භාවනාව හැඳින්වීම

භාවනාව හරියාකාරව මුලසිට ඉගෙනගනිමු.

ශ්‍රද්ධාව

තුනුරුවණ කෙරේ ශ්‍රද්ධාවන්තයින් වී උතුම් නිර්වාණ මාර්ගය විවර කරගමු.

Saturday, July 15, 2023

වාචාල ඉදිබුවා

නිහඬව සිටීමේ වැදගත්කම ළමා වියේ දී ම ඉගෙන ගත් විට, පසු කලක ඇති වන බොහෝ කරදර වළක්වා ගැනීමට හැකි වනු ඇත. අපේ බෞද්ධ මධ්‍යස්ථානයට පැමිණෙන ළමයින්ට, පහත දැක්වෙන කතාන්දරය පවසමි.

එකමත් එක කාලයක, කඳුකර ප්‍රදේශ විලක විලක, වාචාල ඉඳිබුවෙකු වාසය කළේ ය. විල අද්දර පිහිටි උගේ නිවස අසලට සතුන් හැම විටක ම නැවතීමක් නැතිව, දිගින් දිගටම උන් සමග කතා කිරීම පුරුද්දක් විය. ඒ සතුන්ට ඉමහත් හිරිහැරයක් වූ අතර සමහර සත්තු අමනාප වූහ, හුස්ම නො ගෙන එතරම් වේලාවක් ඌට කථා කළ හැකි වූයේ, ඌ ආශ්වාස කළේ කන් වලින් නිසා යයි සතුන් සිතූහ. ඇරත්, ඌ අන් අය පවසන දේට සවන් දීමට, තමන්ගෙ කන් භාවිත කළේ නැත. වාචාල ඉඳිබුවාගේ කරදරයෙන් බේරීම සඳහා, හාවෝ සිය බෙන තුළට රිංග ගත්හ. කුරුල්ලෝ ගස් මුදුන්වලට පියඹා ගියහ. මාළුවෝ දිය යට ගල්පර අතර සැඟවුනහ. ඌ කථා කිරීමට පටන් ගත්තොත්, පැය ගණනක් සවන් දීමට සිදු වන බව සත්තු දැන සිටියහ. මේ නිසා, වචාල ඉඳිබුවාට සිදු වූයේ, පාළු ජීවිතයක් ගත කිරීමට ය. හැම වර්ෂයක ම ගිම්හාන සමයේ දී, සුදු හංස යුවළක් නිවාඩුව ගත කිරීම සඳහා ඒ විලට පැමිණියහ. කාරුණික වූ ඔවුහූ, කැමති තරම් වෙලාවක් තමන් සමග කථා කිරීමට ඉඳිබුවාට ඉඩ දුන්හ. ඉඳිබුවා ද උන්ගේ ඇසුර ප්‍රිය කළේ ය.

ගිම්හාන සමය අවසන් වෙමින්, කාලගුණය සීතල වීමට පටන් ගත් විට, ආපසු සිය නිවෙස් බලා යාමට හංස යුවළ සූදානම් වූහ. ඒ දුටු ඉඳිබුවා හඬන්නට පටන් ගත්තේ ය. සීතල පමණක් නොව, මිතුරන්ගෙන් වියෝවීම ද ඌට වේදනාවක් විය.

“මට පුළුවන් ද, ඔබ සමග යන්න...?” සමහර විට, කඳු බෑවුම ද, මගේ විල ද හිමෙන් වැසී යනවා. සීතල දරා ගන්න බැහැ. ඒ වගේම, මට හරි පාළුයි. ඉඳිබුවන්ට පියාඹන්න බැරි නිසා, සුළු දුරක් යන්නත් විශාල කාලයක් ගත වෙනවා.

කාරුණික හංසයින් තුළ ඉඳිබුවා කෙරෙහි අනුකම්පාවක් ඇති විය.

