Monday, September 6, 2021

වෙළුද්වාරෙයිය සුත්‍රය - රජයේ මුද්‍රණාලය

 රජයේ මුද්‍රණාලයීය බෞද්ධ සංගමය - රජයේ මුද්‍රණාලය කොළඹ 08

ධම්මො හවෙ රක්ඛති ධම්මචාරී

මාසික ධර්ම ප්‍රකාශනය - අංක 212                     

බු. ව. 2557 වූ නවම් පුන් පොහෝදා                      

 උභයාර්ථ සාධනය සලසා දෙන වෙළුද්වාරෙයිය සුත්‍රය

සැදැහැති පින්වතුනි,

තථාගත බුදුපියාණන් වහන්සේ සුවිශාල භික්ෂු සංඝයා සමග කෝසල ජනපදයෙහි වේළුද්වාර නම් බමුණුගමෙහි චාරිකාවේ වඩිති. එම බමුණු ගමේ බමුණු ගෘහපතියන් උන්වහන්සේ තම ගමට වැඩම කිරීම අගය කොට සලකන ලදී. එපමණක් නොව උන්වහන්සේ පිළිබඳ ගුණ වර්ණනාවකින්ද මෙසේ ප්‍රකාශ කොට ඇත.

 

ඒ භාග්‍යවතුන් වහන්සේ මේ මේ කරුණින් අර්හත්ය, සම්මා සම්බුද්ධය, විජ්ජාචරණ සම්පන්නය, සුගතය, ලෝක විදුය, අනුත්තර පුරිසධම්ම සාරථීය යනාදී වශයෙන්ද, උන්වහන්සේ දැන දැක පරෝපදෙස රහිතව අවබෝධකරගත් ධර්මය දේශනා කළ සේක. ඒ දෙසූ ධර්මය මුලත් හොඳය, අගත් හොඳය, අර්ථ සහිතය, ව්‍යංජන සහිතය, පිරිපුන් සිල් ඇත්තාහ, පිරිසිඳු බ්‍රක්මචර්යාවෙන් යුක්තය. එබඳු උතුමන්ගේ දැක්මද යහපත්මය. එබැවින් අපි සියල්ලෝම උන්වහන්සේ බැහැදැකීමට යමුයි තීරණය කරන ලදි. එසේ සාකච්ඡාකොට උන්වහන්සේ හමුවීමට යන ලදි. බමුණෝ වූ කලී මාන්නාධිකය, එසේ වීමට හේතුව මහ බඹුගේ මුවින් උපන් නිසාත්, අන් කුලයන්ට වඩා බමුණු කුලය උසස් යයි සිතා සිටි බැවිණි. ඒ නිසාම තමාගේ නම්ගොත් පවසමින්, ඇඳිලි බඳිමින් ආචාර කරමින්, ශ්‍රද්ධාවක් නොමැතිව එකත් පසෙක වාඩි වූහ. එසේ එකත් පසෙක වාඩි වූ බමුණෝ උන්වහන්සේට මෙවැනි ප්‍රකාශයක් කරන ලදී. “පින්වත් ගෞතමයෙනි, අපි දරුවන්ගේ හකවු යහන්හි වෙසෙන්නමෝ, සිනිඳු සඳුන් ගල්වන්නමෝ, මල්ගඳ විළවුන් දරන්නමෝ, රන් රිදී ඉවසනමෝ, කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙන්නමෝයි, මෙබඳු කාම අත්තමෝ, මෙබඳු න්ද අත්තමෝ, මෙබඳු අදහස් අත්තමෝ වන්නෝ වෙමු. එබැවින් අපට ගැලපෙන ධර්මයක් දෙසන ලෙස ඉල්ලා සිටින ලදි. ඔවුන්ගේ ඉල්ලීම පරිදි මේ වේළුද්වාර සූත්‍රය දේශනා කරන ලදි. බමුණු ගෘහපතියන් අමතා ගෘහපතියනි, ආර්ය ශ්‍රාවක තෙමේ තිදොරින් කරන ක්‍රියා පිලිබඳ නුවණින් විමසා බලයි. ඒ සඳහා අත්තුප්පනායික ධර්ම පරියාය හෙවත් තමා උපමා කොට තමා කරන ක්‍රියා දෙස බලනවා, තමා සිතන සිතුවිලි දෙස බලනවා, කියන වචන දෙස බලනවා, තමා සිතන සිතුවිලි දෙස බලනවා එනම් තමා කරන දෙයින් සිදුවන යහපත හෝ අයහපත පිලිබඳ විපාකය අන් අයට පෙර තමාට විඳීමට සිදුවන අයුරු හිතනවා. එය මේ අයුරින් පළමු කොට හිතනවා. දෙවනුව අන් අය ගැන හිතනවා. “මම වූ කලී ජීවත්වීමට කැමැත්තෙමි, මරණයට අකමැත්තෙමි, දුක පිළිකුල් කරන්නෙමි, සැපයම කැමැත්තෙමි, යමෙක් මගේ දිවිය තොර කරන්නේ නම් මරණයට පත් කරන්නේ නම් දුකට පත් කරන්නේ නම්, සැපයට බාදා කරන්නේ නම් එය මට අප්‍රිය වූ දෙයකි. මට අමනාපය ගෙන දෙන්නකි. මෙසේ සිතන පුද්ගලයා අන් ඇය ගැන ද එසේ සිතයි. මා මෙන්ම ලොව ජීවත්වන සෑම දෙනාම ජීවත්වීමට කැමතිය, මරණයට අකමැතිය, දුක් පිළිකුල් කරන්නේමය, සැපයා පතන්නේමය. ඔවුන් අකමැති දෙයක් මා කරන්නේ නම් එය ඔවුනට ප්‍රිය ගෙන නොදෙයි. මනාප ගෙන නොදෙයි. එය පිළිකුල් කරයි. මෙසේ සිතා කටයුතු කිරීමෙන් තමා ප්‍රාණඝාතයෙන් වැලකුනේ වෙයි. දෙපිරිසම ඒ සඳහා කිසිවෙකු අනුබල නොදෙයි. මෙ ත්‍රිකෝටික පාරිශුද්ධි ශීලය ලෙස හඳුන්වයි. එනම් තුන් පැත්තකින් සංවර වීමයි. මෙමගින් කය සංවරය සිදුවෙයි.

