Monday, September 6, 2021

මමත්වය

 අභ්‍යන්තර සහ භාහිර සියල්ලෙහි ඇලෙමින් හා ගැටෙමින් මම යැයි කියාගන්නා ස්ථිර සත්වයෙක්, පුද්ගලයෙක්  සිතින් නිර්මාණය කරගෙන ඇත. ඒ වටා ගොඩනගාගත් දේ මම යැයි කියා හඳුනා ගනු ලබයි. නමුත් සත්‍ය වශයෙන්ම මම යයි කියා සත්වයෙක් පවතීද? නැත. පවතිනුයේ අනිත්‍ය ස්වභාවයට උරුමකම් කියනා ධර්මතාවයකි, (උප්පාද, තිථි, භංග ලෙස මොහොතවල් තුනකි)

භාහිර කිසිඳු දෙයක් අභ්‍යන්තරයට ඇතුළත් කරගැනීමට නොහැකිය. බඩු භාණ්ඩ, පුද්ගලයින්, ලෝකය... ආදී භාහිරයේ ඇති දෙයින් ලබාගන්නා අරමුණු තුලයි මමත්වය උපදිනුයේ. ශරිරය, දැනුම, පාසල, ගෙදර, රැකියාව, පවුල, ආගම, සමාජය... යනාදි බොහෝ දේ මගින් මමත්වය ගොඩනගාගෙන ඇත.

ශරීරය දෙස බලන්න, ශරීරය මගේ නම් එය තිබිය යුත්තේ මා හට ඕනෑ විදිහටයි. නමුත් මේ නිතර ලෙඩවන, අසූචි නිපදවන ආහාරය පමණක් හේතුකරගෙන පවතින ශරීරය වෙන කිසිවක බලපෑමෙන් වෙනස්කර නොහැකිය. සතියකට වඩා ආහාර නොගෙන මනුස්සයෙකුට මේ කාලයේ සිටිය නොහැක. අකමැතිමුත් ශරීරයෙන් මලමුත්‍ර, සෙම, සොටු, දහඩිය, කෙළ, සැරව, කඳුළු, කබ, කලාඳුරු.. ආදිය බැහැර කරයි. සම මත දද කුෂ්ට හටගනී. කවදාවත් ලෙඩ නොවේ යයි පැතුවාට, සිතුවාට එසේ නොවෙයි. ලෙඩකදී බේත් හේත් නොකර සිටීමට ද නොහැක. බේත් හේත්, ආහාරපාන, ඇඳුම්, නිවාස... ආදී ඉල්ලන නොඉල්ලන  සැපපහසුකම් සියල්ලක්ම ලබා දුන්නත් නැවත ලෙඩනොවී, වයසට නොයා, වෙනස් නොවී තියෙද....? නැත. මේවා කිසිඳු සත්වයෙකුට නවතාලිය හැකි ධර්මතා නොවෙයි. තම වසඟයේ නොපවතින, අයිති නැති දෙයකට අයිතිවාසිකම් කීම හා පාලනයකට නතු කරගැනීමට වෙහෙසීම මහත් අනුවණ කමකි. මුලාවකි.

තමාට මමත්වය උපදිනා දරුවන් දෙස බලන්න. දරුවන් වැඩිය යුත්තේ මට ඕනා විදිහටයි. කළ යුත්තේ මට ඕනෑ දෙයයි. නොකර සිටියහොත්, අවනත නොවුනහොත් දරුවන් මත ඇති මමත්වය අඩුවේ. අවනතවීම් මත දරුවන්ට නැවත බැඳීම් වැඩිවේ. එලෙසම බඩු භාණ්ඩ, ගේදොරද ඔබට අනුකූලව සිදුනොවේ. මේ මමායනය මත ඇතිකරගත් දුක්, සිත රිදවීම්, ද්වේශය, භය අපමණය. නමුත් අයිති නැති දෙයක් වෙනුවට දුකක්, සිත් රිදවීමක් සිදු නොවෙයි. එලෙස අයිති නොමැති දෙයක් අල්ලාගැනීමට හා අයිතිකරගැනීමට යෑමෙන් දුකක්  සකස්කරගෙන තිබේ.

මරණයෙන් පසු තවදුරටත් ඒ ශරීරයට දැනුනා වූ දුක් දැනේද, අනෙකුත් සංඥා දැනේද? මිනිය එම්බාම් කරන විට වේදනා දැනේද? නැත. ශරීරය හරහා සියලු හැඟීම්, වේදනා අරමුණු වන්නේ කුමකටද? සිතටය. සිතක් නොමැති තැන ශරීරයකට කලින් පැවතිය හැකි සේ පැවතිය හැකිද? නොහැක. සියල්ලම අරමුණුවන්නේ සිතටය. එසේනම් මම කියා යමෙක් අරමුණුවන්නේද සිතටය. සියලු සිතුවිලි හුදු මනෝභාවයක් පමණි.

ජිවිතයක් යනු මේ ආකාරයේ සිතුවිලි ගොඩකි, නැත්නම් මනෝභාවයන් ගොඩකි. මේ සත්‍ය අවබෝධ කරගන්නා තැනැත්තා (ප්‍රඥාවන්තයා) සියල්ලටම කලින් දී තුබූ වටිනාකම් (ඇලීම්) අත්හැර දමයි. මක්නිසාදයත් සියල්ල සිතුවිලි ගොඩක්, මායාවක් ලෙස ඔහු අවබෝධයෙන් දන්නා නිසාය. වටිනාකම් වැඩිවනවිට මමත්වයද (මෝහය) වැඩිවේ. ඒ මත කවුරුහෝ අපහාස, අවමන්, ලැජ්ජා, වංචා හා කෙනෙහිලිකම්.... ආදිය සිදුකළහොත්, රිදවුවහොත් මමත්වය දෙදරයි. ඉන්පසුව සිතේ ද්වේශය උපදවාගෙන කාලකොළහාල, පලිගැනීම් හා බැනගැනීම් සිදුකරයි. මේ සියල්ල සිදුකරනු ලබන්නේ මමත්වය නමැති මෝහාන්දකාරය තුළ සිටයි. මා යයි ස්ථිර සත්වයෙක් සිටිනවා කියා මෝහයට පත්වීම තුළ නැති සසරක්, නැති භවයක් නිර්මාණය කරගෙන අනන්තවත් දුක් ගැහැට විඳ දරා ඇත. තව එවැනි දුක් ගැහැට දරන්නට සකස්වුණු ඉදිරි සසරේද සිදුවේ.

 

 

ස්වාමීන් වහන්සේ නමකගේ දේශනයක් ඇසුරින් මෙම ලිපිය සකස් කොට ඇත.

 

0 comments:

Post a Comment