“හොඳයි ආදරණීය ඉඳිබුවවෝ, අඬන්න එපා. අපට පුළුවන් ඔබ අරගෙන යන්න. හැබැයි, එක පොරොන්දුවක් වෙන්න කැමති නම් විතරයි, අපට උදව් කරන්න පුළුවන්.”

“ඔව්. මම පොරොන්දු වෙනවා” ඉඳිබුවා පැවසුවේ පොරොන්දුව කුමක්දැයි නො දැන ය. “ඉඳිබුවන් හැම විට ම පොරොන්දු රකිනවා නේ. දවස් කීපයකට පෙර, ඉබිකටු වර්ග ගැන හාවාට විස්තර කළා. ඒ වෙලාවෙ මම පොරොන්දු වුණා, නිශ්ශබ්දව ඉන්න උත්සහ කරන්නම් කියලා. ඉතින්...”

පයකට පසු ඉඳිබුවා කථා කිරීම නතර කළ විට, හංස යුවළ මෙසේ පැවසූහ.

“ඉඳිබුවෝ, කට පියාගෙන ඉන්න, ඔබ අපට පොරොන්දු විය යුතුයි.”

“සුළු දෙයක්, ඇත්ත වශයෙන් අපට කට පියාගෙන ඉන්න පුළුවන් බව කවුරුත් දන්නවා. ඊයේ හවස මාළුවට ඒ බව විස්තර කළා...”

තවත් පැයකට පසු, ඉඳිබුවා කථා කිරීම නතර කළ විට, දිග කෝටුවක මැද තදින් සපා ගෙන, කට පියා ගෙන සිටිය යුතු බව හංස යුවල පැවසූහ.

හංසයා කෝටුවේ එක් කෙළවරක් හොටෙන් අල්ලා ගත් විට, හංස ධේනුව අනෙක් කෙළවර අල්ලා ගත්තා ය. උන් දෙන්නා අත්තටු ගසා පියාසර කිරීමට තැත් කළත්, එය අසාර්ථක විය. වාචාල ඉඳිබුවාගේ බාර අධික විය. වාචාල අය ආහාර විශාල ප්‍රමාණයක් අනුභව කරන බැවින්, ඉතා තරබාරු ය. සිය කටුව තුළට රිංගා යාමට නො හැකි තරමට ඉඳිබුවා තරබාරු විය.

හංස යුවල, වඩා සැහැල්ලු කොටුවක් තෝරා ගත්හ. ඉඳිබුවා එහි මැද සපා ගත් විට, හංස යුවළ එහි දෙකෙළවර හොටෙන් අල්ලා ගෙන ඉහළට පියාසර කළහ.

ලෝක ඉතිහාසයේ, ඉඳිබුවකු අහසේ පියාසර කළ ප්‍රථම අවස්ථාව එය විය.

වාචාල ඉඳිබුවා වාසය කළ විල, ක්‍රමයෙන් කුඩා වන බව පෙනිණි. අතිවිශාල කඳු, අහසට දිස්වූයේ සිඟිති පස් ගොඩවල් මෙනි. එබඳු විස්මිත දර්ශන අන් කිසි ම ඉඳිබුවකු දැක නො තිබුණු අතර, ආපසු ඔවුන් හමු වූ විට පැවසීම සඳහා, ඌ ඒ සියලු විස්තර මතක තබා ගත්තේ ය.

පාසකලට ඉහළින් පියාසර කරන තුරු සියල්ල යහතින් සිදු විය. එවිට වේලාව පස්වරු 3.00 පමණ වූ අතර පාසල අරී ළමයි පිටතට පැමිණෙමින් සිටියහ, උඩ බැලූ කුඩා පිරිමි ළමයෙක් අහසින් යන ඉඳිබුවා දැක කෑගැසී ය.

“ඒයි අර බලන්න. මෝඩ ඉබ්බෙක් පියාඹනව.”

