේ උපන් ශක්තිය යොදන්න

 

දාහත්වැනි සියවසේ විසූ, ප්‍රංශ දාර්ශනික හා ගණිතඥ බ්ලේසි පැස්කෝල් වරක් මෙසේ පැවසී ය.

“මිනිසාගේ සියලු ගැටලු උද්ගත වන්නේ, නිශ්චලව හිඳ ගෙන සිටින සැටි ඔහු නො දත් නිසා ය.”

‘නිශ්චලව හිඳ ගෙන සිටිය යුත්තේ කුමන අවස්ථාවල දී දැයි නො දත් නිසා ය’ යනුවෙන්, ඊට යමක් එකතු කිරීමට මම කැමැත්තෙමි.

1967 වර්ෂයේ දී, ජෝර්දානය, ඊජිප්තුව සහ සිරියාව සමග, ඊශ්‍රායලය යුද වැඩී සිටියේ ය. ඒ යුද්ධය අතරමැද දී, පුවත්පත් වාර්තාකරුවෙක් බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති හැරල්ඩ් මැක්මිලන් මහතා හමු වී, මැද පෙරදිග අර්බුදය පිළිබඳව එතුමාගේ අදහස් විමසී ය.

“මැද පෙරදිග අර්බුදයක් නැහැ”යනුවෙන් මේ පරිණත දේශපාලඥයා, පැකිළීමකින් තොරව පැවසී ය.

වාර්තාකරු මවිතයට පත් විය.

“මැද පෙරදිග අර්බුදයක් නැතැ යි යනුවෙන් ඔබතුමා අදහස් කරන්නෙ කුමක් ද? එහි දරුණු යුද්ධයක් පවතින බව ඔබතුමා දන්නේ නැද්ද? අප මේ කථා කරන අතරේ, බෝම්බ හෙළන බව, යුධ ටැංකි, ඔවුනොවුන් විනාශ කරන බව, සෙබළුන් සිය ගණනින් මියයන බව, ඔබතුමාට වැටහෙන්නේ නැද්ද? ඉතින් කොහොමද කියන්නෙ, මැද පෙරදිග අර්බුදයක් නැහැ කියලා ?”

පරිණත දේශපාලනඥයා, සන්සුන්ව මෙසේ පැවසී ය.

“අර්බුදයක් නම්, ගැට‍ළුවක් නම්, ඊට විසඳුමක් තිබෙනවා, මැද පෙරදිග ප්‍රශ්නයට විසඳුමක් නැහැ. ඒ නිසා ඒක ගැට‍ළුවක් නො වේ.”

විසඳුමක් නැති ගැටලු පිළිබඳව කනස්සලු වීමට, අපේ ජීවිතය කොපමණ කාලයක් අපතේ යවා ඇද්ද?

Thursday, April 13, 2023

මරණ තුනක් දැකි මිනිහෙක් පැණි කෑ ය

 මීට පෙර සඳහන් කළ කතාන්දරයේ දී මෙන්, භයානක ආපදාවක දී අප ප්‍රතිචාර දක්වන ආකාරය විස්තර කෙරෙන තවත් පැරණි බෞද්ධ කතන්දරයක් තිබේ.

වනාන්තරයේ දී, කොටියෙක් මිනිසකු ලුහුබැඳී ය. කොටියකුට මිනිසකුට වඩා වේගයෙන් දුවන්නට හැකි වන අතර, උන් මිනී මස් කන බව ද ප්‍රකට ය.

කොටියා ඔහුට පහර දීමට සැරසෙන විට ම බිරාන්ත වූ ඔහු ඇසල වූ පාළු ලිඳක් තුලට පැන්නේ ය. තමන් කලේ බරපතළ බව, පනින විට ම ඔහුට වැටහිණි. ලිඳෙහි ජලය සිඳී තිබුණු අතර විශාල සර්පයෙකු ලිං පතුලේ දරණ ගසා ගෙන සිටින බව පෙනිණි.

