භාවනාව හැඳින්වීම

භාවනාව හරියාකාරව මුලසිට ඉගෙනගනිමු.

ශ්‍රද්ධාව

තුනුරුවණ කෙරේ ශ්‍රද්ධාවන්තයින් වී උතුම් නිර්වාණ මාර්ගය විවර කරගමු.

Thursday, March 18, 2021

6 - මාරයාගේ පළඳනාව

  මහ රහතුන් වැඩි මග ඔස්සේ - අතහැරීම පොත 1

        තෙත් කලාපීය පරිසරයක වැසි දිනවල කූඩැල්ලන්ගෙන් ගහන ආරණ්‍යයක පිණ්ඩපාත ශාලාවට දානය සඳහා වැඩීමට කිලෝමීටර දෙකක් පමණ දුරක් තිබිණි.

යා යුත්තේ ගල් බොරළු, කඳු බෑවුම් සහිත කුණකටුවා, තෙල් කරවලා වැනි සර්පයින් ගැවසෙන මගකි. පාවහන් නොපළඳින භික්ෂුවකගෙන් පාවහන් පළඳින භික්ෂුවක් මෙසේ විමසීය.

ඔබ වහන්සේ පාවහන් නොදා වඩිනකොට කකුල් තුවාල වෙන්නේ, ගල් ඇනෙන්නේ නැතිද? කියල.”

ඇත්තෙන්ම නැහැ

උන්වහන්සේ පිළිතුරු දුන්හ.

ඒ කොහොමද ? ” පාවහන් පළඳින භික්ෂුව පෙරළා විමසීය.

“මම මෛත්‍රී කරනවා. මුලින්ම දස දිසාවටම. ඊට පස්සේ මේ කැලයේ ගස්, ගල්, මුල්, කටු මේ හැම දෙයටම මෛත්‍රී කරනවා. මේ පාරේ හමුවන සෑම ගලක්ම, මුලක්ම, කටුවක්ම, අත්තක්ම සුවපත් වේවා කියල, සුවසේ වැඩේවා කියල. ඒ හැමදෙයටම මා ගරු කරනවා. එවිට ඔබට දැනෙයි සමහර ගල්, මුල්, කටු කකුලේ වැදී වේදනා නොදී ඉවතට යනවායැයි ඒ පාවහන් නොපළඳින හික්ෂුන් වහන්සේ ප්‍රතිඋත්තර දුන්හ.  සැබවින්ම මෙය ආශ්චර්යක් නොවේ. ගල්, මුල්, කටු වලට ඔබ මෛත්‍රී කරන නිසා ඒවා මතට ඔබ කකුල තබන්නේද හොඳ පරිස්සමෙන්. ඒවාට හානියක් වේද කියන අදහසින්. මේ නිසා ඔබේ සිහිය හොඳින් වැඩෙනවා. පාද දෙකත් හොඳින් පරිස්සම් වෙනවා. මේ දුෂ්කර මග පාවහන් නොමැතිව වඩිනා විටදීත්.....

මෙවැනි දුෂ්කර භික්ෂු චර්යාවන් නිවන් මගට සේම ඔබගේ ප්‍රතිපදාව ශක්තිමත් වීමට ප්‍රයෝජනවත් වෙනවා. ඔබ මෙහිදී උපක්‍රමශීලී විය යුතුයි. එසේ නොවුනහොත් මාරයා ඔබේ දෙපාවලට මිරිවැඩි සඟලක් පැළඳනවාමයි. එවිට ඔබ මගෙන් අසාවි මිරිවැඩි සඟලක් පැළඳීම භික්ෂුවකට කැපයි නේද කියල.

ඔව්. සත්තකින්ම කැපයි. මිරිවැඩි සඟලක් පැළඳීම භික්ෂුවකට කැප බවට විනයෙන් අවසර ලැබුණු දිනයේ පටන් භික්ෂුන්ගේ සඟල් පාවිච්චිය වැඩිවිය. එහෙත් අරිහත් උතුමන් අඩුවිය.

