Monday, September 6, 2021

මෝහය

 මෝහය යනු සිත රවටන සත්‍ය වසන් කරන ස්වභාවයයි. ඇත්ත ඇති සැටියෙන් නොදැනීමයි. මුළු ලෝකයේ ඝන අන්ධකාරය වැඩිම තැන ලෙස ධර්මයේ සඳහන් වන ලෝකාන්තරික නිරය පවා බෝධිසත්වයෙකුගේ උපත, බුදුවීම, පිරිනිවීම... ආදී උතුම් මංගල අවස්ථාවන්හිදී ආලෝකමත්වේ. “නමුත් බුදුවරයෙකුගේ පහල වීමෙනුත් දුරුකළ නොහැකි අන්ධකාරයක් මගේ බුදු ඇසට හසුවේ. එය නම් මෝහාන්ධකාරය යයි..” යනුවෙන් බුදුරජාණන් වහන්සේ වදාළේ මේ මොහඳුරේ ඇති භයානකත්වයයි. එසේ නම් ලොව අන්ධකාරය වැඩිම තැන වනුයේ මෝහය පවත්නා සත්වයාගේ සිත තුලයි.

ස්වාමීන් වහන්සේ නමක් පිඬුසිඟා වඩිනා විටදී මෝටර් රථයක යන පුද්ගලයෙකුට පෙනෙනුයේ අව්වේ ආහාරයක් සොයමින් උන්වහන්සේ දුක්විඳිනා බවත් තමා, බිරිඳ, දරුවන් ඒ අව්වෙන් මිදී සැපසේ රථය තුළ සිටිනා බවත්ය. ඔහු තම රථය, පවුල, රැකියාව, මිල මුදල්, නිවාස සැපයක් ලෙසත් ඒ සියල්ලෙන්ම මිදුන/ මිදෙන්න වෙර දරන, අනාගතයක් ගැන බියක් නැති, අතීතය ගැන දුකක් නැති, වර්තමානයටද නොඇලුණු නිවන් මග වඩනා භික්ෂුව හා උන්වහන්සේගේ ජීවිතය දුකක් ලෙස දකී. මෙලෙස පෙන්වා දෙන්නේ එම පුද්ගලයා සතු මෝහය හැර වෙන කුමකින්ද..? ඔහු තමාගේ වසඟයේ නැති, නිතරම වෙනස්වන, දුකට පත්වන, නැතිවන, භාහිර වස්තූන් සැපයක් ආශ්වාදයක් කියා උපාදානය කොට ගෙන අනන්තවූත් දුක් විඳීම් හා පසුතැවීම් සැපයක් කරගැනීමට මුලාවේ අන්තයටම ගොස් වෙර දරයි. නමුත් විඳවීම් දුක් නැති සැහැල්ලු සැනසිලිදායක මාර්ගයක් දැක එය දුකක් හා අපහසුවක් ලෙස දකී. මෝහය එතරම්ම බලවත්කොට බුදුරජාණන් වහන්සේ පෙනවා දුන්නේ එබැවිනි. මිදීමට මාර්ගයක් පෙනි පෙනී ඒ මාර්ගයේ ගමන් නොකොට අවබෝධකර නොගැනීම මෝහයයි.

මමෙක් කියා ස්ථිර සත්වයෙක් ඇත, ස්ථිර වූ පැවැත්මක් ඇත, සත්‍යම වූ බාහිර ලෝකයක් ඇත කියා මෙලෙස සිතීම හා සිතා ක්‍රියා කිරීම තවතවත් මෝහය දියුණු කිරීමකි. මිරිඟුවක් පසුපස හඹා යාමකි. ලෝකයේ සියලු දේ සෑම මොහොතකම (උප්පාද, තිථි, භංග ලෙස) අනිත්‍යවන, දුකටපත්වන, අනාත්මවන බව නොදනී. අස්ථිර බව නොදනී. එනිසාම සත්වයා නැති මමෙක් උපාදානය කර ගනිමින් බාහිර දේ සමග ගැටෙමින්, ඇලෙමින් නැති අකුසල් සකස් කර ගනි. (බලවත් අකුසල මූල වන ලෝබ, ද්වේශ, ඇතිකිරීමට මුල්වේ).

ඒ වගේම සමාජය, ගුරුවරු, දෙමාපිය වැඩිහිටියන් ගමන් කිරීමට පෙන්වන්නේ කොතැනටද? කුමක් සැප වශයෙන්ද...? මිල මුදල්, පොතේ දැනුම, බඩු භාණ්ඩ, බේත් හේත්, ශරීර සොභාව, දරුවන්, ගේදොර, යාන වාහන, ඉඩකඩම් යනාදිය සැප වශයෙනි. එනම් තණ්හාව දෙසටයි. ආශාව දෙසටයි. එකතු කිරීමට හා පොදි ගැසීමටයි. මෙයින් සමාජය බලාපොරොත්තුවූ හා බලාපොරොත්තුවන සැනසීම උදාවුනිද? නැත. උදාවනුයේද? නැත. හමුවනුයේ දුක හා පසුතැවීම පමණි. මෝහයෙන් අපව ඇදදමා ඇත්තේ කොහිටද, නිවන අවහිරකර දුකට අසහනයට හා අවසානයක් නොපෙනෙන සසරටයි. බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාවතෙන් පිටතටයි. අප හඳුනන සැපයෙන් කර තිබෙන්නේ මෙපමනි.

එසේනම් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය හා එම දහම් මග තිබෙන්නේ කුමකට විරුද්ධවද..? මෝහයට විරුද්ධවයි. ධර්මය දේශනාකොට වදාළේ සත්වයා මුළාවෙන් (මෝහයෙන්) ගලවා ගැනීමටයි. එම නිසා සුළු මොහොතකට හෝ අනිත්‍ය සංඥාව මෙහෙහි කිරීම සියලු කුසල සංඥා අතරින් බලවත්බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ මෝහයෙන් සත්වයා තුළ ඇතිවන මහා විපතත්, ප්‍රඥාවවේ ඇති වැදගත්කමත්ය.

 

 

ස්වාමීන් වහන්සේ නමකගේ දේශනයක් ඇසුරින් මෙම ලිපිය සකස් කොට ඇත.

0 comments:

Post a Comment