ඉඳිබුවාට කෝපය දරාගත නිකි විය.

“කාටද මෝඩ...”

කට විවර කළ විගස ඉඳිබුවා බිම ඇද වැටී සුණු විසුණු විය. වාචාල ඉඳිබුවා මියගියේ, ඉතාම වැදගත් අවස්ථාවක, කට පියා ගෙන සිටීමට නොහැකි වි නිසා ය. නිසි වෙලාවට කට පියා ගෙන සිටීමට ඉගෙන නොගත්තොත්, ඉතාම වැදගත් අවස්ථාවක නිහඬව සිටීමට ඔබට නොහැකි වන අතර, වචාල ඉඳිබුවා මෙන් ඔබ ද විනාශ වනු ඇත.

Monday, June 26, 2023

වාචාලකම අනතුරුදායක ය


 

වාචාලකම පිළිබඳව අපේ දේශපාලනඥයින් ඉතා ප්‍රකට ය. ශතවර්ෂ ගණනාවක් තිස්සේ පැවති සම්ප්‍රදාය එය බව, පහත දැක්වෙන බෞද්ධ ජාතක කතාවෙන් තහවුරු වේ.

බොහෝ කාලයකට පෙර, එක් රජකෙනෙක්, සිය ඇමතිවරයකුගේ ක්‍රියා කලාපය නිසා හෙම්බත් වී සිටියේ ය. රාජ සභාවේ දී, සාකච්ඡා කිරීම සඳහා කිසියම් ගැටලුවක් පැන නැගුනු හැම විටක ම, මේ ඇමතිවරයා තනිව ම කරගෙන යන කතාව පැය ගණනක් පැවතිණි. කිසිවකුට, රජ තුමාට පවා වචනයක් කථා කිරීමට ඉඩක් නො ලැබිණි. එපමණක් නොව එය ඉතා නීරස විය.

එබඳු නිරර්ථක සභා වාරයකට පසු රජතුමා යම් සැනසීමක් අත් කර ගැනීම සඳහා, රාජකීය උද්‍යානයේ සක්මන් කරන්නට විය. එහි මහජනයාට විවෘතව පැවති කොටසක, බිම හිඳ ගෙන සිටි, මැදිවියේ ආබාධිත මිනිසකු වටකර ගෙන සිනාසෙමින් විනෝද වන ළමා පිරිසක්, එතුමාට දක්නට ලැබිණි. ළමයි, ඔහුට කාසි කීපයක් දී, කොළ වලින් ගැවසුණු කුඩා ගසක් පෙන්වා කුකුළකු නිර්මාණය කරන ලෙස ඉල්ලා සිටියහ. ඒ මිනිසා බොරලු මල්ලක් සහ ඒවා විදින කුඩා නළයක් අතර ගෙන, ඒ ගස දෙසට බොරලු විදින්නට පටන් ගත්තේ ය. එහි කොළ එකිනෙක ගැල වී, ඇදහිය නොහැකි තරම් කෙටි කාලයකින් ඉතා නිවැරදි ලෙස කුකුළකුගේ රූපය නිර්මාණය විය. ඉන් විනෝදයට පත් ළමයි ඔහුට තවත් මුදලක් දී අලියකුගේ රූපය නිර්මාණය කරන ලෙස පැවසූහ. ආබාධිත කුරුමානම්කාරයා, පඳුරකින් අලියෙකුගේ රූපයක් නිර්මාණය කර පෙන්වී ය. සියලු ම ළමයි අත්පොළසන් දුන්හ. එය දුටු රජතුමාට කදිම අදහසක් පහළ විය.

ආබාධිත පුද්ගලයා වෙත ගිය රජතුමා, පීඩාකාරී ගැටලුවක් විසඳීමට උදව් කළොත්, විශාල මුදලක් පරිත්‍යාග කරන බව පැවසී ය. එතුමා ඔහුගේ කනට ළං වී රහසක් මිමිනූ විට, ඔහු හිස සලා ඊට එකඟ විය. සති ගණනකට පසු එතුමාගේ මුවඟට මද සිනාවක් නැගුණි.

