Monday, September 6, 2021

ද්වේශය

 ද්වේශය යනු සිත අකැමති දෙය මත විරුද්ධ විම හා ගැටීමේ ස්වභාවයයි. චිත්ත සන්තානය දවන, තවන හා සතුට අහිමිකරන ස්වභාවය ද්වේශයයි. සිතේ සහනය නැතිකරන හා කරවන බලවත් අකුසලයකි.

දුක, කණගාටුව, පාළුව, බය, රෞද්‍ර බව, පිළිකුල හා අප්‍රසන්න බව තුළද සිතෙහි සහනය නැති කරදමයි. එසේනම් මේ සියල්ල තුළ ද්වේශය සියුම්ව ක්‍රියාත්මකවේ. එලෙසම මේ සිතුවිලි අප එදිනෙදා ජීවිතයේදී නිතරම ඇතිවන බැවින් අප සිටිනුයේ ද ද්වේශයේ ඇසුර ලබමිනි. සිත දැවි, දුක්වෙවීය. සිත නිතරම අධර්මයේ හැසිරෙමින්ය.

ස්වාමීන් වහන්සේනමක් ආරණ්‍යයක හෝ කුටියක හෝ වැඩ සිටියදී බයක් තැති ගැන්මකට පත්වුවහොත් එම සිතින් වාසයකර නොයිඳ බුදුගුණ, දම්ගුණ, සඟගුණ සිහි කරන ලෙසද, සජ්ජායනා කරන ලෙසද නැතිනම් එම ස්ථානයෙන් බැහැරවන ලෙසද බුදුරජාණන් වහන්සේ වදාළේ බිය හා තැතිගැන්ම තුලින් ද්වේශ සිතක් සකස්වී එයින් සමාධිය වලකා නිවණ අහුරන බැවිණි. යම් විලසකට බියකින් හෝ තැතිගැන්මකින් ඒ මොහොතේ මරණයට පත්වුවහොත් පසුව උපත ලබන බවය නියත වශයෙන්ම සතර අපාය වන නිසාය.

ද්වේශය අධික මොහොතක කරන කියන දෙය පවා පාලනයෙන් තොරව පවති. එක් සිද්දියක් මෙසේයි. පියා තම මවට මන්නයෙන් පහර දෙන මොහොතේ සිත තුළ ඇති වූ ආවේගයට දරුවා එම මන්නයම උදුරා පියාව ඝාතනය කර ඇත. ඝාතන මොහොතේ දරුවාගේ සිත් තුළ ක්‍රියාත්මක වුයේ කුමක්ද, ඔහුට තම පියා බව ඒ මොහොතේ යටපත් කෙරුවේ කුමකින්ද? ද්වේශයෙනි. තම පාලනය බිඳ දැමුවේ ද්වේශයයි. පංචානන්තරිය පාප කර්මයට පාර කැපුවේ ද්වේශයයි. ඒ පියාගේ ආවේගයට පාර කැපුවේ ද්වේශයයි. දරුවාගේ ඊළඟ බවය නිතැතින්ම නිරයයි. ඒ වගේම තම දරුවන් මැරීම්, ඉඩම් ආරවුල් මත සහෝදර ගැටුම්, පෙම් විරසක නිසා සියදිවි නසා ගැනීම්, අනියම් සම්බඳතා මත පලිගැනීම්.... යනාදි නානාවිද මාදිලියේ පුවත් අපහට අසන්නට ලැබේ. ඒ ද්වේශය ක්‍රියාත්මක වූ මොහොතයි. ද්වේශය තුලින් සත්වයා දුකින් දුකටම පත් කරවයි.

ජීවිතයේ සියල්ල සිදු කරනුයේ කුමක් සඳහාද? ඉගෙනීම්, රථවාහන, ධනය, විවාහ, දුවාදරුවන්.. සියල්ල සතුට, සැනසීම, නිදහස උදෙසායි. නමුත් මේ සියල්ල නැති කරන්නේ භාහිර පුද්ගලයෙකු නොව ඔබගේ සිතේ ඇතිවන ද්වේශයයි. ද්වේශය ඇති සෑම මොහොතකම ප්‍රීතියක්, සිනහවක් මුහුණේ දැකිය නොහැකිය. තමාත් තමා සමග වාසය කරන අනෙකාත් විනාසකර දමයි. එයයි ද්වේශයේ ස්වභාවය.

 

ස්වාමීන් වහන්සේ නමකගේ දේශනයක් ඇසුරින් මෙම ලිපිය සකස් කොට ඇත.

 

0 comments:

Post a Comment