මන්ද, ගලක් කුලක් කටුවක ඇනෙන විට, මඩ ගොඩක්, කසල ගොඩක්, රොඩු ගොඩක් පෑගෙනකොට යටි පතුලට දැනෙන එහි ස්වභාවය, සෙරෙප්පු දමන ඔබට නොදැනෙන නිසාය. සිනිදු යටිපතුළ සේරප්පුවේ පහස ලබද්දී, ඔබ විඳින්නේ සැප තෘෂ්ණාවත්, (දෙපා ආරක්ෂාකාරී නිසා) ගමනේ වේගයත් පමණි. වේගය තුළ ඇත්තේද තණ්හාවයි. ඔබ වේගවත් වන්නේද, වඩා ඉක්මනින් යමක් ස්පර්ශ කිරීමටය. අයිතිකර ගැනීමටය. තණ්හාව තුලින් ගොඩනැගෙන්නේ භවය මිස අන් කුමක්ද?

දරුණු සතුන් ජීවත්වන කැලයක හුදෙකලාව සිටියද, මෛත්‍රී ශක්තියෙන් ඔබ පරිපූරණ නම් ඔබට සතුන් මුණ නොගැසෙනු ඇත. මෙය ආශ්චර්යයක් නොවේ. හේතුඵල ධර්මයක්ය. හේතුව මෛත්‍රී සිතයි. එහෙත් ඔබ වඩාත් දක්ෂක් වන්නේ සතුන් ඉදිරියට ගොස් ආරක්ෂක ගාථා හෝ මෛත්‍රීය වඩා සතුන් ඉවත්කර ගැනීමෙන් නොවේ. මෛත්‍රී බලයෙන් සතුන් මග හැර සිටීමටයි. ඔබ වනයට ආවේ සතුන් ඔබට දමනය වනවාදැයි පරීක්ෂණය කිරීමටවත්, ආරක්ෂක ගාථාවල ශක්තිය බැලීමටවත් නොවේ. මේවා කිරීමේදී ඔබට කෙලෙස් උපදී. ඔබට වීරත්වයක් ආරෝපණය වේ.

‘මම’ ඇත හැරීමට වනයට පැමිණි ඔබ, මම ගැන වීරකතා නිතර කියනු ඇත. මෙය නිවන් මගට අඩ කොටයකි.

වර්තමානයේ නිවන් මග ජයගන්නන් හිඟවීමට මේවාද හේතූන්ය. අප කැලයට යන්නේ ඇත ගොව්වන් වීමටවත්, නයි නටවන්නන් වීමටවත් නොවේ. ලෝකය මත අපව නටවන මාරයා නැටවීමටය. මාරයා තුළ ඔබ වීරයෙක්, චරිතයක් කිරීමට උත්සහ කළහොත් එම මාර සිත් පැරදවීමට ඔබ දක්ෂ විය යුතුය. ලෝකය මැද ඔබ වීරයෙක්, චරිතයක් වීම නොව වීරත්වයත්, චරිතයත්, ලෝකයත් ඇත හැරීමට පුහුණුවීම ඔබේ කාර්ය විය යුතුය. එසේ නොවුණ හොත් කාලයත්, හුදෙකලාවත්, ඔබට තවත් නගරයක්ම වනු ඇත. වරද ඇත්තේ කැළයේවත්, හුදෙකලාවේවත්, නගරයේවත් නොව ඔබ තුළමය. ඔබ ඔබව අතහරින්න. එවිට ඔබට සියල්ල ඇත හැරෙනු ඇත. සෑම නිවන් මග වඩන්නෙක්ම තමා තමාට මෛත්‍රී කරගත යුතුව ඇත. එය කළ හැක්කේ මේ ඝෝර, කටුක, භයානක, සංසර දුක දැක තමා සසරින් එතෙරවීමට වෙර වඩීමෙන්ය. මෙය තමා තමාටම කරගත හැකි උත්තරීතරම මෛත්‍රීයයි. තමා සසරින් එතෙර වුවහොත් මේ උත්තරීතර මෛත්‍රීය මුළු ලෝකයටම පැතිරවිය හැකිය. එහෙත් ඔබද අසරණයෙක්මය. ඔබ සසර නැවත මැරෙන, ඉපදෙන, ලෙඩ වන, වයසට යන ස්වභාවයේ සිටිමින් අනුනට මෛත්‍රීය කිරීමට යෑම බුද්ධිගෝචර නොවේ.