පසුදා උදේ, රාජසභාව සුපුරුදු පරිදි ආරම්භ විය. එක් බිත්තියක් අයිනෙහි වූ අලුත් තිරය, කිසිවකුගේ අවධානයට යොමු නොවී ය. එදින සාකච්ඡා කිරීමට නියමිත වූයේ, බඳු තවත් වැඩි කිරීම පිළිබඳව ය. රජතුමා ඒ බව නිවේදනය කළ විගස ගනී සිටි වාචාල ඇමතිවරයා, සිය ‘දෙසාබෑම පටන් ගත්තේ ය. ඔහු මුව විවර කළ විට ම, යම් කුඩා දෙයක් උගුරෙහි වැදී, ආමාංශය තුළට ඇඳි යන බව ඔහුට දැනිණි. එහෙත් ඔහු නොනවත්වා ම කථා කළේ ය. තත්ත්පර කීපයකට පසු, යම් දෙයක් යළිත් මුව තුළට වැටුණු විට එය ගිල දැමූ ඇමතිවරයා දිගට ම කථා කළේ ය. මෙසේ, තත්පර කීපයක් පාසා, මුව තුළට යමක් වැටුණත්, සිය කතාව නතර කිරීමට ඔහු කැමති නොවී ය.

පැය භාගයක දෙසාබෑමෙන් පසු, බඩ දඟලන බවක් දැනුනත්, ඉතා මුරණ්ඩු කෙනකු වූ ඔහු කතාව නතර කළේ නැත. තවත් මිනිත්තු කීපයකට පසු, ඔහුගේ මුහුණෙහි දක්නට ලැබුණේ රෝගී පෙනුමකි. ඔක්කාර ගතියක් දැනුණු නිසා, අන්තිමේ දී කතාව නතර කිරීමට ඔහුට සිදු විය. එක් අතකින් උදරය අල්ලා ගෙන, අනෙක් අතින් කර තද කරගෙන, ළඟ ම තිබූ වැසිකිළිය වෙත ඔහු දිව ගියේ ය.

ප්‍රීතියට පත් රජතුමා අලුත් තිරය වෙත ගොස් එය විවෘත කළේ ය. එවිට, ‘වෙඩි උණ්ඩ මල්ලක් ද, ඒවා විඳීමට භාවිත කළ සිහින් බටයක් ද සමග එහි සැඟවී සිටි ආබාධිත කුරුමානම්කාරයා කාටත් දැක ගත හැකි විය. රජතුමාට සිනාව නතර කර ගත නොහැකි විය. වෙඩි උණ්ඩ මල්ල මුළුමනින් වාගේ හිස්ව තිබිණි. ඇමතිවරයාගේ මුව තුළට ඉතාමත් නිවැරදි ලෙස විදීමට වැඩි උණ්ඩ වශයෙන් යොදා ගෙන තිබුණේ, කුකුල් බෙටිය. ඇමතිවරයා සති කීපයක් ගත වන තුරු, රාජ සභාවට පැමිණියේ නැත. ඔහු නොමති විට, වැදගත් කටයුතු රැසක් අවසන් කර ගත හැකි විය. ඔහු ආපසු පැමිණි විට වචනයක් වත් කථා කළේ කලාතුරකිනි. එසේ යමක් කථා කළ හැම විට ම ඔහු දකුණතින් මුව ආවරණය කර ගත්තේ ය.

ඇතැම් විට, අද කාලයේ පාර්ලිමේන්තුවලත්, එබඳු කුරුමානම්කාරයකු සිටී නම්, දැනට වඩා වැඩ කටයුතු රැසක් අවසන් කිරීමට හැකි වනු ඇත.

