Monday, September 6, 2021

රට්ටපාල මහරහතන් වහන්සේ

සත්‍ය තේරුම් ගෙන බුදුරජාණන් වහන්සේ හමුවට ඇවිත් පැවිදි වූවන් අතර සමාජයේ සෑම ස්තරයකම සිටි පිරිස් වූහ. බමුණු, සැඩොල්, රාජ, වෙළද කුල හා උගත්, නූගත්, ස්ත්‍රී, පුරුෂ භේදයක් ඒ අතර නොතිබුණි. දහමින් පිරි ඒ සියලු සිත් විවිධ විල්, දියකඩිති වලින් පැමිණි දිය මහ සයුරේදී එකම රසයක් ගන්නා සේ සසුනඹර බැබලවූහ. සිටුවරු සිටු සම්පත් හැරදා, රජවරු හා රජ කුමාරවරු රජ සම්පත් හැරදා, යෞවන යෞවනියෝ කාම සම්පත්තීන් හැරදා පැවිදි වීම එදා දඹදිව් සමාජය කැළඹු කරුණක් විය. බුදු සසුනෙන් තොර වෙනත් සාසනයක එය කිසිදා සිදු නොවූ හා නොවන දෙයක් මෙන්ම කිසිදා සමාජය මෙවන් දෙයක් දැක නොතිබූ නිසාද මේ කැළඹුම, වෙනස ප්‍රකට පෙනෙන්නට විය. මෙලෙස දහම තේරුම් ගත් පිරිස තම කුලගොත්, ධනය, පිරිවර සම්පත්, තානාන්තර, සියලු බැඳීම් අතහැර තෙරුවණට ශ්‍රද්ධාවෙන් සසුන් කෙතට ඇතුළු වූයේ ඊට වඩා වැඩි සුවයක්, නිදහසක් ලැබීමටය. ධනයට, බලයට, යෞවන මදයට මත්වන සාමාන්‍ය සමාජය ගලා යන ආකාරයට විරුද්ධ (පටිසෝතගාමී) ගමන් මාවතක් වූ මේ දහම් මග වෙත ඔවුනට යොමුවීමට යම් දුෂ්කරතා, බාධකද සමාජයෙන්ම ඇති වුනි. අනාගත රාජ සම්පත්තිය ලැබීමට නියමිත කුමාරවරු පැවිදි වීමට යන බව දැනගත් රජවරු, රටවැසියෝ එයට එරෙහි වූහ. සිටුවරුන්ට පවා පැවිදි වීමට යාම මහත් අසීරු කරුණක් විය. නුවරක් පුරා තම වෙලහෙළඳාම් හසුරුවමින් සිටි ධනවත් සිටුවරයෙක් එක්වරම ඒ සියල්ල අතහැරදා යෑම ඒ රටේ ජනතාවට, ආර්ථිකයට හා ඔහුගෙන් යැපෙන මනුෂ්‍ය, සත්ව සියලු දෙනාටම ඇතිවන ගැටලුවකි. ඒ නිසා සමහර ධන සිටුවරුන් රටේ රජතුමාගෙන් අවසර ගෙන පැවිදි වූ අවස්ථාද මේ සාසන ඉතිහාසයෙන් හමුවේ.