ලෝකයට මෛත්‍රීය කරන්නට යෑම පසෙක තබා, ඔබ මුලින්ම ඔබට මෛත්‍රීය කරගන්න. එය කළ හැක්කේ ලෝකය තුළ තමාගේ අසරණභාවය, අනාතභාවය තේරුම් ගැනීමෙන් පමණක්මය.

5 - හාල්මැස්සාගෙනුත් කමටහනක්

  මහ රහතුන් වැඩි මග ඔස්සේ - අතහැරීම පොත 1

        නියමිත වෙලාවට දායක පිරිස දානය දාන ශාලාවේ මේසය මත තබා ඇත. එළවළු හතරක්, බතක්, පලතුරු, කැවිලි ඊට අයත්ය. දායකයන් ඉවත්ව ගිය පසු ඔබට මෙහෙම හඬක් ඇසෙනු ඇත.

“ සැරට මොකුත් නැහැ. හාල්මැස්සෝ ටිකක් බදිමුද? ”

කප්පිය කුටියේ විනයානුකුලව පාවිච්චි කිරීමට වියළි ආහාර ඇත.

ඔබ සාමනේර නිසාම හාල්මැස්සන් සුද්ද කිරීම ඔබට පැවරෙනු ඇත. ඔබ එයට නොගැටෙන්න. මගහැර නොයන්න. අභියෝගයට මුහුණ දෙන්න. සමහර විට ඔබ මස් මාංශ නොවලඳන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ ගැන නොසිතන්න. ඔබ ඔලුව කඩන හාල්මැස්සා සංසාරයේ ඔබේ මව, පියා, ඥාතියා, දරුවා ව සිටින්නට ඇතැයි සිතන්න. මේ හාල්මැස්සා සංසාරයේ සක්විති රජවද, දෙවියෙක්වද, ප්‍රේතයෙක්වද ඉන්නට ඇතැයි ඔබ දකින්න. ඔබෙම කල්‍යාණ මිත්‍රයාව සිටින්නට ඇතැයිද ඔබ දකින්න. සෑම මනුෂ්‍යයෙකුටම, සෑම සත්වයෙකුටම මෙය ගලපා බලන්න. මේ හාල්මැස්සා පැවිදිව ඉන්නට ඇතැයිද සිතන්න. පැවිදිව සිටියත් නැවත හාල්මැස්සෙක් වුයේ කෙසේද යන්නත්, ඇයිද යන්නත් සිතන්න. මේ හාල්මැස්සා සංසාරයේ තම කුසින් රහතන් වහන්සේලාද බිහිකොට ඇතැයි සිතන්න ඔබ දක්ෂ වන්න.

ඔබ මේ ලබන මේ අවබෝධය නිසා, හාල්මැස්සාටද ඔබ හදවතින් පින් දෙන්න. බලන්න ඔබ හාල්මැස්සෙක්ගෙන් ලැබුව කමටහනක ගැඹුර.

හොඳයි, ඔබ ‘ මට හාල්මැස්සෝ අතගාන්න බැහැ. මම නිර්මාංශයි.’ කියල ගැටුන නම්, ආරණ්‍ය හැර ගියා නම් ඔබට මේ කමටහන ලැබෙනවාද?

ඔබ දැන් ඉක්මන් වෙන්න අවශ්‍ය නැහැ හාල්මැස්සා තුළ සත්වයෙක් පුද්ගලයෙක් ඉන්නවාද කියල දකින්න. මුලින්ම ලැබුණ කමටහන ප්‍රයෝජනයට ගන්න. සංසාරයේ ගැඹුර දකින්න. සංසාරය ගැන බිය ඇතිකර ගන්න. ඒ වැඩීම තුළ ඔබේ ප්‍රඥාව ත්‍රිවර වන විට ඔබගේ අවබෝධය ලැබේවි. හාල්මැස්සා තුළ සත්වයෙක් පුද්ගලයෙක් නොමැත, එහි ඇත්තේ අනිත්‍ය භාවයට පත්වන ධාතු කොටස් පමණක් බව. ඔබට මෙලෙස වැටහෙන්නේ නැති නම් ඔබ ඉවසන්න. ඔබට ප්‍රඥාව වැඩිවන විට මෙම ධර්මතාවය අවබෝධවේවි.