Tuesday, June 20, 2023

අඥාන නිගමන

 

වර්ෂ කීපයකට පෙර, තායිලන්ත භික්ෂූන් පිළිබඳව ඔපාදූපැ රැසක්, අන්තර්ජාතික පුවත්පත්වල පළ විය. නියත වශයෙන් බඹසැර රැකීමට, භික්ෂූහු විනය නීති මගින් බැඳී සිටිති. ප්‍රචාරය වූ ඕපාදූප වලට අනුව, ඇතැම් භික්ෂූන් ඒ විනය නීති කඩකර තිබිණි. පාඨකයින් උනන්දුවක් දැක්වුයේ සිල්වත් භික්ෂූන් පිළිබඳ තොරතුරු කෙරෙහි නොව, විනය නීති කඩ කරන භික්ෂූන් පිළිබඳ ඕපාදූප වලට බව, පුවත්පත් දැන සිටියේ ය.

මේ තොරතුරු පළ වූ දිනවල, මා පිළිබඳ පාපොච්චාරණයක් කිරීම යෝග්‍ය බව කල්පනා කලෙමි. එක් සිකුරාදාවක සන්ධ්‍යා කාලයේ දී, පර්ත් නුවර අපෙගේ විහාරස්ථානයේ දී, තුන්සීයක් පමණ පිරිසක් ඉදිරිපිට, මම ධෛර්ය උපදවා ගෙන සත්‍යය පැවසීමි.

“මා පාපොච්චාරණයක් කළ යුතුව තිබෙනවා. මේක පහසු වැඩක් නොවෙයි... අවුරුදු කීපයකට පෙර...” දෙගිඩියාවෙන් මම මදක් නිහඬ වීමි.

“අවුරුදු කීපයකට පෙර, මගේ ජීවිතයේ ඉතාමත් ප්‍රීතිමත් යුගයක් මම ගත කළා. වෙනත් මිනිසකුගේ බිරිඳක් තුරුල්ලේ.”

යළිත් මද වෙලාවක් නිහඬව සිටියෙමි.

“අපි ඔවුනොවුන් වැලඳ ගත්තා, සිප ගත්තා, සුරතල් වුණා”

හිස බිමට නමා ගෙන, පලස දෙස බලා සිටියෙමි.

මා පැවසූ දේ අසා කම්පාවට පත් පිරිස නැගූ සිහින් හඬ මට ඇසිණි.

“වෙන්න බැහැ, අචාන් බ්‍රහ්මවංසෝ හිමියන් ඒ වගේ වැරදි වැඩක් කරාවි ද?” සමහර අය මිමිනූහ.

ඉතා පැරණි දායකයින්, යළිත් කිසි විටක ආපසු නො එන්නට මෙන්, දොර දෙසට පිය නගනු දුටුවෙමි.

ගිහි බෞද්ධයින් වුව ද, සෙසු පිරිමින්ගේ භාර්යාවන් සමග සබඳකම් පැවැත්වූයේ නැත. එය පරදාර සේවනය නම් වූ පාප කර්මයකි. මම හිස ඔසවා, පිරිස දෙස ආත්ම විශ්වාසයෙන් බලා මද සිනා පහළ කලෙමි.

“ඒ කාන්තාව, වෙන කවුරුත් නෙවෙයි. මගේ මව...මා ළදරුවෙකු සිටි කාළයේ...”

පිරිස කඳුළු පිසිමින් හඬ නගා සිනාසෙන්නට වූහ.

“ඒක ඇත්ත කතාවක්, අය තවමත් පිරිමියෙකුගේ බිරිඳක්. ඒ පිරිමියා තමයි, මගේ පියා. අපි ඔවුනොවුන් වැළඳ ගත්ත, සුරතල් වුණා, සිප ගත්තා”

මගේ ශ්‍රාවක පිරිසගේ සිනාව නතර වූ විට, ඔවුන් කවුරුත් වාගේ, මා වරදවා නිගමනය කළ බව පෙන්වා දුනිමි.

