පරම්පරා දායාදයක් සේ අපට ලැබී ඇති බුදු දහම, අප සලකන්නේ ආගමක්
ලෙසයි. ලොවේ ඇති ආගම් අතර තවත් එකක් ලෙසයි. දෙමාපියන්, වැඩිහිටියන්, පාසලේ පවා
උගන්වන්නේ ඒ ආකාරයටයි. ඒ අනුව යමින් අප උප්පැන්න සහතිකයේ, ජාතික හැඳුනුම් පතේ වැනි
තැන්වල ආගම යන හිඩැසට ඉදිරියෙන් බෞද්ධ ලෙස යොදයි. නමුත් අප සියලු දෙනාම බුදු දහම
වනාහි ලෝක ස්වභාවය, ලෝක යතාර්ථය මිස අන් දෙයක් නොවන වග මොහොතකඳු සිතුවාද...?
බුදුරජාණන් වහන්සේ පරිපූරණයෙන්ම ලොවේ ඇති සැටි ඇති විදිහටම අවබෝධ කොට ගෙන, අපට පරම
අනුකම්පාවෙන් වදාළ දහම, එකම සත්‍ය, ඒකායන ඇත්ත බව තේරම් ගත්තාද...? සිතන්නට හෝ
තේරුම් ගන්නට වෙර දැරුවාද..?. නැත. සමාජ පිළිවෙතට යමින් පන්සල් යෑම, වැඳුම් පිදුම්
කිරීම, බණ ඇසීම කළා මිසක බුද්ධිය, ප්‍රඥාව, සිහිණුවන මෙහෙයවා බුදු දහම නම්
කිමැයි.. බුදුරජාණන් වහන්සේ දේශනා කල දහම තවත් එක් ආගමක් දැයි කියා විමසුම් ඇස
යොමු කළේද?. නැත.
නමුත් ආසියාවේ අති බහුතරය ලෙස ආගම හුදු ඇදහිල්ලක් නොකරගත් බටහිර
ඇතුළු සමහර විද්වත් සමාජයන් බුදු දහමේ ඇති සර්වකාලීන බව, සත්‍යට එහි ඇති ඉඩකට
පිලිබඳ හොඳ හැටි තේරුම් ගත්හ. එසේ තේරුම් ගෙන තම රට, පවුල, ධනය යන සියල්ල හැරදා
බුදු දහම වෙත, කසාවත වෙත පැමිණියහ. එසේ පැමිණියවුන් අතර අජාන් බ්‍රක්මවන්සෝ හා
අජාන් සුමේධ හිමි බොහෝ ප්‍රසිද්ධ වූවන්ය. මේ භික්ෂූන් දෙනම අතරින් බ්‍රක්මවන්සෝ
හිමි ලන්ඩනයේ හැදී වැඩී සිට බුදු දහමේ හරය වටහා ගෙන, වෙනත් ආගම් තුල නොදකින තම අභ්‍යන්තර
ශාන්තිය ළඟා කර ගැනීමට, ලෝක සත්‍යට බුදු දහම දක්වන ඇල්ම කෙරේ බැඳුණි. ඒ නිසා ඔහු
බුදු දහමේ ශක්තිය ලොවට බෙදා දීමේ තවත් මහා මෙහෙයක් තම දිවි පැවැත්ම තුලින්ම ඔප්පු
කොට පෙන්වා ලූ මහා යතිවරයෙකු වූ අචාන්
චා හිමියන් ළඟ මහන විය. උන්වහන්සේගෙන් ඉගෙනගත් බුදු දහමේ හරය ලොව පුරා තම හැකි
පමණින් නිර්ව්‍යාජ ව, අජාන් බ්‍රක්මවන්සෝ හිමියන් ඉටු කළහ. ඒ කළ සත්‍යවාදී දේශනා... තම
අවබෝධයෙන්, ලොවේ තමාට හමු වූ ගැටලු වලින් හෙම්බත් වූ පුද්ගලයන්ට හට ලබා දුන්
දාර්ශනික වූත්, සත්‍යවාදී සටහන් රැගත් පොත කොටස් වශයෙන් මෙලෙස ඔබ වෙත දිග හැරේ...
මේ එහි පළමු කොටසයි.