මීට කල්ප ලක්ෂයකට පෙර පියමතුරා බුදුන් දවස සිටි සක්දෙව්රජාණන්, උන්වහන්සේ හට මහත් ශ්‍රද්ධාවකින් කටයුතු කළේය. දිනක් බුදුපාමොක් මහරහතුන් ඇතුළු සඟයාට දානමානාදියෙන් සංග්‍රහ කිරීමට දෙව්ලොවට වඩින ලෙස අවසර ඉල්ලා සිටියේය. අවසර ගෙන දිනසතක් බුදුපාමොක් මහ සඟනට මහත් වූ දිව්‍ය පුදසත්කාර කර අවසානයේ සක්දෙවිඳු, යම් දිනෙක තමාටද ශ්‍රද්ධාවෙන් පැවිදි වන්නන් අතර අග්‍ර තනතුරක් ලබමින්ම මතු සාසනයක උතුම් අරිහත් භාවය ලබන්නට ඇත්නම් යයි ප්‍රාර්ථනාකරමින් ඒ බව පියමතුරා බුදුන් හමුවේ කියා සිටියේය. බුදුරජාණන් වහන්සේද අනාගත ගෞතම සසුනේ ඒ පැතුම ඉටුවනවා දැක විවරණ ලබා දෙමින් සක් දෙවිඳු හට ආශිර්වාද කර සිටි සේක. එතැන් පටන් සසර ගමනේ විවිධ දානමානාදී පිංකම් සිදුකරමින් ගෞතම බුදුන් දවස රට්ටපාල තරුණයා ලෙස කුරු ජනපදයේ චුල්ල කොට්ටිත නියං ගමේ බොහෝ සම්පත්තීන් ඇති ප්‍රධාන සිටුතුමාගේ පුත්‍රයා ලෙස උපත ලැබීය. උන්වහන්සේගේ පැතුම අනුවම ගෞතම බුදුසසුන කෙරේ අපමණ පැහැදීමක් ඇතිව පැමිණි සියලු බාධක මැඩලා පැවිදිවූ මහා පින්වතෙකි. බුදුරජාණන් වහන්සේ දහම් චාරිකා වඩිනා අතර මේ චුල්ල කොට්ටිත ගමටද වැඩම කරමින් ධර්ම දේශණා කළ සමයේ ඒ දහම් මනාව අසා සිටි මේ තරුණයාට සසරේ භියකරු බව මනාව වැටහිණි. දේශනය අවසානයේ බුදුහිමි සමීපයේ වැඳ වැටි පැවිදි බව ඉල්ලා සිටියදී බුදුරජාණන් වහන්සේ රාහුල කුමාරයා අරඹයා දෙමාපිය අවසරයෙන් තොරව පැවිදි බිමට ඇතුල් කර නොගැනීමේ පැනවීම සිදුකර ඇති නිසා ඒ බව පේනවා දෙමින් දෙමාපිය අවසරය ලබාගෙන එන ලෙස දන්වා සිටි සේක. රට්ටපාල තරුණයා මේ බව දෙමාපියන් හා තම බිරින්දෑවරුන් හට දන්වා සිටියේය. එවිට මව්පියන්, බිරින්දෑවරුන් කාරණය අසා එයට අකමැත්ත ප්‍රකාශ කර සිටියහ. එවිට කුමරුවා නොකා නොබී දින කිහිපයක්ම සිට අකමැත්තෙන් වුවද ඔවුන්ගෙන් පැවිදි වීමට අවසර ලබා ගත්තේය. ලබාගත් අවසරය ඇතුව කුමරුවා බුදුපාමොක් මස සඟන වෙත ගොස් උතුම් පැවිදි බිමට ඇතුල් වූයේ නැවත දෙමව්පියන් බැලීමට එන පොරොන්දුවද සමගිනි. කලක් ගියපසු උන්වහන්සේ ඒ කරුණ බුදුහිමියන් හට සැලකර සිටියේය. ඒ සමයේ උන්වහන්සේ අරිහත් බව පසක් කර නොතිබූ හෙයින් බුදුරජාණන් වහන්සේ එයට කාලය නොවන බව වදාළා නිසි කාලය පැමිණි මොහොතේ එයට අවසර ලබා දුන් සේක.