ඔබ මෙවන් අවබෝධයක් ලබමින් පසුවන විට හාල්මැස්සෝ බැදුම රස බලන අය ලබන්නේ රස තෘෂ්ණාව පමනක බව සිතන්න. වර්තමානයේ ගිහි වුවද, පැවිදි වුවද ඔහු නැවත සසර හාල්මැස්සෙක් වීමේ ඉඩකඩ එසේම විවෘතව පවතින බව දකින්න ඔබ දක්ෂ වෙන්න.

සසර නැවත මව් කුසක්, බිත්තරයක් තුලට නොයන්නට ඔබ දක්ෂ වන්න. එසේ නොවුනහොත් යම් දවසක මෙම හාල්මැස්සාම මිනිසකුව ඉපද, ඔබ හාල්මැස්සෙකුව ඉපද ඒ මිනිසා විසින් ඔබවද මෙපරිද්දෙන් බැදුමට ගනු ඇත. පෙර භවයක මේ හාල්මැස්සා පැවිදිව කළ ක්‍රියාව වර්තමානයේදී ඔබ නොකරන්න. ඔබ නිර්මාංශයැයි උදම් ඇනීමෙන්, ඔහු මාංශයැයි පිළිකුල් කිරීමෙන්, දිව ඉල්ලන ඉල්ලන රස දීමෙන් රැස්වන්නේ තණ්හාවයි. ඔබ කළ යුත්තේ රස ඉල්ලා ඇතිවූ සිත අනිත්‍ය බව දැකීම පමණක්ය.

4 - අන්තිමයා වීම අගනේය

  මහ රහතුන් වැඩි මග ඔස්සේ - අතහැරීම පොත 1

        මේ ආත්මභාවයෙදීම නිවන් අවබෝධකර ගැනීමේ අදිෂ්ඨානය ජයගැනීමට වීර්යයෙන් පෙරට යන භික්ෂුවට ‘වත’ යනු කප්රුකකි. වත යනුවෙන් හඳුන්වන්නේ ආරණ්‍ය තෘෂ්ණාවෙන් ‘ආරණ්‍ය මගේ, මම ආරණ්‍යයේ’ යන මමත්වයෙන් කුටි හදන, කාණු කපන, ගොඩනැගිලි තනන, මල් වවන ආදී දේවල් නොවේ. භික්ෂුව ප්‍රතිපත්තිගරුක නම් එම කටයුතු දායකයින් විසින් සපුරා දෙනු ඇත. එසේ නොවන්නේ නම් භික්ෂුවගේ යුතුකම, ලද දෙයින් සතුටුවීම සහ ගිහි පිංවතුන් යුතුකම් මගහරින්නේ නම්, එයද කමටහනක් ලෝක ස්වභාවයක් යයි ගෙන ලෝකයෙන් මිදී යාමය. භික්ෂුවට උපරිම මට්ටමෙන් යැපීමට තුන් සිවුරත්, පාත්‍රයත්, කුටි පහසුකමත් පමණි. නිවන් මගේ සීමාවද මේ අවමය තුල ගොනුවී පවතී. භාව මගේ සීමාව මීට වඩා විසාල වශයෙන් පුළුල්ය.

