භාවනාව හැඳින්වීම

භාවනාව හරියාකාරව මුලසිට ඉගෙනගනිමු.

ශ්‍රද්ධාව

තුනුරුවණ කෙරේ ශ්‍රද්ධාවන්තයින් වී උතුම් නිර්වාණ මාර්ගය විවර කරගමු.

Tuesday, September 21, 2021

7 - මාර ප්‍රතිපදාව

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නිවන් මග වඩන්නා මධ්‍යම ප්‍රතිපදාව තුල හික්මිය යුතුයැයි අවධාරණය කළහ. තුන් සිවුරත් පාත්‍රයත් පමණක් දරමින් රුක්ඛමූල, ශුනයාගාර, ආරණ්‍යගතව සසර දුකින් එතෙරවීමට අතීතයේ භික්ෂුන් කැපවිය. බුදුරජාණන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාව ලෙස සසරින් එතෙරවීමට  වෙරවඩන භික්ෂුවට දැක්වුයේ ඔය සීමාවය. කැමති කෙනෙකුට තම තමන්ගේ කෙලෙස් වල දිග පළල අනුව මධ්‍යම ප්‍රතිපදාව අර්ථ දැක්විය හැකිය. ශාසනය තුල ඊට අවශ්‍ය නිදහස ඕනෑ තරම් ඇත. විවේචනය කිරීමේ නිදහසද ඇත. එහි කිසිදු වරදක් නොමැත. එහෙත් සසර දුකින් එතෙරවීමේ ප්‍රතිඵල අපේක්ෂිත පරිදි නොවනු ඇත. පාත්‍රය දරන පිණ්ඩපාතික භික්ෂුවට අවශ්‍ය රේසරය, සබන් කැටය පවා ගිහි දායකයාගෙන් විනයානුකූලව ලබා ගත හැකි ක්‍රමය පැහැදිලිවම ප්‍රතිපදාවේ සඳහන්ව ඇත. බුදුරජාණන් වහන්සේ අර්ථ දක්වන ලද ප්‍රතිඵල ලැබිය හැකි මධ්‍යම ප්‍රතිපදාව ඇත්තේ එතනය. භික්ෂුව පිණ්ඩපාතයෙන් ලද දෙයින් සතුටුවීම, යැපීම මධ්‍යම ප්‍රතිපදාවයි.

කප්පිය කුටියේ වියලි ආහාර තබාගෙන තිබෙන ස්ථානයක දානයට මිරිසට, තෙලට බැදුමට මොකුත් නැතිනම් හදාගැනීම මධ්‍යම ප්‍රතිපදාවට අදාළ නොවේ. නමුත් විනයෙන් ඊට පූර්ණ නිදහසක් ඇත. ඒම නිදහස උපරිම වශයෙන් ප්‍රයෝජනයට ගෙන කටයුතු කිරීම වරදක්ද නොමැත.

මම නැවත කියමි. විනය ඇත්තේ අදක්ෂයාටය. දක්ෂයා ලද දෙයින් සතුටු වෙයි. නිවන් මග වැඩීමට බලාපොරොත්තු වන භික්ෂුව ගොඩ ගසන්නෙක් හෝ රැස් කරන්නෙක් නොව කුසගිනි සෑහීමට පත් වූ කල ඉතිරි අතහරින්නෙකි. හෙට දවසක් ඔහුට නැත. ඔහු ජීවත් වන්නේ වර්තමානයේය. වර්තමානයේ මේ අර්ථය හාස්‍යයක්  වීමටද පුළුවනි. විවේචනය කිරීමටද පුළුවන. වර්තමානයේ පමණක් නොව, බුදුරජාණන් වහන්සේ ජීවමානව සිටියදීද මෙම අර්ථයට විවේචන එල්ල විය. ඉතින් අද ගැන කුමන කථාද? එහෙත් මේ මොහොතේදී ඉහත මග වඩන බුදු පුතුන්, මේ මග වැඩීමට උත්සහගන්නා, වීර්යවඩන, සරණක් මගක් සොයන බුදු පුතුන් විශාල පිරිසක් මේ දෙරණ මත වැඩ සිටින බව අවිවාදයෙන් පිළිගත යුතුව ඇත. උන්වහන්සේලා තමන් වැඩ සිටින්නෙ කැලයේ. යැපෙන්නේ පාන්ශකූල සිවුරෙන්, පිණ්ඩපාතයෙන් යයි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමින් යන මාධ්‍යකරුවන් නොවේ. උන්වහන්සේලා ඉහත අවමයද පරිහරණය කරනුයේ බදා ගැනීමට නොව අතහැරීමට නොහැකි නිසාය. තම  නිවන් අරමුණ ජයගන්නා තුරු කය ආරක්ෂා කරගත යුතුය. භික්ෂුව ප්‍රත්‍යවේක්ෂාවෙන් වැළඳිය යුත්තේ දායකයා පුජාකරන ආහාරයයි. එම රස ගුණ මදැයි සිතා, රස තෘෂ්ණාවෙන් තමන් හෝ කැපකරු ලවා, කටට රසට හදවාගත් දෙය ප්‍රත්‍යවේක්ෂා කොට වැළඳීම මධ්‍යම ප්‍රතිපදාව නොවේ. එහෙත් එය විනයට එකඟව කල හැකි බව මමද පිළිගනිමි. යමෙක් එසේ කරනවානම් එය විවේචනයද නොකරමි. මේවා ලෝකයේ පවතින ස්වභාවයන්ය. එහෙයින් අප නොගැටිය යුතුය.