1 - අක්‍රමවත් බිත්තියක්
1983 දී, අපේ ආශ්‍රමය තැනීම සඳහා ඉඩමක් මිලට ගත්
පසු, අප සිටියේ බංකොලොත් තත්ත්වයකය. අපි ණය බරින් ද මිරිකී සිටියෙමු. ඒ ඉඩමෙහි
මඩුවක් වත් නොවිය. මුල් සති කීපය අප නිදා ගත්තේ ඇඳන්වල නොව, අඩු මුදලට මිලට ගත
පැරණි දොරවල් මතය. පොළොවෙන් මදක් ඔසවා
තැබීම සඳහා අප ඒ දොරවල් ගඩොල් මත තැබුවෙමු. අපට මෙට්ට නොතිබුණු බව කිවයුතු නොවේ.
අපි ආරණ්‍ය වාසී භික්ෂූහු වීමු.
වඩාත් සුවපහසු දොර, නායක හිමියන්ට පිලිගැන්වීමු. මට
ලැබුණු දොරෙහි එක් තැනක, තරමක සිදුරක් විය. ඒ දොර අගුල සවි කර තිබුණු සිදුරය.
එවැනි සිදුරක් තිබුණු නිසා, රෑ කාලයේ වැසිකිළි යාම සඳහා ඇඳෙන් නැගිටීමට මට සිදු
නොවනු ඇතැයි විහිළු කලෙමි. අමිහිරි සත්‍ය වූයේ, ඒ සිදුර තුලින් සීතල සුළඟ හමා ආ
බැවින් මගේ නින්දට බාධා සිදු වීමය.
අප දිළිඳු භික්ෂූන් පිරිසක් වූ අතර, ජීවත් වීම සඳහා
කිසි යම් නිවහනක් අවශ්‍යව තිබිණි. ගොඩනැගිලි ද්‍රව්‍ය මිල අධික වූ අතර ගොඩනැගිලි
කොන්ත්‍රාත්කරුවෙකු යෙදවීමට තරම් වත්කමක් අපට නො තිබිණි. අත්තිවාරම් දැමීම, බිත්ති
බැඳීම, කොන්ක්‍රීට් දැමීම, වහල සෑදීම ආදී කාර්යන් ඉගෙනීමට මට සිදු විය. භෞතික විද්‍යාඥයෙකු වූ
මම, ගිහි ජීවිතයේ දී උසස් පාසලක ගුරුවරයෙකු වශයෙන් කටයුතු කලෙමි. එබැවින් කය
වෙහෙසා වැඩ කිරීමේ පළපුරුද්දක් මට නො තිබිණි. කල් යාමේදී ගොඩනැගිලි පිලිබඳ ඉතා
දක්ෂයෙක් වීමි. මගේ පිරිස මගේ පිරිස මා හැඳින්වීමට යොදා ගත්තේ BBC (Buddhist Building Company) යන නමය. එහෙත් ඒ කටයුතු ඉතා දුෂ්කර බව වැටහිණි.
බිත්තියක් තැනීම සඳහා ගඩොලක් තැන්පත් කිරීම පහසු යයි
පෙනෙනු ඇත. බදාම තට්ටුවක් මත ගඩොල් තබා, මට්ටම් ලෑල්ලටත් ලඹයටත් ගැලපෙන සේ මදක්
තට්ටු කළ යුතුය. මා එක් කෙළවරකට තට්ටු කළ විට අනෙක් කෙලවර උසට එසවේ. ඒ කෙලවරට
තට්ටු කළ විට මේ කෙළවර ඇද වේ.
භික්ෂුවක් වශයෙන් ඉවසීමත්, අවශ්‍ය තරම් කාලයත් මට
තිබුණු බැවින් හැම ගඩොලක්ම ඉතා නිවැරදි ලෙස තැබීම ගැන සුපරික්ෂාකාරී වීමි.
අන්තිමේදී බිත්තිය බැඳ නිම කළ මම තරමක් ඈතට වී ඒ දෙස ආශාවෙන් බලා සිටියෙමි. මා
ගඩොල් දෙකක් ඇදේට තබා ඇති බව මට පෙනුණේ එවිටය. ඒ නිසා මුළු බිත්තියම නාස්ති වී
ඇතැයි පසුතැවිලි වීමි.
ඒ වන විට සිමෙන්ති බදාම හොඳින් වේලි තිබුණු බැවින් ඒ
ගඩොල් දෙක ඉවත් කළ නොහැකි විය. සම්පුර්ණ බිත්තිය ම කඩා දමා නැවත බැඳීමට සිතුනත්,
නායක හිමියන්ගෙන් ඊට අනුමැතිය නො ලැබිණ. මගේ අතින් සිදු වූ වරද ගැන බෙහෙවින්
වික්ෂිප්ත වීමි.
