පන්තියේ අන්තිමයා වීම වැනි අප්‍රසන්න අවස්ථාවලට
මුහුණ පෑමට අප හැම දෙනාට ම සිදු වේ. සතුටින් පසු වන පුද්ගලයාත් දොම්නසට පත්වන
පුද්ගලයාත් අතර එක ම වෙනස, ඔවුන් ආපදාවලට ප්‍රතිචාර දක්වන ආකාරයයි.
ඔබ මිතුරකු සමග මුහුදු වෙරළේ ප්‍රීතිමත් සවස් කාලයක්
ගත කරමින් සිටින බව සිතන්න. ඔබ ආපසු නිවසට පැමිණි විට ඔබේ දොරටුව ඉදිරිපිට විශාල
ගොම ගොඩක් දක්නට ලැබේ. ඒ පිළිබඳව ඔබට වැදගත් වන කරුණු තුනක් තිබේ.
01.ගොම ගොඩක් ගෙනෙන ලෙස ඔබ ඇණවුම් කලේ නැත. එය ඔබේ
වරදක් නොවේ.
02.එය ඉවත් කිරීම ඉතා දුෂ්කර ය. ඒ ගොම ගොඩ එහි ගෙනැවිත්
දමන කිසිවෙකු දැක නැති බැවින් එය ආපසු රැගෙන යන ලෙස කිසිවෙකුට අණ කළ නොහැකි ය.
03.එය අපවිත්‍ර ය. එහි දුගඳ දරා ගත නොහැකි ය.
මේ නිදසුනෙහි, ඔබේ නිවස ඉදිරිපිට ඇති ගොම ගොඩ යනු ජීවිතය තුළ අප මත පටවනු ලබන ඉතා
අප්‍රසන්න අත්දැකීම් ය.
ගොම ගොඩ පිළිබඳව මෙන්, ජීවිතයේ ඛේදවාචක පිලිබදව ද වැදගත් කරුණු තුනක් තිබේ.
01.ඒ දුක් කරදර ඇණවුම් කළේ අප නොවේ. එය අපේ වරදක් නොවේ.
02.
අපට ඒවා ඉවත්කර ගත නො හැකි ය. අපට ඉතා ආදරය කරන අයට පවා ඒවා ඉවත් කළ නො හැකිය.
03.
ඒවා ඉතා අප්‍රසන්නය, අපේ සතුට විනාශ කර දමයි. එහි වේදනාව අපේ මුළු ජීවිතය පුරා පවතී. එය
දරා ගත නො හැකිය.
ගොම ගොඩක් ඉවත් කිරීම පිළිබඳව ප්‍රතිචාර දැක්විය
හැකි ක්‍රම දෙකක් තිබේ. ඉන් පළමුවැන්න, ඉන් අප යන යන තැන ගොම ගොඩ රැගෙන යාම ය. සාක්කුවල, ගමන් මලුවල ගොම පුරවා ගෙන යන විට අපට බොහෝ මිතුරන් අහිමි වේ. හොඳම
මිතුරන් ද අපෙන් දුරස් වනු නියත ය.
‘ගොම ගොඩ රැගෙන යාම’ යන නිදසුනෙන් අදහස් වන්නේ දොම්නස, උදාසීන බව
හෝ කෝපය යන අප්‍රසන්න හැඟීම් ඒක රාශී වීම ය. ඒවා අසීරු අවස්ථාවන්ට දක්වන ස්වාභාවික
ප්‍රතිචාර ය. එහෙත්, අප එබඳු අප්‍රසන්න තත්වයකට පත් වූ
විට අප ඇසුරු කිරීමට අපේ මිතුරන් කැමති නැත. එය ද ස්වාභාවික ප්‍රතිචාරයකි. එපමණක්
නොව ගොම ගොඩ කුඩා නො වන අතර දුගඳ ද තවත් උග්‍ර වේ.
වාසනාවකට මෙන් දෙවැනි ක්‍රමයක් ද තිබේ. අපේ දොරකඩ
ඉදිරිපිට ගොම ගොඩ ගසා ඇති විට, සුසුමක් හෙලන අපි වැඩ ආරම්භ කරන්නෙමු. අත් කරත්තය,
මුල්ලුව සහ ඉස්කෝප්පය යොදා ගෙන ගොම කොටස් අත් කරත්තයට පටවා ගන්නා අපි ඒවා පසුපස ගෙවත්තට රැගෙන ගොස් එහි තැන තැන වළ දමන්නෙමු.
එය ඉතා වෙහෙසකර වුවත්, අපට වෙනත් විකල්පයක් නැත.