නිවන උදෙසාම කැපවන්නා කප්පිය කුටිය, ගෑස්ලිප, උණුවතුර බෝතලය වැනි සංඥාවලින් මිදිය යුතුය. මේවා ඔබේ රස තෘෂ්ණාව අවදි කරන මාරයෝය. මධ්‍යම ප්‍රතිපදාවත්, කාමසුකල්‍යකානු මගත් අතරමැද ද අන්තයක් ඇත. එය මධ්‍යම ප්‍රතිපදාව හෝ කාමසුකල්‍යකානු මග නොවේ. මධ්‍යම හා කාමසුකල්‍යකානු දෙකේම එකතුවකි. දෙකේම මුසුවකි. එය හරියට ඇලීමත් ගැටීමත් මැද තිබෙන උපේක්ෂාව මෙනි. උපේක්ෂාව තුල ඇලීමත් ගැටීමත් දෙකම තිබේ. ඉහත අවස්තාවේදී මාධ්‍යම ප්‍රතිපදාව ඉක්මවා ගිය තත්වයකුත්, කාමසුඛලයකානු මග ස්පර්ශ කරන ස්වභාවයක්ද ඇත. අපි මෙයට මාර ප්‍රතිපදාව යයි කියමු. මධ්‍යම ප්‍රතිපදාව යැයි දකිමින් මාර ප්‍රතිපදාවක හික්මෙමින් අපි නිවන් මග සොයන්නෙමු. එළදෙන පැටවා සමග සිටියත් ඔබ කිරි දොවන්නේ පැටවාගෙන් නම් ඔබට කිරි නොලැබෙනු ඇත. එය එළදෙන හෝ පැටවාගේ වරද නොවේ. ඔබගේ වරදය. එහෙත් ඔබ ඉදිරියේ එළදෙනත් තන බුරුලත් දෙකම ඇත. විනය නමැති කඹයෙන් ඔබ එළදෙන දිගේලි කරමින් සිටියාට ඵලක් නොමැත. එළදෙනගේ ගොම, මුත්‍රා, එකතු කරාටද වැඩක් නොමැත. ඔබ එළදෙනගෙන් පස්ගෝරස ලබාගැනීමට දක්ෂ විය යුතුය. ඔබ දක්ෂයෙක් වන්නේ එය අවබෝධ කරා ගැනීමෙන්ය. ඊට මග සැබෑ මධ්‍යම ප්‍රතිපදාවයි.

තුන් සිවුරත් පාත්‍රයක් දරමින් ආරණ්‍ය, ශුන්‍යාගාර, රුක්ඛමූලගතව තම ප්‍රතිපදාව වැඩීමට ඔබ කැපවුවහොත්, අර්ථවත් මධ්‍යම ප්‍රතිපදාවක් ඇත්තේ එතනය. හොඳට හිතන්න. දිව බොරු කීවද, ඔබේ හදවත බොරු නොකියනු ඇත. එය ඔබට දැකිය හැක්කේ ප්‍රඥාවෙන් පමණි. ලෝකයේ බරින් නිදහස් වීමට ප්‍රථම, ඔබ ඔබේ බරින් නිදහස් වන්න. ඔබේ බරින් ඔබ නිදහස් වූ විට, ඔබ මෙතෙක් දරා සිටියේ ලෝකයේම බර බව ඔබට තෙරුම් යනවා ඇත. තමාට අයිති නොමැති ලෝකයේ බර, අවිද්‍යාව නිසා දරාගෙන සිටින පෘථග්ජන සත්වයාගේ මෝහයේ දිග පළල ඔබට අවබෝධ වනුයේ ඔබ ලෝකයෙන් නිදහස් වූ විටදීය. ඔබ සැබෑ ලෙසම මධ්‍යම ප්‍රතිපදාවේ හික්මෙනින් නිවන් මග තරණය කළහොත් මුළු විශ්වයම සියුම් කොට ඔබේ දෝතට ගත හැකිය. එවිට ඔබට මෙහෙම දැනේවි. ‘මා ලෝකයෙන් ජයගත්තා’ කියලා. ලෝකයෙන් ජයගැනීමේ ශක්තිය ඔබ සැමගේ අධ්‍යාත්මය තුල සැඟවී ඇත. ඔබ කලයුත්තේ එය මතුකර ගැනීම පමණක්ය. මෙම ජීවිතයේදී ඔබ එය මතුකර ගැනීමට උකටලී වුවහොත් තව කල්ප ගණනාවක් ඔබට දුක් විඳීමට සිදුවනු ඇත.

