Monday, September 6, 2021

නින්දා, අපහාස - රජයේ මුද්‍රණාලය

රජයේ මුද්‍රණාලයීය බෞද්ධ සංගමය - රජයේ මුද්‍රණාලය කොළඹ 08

ධම්මො හවෙ රක්ඛති ධම්මචාරී

මාසික ධර්ම ප්‍රකාශනය - අංක 180

බු. ව. 2555 වූ පොසොන් පුන් පොහෝදා                        

 නින්දා - අපහාස නොවිඳි කෙනෙක් නොමැත

සැදැහැති පින්වතුනි,

බෞද්ධ ශාසන ඉතිහාසයේ ශ්‍රී ලාංකික වූ අපට ම වැදගත් වූ කාරණාවන් හා දිනයන් වේ. ඒ අතර වැදගත්ම දිනය වන්නේ පොසොන් පුරපසළොස්වක පොහෝ දිනයයි. බුදුරජාණන් වහන්සේ විසින් සියලු සත්වයා කෙරෙහි මහා කරුණාවෙන් දේශනා කළ ධර්මය, මිහිඳු මහරහතන් වහන්සේ විසින් මෙරටට දායාද කළේ එදිනයි. එතෙක් මෙරට මිනිසුන් මෙලොව හා පරලොව යහපත පිණිස බලිබිලි පූජාවන් හා අභිචාර විශ්වාස කොටගෙන කටයුතු කළේය. පොසොන් පොහෝ දින අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩමවීමෙන් මෙරට ජාතික, ආගමික හා සාමාජික සියලු දෑ බෞද්ධාගමානුකූලව සකස් විය. විවිධ ආගමික කණ්ඩායම් ඒ වන විටත් මෙරට පැවති නමුත් බුද්ධ ධර්මයේ පවතින අව්‍යාජ බව නිසාම ජනතාවද ඉතා ගෞරවයෙන් ධර්මය වැළඳ ගත්තේය. රාජ්‍ය අනුග්‍රහයෙන් ස්ථිරව ලක්දිව රාජ්‍ය ආගම ලෙස පිහිටියේය. ඒ නිසාම මේ වනතෙක් බුද්ධ ධර්මය මෙරට ජීවමානව පවතී.

 

අද දවසේ පිංවතුන් උදෙසා ධර්ම කාරණාවන් පැහැදිලි කරන්නට මාතෘකා කළේ, බෞද්ධයාගේ අත්පොත වශයෙන් සැලකෙන ධම්මපද නම් ග්‍රන්ථයෙහි කෝධ වග්ගයට අයත් ගාථාවකි.

 

පොරාණමෙත්තං අතුල - නෙතං අජ්ජතනාමිච

නින්දන්ති තුන්හිමාසීනං - නින්දන්ති බහුභාණිනං

මිතභානිනම්පි නින්දන්ති - නත්ථි ලෝකෙ අනින්දිතො                 

                                                                                           (ධම්මපදය, 17,7 ගාථාව)

 

“නින්දා කිරීම හා ප්‍රශංසා කිරීම යන දෙකම ඉතාම පැරණිය. අද පටන්ගත්ත දෙයක් නොවේ.

 කතා කළත්, නොකළත් පමණට කතා කළත් නින්දා කෙරති. මේ ලෝකයේ නින්දා නොලත්

 කිසිවෙක් නැත්තේය.”

 

පින්වතුනි,

ඉහත ගාථා ධර්මය විමසා බලන්නට පෙර මොහොතක් ඔබ ගැන සිතන්න. ඔබේ සිත කම්පා වුණ, දුක් වුණ අවස්ථා කොපමණ නම් තිබේද, ඒවා බොහෝ විට අනුන් විසින් තමන් වෙත හේතු ඇතිව හෝ නැතිව නගන ලද චෝදනා, නින්දා හා අපහාස නිසා හටගත් මානසික තත්වයක් බව පැහැදිලි වෙයි.

 

බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ, ඔබ පමණක් නොව සියලු දෙනා අනුන්ගේ වචනයෙන්, ක්‍රියාවලින් බොහෝ විට විවිධ මානසික පීඩාවන්ට පත්වන බවයි. අප විසින් විවිධ නෑකම් හෝ හිතවත්කම් අනුව ජීවිත කාලයම ආශ්‍රය කරන සියලු දෙනාම විවිධ අදහස්, ගතිපැවතුම් ඇති අයයි. ලොව කිසිවෙක් සමාන අදහස් හෝ ආකල්ප ඇත්තවුන් නොවේ. (නානත්ථ කායා නානත්ථ ඥ්ඥා). එම නිසාම සියලු දෙනාම හෝ එකම අයෙකුවත් සන්තෝස කිරීම කළ හැකි දෙයක් නොවේ.

 

බුදුරජාණන් වහන්සේට ද නින්දා අපහාස විඳින්නට සිදුවීය. උන්වහන්සේගේ ශාසනයේ පැවිදිව සිටි දේවදත්ත, සුනක්ඛත්ත ආදී භික්ෂූන් වහන්සේලා බුදුන් වහන්සේටත්, ධර්මයටත් නොයෙක් දෝෂාරෝපණ කළහ. චිඥ්චාමානවිකාව, මාගන්දියා, සුනක්ඛත්ත ආදීන් ද සාමාන්‍ය මිනිසෙකුට දරාගන්නට අපහසු තරමේ චෝදනාවන් එල්ල කළහ. එයින් පැහැදිලි වන්නේ සකල ක්ලේෂයන් ප්‍රහීන කළ යටත් අපහස කළේ නම්, සාමාන්‍ය පෘථග්ජනයින්ට එසේ වීම අරුමයක් නොවන බවයි.