ඉවෙන් මෙන්, ලිඳේ පසෙක වූ ගසක මුලක් ඔහු ඩැහැ ගත්තේ ය. ඒ නිසා ලිං පතුලට නො වැටී බේරීමට ඔහුට හැකි විය. පියවි සිහිය ලැබී පහත බැලූ ඔහුට දකින්නට ලැබුණේ, සර්පයා හිස ඔසවා ඔහුගේ දෙපාවලට දෂ්ඨ කිරීමට තැත් කරන බව ය. එහෙත්, ඔහුගේ දෙපා පිහිටියේ ඊට වඩා ඇබිත්තක් ඉහළිනි. උඩ බැලූ විට, කොටියා ලිඳ තුළට නැඹුරු වී ඔහුගේ දෑත් පහුරු ගෑමට තැත් කරන බව පෙනුණි. එහෙත් ගසේ මුල අල්ලා ගෙන සිටි ඔහුගේ දෑත පිහිටියේ, ඊට වැඩ ඇබිත්තක් පහලිනි. තමන් මුහුණ පා සිටි භයානක ආපදාව ගැන ඔහු කල්පනා කරන විට, මීයන් දෙදෙනකු, ගසේ මුල සපා කෑමට පටන් ගත් බව පෙනුණි.

කොටියා, මිනිසාගේ දෑත් පහුරු ගෑමට තැත් කරද්දී, උගේ පස්සා ගාත් කුඩා ගසක ඇතිල්ලීමෙන් එය සෙලවෙන්නට විය. එහි ලිඳ පැත්තට නැමුණු අත්තක බැඳ තිබුණු මීවදයකින්, ලිඳ තුළට මී පැණි බිංදු වැටෙන්නට විය. ඔහු දිව දික්කර, මී පැණි බිංදු කීපයක් අල්ලා ගෙන රස බලන්නට විය.

සම්ප්‍රදායික වශයෙන්, මේ කතාන්දරය එතැනින් අවසන් වේ. එය ජීවිතයේ සැබෑ ස්වරූපය පෙන්වා දෙන්නේ ඒ නිසා ය. එය, ජීවිතයේ සැබෑ ස්වරූපය පෙන්වා දෙන්නේ ඒ නිසා ය. දීර්ඝ ටෙලි නාට්‍යවල මෙන්, ජීවිතයට ද ක්‍රමවත් අවසානයක් නැත. ජීවිතය සදහට ම සම්පූර්ණත්වය පිලිබඳ ක්‍රියාවලියක යෙදී සිටී.

ඊට අමතරව, අපේ ජීවිතය බොහෝ විට කුඩා ගින්නෙන් පෙළෙන කොටියෙකුට හා විෂඝෝර සර්පයකුට මැදි වූවා මෙනි. එබඳු භයානක අවස්ථාවල දී පවා, හැම විටම, කොතනකින් හෝ ‘මී පැණි බිංදු අපට ලැබේ. අප බුද්ධිමත් නම් එහි රස විඳීමට අපට පුළුවන. කළ හැකි කිසිවක් නැති විට, කිසිවක් නො කර, ජීවිතයේ රසවත් බව අත්විඳින්න.

මා මුලින් සඳහන් කළ පරිදි මේ කතාන්දරය, සාම්ප්‍රදායික වශයෙන්, එතැනින් අවසන් වුවත්, මම සාමාන්‍යයෙන් එහි සැබෑ අවසානයේ ශ්‍රාවක පිරිසට පවසමි.

මිනිසා මී පැණිවල රස බලද්දී, මීයන් ගසේ මුල සපා කද්දී, සර්පයාගේ හිස ඔහුගේ දෙපා වලට තවත් ලං වෙද්දී, කොටියාගේ ඉදිරි ගාත් ඔහුගේ අත පහුරු ගෑමට සරදෙද්දී, පමණට වඩා ලිඳ තුළට නැඹුරු වූ කොටියා එහි පතුලෙහි සිටි සර්පයා මතට ඇද වැටී ඌ සුණු විසුණු වූ අතර, කොටියා ද මළේ ය.

එවැනි දේ සිදුවිය හැකි ය. සාමාන්‍යයෙන්, අනපේක්ෂිත දේ සිදු වීම අපේ ජීවිතයේ ස්වභාවයයි. එබැවින්, ඉතා දරුණු ගැටලුවල දී පවා, යම් රස විඳීමකට ලැබෙන අවස්ථාව, අපතේ හරින්නේ මන්ද? අනාගතය අවිනිශ්චිත ය.