 


Friday, September 17, 2021

විනෝද චාරිකා වෙනුවට වන්දනා ගමනක් යමුද

  මේ නිවාඩුවටවත් කොහි හරි යන්න ඕන. පෝය දවසේ කොහෙ හරි යමුද?. ගියපාර වගේ නෙමේ හොඳ තැනක් බලල යන්න ඕන. එහෙ කෑමත් හරි නැහැ. අර කට්ටියත් එක්ක යමු. මේ පාර යනවනම් දවස් 2,3ක්වත් ඉන්න බලන් යං.


ඔබ අප මේ ජීවත් වූ කාලයේ කොතරම් ගමන් ගිහින් ඇද්ද, චාරිකා සඳහා සහභාගිව ඇද්ද? කුඩා කළ පටන් පාසල් චාරිකා ගිය ඔබ නෑදෑ ගෙවල් වල, මිතුරු ගෙවල්, මිතුරු හමු, සාදා, ප්‍රිය සාද, මගුල් ගෙවල්, අවමගුල් ගෙවල්, සංගීත සංදර්ශන, උත්සව ආදී නොයෙකුත් දේ සඳහා සහභාගී වී තිබේ. ඒ හැම සහභාගී වූ තැනකදීම ඔබ කලේ කුමක්ද? වල්පල්, කේලම්, මුසාබස්, පරුෂ වචන කතා කිරීමයි. යම් විදිහකට ඔබට ලැබී ඇති ජීවිතයේ වටිනා කාලය ගෙවා දැමීමයි. හිස් වචන කතා කරමින්, පුහු විහිලු තහළු කරගනිමින්, බැන ගනිමින්, නටමින්, ගී කියමින්, රණ්ඩු ද ඒ අතර කර ගන්මින් ගෙවූ කාලය, ඒ සඳහා වියදම් කර මුදල් වලට සත්‍ය වූ, අර්ථවත් වූ වටිනාකම් ලැබී ඇද්ද. සමහර විට ඒ සාදා, හමු වලින් ඔබට ජන්මාන්තර වෛරක්කාරයන් බිහි වූ අවස්ථා අත. දෙතුන් දාහක් වියපැහැදම් කර ගිය උත්සවයකින් ලබාගත් සතුටක් ඇද්ද.

සංචාරක ගමන්, විනෝද චාරිකා, දුර ස්ථාන දැක බලා ගැනීමට ගිය අවස්ථා ගැන මොහොතක් සිතන්න. වෙනස් වූ පරිසර අත්දැකීමක් විඳ ගන්න. නොදන්න පලාතක සිරි දැක බලා ගන්න මේ අකාරයෙන් ඔබ කෙතරම් දුර ගෙවා ගොස් තිබෙනවාද?. කෙතරම් දවස් ඔබ එහි ගත කර තිබෙනවාද?.

මොහොතක් නමුත් සිතුවාද ඒ තරමට නොවුනත් ඔබ වන්දනා ගමන් කීයකට සහභාගී වුනාද කියා.......? පෝයට ලැබෙන නිවාඩුවටත් ගෙදර වැඩකට, මිතුරු හමුවකට නැතිනම් විනෝද ගමනකට හැර සිල් සමාදන් වීමට තියා වන්දනාවකට, ආමිස පූජාවකට වෙන් කර තිබෙනවාද? මෙතරම් පුණ්‍ය භූමි නොමැති වෙනත් රටක් නොමැති කොට ඔබ මාද ඇතුළුව අප හැම දෙනා මේ සිරි ලකේ අනන්තවත් පිහිටියා වූ පුණ්‍ය භූමි කෙතරම් ප්‍රමාණයක් වැඳපුදාගෙන ඇද්ද?. දැකබලාගෙන සිත පහදා ගෙන ඇද්ද? දින ගණන් සැලසුම් කර විනෝද චාරිකා ගියත්, පවුලේ සියල්ලෝම සතුටුවෙමින් ගොස් වන්දනාමාන කළ තැන් කීයක් ඇද්ද? වයසට ගොස් දඹදිව වඳින්න හිතන්න පෙර ලංකාවේ බුදුන් වැඩම කොට ආශිර්වාද කර, අනුහස් පිහිට වූ තැන් කීයක් වන්දනා කරගැනීම, හිත සනසා ගැනීම සඳහා ගිහින් ඇත්තද?

ඒ නිසා ඔබ යන චාරිකා, විනෝද ගමන් අතරට පුණ්‍ය භූමි වන්දනාව චාරිකාවක්ද එකතු කරගනිමින් ඒවා වැඳ පුදා ගැනීමට අමතක නොකරන්න.

ගිය චාරිකාවක පුණ්‍ය මතක සටහන් ලෙස පූජා භූමියක් සිහි කරගැනීමට ඇත්නම් කෙතරම් භාගයක්ද? එය ඔබගේ සසර ගමන සුවපත් කරන ගමනක්, මතක සටහනක් වෙයි නිතැතින්ම.