 

එමෙන්ම මා දුක් මහන්සිවී, දැහැමිව, උත්සාහයෙන් හරිහම්බ කරගත් දෙයක් එය තවෙකෙකු විසින් පැහැර ගත්තේ නම් එය මට ප්‍රිය ගෙන දෙන්නක් නොවේ. මනාප ගෙන දෙන්නක් නොවේ. එය පිළිකුල් සහගත ක්‍රියාවකි. මම අන් අයට අයත් දෙයක් පැහැර ගන්නේ නම් එය ඔවුනට ප්‍රිය ගෙන දෙන්නක් නොවේ. මනාප ගෙන දෙන්නක් නොවේ. එය ඔවුන් පිළිකුලින් බැහැර කරයි. මෙසේ තමාද අන් සතු දේ පාර ගැනීමෙන් වැළකෙන අතර, අන් අයද එයින් වැළකෙයි. දෙපිරිසම එයට අනුබල නොදෙයි. එමගින් සියල්ලෝම පරසන්තකයට ගරු කරන්නෝ බවට පත් වෙති. මෙයින් ද කාය සංවරය සිදුවෙයි.

 

එමෙන්ම මාගේ බිරිඳ හෝ මාගේ ස්වාමි පුරුෂයා අන් බිරිඳක් සමග, අන් පුරුෂයෙක් සමග අනාචාරයේ යෙදෙන්නේ නම් එය මට රුචි නොවේ. මනාප නොවේ. එය පිළිකුල් සහගත ක්‍රියාවක් බව මට දැනේ. මම ද අන් බිරිඳක් සමග අන් පුරුෂයෙක් සමග අනාචාරයේ හැසිරෙන්නේ නම් එය ඔවුනට ද රුචි කරන්නක් නොවේ. මනාප ගෙන දෙන්නක් නොවේ. එය පිළිකුල් සහගත ක්‍රියාවක් ලෙස බැහැර කරයි. මෙසේ සලකා මම ද කාමයෙහි වරදවා හැසිරීමෙන් වැලකුනේ වෙමි. අන් අයද එයින් වැළකුනෝ වෙති. කිසිවෙකුගෙන් එයට අනුබලයක් නොලැබේ. මේ තුලින් සදාචාර සම්පන්න පවුල් ජීවිතයක් ගත කිරීමේ හා සාමයෙන් පිරුණු පවුලක් බිහිවීමේ අවස්තාව ද නිරායාසයෙන් ගොඩනැගේ. කය සංවරය උදා කරගන්නෝ වෙති.