Monday, April 10, 2023

කලබල නොවීමෙන් දිවි රැක ගත හැකි ය

 
 මා කලක් තිස්සේ දැන සිටි එක් බුද්ධිමත් භික්ෂුවක්, මිතුරකු සමග ඕස්ට්‍රේලියාවේ වනගත පෙදෙසක සංචාරයක යෙදී සිටියේ ය. එක් උෂ්ණාධික සවස් කාලයක, හුදකලා වූ කදිම වෙරළ තීරයකට ඔවූහු ලඟා වූහ. විනෝදය සඳහා පිහිනීම, භික්ෂු විනයට පටහැණි වුවත්, නිල්වන් මුහුද ආකර්ශණීය වූ අතර, දීර්ඝ සක්මනකින් පසු, ඇඟ නිවා ගැනීමට ද ඔහුට අවශ්‍ය විය. ඔහු ඇඳුම් උනා තබා දියට බැස්සේ ය.

ඔහු තරුණ ගිහියකු වශයෙන් සිටි කාලයේ පිහිනුම් ශූරයකු වුවත්, දිගු කලක් භික්ෂු ජීවිතයක් ගත කළ බැවින්, ඔහු අවසන් වරට පිහිනීමෙහි යෙදුණේ, වසර කීපයකට පෙර ය. දියට බස මිනිත්තු දෙකකට පමණ පසු, ප්‍රබල දිය වැලකට හසු වී, ඔහු දියඹ දෙසට ගසාගෙන යන්නට විය. එය දරුණු දියවැල් සහිත ඉතා අනතුරුදායක වෙරළ තීරයක් බව, ඔහුට පසුව දැන ගන්නට ලැබිණි.

මුල දී, දියවැලට ප්‍රතිවිරුද්ධ දිසාවට පිහිනීමට ඔහු තැත් කළත්, එහි වේගවත් බව, ඔරොත්තු නො දෙන තරම් අධික වූ බව ඔහුට වැටහිණි. පිහිනීම පිළිබඳව ඔහු ලබා තිබුණු පුහුණව මෙහි දී ඔහුට පිහිට විය. කලබල නො වූ ඔහු, දියවැල සමග ඈතට ඇදී ගියේ ය.

එබඳු අවස්ථාවක සන්සුන්ව සිටීම ඉතා නිර්භීත ක්‍රියාවක් විය. වෙරළ තීරය ඔහුගෙන් ක්‍රමයෙන් දුරස් වන සැටි ඔහුට පෙනිණි.

දියවැලෙහි වේගවත් බව අඩු වූයේ ඔහු ගොඩබිමින් මීටර් සිය ගණනක් දුරස් ව සිටිය දී ය. ගොඩබිම දෙසට පිහිනීම ඔහු ආරම්භ කළේ එවිට ය.

වෙරළ තීරයකට පැමිණෙන විට, ඔහු අතිශයින් හෙම්බත්ව සිටියේ ය. දියවැලට ප්‍රතිවිරුද්ධ පිහිනීමට තැත් කළේ නම්, ඔහු ඒ සටනින් පරදින බව නිශ්චිත වශයෙන් දැන සිටියේ ය. එසේ උත්සහ කළත්, ඈත මුහුදට ඇදී යාම එසේ ම සිදුවන අතර, ශක්තිය හීන වීම නිසා, ආපසු ගොඩබිමට පිහිනා ඒමට නොහැකි වනු ඇත. දියවැල සමග ඇදී යාමට ඉඩ නො දී කලබල වූවා නම් ඔහුගේ දියේ ගිලී මිය යනු නියත ය.

‘කළ හැකි කිසිවක් නැති විට, කිසිවක් නො කරනු යන ආප්තෝපදේශය, හුදු කල්පනා මාත්‍රයක් නො වන බව, එබඳු කතාන්දරවලින් තහවුරු වේ. එය දිවි රැක දෙන බුද්ධිමත් ආකල්පයක් වීමට ඉඩ තිබේ. දියවැල ඉතා ප්‍රබල වන හැම විටක ම, හෙවත් බාධක ඉතා බරපතළ වන විට, කලබල නො විය යුතු ය.

Sunday, March 5, 2023

ගැලවෙන්නට මගක් නැති විට, තේ පානය කිරීම

 

හැම විට ම, අපට ඇති පහසුකම්වලින් කුමක් හෝ කළ හැකි ය. පහත සඳහන් කතන්දරය මට පැවසුවේ, මගේ පැරණි මිතුරෙකි. ඔහු මා සමග ගුරුවරයෙකු වශයෙන් සේවය කළ අතර, ඊට පෙර දෙවැනි ලෝක යුද්ධයේ දී, බ්‍රිතාන්‍ය හමුදාවේ සෙබළෙකු ලෙස සේවය කර තිබිණි.