 

පටිසෝතගාමි චින්තනය - 1

දිනක් භික්ෂුවක් විසින් බුදුරජාණන් වහන්සේ හමුවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ගැන චෝදනාවක් ඉදිරිපත් කළේය. “සැරියුත් හිමියන් වහන්සේ මා ඇඟේ වැදී සමාව නොගෙනම ඉවතට ගියේය” යන්න එම චෝදනාවයි. බුදුරජාණන් වහන්සේ එකෙනෙහි භික්ෂු සංඝයා රැස්කොට ඒ මධ්‍යයේ චෝදනාව විමසා සිටි කළ සැරියුත් හිමියන් තමා ලෝකය, ජීවිතය දෙස බලනා ආකාරය පිලිබඳව කියා සිටියහ. “භාග්‍යවතුන් වහන්ස අං සිඳුණු ගවයෙක් හට ඕනෑම අයෙකුට හිරිහැර, බාදා කළ හැකි මුත් ඌ ගෙන් ඒ කිසිවෙකුටත් පීඩාවක් නැත්තා සේ මේ කුණු ශරීරයක් දරන මාගෙනුත් කිසිවෙකුට හිරිහැර නැත්තේය. ජලය මලමුත්‍ර, කුණු වැනි අපිරිසිඳු දේ හා මල්, රන් වැනි පිරිසිඳු දේ සේදුවත් ගැටීමක් නැතිවා සේ මාද ඒ අයුරින් වාසය කරමි. චණ්ඩාල කුලයේ කොල්ලෙක් තමාට කරණා උසුළු - විසුළු, නින්දා - අපහාස හමුවේ පෙරළා කිසිවක් නොකරන්නා සේ මාද ඒ අයුරින් වාසය කරමි....” මෙලෙස තම ශරීරය සහ ජීවතය දකිනා ආකාරය පා පිස්නකට, ගැරඬි හැවකට, මහපොළොවට... යනාදි විවිධ දේවල්වලට උපමා කරමින් ගෞතම බුදුරජාණන්ගේ සසුනේ දකුණත් ශ්‍රාවක හා ප්‍රඥාවෙන් අගතැන්පත්වූ සැරියුත් මහරහතන් වහන්සේ පෙන්වා දුන්හ. උන්වහන්සේගේ ශරීර වර්ණය ඇහැළ මලේ පාටින් යුත් රත්තරන් පැහැ ශක්තිමත්, ඉතා දැකුම්කලු වූ බව ධර්මයේ සඳහන් වේ.

පටිසෝතගාමි චින්තනය - ලෝකයා සිතන පතන ස්වභාවයට, ආකාරයට මුළුමනින්ම විරුද්ධ හා වෙනස් ලෙස සිතුවිලි හැසිරවීම (පරස්පරව). නමුත් ඔබට මේ මොහොතේ සිතන පතන ස්වභාවය වෙනස්කරගත හැකිද.....? අපිව රැවටිය යුතු නැත්තෙමු. නින්දා, අපහාස, දුක්, අවනම්බු විඳීම් නොලැබිය යුත්තෙමු. සැලකිලි ගරුනම්බු ලැබිය යුත්තෙමු. මේ පටු චින්තනය හමුවේ, මේ සිතන රටාව හමුවේ ලැබූ සැපයක්, සැනසීමක් ඇද්ද?. ලැබුයේ නිතර ඇතිවෙන දුක, කෝපය, හා කනගාටුව පමණි. අහස කඩා වැටීමෙන් බේරීමට දිවූ හාවා හා අනෙකුත් කැලේ සත්වයන් සේය. නමුත් සත්‍ය තත්වය වටහාගත්තේ සිදුවූ දෙය විපරම් කළ සිංහයා පමණයි. එයනම් තල් අත්තකට බෙලි ගෙඩියක් ගැටීමෙන් ඇතිවූ ශබ්දයයි.

කිහිප දෙනෙකු මේ දිවීම නවතා අවබෝධයෙන් අත්හරී, අත්හැර විඩාව නිවා ගනියි. සැප සොයා සිතන, ගමන් කරන රටාව මතම තබාගත් බලාපොරොත්තු බිඳී දුක් සහ විඩා ඇතිවන බව දකියි. ලජ්ජා ඇතිවූයේ ගරුබුහුමන් පැතූ නිසාද, දුක සහ ශෝකය ඇතිවුයේ සැප සෙවූ නිසාද කියා සිහියෙන් දකියි. සිතීමේ රටාවට ප්‍රතිවිරුද්ධ යමක් සිදුවීම, මුණගැසීම නිසාම ගැටීම, දුක් හටගන්නා බව අවබෝධ කරගනී... බලාපොරොත්තූන්ම අපව දුකට පත්කරන්නා බව තේරුම් යයි. නමුත් මේ පුරුද්ද නිතැතින්ම ඇතිවූ දෙයක්ද ? නැත. ඉපදුනු මොහොතේ පටන් මෝහයෙන් අපි විසින්ම ඇතුළත් කරගත් දෙයක් වෙමු. (මෙය සිදුවීමට භාහිර සමාජ බලපෑමද නිතැතින්ම ලැබේ. මන්ද මුළුමහත් සමාජය පවතින්නේ මේ වැඩපිළිවෙල මතය).