 තම ගම වෙත පැමිණ මහාවීර රාජ උයනේ රාත්‍රිය ගතකර පසුදා උදෑසන පිණ්ඩපාතය බලා තම සිටුමැදුර වෙත උන්වහන්සේ වැඩම කළේය. ශ්‍රමණයන් සමග ඇතිකරගත් කේන්තියෙන් සිටි සිටුතුමා දුරතියාම උන්වහන්සේට එන්නට නොදුන්නේය. ඒ නිසා උන්වහන්සේ මැදුර පසුපස දෙසින් වැඩම කර සේවිකාවක් ඉවතලන පිළුණු ආහාරයකුත් ගෙන නැවත පිටත් විය. පසුව මෙය දැනගත් සිටුතුමා උන්වහන්සේ හමුවට ගොස් පසුදා දානයට වැඩම කරවා ගත්තේය. වැඩම කරවාගෙන තම පරම්පරාගත ධනස්කන්ධය පෙන්වමින් “මේවාට ආනාගතයේදී හිමිකම් කියන්නේ කවුදැයි... ආදී විවිධ දේ කියමින් නැවතත් ගිහි ජීවිතයට උන්වහන්සේව ගැනීමට උත්සහ කළේය. එවිට රට්ටපාල මහරහතන් වහන්සේ සිටුතුමා අමතා “පියතුමනි ඔබ මේ ධනය කරත්තවල පටවා හිරන්‍යවතී නදියට විසි කරන්න. එයින් ඔබට ධනයෙන් ඇතිවන බිය, සෝක, පීඩා දුරුවේ” යයි කියා සිටියේය. මෙලෙස පියාට, මවට හා පෙර බිරින්දෑවරුන්ට දහම් අවවාද සිදුකර උන්වහන්සේ සෘදී පාමින් සිටි උයනටම අහසින් වැඩියේය. රටේ රජතුමා වූ කෝරව්‍යය රජු හටද මෙය දැන ගන්නට ලැබිණි. රජුද උන්වහන්සේ හමුවට ගොස් කතාබස්කර තම සිතේ ඇතිවූ මහත් ප්‍රශ්නයක් ඉදිරිපත් කර සිටියේය.

“ස්වාමිනි මා අසා තිබෙන්නේ ජරාවට පත්වූ නිසා, ගිලන්වූ නිසා, මහලු බවට පත්වූ නිසා පැවිදිවන බවකි.. දේපළ විනාස වීම්, කාත් කවුරුත් නැති තැන පැවිදි වන බවකි. නමුත් සියලු සැප සම්පත් ඇති, රූ සම්පත්තියෙන් අනූන බිරින්දෑවරුන් සිටින ඔබ වහන්සේ කුමක් අරඹයා පැවිදි වුයේද?..” එවිට උන්වහන්සේ “රජතුමනි මා පැවිදි වූයේ මේ වගේ දහම් පරියායක් බුදු හිමියන්ගෙන් අසා තේරුම් ගත් නිසාය. මෙවන් කාරණා සතරක්  තේරුම් ගත නිසාය.

“හැම දෙයම විනාස වෙමින්, ජරාවට පත්වෙමින් යයි - කිසිම පිහිටක් නොමැති මේ සංසාර ගමනෙ අප අසරණය

සියලු සැප සම්පත් තිබුනත් ඒවා දමා යන්නට සිදු වේ - ලෝක සත්වයා තන්හාව නිසාවෙන් තෘප්තිමත් භාවයකට පත් නොවේ”

මේ දහම් පරියාය රජුවෙත විස්තරාත්මකව උන්වහන්සේ දේශණා කිරීමත් සමග කෝරව්‍යය රජතුමාද බොහෝ සෙයින් පැහැදී තෙරුවන් සරණ ගියේය. ගෞතම භාග්‍යවතුන් වහන්සේ නිසි කළ එළඹී විට උන්වහන්සේ හට සඟයා මධ්‍යයේ, ශ්‍රද්ධාවෙන් පැවිදි වන්නන් අතර මේ සසුනේ අග්‍ර වන්නේ රට්ටපාල මහරහතන් වහන්සේ බව වදාරමින් තනතුරු ප්‍රධානය කර සිටි සේක.

0 comments:

Post a Comment