 

බොහෝවිට අපේ පිංවතුන් ඇඬු කඳුලෙන් කාලය ගෙවන්නේ, තමන් අරමුණු කරගත්ත දරුවන්, ඥාතීන් හෝ පුද්ගලයන් සන්තෝස කරන්නට කටයුතු කරන්නට ගොස් පවතින ඉච්චාභංගත්වයන් නිසයි. බුදුන් වහන්සේ දේශනා කරන්නේ අප විසින් පළමුව ඉවසීම (ක්ෂාන්තිය) පුරුදු කළ යුතුය. “යමෙක් අන්‍යන්ගේ නින්දා අපහාස හා වධ බන්ධන ඉවසන ස්වභාවයෙන් යුක්ත වන්නේ ද, එයම ඔහුගේ ශක්තිමත් බලඇණියයි”. (ධම්මපදය 26-17) යමෙක් ඉවසීම පුරුදු නොකරන්නේ නම් හෙතෙම නිරන්තරයෙන් දුකට, කනගාටුවට පත්වේ.  එමෙන්ම ඉහත කී ලෙස ගෙදර, සේවය කරන තැන හෝ සමාජයේ කිසි තැනෙක පුද්ගලයින් විශේෂ කොට සතුටු කිරීම වෙනුවෙන් හෝ ප්‍රශංසා අපේක්ෂාවෙන් කටයුතු නොකරන්න. දෙමව්පියන්ට, දරුවන්ට හෝ සේවකයින්ට හෝ වෙනයම් කවරෙකුට වුව ද ධර්මානුකූලව පවතින්නට, යුතුකම් කරන්නට පමණක් උත්සහ ගන්න. එවිට තමන් කළ කටයුත්ත මැනවින් කිරීමේ සතුට තමන්ට ඉතිරිවේ.

 

කෙනෙක් නින්දා, අපහාස කළ පමණින් ඒ මත ජීවිත විනාශ කරගැනීම් වැනි අතිශය හිතුවක්කාර තීරණ ගන්නට පවා ඇතැමුන් පෙළඹේ. එහෙත් පින්වත්නි, මොහොතකට සිතන්නට, කාලය බොහෝ දේවලවලට නිවැරදි පිළිතුර දෙයි. බුදුන් වහන්සේත් දේශනා කර ඇත්තේ,

 

න චාහු න ච භවිස්සති - න චේතරහි විජ්ජති

ඒකන්තං නින්දිතො පොසො - එකන්තං වා පසංසිනෝ

                                                                        (ධම්මපදය, 17-8)

 

“ලෝකයේ සදාකාලිකව නින්දාවටම හෝ ප්‍රප්‍රශංසාවටම පත්වූවෙක් පෙරත්, මතුත්,

 අදත් නොමැති බවයි. අපි බොහෝ වෙලාවට අතිශය කම්පාවට පත්වන්නේ ඒවා සීමාන්තික

 ලෙස අන්තවාදීව ගන්නා නිසාය”.

 

තමන්ට අන්‍යන්ගේ නින්දා කිරීම ඉවසිය නොහැකි බව වටහාගැන්ම අපහසු නොවේ. ඒ අනුව අන්‍යන්ට චෝදනා, නින්දා අපහාස කරන්නට පෙර දෙතුන්වරක් එය කොයිතරම් නම් අනුන්ගේ සිත් රිදවන්නේද යන්න ගැන සිතා බැලිය යුතුය. අම්බලට්ථිකා රාහුලෝවාද සුත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කළේ “අනුන්ටත්, තමන්ටත් යන දෙපිරිසටම දුකක්, කඳුලක් නොවන දෙයක් කළ යුතු බවයි”. තවද කෙලෙස් ප්‍රහීණ නොකළ කිසිවෙකුත් සර්ව සම්පූර්ණ නොවේ. විවිධ තරමේ වැරදි විය හැකිය. එම නිසා අනුන්ගේ වරදේදී අනුකම්පාව හා එයින් මුදවා ගැනීම අරමුණු කරගෙන කටයුතු කළ යුතුය. එවිට එකිනෙකාගේ සුහද බව, මානසික තෘප්තිමත් භාවය වැඩිදියුණු වේ.

 

සංසාරික දුක්ඛ, අනෙක දුක්ඛ දෝමනස්සයන් විඳින අපට සංසාරික දුකින් එතෙර වන්නට කටයුතු කිරීමම ප්‍රයෝජනවත්ය. ඇතැම් විටෙක අපගේ ගර්හාවට පත්වන පුද්ගලයාට වන හානිය තමන්ගේම මතු දවසක පසුතවීමටද හේතු වන්නේය. එමෙන්ම තමන්ද පව් රැස්කරයි. අද පොසොන් පුරපසළොස්වක පොහෝ දින මෙන්ම ගෙවන හැම මොහොතකම කය-වචනය දෙකේ සංවරය නම් වූ සීලයෙන් කටයුතු කිරීම මගින් තමන් වෙත එන නින්දාවන් මෙන්ම අන්‍යන්ට කෙරෙන නින්දාවන්ද වළක්වාගෙන යහපත් ජීවිතයක් ගතකරන්නට ශක්තිය මෙන්ම ධෛර්යද ලැබේ.

 

 

 

සැමට තෙරුවන් සරණයි !

 

 

මෙම දහම් පත්‍රිකාව සම්පාදනය කළේ සහාය කථිකාචාර්ය,

ශාස්ත්‍රපති, පුජ්‍ය කුඩාකත්නෝරුවේ විනීත හිමි වේ.

 

 

ශ්‍රී ලංකා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මුද්‍රණය කරන ලදී.


0 comments:

Post a Comment