ඇඳුමේ පැල්ලමක් ඇතිවූ විට එය හා ගැටෙන්නේ නම් එය සිතිවිලි වල දුර්වතාවය මිස ඇඳුමේවත්, පැල්ලම්වල වරදක්වත් නොවේ. (අපිරිසිඳු පරිසරයේ වරදක්ද නොවේ). ලෝකයේ කිසිවෙක් ඇඳුමේ පැල්ලමක් නිසා දුකක්, අසතුටක් විඳිනා බව පිළිනොගනී. දකිනුයේ දුවිලි ඇති පරිසරයේ, පිරිසිඳු නොකළ පුද්ගලයන්ගේ වරදයි. ඇඳුම් නිතැතින්ම අපිරිසිඳුවේ. ඒ එහි ස්වභාවයයි. වැරැද්ද ඇත්තේ ඇඳුම් අපිරිසිඳු වියනොහැක කියා ඇතිකරගත් ඒ සිතුවිල්ලයි. ධර්මානුකූලව, යථාභූත ඤාණයෙන් හිතන පුද්ගලයා මෙසේ විමසයි... ලෝකයේ ස්වභාවය මෙයයි. නිතරම අපිරිසිඳුවීම් සිදුවේ යයි කියා සිතුවිලි හසුරුවා ගනී. මෙයාකාරයට සිතීමෙන් පැල්ලමක් හා සෑම දෙයක් මතම ගැටීම කෙමෙන් අඩුවන බවද ඒ මත සිතේ තරහ, කෝපය වන් අපව දවන සිතුවිලි ඇතිනොවන බව අවබෝධකර ගනියි. දැන් සිතන රටාව තුළ ගැටීම අඩුබව සහ මානසික සහනය මෙය යැයි අවබෝධකර ගන්න තැනැත්තා දකියි.

ක්‍රියාවලිය ඉතා සරල නමුත් අවබෝධ කොටගෙන ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීම ඉතා දුෂ්කර වේ. අපහසුවේ. අපහසුවෙන් සසරක් පුරා පුරුදු කළ පුරුද්දෙන් මිදී ඊට ප්‍රතිවිරුද්ධ දෙසට සිතුවිලි හැසිරවීමයි. ඒ දෙසට සිත හුරු කිරීමයි.

 

ස්වාමීන් වහන්සේ නමකගේ දේශනයක් ඇසුරින් මෙම ලිපිය සකස් කොට ඇත.

 

Thursday, September 16, 2021

පවින් නොමිදෙන්නා සසර දුකින් ද නොමිදේ

    

කොලොන්නාව තරුණ බෞද්ධ සංගමය

සෑම පුර පසළොස්වක පොහෝ දිනකම නිකුත් කෙරෙන දහම් පත්‍රිකා මාලාව අංක 19                      

 

පවින් නොමිදෙන්නා සසර දුකින් ද නොමිදේ

 

පින්වත්නි,

අද නොවැම්බර් මාසයට යෙදෙන ප්‍රධාන පෝය දවසයි. මෙය චන්ද්‍රමාස ක්‍රමයට අනුව නම් කරනු ලබන්නේ ඉල් පුර පසළොස්වක පෝය යනුවෙනි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පළමු වස බරණැස ඉසිපතනාරාමයෙහි වස් වසමින් වැඩ සිටි සේක්. සට නමක් මහරහතන් වහන්සේලා බිහිකරවා ගැනීමට දක්ෂ වූ හෙයින් ඒ හට නම වහන්සේලා දඹදිව පුරා ධර්ම ප්‍රචාරය සඳහා පිටත් කර හැරි දිනය ලෙස ඉල් පෝය සැලකේ. උරුවෙල ජටිල දමනය සඳහා උරුවෙල ජනපදයට බුදුරජාණන් වහන්සේ වැඩම කිරීම හා අග්‍රශ්‍රාවක සැරියුත් මහ රහතන් වහන්සේගේ පිරිනිවීම නාලන්දාවෙහි තම උපන්ගෙයි තුල දී සිදුවීම ඉල් පෝය හා බැඳේ. තව ද ‘මහාවංශ’ කතාව අනුව අප පුණ්‍ය භූමියට බුද්ධ වර්ෂ 237 පොසොන් පෝදා (අදට වසර 2321ට පෙර) වැඩමවා වදාළ මුහුඳු මහරහතන් වහන්සේ ඒ ළඟම යෙදුනු ඇසළ පුන් පොහෝ දා දෙවනපෑතිස් මහ රජු වස් විසීම සඳහා සාදවා දුන් මිහින්තලා කඳු බිමෙහි වූ කන්ථක චෛත්‍යස්ථානහි හාත්පස අටසැට ලෙණ්හි මහා සංඝයා වහන්සේ සමග වස් තුන්මස ගෙවා ඉල්මස පුර පසලිස්වක පොහෝ දින මහරජු හමු වූ අවස්ථාවේ දී “නරේනද්‍ර ය, අප විසින් බොහෝ කලකින් අපගේ ශාස්තෘ වූ සම්බුද්ධයන් වහන්සේ නුදුටුවෙමු. අනාථයන් වශයෙන් විසුම්හ. අපට මෙහි පූජනීය වස්තුවක් නැත්තේ” යයි වදාළ සේක. “වහන්ස, සර්වඥයන් වහන්සේ සේකැයි මට මට වදාළාහු නෙවෙදැයි රජතෙම ඇසීය. “සර්වඥයන් වහන්සේගේ ධාතුන් දුටු කල්හි සර්වඥයන් වහන්සේ දක්නා ලද්දේ නම් වෙයි යයි මිහිඳු මහරහතන් වහන්සේ වදාළ සේක. එවිට මහරජු පවසන්නේ “මා විසින් සයක් කරවිය යුතු බව ඔබ වහන්සේලාගේ අබිප්‍රාය වන්නේ යයි පවසා මම ථූපයක් කරවන්නෙමි. නුඹ වහන්සේලා ධාතූන් දන වදාරන සේක්වයි පවසා දකුණු අකි ධාතුව (උගුර පහළ සුට උරහිස දක්වා දෙපසට පිහිටා ඇති සිහින් අස්ථි කොටස) තැන්පත් කොට අනුරාධපුර ථුපාරාමය ඉදිකිරීම් ආරම්භව ඇත්තේ ද මෙවන් පෝ දිනකය. (මහා වංශය 16-17 පරිච්චේද)