තමා විසින් කළ යුතු වත් රාශියක් ආරණ්‍ය තුළ ඇත. මිදුල ඇමදීම, කුටි පිරිසිඳු කිරීම, දාන ශාලාවේ ක්‍රියාකාරකම්, රෝගී භික්ෂූන්ට උපස්ථාන කිරීම, බුදු මැදුරේ පුජා කටයුතු, වැඩිහිටි භික්ෂූන්ට, ආගන්තුක භික්ෂූන්ට උපස්ථාන කිරීම යන මේවා භික්ෂුව අනිවාර්යයෙන්ම කළ යුතුය. ආරණ්‍යයේ පැවැත්මත්, පිරිසිඳු භාවයත්, තමා තුළ මාන්නය වැනි කෙලෙස් දුරුකර ගැනීමටත්, වත අතිශයින්ම උපකාර වේ. මාන්නය, අහංකාරකම, උඩඟු බව ඇති කිසිවෙකුට භාවනාවෙන් ප්‍රතිඵල ලැබිය නොහැක. එවැනි අය මග වැඩු කල්‍යාණ මිත්‍රයෙකු, ගුරුවරයෙකු දෙන නිවැරදි උපදේශයන්ට වඩා ඉහලින් යාමටත්, නිතරම තමා ගුරුවරයා වීමටත් සිතනු ඇත. අනුන්ට සවන් දීමට කැමති නොවනු ඇත. ගමනේදී උස්, පහත්, දුප්පත් පොහොසත්, ලොකු කුඩා ඕනෑම දෙයක  යමක් ඉගෙනීමට ඇත්නම් එය ඉගෙන ගැනීමට අප දක්ෂ විය යුතුය. මාන්නය ඇති තැනැත්තාට එය කළ නොහැකිය. මේ සියල්ලටම බෙහෙත වතය.

ඔබ වැසිකිළිය පිරිසිඳු කරන විට ඔබ පිරිසිඳු කරන්නේ වැසිකිළිය බව නොසිතිය යුතුය. ඔබ සිතිය යුත්තේ ඔබ පිරිසිඳු කරන්නේ ඔබගේ සිත බවයි. ඔබ මිදුල අමදිද්දී ඔබ මිදුල අමදින බව නොසිතිය යුතුයි. ඔබ සිතිය යුත්තේ ඔබ අමදින්නේ ඔබ සිතේ ඇති කුණු බවයි. නිවන් මගට සිත පිරිසිඳු කරගත යුත්තේ මෙසේය. මාරයාගේ ස්වභාවය ඔබට ලකුණු සහ හොඳ නම ලබා දීමට ඔබව පෙලඹවීමය. ඔබ ලකුණු දිය යුත්තේ මාරයාට නොව, ඔබගේ නිවන් මගටය.

ඔබ සිතිය යුත්තේ වැසිකිළිය කිසිවෙකු විසින් නොසෝදා ඇත්තේ, මිදුල කිසිවෙකු විසින් ඇමැද නැත්තේ ඔබේම යහපත සඳහා බවයි. ඔබ ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගතයුතුය. මෙවැනි වත ඔබ මග හරින විට, ඔබේ සිත කුණු, අසූචි වලින් ඔබේ සිත දිනපතා කෙලෙස් වලින් පිරෙන බව වටහා ගත යුතුය. කුණු වලින් පිරුණු සිත මාරයාට හොඳ තෝතැන්නකි. සැමවිටම ස්ථානයේ සිටින පඩික්කම් සෝදන භික්ෂුව වීමට ඔබ මැලි නොවිය යුතුය.

නිවන් මගේ හික්මෙන භික්ෂුව සෑම විටම නිහතමානීකමේ උපරිම ස්ථානයක සිටිය යුතුය. කෙනෙක් ඔබගේ හිසට අත සේදුවද, එය ඔහුගේ ස්වභාවය යයි සිතා, ඔබ ඔබගේ ස්වභාවය තුළ නොගැටී සිටිය යුතුය. ඔබ හැමෝටම පසුපසින් සිටීමටත්, දහසක් දේ ඔබ දන්නවා වුවද කිසිත් නොදන්නෙක් සේ පිරිස ඉදිරියේ හැසිරීමත් කළ යුතුය.