ඇතැම් විට, දිනකට අපට ඉවත් කළ හැකි වන්නේ සුළු
කොටසක් වුවත්, මැසිවිලි නගනු වෙනුවට ගැටළුව විසඳීමට අප අතින් යම් කොටසක් ඉටු වේ.
දිනෙන් දින ගොම ගොඩ කුඩා වනු ඇත. කොපමණ කලක් ගත වුවත් අපේ දොරකඩ ඉදිරිපිට ඇති
සම්පූර්ණ ගොම ගොඩ ම එතැනින් ඉවත් වුනු දිනක් උදා වනු ඇත. එපමණක් නොව අපේ ගෙවත්තෙහි
ඒ කොටසෙහි ප්‍රාතිහාර්යයක් සිදු වී තිබේ. ගෙවත්ත පුරා විවිධ වර්ණයෙන් යුත් මල්
විකසිත වී තිබේ. එහි සුවඳ, වීදිය දිගේ විහිදී යැයි. ගෙවත්තේ කොනක පිහිටි පලතුරු ගස අතු කඩා වැටෙන
තරමට පලබර වී තිබේ. එමෙන්ම අන් කිසි දිනක නො දැනුණු තරම් ප්‍රනීත රසයකින් ඒවා පිරී
පවතී. අසල්වැසියන් සමග ද පාරේ යන ඇය සමග ද බෙදා හදා ගැනීමට තරම් සරු පලතුරු
අස්වැන්නක් දැන් අපට තිබේ.
දුක් කරදර, අපේ ජීවිතයට ලැබෙන පොහොර වැනිය. ඒ පොහොර
නිසි පරිදි භාවිත කිරීම අප ම කර ගත යුතු ය. අන් කිසිවකුට උදව් කළ නොහැකි ය. අපේ
හදවත නමැති ගෙවත්තට දිනපතා පොහොර යෙදීමෙන් වේදනාව නැමති ‘ගොම ගොඩ’ අඩු වේ.
ඒ සඳහා කොපමණ කලක් ගත වුවත්, පේ ජීවිතය තුළත්, හදවත තුළත්, තවදුරටත් වේදනාව නැති දිනක් උදා වනු ඇත. ප්‍රාතිහාර්යයක් සිදු වී
තිබේ. හැම තැන ම කරුණාව නැමති මල් විකසිත වෙමින් තිබේ. එහි සුවඳ, වීදිය පුරා විහිදී යයි. අසල්වැසියන්ට පමණක් නොව නෑදෑයින්ට ද, මහ මග යන එන අයටද ඒ සුවඳ දැනේ. අපේ බුද්ධිය නමැති පලතුරු ගස, ජීවිතයේ
ස්වභාවය පිළිබඳ අවබෝධය නමැති ප්‍රණීත පලතුරුවලින් බාර වී තිබේ. අපි ඒවා හැම දෙනා
සමග බෙදා හදා ගන්නෙමු.
දුක් වේදනා හඳුනා ගෙන ඉන් පාඩමක් ඉගෙන, අපේ හදවත නමැති
ගෙවත්ත වගා කළ විට, උග්‍ර වේදනා විඳින තවත් කෙනෙකුගේ කර වටා අත් යවා, අපේ කනගාටුව පැවසිය හැකි ය. ඒ දයානුකම්පාවේ ආරම්භයයි.
භාවනාවට දක්ෂ, සන්සුන්, ශාන්ත භික්ෂූන් බොහෝ දෙනකු ගැන
මම දනිමි. එහෙත් දක්ෂ ගුරුවරුන් බවට පත්ව සිටින්නේ, බොහෝ
දුක් කරදරවලට මුහුණ පා ඇති භික්ෂූන් ය. සියලු ම ගුරුවරුන් අතර ශ්‍රේෂ්ඨතම වූ, මගේ ම ගුරුවරයා වූ, අචාන් චා හිමියන්, ජීවිතයේ මුල් කාලයේ අනේක විධ දුක් කරදර විඳින්නට ඇතැයි සිතේ.
මේ කතන්දරයෙන් උගත
හැකි පාඩමක් තිබේ. සමාජයට සේවයක් කිරීමට ඔබට අවශ්‍ය නම්, කරුණාව නමැති මාවත
අනුගමනය කිරීමට ඔබ කැමති නම්, ඔබට ඛේදවාචකයක් සිදු වන ඊළඟ
අවස්ථාවේ දී එය. ‘මගේ හදවත නමැති ගෙවත්තට තවත් පොහොර තොගයක්’ යනුවෙන් මෙනෙහි කරන්න.