 

එමෙන්ම ගෘහපතිවරුනි, ආර්ය ශ්‍රාවක තෙමේ මෙසේ ද සිතයි. යමෙක් ඇති තතු වසා බොරුවෙන් මා රවටන්නේ ද එය මට ප්‍රිය නොවෙයි. මට මනාප නොවෙයි. එය පිළිකුල් සහගත ක්‍රියාවක් බව මම දනිමි. එසේම මා ද අන් අය බොරුවෙන් රවට්ටන්නේ ද එය ඔවුනටද ප්‍රිය නොවෙයි. මනාප නොවෙයි. ඔවුන් එය පිළිකුල් සහගත ක්‍රියාවක් බව අවබෝධ කර ගනියි. මෙසේ මාද බොරුවෙන් වළකිමි. අන් අයද බොරුවෙන් වළකති. අපි සියල්ලෝම බොරුවට අනුන්බල නොදෙමු. එවිට අපි සියල්ලෝම සත්‍යයෙහි ගුණ දකිමු. මේ නිසා සියල්ලෝ තුළම වාග් සංවරය ඇතිවෙයි.

 

එමෙන්ම ආර්ය ශ්‍රාවක තෙමේ මෙසේ ද සිතයි. යමෙක් මා පිසුණු වදනින් බිඳවන්නේද එය මට ප්‍රිය නොවෙයි. මනාප නොවෙයි. එය පිළිකුල් සහගතය. මා ද අන් අය පිසුණු වචනයෙන් බිඳවන්නේද  ඔවුහුද එයට ප්‍රිය නොකරයි. මනාප නොවෙයි. පිළිකුල් සහගත වචනයක් බව තේරුම් ගනියි. එබැවින් මම පිසුණු වචනයෙන් වැළකුනේ වෙමි. අන් අයද පිසුණු වචනයෙන් වැළකුනෝ වෙති. එබැවින් කිසිවෙක් කිසිවෙකුට පිසුණු බස් කීමට අනුබල නොදෙයි. සියල්ලෝම සමගියට හේතුවන වචනම කතා කරති. ඒ නිසාම වාග් සංවරය ඇතිවෙයි.

 

එමෙන්ම ආර්ය ශ්‍රාවක තෙමේ මෙසේද සිතයි. යමෙක් මට රළු වදනින් කතා කරන්නේ ද එය මට ප්‍රිය නොවෙයි. මනාප නොවෙයි. පිළිකුල් සහගතය. මා ද අන් අයට රළු වදනින් කතා කරන්නේ ද එවිට ඔවුන්ටද එය ප්‍රිය නොවෙයි. මනාප නොවෙයි. පිළිකුලින් එය දෙස බලයි. එබැවින් මම ද රළු වදනින් වැළකී මෘදු භාෂිත වචන කතා කරන්නෙමි. අන් අයද මෘදු භාෂිත වචනම කතා කරයි. අන් අයට ද එසේ රළු වදනින් කතා නොකොට මධු භාෂිත වචනම කතා කරන්නට පොළොඹවන්නෙමි. එවිට සියල්ලෝම මධි භාෂිත වචනයේ ගුණ දනිති.මෙමගින් වාග් සංවරය ඇති කර ගනී.

 

එමෙන්ම ආර්ය ශ්‍රාවක තෙමේ මෙසේ ද සිතයි. යමෙක් මට අරුත් සුන් හිස් වචන කතා කරන්නේ නම් එය මම ප්‍රිය නොකරමි. මනාප නොවෙමි. එය පිළිකුලින් ඉවත ලමි. මා ද අන් අයට හිස් වචන කතා කරන්නේ නම් එවිට ඔවුනද එය අප්‍රිය කරති. මනාප නොදක්වති. පිළිකුලින් බැහැර කරති. එසේ හිතා මතා හිස් වචන කතා කිරීමෙන් වැළකෙනවා මෙන්ම අන් අයද එයින් වළක්වමි. අන් අයට එසේ කතා කිරීමට අනුබල නොදෙමි. දැහැමි කතාවම කතා කරමි. එවිට සමාජය පෙළඹෙයි. මෙය වාග් සංවරය ලෙස හඳුන්වාදිය හැකිය.