3 - නිදහස් පරිසරය 2

 මහ රහතුන් වැඩි මග ඔස්සේ - අතහැරීම පොත 1 

        ඔබ තවම මග වැඩීමට සුදානම් වන භික්ෂුවක් පමණි. ඔබ විවේකීව සිටින්න. දිනකට මෙච්චර වෙලාවක් භාවනා කළ යුතුයි, රාත්‍රී නිදිවරා භාවනා කළ යුතුයි යන සිතිවිලි අනිත්‍ය වශයෙන් දැක අයින් කරන්න. ඔබ අධිෂ්ඨානයක් ඇතිකර ගන්න. මා ප්‍රාර්ථනා කරන්නේ, වීර්ය වඩන්නේ මාගේ අවසන් හුස්ම මේ කයෙන් පිටවන මොහොතේ කිසිම ඇලීමක්, බැඳීමක්, ගැටීමක් නැතිව පිටකිරීමට පමණක් බව සිහිකරන්න. මොන හේතුව නිසාවත් සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරිහත් මාර්ග ඵල ගැන නොසිතන්න. මාර්ග ඵල වලට ඇති ආශාව අතහරින්න. මාර්ග ඵල තන්හාවෙන් අනාගාමි වීමට ගියහොත් ඔබේ වටිනා ජීවිතය අනාගන්නා බව සිතන්න. විවේකීව සිතන්න. නිදිමතම නම් පමණක් නිදාගන්න. සරලව, පහසුව, නිදහස්ව සිටින්න. ඔබේ මේ ආකාරයේ ප්‍රතිපදාවක යෙදෙන බව කිසිවෙකුට නොඅඟවන්න. ඉන්ද්‍රියන් හයට පස්සය වන සෑම රූපයක්ම අනිත්‍ය වශයෙන් දකිමින්, සිතත්, කයත්, පරිසරයත් සමග නොගැටී සිටින්න. ඔබ නිරතුරුවම සිතන්න, ඔබ මේ සටන් කරන්නේ මාරයා සමග බව. ඔබට අවශ්‍ය සෑම වෙලාවකම මාරයාව රවට්ටන්න. බිය ගන්වන්න, තැති ගන්වන්න. ඔබට මුලින් කීවේ අරිහත් උතුමන් සමග මනසින් ජීවත් වන්නටය කියල. ඒ මාරයා රැවටීම පිණිස කරන දේවල්ය. දැන් ඔබ මාරයාව තැති ගන්වන්න. ලෝක ධාතුවේ හැමදෙයක්ම අනිත්‍ය ඔබ මනසින් දැක මාරයාව කම්පා කරවන්න. දැන් ඔබේ රාජකාරිය මෙය විය යුතුය. සාරාසංඛ කල්ප ලක්ෂ ගණනාවක සිට සතර අපායට, මනුෂ්‍ය, දිවය ලෝකවලට ගාල කරමින්ද, ඔබ කෙරෙහි ආධිපත්‍ය පැතිරූ මාරයාට ටික ටික රිදවන්න. බොක්සිං තරඟයකදී ප්‍රතිමල්ලවයාට සෙමෙන් සෙමෙන් පහර දෙමින්ද, ඔහුගෙන් උපක්‍රමශීලීව පහර කමින්ද ප්‍රතිමල්ලවයාව හෙම්බත් කොට අවසාන මැරු පහර කිහිපයකින් ඔහුව බිම දමන්නා සේ, ඔබද මාරයාව උපක්‍රමශීලීව රවටන්න. ඔබේ ඉන්ද්‍රියන්ට ගෝචරවන සෑම රුපයක්ම අනිත්‍ය වශයෙන් දකින්න. දකින රූප මග හරින්න්න එපා. රූප බලෙන් සොයන්න යන්නත් එපා. ඔබ වේගවත් නොවන්න. මන්දගාමීද නොවන්න. ඔබේ ස්වභාවය තුළම ඔබ කටයුතු කරන්න. ‘දැන් මොන මාර්ගඵලයකද ඉන්නේ, තව කොච්චර කළ යයිද?, මට පුළුවන් වෙයිද?... මේ සිත් ඇතිවන මොහොතේම අනිත්‍ය වශයෙන් දැක පරාජය කරන්න. ගැටෙන්න එපා. රූපයක්  දුටු සැනින් අනිත්‍ය වශයෙන් දකින්න. නැවත නැවත එම රූපයට ඇලීමක් ඔබ තුළ ඇති වන්නේ නම් එම රූපය විනිවිද දකින්න උත්සහ ගන්න. එහෙම කලොත් ඔබේ ප්‍රතිඵලය ඉක්මන් වේවි. අදාළ රූපය සුරූපී කාන්තා රුවක් කියා සිතන්න. ඔබ ඇය මව් කුසේ සිටිනවා දකින්න. ඉස්ගෙඩියෙක් ලෙසින් පටන් ගෙන, නවා මාසයක් බැලුම් බෝලයක් වැනි මව් කුසේ විඳි අනන්ත වේදනා, මරලතෝනි දීගෙන ලෝකයට බිහිවන හැටි, මළ මුත්‍ර ගොඩේ දඟලන වයස....