මගේ මිත්‍ර තරුණ සෙබළා බුරුමයේ (මියන්මාරය) වනාන්තරයක මුර සංචාරයේ යෙදී සිටියේ ය. මව් රටින් දුර බැහැර රටක සිටි මේ තරුණයා පසු වූයේ දැඩි බියෙනි. ඒ අතර මුර සංචාරයක පිරිසේ සිටි ඔත්තු බැලූ සෙබළා කපිතාන්ට පැවසුවේ භයානක ආරංචියකි. ඒ කුඩා පිරිස අසල, සතුරු ජපන් සෙබළුන් විශාල පිරිසක් සිටිනු දකින්නට ලැබිණි. තරුණ සෙබළා මරණයට සූදානම් විය. සටන් කිරීම සඳහා කපිතාන්ගෙන් අණ ලැබෙන තුරු ඔහු බලා සිටියේ ය. සටනින් ජය ගත නොහැකි වුවත්, සතුරන් කීප දෙනකු හෝ මරා ගෙන මිය යාම, හමුදාවේ පිළිවෙත ය.

එසේ වුවත්, නොසෙල් වී සිටින ලෙස, කපිතාන් සිය සෙබළුන්ට අණ කළේ ය. එපමණක් නොව, බිම හිඳ ගෙන, තේ කෝප්පයක් පානය කිරීමට ද අණ ලැබිණි.

කපිතාන් උමතු වී ඇතැයි, තරුණ සෙබළා සිතී ය. බලගතු සතුරු ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වීමට ආසන්නව සිටිය දී, තේ කෝප්පයක් ගැන සිතීමට වත් පුළුවන් ද?

හමුදා නීතිය අනුව, අණ පිළිපැදිය යුතු බැවින්, තමන්ගේ අන්තිම තේ කෝප්පය පානය කිරීමට සෙබළු සූදානම් වූහ. ඒ අතර ඔත්තු බලන සෙබළා, කපිතාන්ට යම් ආරංචියක් දැන්වී ය. කපිතාන් සෙබළ පිරිස ඇමතී ය.

“සතුරා, ඈතට ගිහින්. දැන් අපට තියෙනවා ගැලවෙන්නට මගක්. ඉක්මනට සුදානම් වෙන්න. හරි...! දැන් මෙතනින් අප යමු.”

ඔවුහූ කවුරුත්, සුරක්ෂිත ව, එතැනින් පැන ගත්හ. ඒ විස්තරය මට පැවසීමට ඔහුට හැකි වූයේ එබැවිනි. කපිතාන්ගේ බුද්ධි මහිමය නිසා පණ බේරා ගත් බව ඔහු පැවසී ය. එපමණක් නොව එදා උගත් ‘පාඩම, ජීවිතයේ බොහෝ අවස්ථාවල දී පිහිට වූ බවත්, ‘සතුරාගෙන් පණ බේරා ගැනීමට එය ආදර්ශයක් වූ බවත් ඔහු විස්තර කලේ ය. ‘සතුරා’ යනුවෙන් ඔහු අදහස් කළේ, දරුණු රෝගාබාධ, බිහිසුණු ආපදා සහ ඛේදවාචක ය.

බුරුමයේ දී ලද එබඳු අත්දැකීමක් නොමැති වී නම්, ඒ ‘සතුරන්’ගෙන් බේරීමට තැත් කිරීමේ දී ඒ ගැටලු වඩාත් උග්‍ර විය හැකිව තිබිණි. එහෙත්, ඒ වෙනුවට, මරණය හෝ මාරක උවදුරු ඉතා ආසන්න බව පෙනුණත්, ඔහු කළේ හිඳ ගෙන තේ කෝප්පයක් පානය කිරීම හෙවත් ඉතා සන්සුන්ව ඒ අවස්ථාවලට මුහුණ දීම ය.

ලෝකය හැම විට ම වෙනස් වෙමින් පවතී. ජීවිතය අනිත්‍ය ය. ඔහු සන්සුන්ව, තම ශක්තිය රැක ගෙන සුදුසු අවස්ථාව එන තුරු බලා, සුරක්ෂිත ව ඉන් බේරීම සඳහා සාර්ථක ක්‍රමයක් අනුගමනය කලේ ය.

සන්සුන් ව සිටීමට අකමැති අය, මේ කියමන මතක තබා ගත යුතු ය.

“කළ හැකි කිසිවක් නැති විට, කිසිවක් නො කළ යුතු ය.” එය සුලබ අදහසක් බව පෙනුණත්, එමගින් ඔබේ පණ රැකෙනු ඇත.