 

කය වාග් සංවරයට පත් ආර්ය ශ්‍රාවක තෙමේ තෙරුවන් ගුණ, ගුණ වශයෙන්ම දකී. අවෙච්චප්පසාදය හෙවත් ආකාරවතී ශ්‍රද්ධාවෙන්ම යුක්තවෙයි. ඒ පුද්ගලයා බුදුරජාණන් වහන්සේ මේ මේ කරුණින් අර්හත්ය, සම්මා සම්බුද්ධය, විජ්ජාචරණ සම්පන්නය යනාදී වශයෙන් නව අරහදි බුදු ගුණ දකී. උන්වහන්සේ දෙසූ ධර්මය ස්වාක්ඛාතය, සංදිට්ඨිකය, අකාලිකය යනාදි වශයෙන් ධර්මයේ ගුණ දකී. උන්වහන්සේගේ ශ්‍රාවක සංඝයා සුපටිපන්නය, උජුපටිපන්නය, ඤායපටිපන්නය යනාදි වශයෙන් සඟගුණ දකී. එසේ දැක පැහැදෙයි. එසේ පැහැදී ඒවා පිළිගනියි. සද්ධානුසාරී පුද්ගලයෙක් බවට පත්වෙයි. එසේ පැහැද එයින් නොනැවතී ආර්ය ශ්‍රාවක තෙමේ තමා සමාදන් වූ ශීලය, අඛණ්ඩ, අසබල, අකල්මාෂ, භුජිශ්‍ය, විඥප්‍රස්ත, අපරාමෂ්ඨ, සමාධි සංවර්තනික, ආර්යකාන්ත ශීලයෙන් සමන්නාගත වෙයි. එසේම සිව්දහමින් යකත වූයේ වෙයි. මේ සිව් දහමින් යුක්ත පුද්ගලයා නිරය අවසන් කොට ඇත්තේය. තිරිසන් යෝනිය අවසන් කොට ඇත්තේය. ප්‍රේත ලෝකය අවසන් කොට ඇත්තේය. නියත වශයෙන්ම සම්බෝධිය පිහිට කොට ඇති සෝවාන් වූවෙක් වෙමියි තමාම පවසන්නේ යයි බුදුරජාණන් වහන්සේ බමුණන්ට දේශණා කරන කළ සේක. මේ දේශනාව අවසන් වීමත් සමගම බමුණෝ තමාගේ සතුට මෙසේ ප්‍රකාශ කරන ලදි. “ගෞතමයෙනි ඉතා මැනව, පින්වත් ගෞතමයෙනි ඉතා මැනවි, යටිකුරු දෙයක් උඩුකුරු කරන්නේ යම් සේ ද, වසු දෙයක් විවෘත කරන්නේ යම් සේ ද, මංමුලා වූ අයෙකුට මග කියාදෙන්නේ යම් සේ ද, ඇස් ඇත්තෝ රූප දකින්නේ යම් සේ ද, අඳුරේ සිටි අයට පහනක් දල්වන්නේ යම් සේ ද එමෙන්ම ඔබ වහන්සේ අපට දහම අවබෝධ වන අයුරින් ධර්මය දෙසන ලදි. අද පටන් ඔබ වහන්සේගේ සරණ යමි. ධර්මයද සරණ යමු. සංඝයාද සරණ යමු. අද පටන් ජීවිතාන්තය දක්වාම ඔබ වහන්සේගේ ශ්‍රාවකයන් ලෙස අප සලකන සේක්වා ! යනාදි වශයෙන් දහමින් ලත් ප්‍රීතිය ප්‍රකාශ කරන ලදි.

 

 

 

සැමට තෙරුවන් සරණයි !

 

 

මෙම දහම් පත්‍රිකාව සම්පාදනය කළේ

ශාස්ත්‍රපති, පුජ්‍ය අලික්වෙල සීලානන්ද නායක හිමි වේ.

 

 

ශ්‍රී ලංකා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මුද්‍රණය කරන ලදී.


0 comments:

Post a Comment