යන්තම් ඉදිවෙමින් පැවති අපේ ආශ්‍රමයේ විස්තර
අමුත්තන්ට පෙන්වන විට, මගේ දෝෂ සහිත බිත්තිය මග හැර යෑමට මම හැම විටම තැත් කලෙමි.
ඊට තෙමසකට පමණ පසු දිනක අමුත්තකු සමග මා ආශ්‍රම භූමියේ ගමන් කරන විට, ඔහු බිත්තිය
දුටුවේය.
“අර බිත්තිය හරි ලස්සනයි..!” ඔහු පැවසීය.
“සර්, ඔබතුමාගේ කණ්ණාඩිය කාර් එක ඇතුළ තියල ද ආවෙ..?
නැත්තම් ඇස් පේන්නෙ නැද්ද..?” මම ඇසීමි.
ඔහු ඊළඟට පැවසූ අදහස, ඒ බිත්තිය ගැන මගේ නිගමනය
පමණක් නොව, ජීවිතයේ බොහෝ අවස්ථා පිළිබඳ දර්ශනය ද වෙනස් කිරීමට හේතු විය.
“ඔව්. ඒ ගඩොල් දෙක මට පේනවා. එසේම හොඳට බැඳ තිබෙන
ගඩොල් 998ක් මට පේනවා.
මම මවිතයට පත් වීමි. තෙමසක් තුළ මුල් වරට, දෝෂ සහිත ගඩොල් දෙකට අමතරව අනෙක්
ගඩොල් ද මට පෙනිණි. ඊට පෙර මගේ දෙනෙත් සම්පූර්ණයෙන්ම යොමු වූයේ, දෝෂ සහිත ගඩොල්
දෙක කෙරෙහි පමණක්ය. අවුරුදු විස්සකට පසුව අදත් ඒ බිත්තිය එසේම තිබේ. ඒ ගඩොල් දෙක
තිබූ තැනවත් දැන් මට මතක නැත.
සිය සහකරුගේ සුළු වැරදි පමණක් දකින නිසා, කොපමණ
සබඳතා බිඳ වැටි ඇද්ද..? දික්කසාද කොපමණ සිදු වී ඇද්ද..? අපේම වැරදි පමණක් දකින
නිසා ජීවිතය ගැන කලකිරීමට පත්වන, දිවි නසා ගැනීමට පවා සිතන අය කොපමණ සිටිත් ද..? ඒ
සුළු වැරදි අවට යහපත් ගුණාංග කොපමණ ඇතත්, අපේ අවධානය මුළුමනින්ම යොමු වන්නේ, ඒ සුළු
වැරදි වෙත පමණි. ඇතැම් විට ඉතා ‘ලස්සන බිත්තියක්’ වුවද
කඩා බිඳ දැමීම, කනගාටුවට කරුණකි.
වැරදිවලට වඩා විශාල ප්‍රමාණයක් යහපත් ගුණාංග අප කා
ලඟත් තිබේ. ඒ බව තේරුම් ගත විට අප සමග ම සැනසීමෙන් කල් ගත කිරීමට අපට හැකි වන අතර, අපේ සහකරුවන් සමග ද සතුටින්
ජීවත් විය හැකිය. මෙය දික්කසාද නඩුවලට පෙනී සිටිනා නීතිඥයින්ට අසුබ ආරංචියක් වුවත්, ඔබට සුබ ආරංචියකි.
මේ විස්තරය, මා මීට පෙර කීප වතාවක් පවසා තිබේ. එබඳු
එක් අවස්ථාවක, ගොඩනැගිලි කොන්ත්‍රාත්කරුවෙකු මා
හමුවීමට පැමිණ වෘත්තීය රහසක් පැවසීය.
“ස්වාමීනි, අපි ගෙවල් සාදන කොට නිතරම වැරදි සිදු වෙනවා. නමුත් එය අසල කිසිම නිවසක
නැති අලුත්ම අංගයක් කියල අපි කියනවා. ඒ විතරක් නෙවෙයි, ඒ
සඳහා අමතර මුදලකුත් අය කරනවා.”
ඔබේ නිවසෙහි ඇති ‘සුවිශේෂී අංග ලක්ෂණ සමහර විට යම්
වරකද ප්‍රතිඵලයක් විය හැකියි. එසේම ඔබෙත්, ඔබේ සහකරුගේත් සාමාන්‍ය ජීවිතයේ වැරදි
වශයෙන් ඔබට පෙනෙන දේ, පසුව සුවිශේෂී ලක්ෂණ බවට පත් වනු ඇත.