මේ අයුරින් තුන් ලෝ තලයෙහිම සසර තරණය සඳහා මහත් කුසල් කල හැකි කුසල් භූමිය වූ ශ්‍රී ලංකාවෙහි උපත ලද අපි වාසනාවන්තයෝ නොවෙමුද? නැතහොත් නොවෙමුදැයි විනිශ්චය ඇත්තේ තම තමා තුලමය. කුසල් රැස් කරන්නෝම ත්‍රයිභූමිය ජයගෙන සියලු දුකින් මිදෙන හෙයින් මෙවන් දහමක් දැන පවට බිය වී පවට ලජ්ජා වී කුසලහිම අපි හැසිරෙමු.

ධම්මපද ගාථා අංක 17

“ඉධ තප්පති පෙච්ච තප්පති - පාපකාරී උභයතථ තප්පති

පාපං මෙ කතන්ති තප්පති - භියෙයා තප්පති දුග්ගතිං ගතො”

 

“පව් කරන්නා මෙලොවත් තැවෙයි. පරලොවත් තැවෙයි. දෙලොවෙහිම තැවෙයි. කළ පව් සිහිව මරණයේදී තවත් තැවේ. එහි විපාක වශයෙන් දුගතියෙහි ඉපද ගොර දුක් කුරිරු සේ විඳවමින් බොහෝ සේ තැවේ”

මෙලොව තැවීම් ලබා දෙන පව්කම් කවරේද? සතුන් මැරීම්, සොරකම් කිරීම්, පර අඹුවන් - පර පුරුෂයන් සෙවුම්, බොරු කීම්, සුරාපානය කිරීම්, කේලම් කීම්, පරුෂ වචන කීම්, හිස්වචන කීම්, ලෝභකම් කිරීම්, ක්‍රෝධ කිරීම් හා මිත්‍යා දෘෂ්ඨි ආදිය ඒ අකුසලයෝය. ආශාවට හා ලාභයට ගිජුව කෙරෙන මේ පව්කම් කරන කල ඉතාම මිහිරිය. විඳින කළ බොහෝ අමිහිරි වේ. එහෙයින් මේ බොහෝ සේ තැවීම “ භියෙයා තප්පති” නම් වේ. පව්කම් කළ අයහට බෙහෙවින් තැවීම් ලබා දෙන්නේ නරක - තිරිසන් - ප්‍රේත - අස්ය්ර යන සිව් අපායන්හිය.