“ජීවිතයේ කොපමණ වාර ගණනක්, සැබෑ තොරතුරු නො විමසා හදිසි තීරණවලට අප එළඹී ඇද්ද?” යනුවෙන් මම ඔවුන්ගෙන් ප්‍රශ්න කළෙමි.

“මෙය නිවැරදි ය, අන් සියල්ල ම වැරදි ය යනුවෙන් තීරණ ගැනීම ප්‍රඥාව නොවේ.”

Friday, June 16, 2023

අනුවණ සවන් දීම

 

එක් සන්ධ්‍යාවක, අපගේ බෞද්ධ මධ්‍යස්ථානයේ දුරකථනය නාද විය.

“අචාන් බ්‍රහ්ම හිමියන් ඉන්නවා ද?” කෝපාවිෂ්ට පුද්ගලයෙක් ඇසී ය.

“සමාවෙන්න” ඒ අවස්ථාවේ රිසිවරය අතට ගත්, ඉතා භක්තිමත් ආසියානු කාන්තාව පිළිතුරු දුන්නා ය.

“එතුමා, කාමරය තුළ විවේක ගන්නවා. කරුණාකර, මිනිත්තු තිහකින් නැවත කතා කරන්න”

“මිනිත්තු තිහකින් එයා මැරෙනවා” ගර්ජනා කළ පුද්ගලයා රිසිවරය තැබී ය.

මිනිත්තු විස්සකට පසු, මා කාමරයෙන් පිටතට පැමිණි විට ඉතා වයස්ගත කාන්තාව සුදුමැලි වී, වෙව්ලමින් සිටිනු දුටුවෙමි. සිදු වූයේ කුමක්දැයි දැන ගැනීම සඳහා අනෙක් අය එහි රැස්වී සිටියත්, කතා කර ගත නොහැකි තරමට ඇය කම්පාවට පත්ව සිටියා ය. මා ඇය සැනසූ විට, වචන කීපයක් ඇගේ මුවින් පිට විය.

“කවුද එනවා, ඔබ වහන්සේ මරන්න”

ඕස්ට්‍රේලියානු තරුණයකුට ඒඩ්ස් රෝගය වැළඳී ඇති බව අනාවරණය වූ දා පටන්, ඔහුට අනුශාසනා කිරීමෙහි නිරතව සිටියෙමි. ඒ තත්ත්වයට මුහුණ දීමට හැකි වන පරිදි, ඔහුට භාවනා ක්‍රම ද ඉගැන්වීමි. ඒ වන විට, ඔහු මරණයට ළං වෙමින් සිටියේ ය. ඊට පෙර දින මා ඔහු හමු වීමට ගිය විට, ඔහු සිටියේ, කුමන මොහොතක හෝ සිය සහකාරියගෙන් දුරකථන ඇමතුමක් ලැබෙතැයි අපේක්ෂාවෙනි. එබැවින්, මට ලැබුණු දුරකථන ඇමතුමෙන් අදහස් වූයේ කුමක්දැයි, මට සැනෙකින් අවබෝධ විය. මිනිත්තු තිහකින් මියයන බව නිශ්චිත වූයේ, මා නොව ඒඩ්ස් රෝගයෙන් පෙළුණු ඒ තරුණයා ය.

ඒ තරුණයා මියයාමට පෙර, ඉක්මනින් ඔහුගේ නිවසට ගොස්, හමු වී සැනසිලි වදන් පැවසීමි. වයස්ගත කාන්තාව කම්පනයෙන් මිය යාමට පෙර, ඇයට ද, වැරදි අවබෝධය පිළිබඳව කරුණු පහදා දීමට මට හැකි විය.

බොහෝ විට, යම් කෙනෙකු පවසන දේත්, අපට ඇසෙන දේත් එක ම නොවේ.