Monday, September 6, 2021

සුනාපරන්තයට බුදුන් වැඩම කිරීම

 තම වැඩිමල් සොයුරා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සමීපයේ පැවිදි වීම නිසාවෙන්, බාල සොහොයුරා තම සුනාපරන්ත ගම්වාසී පිරිසකුත් සමග ව්‍යාපාරයක් සඳහා යන මුහුදු ගමනකට එක් විය. අතරමගදී හමුවූ දුපතකට සේන්දු වී සියල්ලෝම විඩාව නිවා ගත්හ. එහිදී ඉතා වටිනා රත් සඳුන් කැලයක් දැකගැනීමට මේ පිරිසට හැකිවිය. අයිතිකාරිත්වයක් නොමැති මේ රත් සඳුන් ගෙන ගොස් වෙළඳාම් කරමුයි කියා පිරිස බොහෝ ප්‍රමාණයක් කපා නැව් වලට පටවා ගත්හ. පටවා නැව් නැග යන අතරමග, සඳුන් කැලයට අදිගෘහිතව සිටි අමනුෂ්‍ය සමූහයා මේත් සමග කෝපව නැව් මුහුදුබත් කිරීමට සයුර කළඹාලූහ. එහිදී අර තරුණයා තම පැවිදි වැඩිමල් සොහොයුරාව සිහි කර සරණක් පතමින් සිටියේය. මේ කාලයේ සුනාපරන්ත පුණ්ණ තෙරණුවෝ මහරහත් භාවය සාක්ෂාත් කර භික්ෂු සඟයා සමග වැඩ සිටි සමය විය. තම බාල සොයුරාගේ සිහි කිරීම මේ සෘදී ඇති පුණ්ණ මහරහතන් වහන්සේට දැනී මුහුදුබත් වෙන්නට යන නැව් ඉදිරියේ අහස් ගැබේ වැඩ සිටිමින් ඒ අමනුෂ්‍ය උවදුර අරිහත් ශක්තියෙන් දුරු කළහ.

මේ මහත් තේජස්භාවය දැකගත් විපතට පත් පිරිස උන්වහන්සේට සඳුන් වලින්ම කුටියක් සදා පූජා කිරීමට දෙන ලෙස අවසර ඉල්ලා සිටියහ. එහිදී උන්වහන්සේ එය භාග්‍යවත් බුදුරජාණන් වහන්සේටම පූජා කරමු යැයි කියා සියලු දෙනාට මහත් වූ පූජාවක් කරලීමට ඉඩ සලසාලීය. එසේ ඉදිවූ කුටියේ සියලු වැඩ නිමා වූ පසු උන්වන්සේ සුනාපරන්තයේ සිට බුදුහිමියන් සමීපයට සෘදියෙන්ම වැඩම කර බුදුරජාණන් වහන්සේට ඒ පූජාව පිළිගැනීමට ආරාධනා කළ සිටියේය.

ඒ ආරාධනාව භාර ගත් බුදුරජාණන් වහන්සේ හාරසීය අනූනවයක් වූ මහරහතන් වහන්සේලාද සමග සුනාපරන්තයට වඩිනා අතර මග සච්චබද්ද පර්වතයටද වැඩම කර එහි මිත්‍යාමතයක් පතුරුවාලමින් සිටි සච්චබද්ද තව්සාටද කෙටි දහම් දේශනාවක් කර ඔහුව අරිහත් මාර්ගයේ පිහිටවූ සේක. දැන් මේ පන්සීයක් සපිරුණු සියලු මහරහත් පිරිසත් සමගින් සුනාපරන්තයට වැඩම කර, එදා නැවේ විපතට පත්ව සිට පුණ්ණ හිමියන් සරණ ගිය පිරිසට අනුකම්පාවෙන් චන්දන සාලා (චන්දන සාලාව), මණ්ඩල සාලා ආදී නමින් හැඳින්වූ ඒ සඳුන් කුටිය පිළිගත් සේක. ඒ අයුරින් බුදුරජාණන් වහන්සේගේ ලෝ සත නිවනා අමා දහම් ගඟ සුනාපරන්ත වාසී සමූහයා අතරට ගලා ගියහ.

0 comments:

Post a Comment