මෙහිලා නරකය නම් සංජීව - කාලසුත්‍ර - සංඝාත - රෞරව - මහාරෞරව - තාප - පතාප - අවීචි වශයෙන් හඳුන්වන අටයි. මේ එක් එක් නරකයට දොරටු සතරෙකි. මේ එක් එක් දොරටුවක උස්සද නරක සතර බැගින් එක් මහා නරකයකට උස්සද නරක දහසකි. මෙසේ ඇට මහා නරක හා ගත් කළ නරකාදී සියල්ල (16x8= 136) එකසීය සතිසෙකි. මේවායෙහිදී යමපල්ලන් කෑලි කෑලි කොට කපන ලද්දේ නමුදු විපාක කර්මය ගෙවන තුරු නොමැරී නැවත නැවත ඉපදීම මේ සියල්ලෙහි ඇති එක් දුගති ලක්ෂණයකි. ත්රිසන් අපාය - මෝහයෙන් මුලාව අකුශල කාර්ම කළෝ බොහෝ සෙයින් තිරිසන් ලෝකයෙහි උපදිති. මොවුන්ගේ ප්‍රභේද ඇති විශාලය. මිනිසෙකු ඇසුරු කොට උපදින පණු කුලම පමණක් අසූ දහසකැයි කියති. කාම සංඥා - ගෝචර සංඥා - මරණ සංඥා යන සංඥා තුනෙන් නිතර දැවෙන මොවුන්ට ධර්ම සංඥා පහළ නොවන හෙයින් තිරිසන් භවයෙන් කවදා හෝ මිදෙන්නේ විපාක කර්ම ගෙවී ගිය දවසටය. ප්‍රේත ලෝකය - මුළුමනින්ම සපයා පහව ගියෝ ප්‍රේතයෝය. බහුවිධ දුක් ඇති ප්‍රේත ලෝක සතෙකි. නිජ්ජාමතණ්භික, ඛුප්පපාසික, පංසුපිසාචක, පරදත්තූපැජීවක (අනුන් දෙන දෙයින් ජීවත් වන), කාලකඤජක, අටඨීසංඛලික (ඇටසැකිලි පමණක් ඇති), හා මංසපිණ්ඩික (කුණු වූ මස් ගොඩක් වැනි සිරුරක් ඇති) යනුවෙන් ඒ සතර නම් කෙරේ. දන් නුදුන්, අනුනට ඊර්ෂ්‍යා කළ, මව්පියන්ට නොසලකන, අනුනට පරිභව කරන, අකුසල් කරන්නෝ ප්‍රේත ලෝක වල උපදිති. හැම ප්‍රේතයෝම සා පිපාස දෙකින් පෙළෙති. අසුචි, සර්ව බොති. මෙසේ ප්‍රේතයන් විඳින දුක පමණ කොට දැක්විය නොහැක. ඇසුර අපාය - අපාය ගණයෙහි ලෑ ගැනෙන ඇසුර නිකාය ප්‍රේත ලෝකවිෂහිම වූ කාලකඤජ යයි ගැනේ. වේපචිත්ති වැනි ඇසුරයො මෙහි නො ගැනෙන බව අටුවා විස්තරයෙහි දක්වා කරයි.

මේ සතර අපායන්හි ප්‍රතිසන්ධී ලබන්නේ අකුශල කර්මයන්ගේ ශක්තියෙනි. උපේක්ඛා සන්තීරණ අකුසාල් චිත්තයෙන් ප්‍රතිසන්ධිය වන්නේය. එහෙයින් මොවුහු එකත්තසංඤ (ප්‍රතිසන්ධි සිතින් සමවූ) නානත්තකායි (සිරුරින් වෙනස් වූ) ඇත්තෝය.

මේ සියලු විස්තර ධර්මයෙහි සඳහන් වන මෙහි සඳහන්ව ඇත්තේ අංශුමාත්‍රයකි. පවට බය වී පවට ලජ්ජා වී පවෙන් වැළකී පිනෙහි හැසිරෙමින් කුසල් වඩමින් අපි හැම වහ වහා සසරින් මිදෙන්නට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්නෝ වෙමු. අප තිලෝගුරු සම්මා සම්බුදුන් වහන්සේ සමගම එක වෙහෙර ඉඳ - ආසන්නම ඤාතිව - පැඅවිදිව - ධ්‍යානලාභීව හා සෘධිබල ලැබ සිටි දේවදත්ත හිමි නරකයෙහි බලවත්ම දුක් ඇති අවීචි මහ නිරයෙහි උපන් අයුරු දැන් කියවා ලබමු.

 දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ලකුණින් යුත් තම ඤාති ශ්‍රේෂ්ඨයාගෙ බුද්ධත්වයට ගෞරව කිරීම වස් ශාක්‍යවංශික හැම ගෘහයකින් කෙනෙකු පැවිදි විය යුතු යයි ඇති කරගත් ප්‍රතිඥාව මත භද්දිය, අනුරුද්ධ, ආනන්ද, භගු, කිම්බිල, දේවදත්ත පැවිදි විය. මෙසේ පැවිදි වුවන් අතුරින් භද්දිය, අනුරුද්ධ, භගු, කිම්බිල මහරහත් භාවයටද, ආනන්ද හිමියන් සෝවාන් බවටද, දේවදත්ත ස්ථවීරයන් වහන්සේ ලෞකික සෘදි ද ලැබූහ. මෙසේ කල් ගත වෙද්දී බුදුරජාණන් වහන්සේ හා ශ්‍රාවක සඟ රත්නය කෙරෙහි පැහැදුණු රට වැසියෝ මහත් ලාබ පුදකරාලුහ. රෑ දහවල සැදැහැති දායකයෝ බුදුරජුන් කොහිද? සැරියුත්, මුගලන් තෙරහු කොහිද? භද්දිය, ආනන්ද, අනුරුද්ධ, භගු, කිම්බිල තෙරහු කොහිද? ආදී නම් කියමින් පූජා ද්‍රව්‍ය ගෙන විමසන මුත් දේවදත්තයන් ගැන අසනු කිසිවකු නැත්තේ. මටත් ලාබ ලැබිය හැකි කෙනෙකු සොයමි සිතා දේවදත්ත හිමි අජාසත් කුමරු රවටා ගත්තේ සෘධි මවා පා බිය කොටය. මේ අතර දේවදත්ත හිමිට සඟයා පාලනය කිරීමට පාපකාරී සිතක් ඇතිවී සෘධියෙන් පිරිහිණි. සිතූ පරිදි බුදුරජාන වහන්සේගෙන් ඉල්ලීමක් කළේය. එය ගැරහූ බුදුරජාණන් වහන්සේ සාසනයෙන් නෙරපනු ලැබූ විනය කර්මය පැනවීමෙන් පසු වෛර බැඳ පලිගැනීමට දේවදත්තයන් තීරණය කොට “මම ශ්‍රමණ ගෞතමයන් මරමි” යන අදහසින් කලා දෑ බෞද්ධ අපතර ප්‍රකටය. එසේම අජාසත් රජු පොළොඹවා “තම පියා වූ සෝවාන්ව සිටි බිම්බිසාර රජු පුතු අතින් මරවා” එතුමා පීතෘ ඝාතකයකු කළහ. අනතුරුව දේවදත්තයන් සිවුරෙහිම රැඳෙමින් වෙන්ව පෝය කර්ම කොට සඟ භේදය කොට සඟ පිරිසක් ද ගෙන ගයා ශීර්ෂයට ගියහ. පසුව බුද්ධ නියමයෙන් ඒ පිරිස දෑගසවුවන් වහන්සේලා විසින් ධර්මාවබෝධය ලබාදී නැවත ගෙන ආවේ අහසින්මය. මෙය දෙව්දත් අතවැසි කෝකාලිකයන් දේවදත්ත හට දැන් වූ විට ඇතිවූ කම්පනයෙන් ලේ වමනය රෝගයෙන් නව මසක් පමණ පෙලී ඔහු බලවත් සේ ගිලන්ව කෙලවර බුදුරජාණන් වහන්සේ දැක සමාව ගැනීමට කැමැත්ත පළකළේය. කිසිඳු වරදක් නොකළ බුදුරජාණන් වහන්සේ ඔබ කලා සාහසිකකම නිසා අපට ඔබ එහි ගෙන යාමට බැරි යැයි අතවැස්සෝ කී විට, මං එසේ කලත් බුදුරජු ඉදිරියට රැගෙන යව් යයි කලා ඉල්ලීම අනුව ඇඳක තබා කරට ගෙණ - දෙව්රම් වෙහෙරට යන්නේ ඒ ආසන්නයේ පිහිටි පොකුණ ළඟ තබා ගෙන ආ අය නාන්නට ගිය විට දෙව්දත් ද ඇඳෙන් බස දෙපා බිම තබත්ම පොළොව විවරව බෙලෙන් උඩ හනු ඇටය දක්වා ගිලී යන්නේ අග්‍රපුද්ගල බුදුරජාණන් වහන්සේ සරණ ගියේය. මේ සරණාගමනය දුටු නිසා බුදුරජාණන් වහන්සේ දෙව්දතුන් පැවිදි කළ සේක. එසේ කලේ බුදු සිරුරින් ලේ සෙලවීම හා සංඝභේදයන් කරගෙන බලවත් අකුසල් සමගින් මොහු මියගියේ නම් කල්ප දස දහස් ගණනකින් වත් මොහුට අවීචිමහ නිරයෙන් ගැලවීමක් නොවන බව දැනගෙනය. පොළොවේ ගිලුණු දෙව්දත් හිමියෝ අවිචි මහ නිරයේ ඉපද අද ද එහි ඇති මහත් දුක් විඳි./ දේවදත්තයන් මෙසේ දෙවන වරට බුදුරජාණන් වහන්සේ විසින් පැවිදි කලා හෙයින් සිය දහස් කල්පයකින් මතුයෙහි අට්ඨීස්සර නම් පසේ බුදු වන්නේය.

දෙව්දතුන් මළ කල්හි රට වැස්සෝ තුටු පහටුව සැණකෙළි පවත්වමින් සතුටු වූ අතර භික්ෂුන් වහන්සේලා ඔහු අවීචි මහ නිරයෙහි උපන් බව අසා මෙලොවද නොයෙක් කම්කටොලු විඳ තැවෙමින් සිට පරලිව ගියෙත් සියදහස් කප් අවිචියෙහි පැසෙන බවත් බුදුරජාණන් වහන්සේ ගෙන්  අසා දන කම්පා වුවෝය. “මහණෙනි පැවිද්දෙක් හෝ වේවා ගිහියෙක් හෝ වේවා පව්කම් කලේ නම් දෙලොවම තැවෙන්නේ” යයි ඉහත ගාථාවෙන් ධර්ම දේශනා කල සේක. ධර්මය ඇසු බොහෝ දෙනා සෝවාන් ඵලාදියට පැමිණියෝය.

“ඉඳ ඉඳ එක වෙහෙර - විඳ විඳ දහම් මනහර

සිඳ බිඳ දුක් සසර - අහෝ දෙව්දත් නොදිටි මොක්පුර”

 

සැමට තෙරුවන් සරණයි !

 

මේ දහම් පත්‍රියාව සම්පාදනය කලේ - කේ. කේ සුගතපාල

(ත්‍රිපිටක ග්‍රන්ථ සම්පාදන මණ්ඩලයේ ලේකම්)