ළමා, තරුණ, මධ්‍යම, මහරු වශයෙන් එම රූපය දකින්න. ඔබ දූටු ලස්සන රූපය ඇටසැකිල්ලක් කර දකින්න. එම ඇටසැකිල්ලේ බඩවැල්, නහර, මස් එල්ලාගෙන සිටිනා ස්වභාවය දකින්න. ඔහුගේ හෝ අයගෙ රූපය මනසින් නිරුවත් කොට සම්, නහර විනිවිද ගොස්, සම නමැති උරයට පුරවා ඇති ජරාගොඩ දකින්න. ලස්සන තිබුනේ ඔහු හෝ ඇය තුළ නොව, තමාගේ අවිද්‍යාවෙන් පිරුණු අනිත්‍යවන සිත තුළ බව සිහිනුවණින් දකින්න. පංච උපාදානස්කන්ධය, සප්ත බෝජ්ජංග, පටිච්ච සමුප්පාදය, සතර සතිපට්ඨාන ධර්මතාවයන් ගිරවුන් මෙන් කටපාඩම් කරන දේවල් නොව, රුපයේ අනිත්‍ය බව දකිමින්, ප්‍රඥාවෙන් ත්‍රිව්ර වන විට ඔබ ලබන අවබෝධය තුළ නොදැනුවත්වම ඔබට වැඩෙන්නේ ඉහත ධර්මතාවයන් බව සිතන්න.  ඔබ තවම සිටින්නේ පුහුණු මට්ටමකය. තවම තරඟය පටන් ගත්තේ නැත. තවම ඔබ තරඟයට මුහුණදීමට ඇඟ උණුසුම් කරනවාය. ශක්තිමත්ව උණුසුම් වන තරමට තරඟයට ජවය ලැබේ. මෙය මුළු ලෝක ධාතුව තුළම ආධිපත්‍ය පතුරුවාගෙන සිටිනා මාරයාට එරෙහිව කරනා සටනකි. තරඟයකි. තරඟයෙන් ඔබ දිනුවොත්, ඔබ ලෝකයෙන් එතෙරට යන කෙනෙක්ය. ඔබ මේ යෙදී සිටින්නේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේලා, පසේබුදුරජාණන් වහන්සේලා, අරිහත් උතුමන්, උතුමාවියන් තරඟ කොට ජයගත් තරඟයකටය. මේ තරඟයෙන් රාහුල, සෝපාක, නීග්‍රෝධ වැනි දරුවන්ද ජය ගෙන ඇත. පටාචාරා, ඉසිදාසි වැනි කාන්තාවන්ද ජය ගෙන ඇත. පුහුණුව සාර්ථක නම් ජයග්‍රහණය ස්ථිරය.

ඔබ සරල වන්න. සැහැල්ලු වන්න. නිදහස්ව සිටින්න. අවශ්‍ය වෙලාවේදී පැන් පහසු වන්න. පොරවන සිවුර දහදිය ගඳ නම් සෝදෑ ගන්න. කුටිය, මිදුල පිරිසිඳුව තබා ගන්න. අනිත්‍ය දකිනවා කියා අපිරිසිඳුකම ලඟට නොගන්න. අනිත්‍ය දකිනවා කියා ඔබ අපිරිසිඳුකම ලඟට ගන්නේ නම් ඔබ දකින්නේ මුස්පේන්තු අනිත්‍යකි. එය මාර බලයකි. ඔබ එය පරාජය කරන්න. ඔබ මධ්‍යස්ථ වන්න. අසුභය දැකීමට නම් සාපේක්ෂව ලස්සන හා පිරිසිඳුව තිබිය යුතුය. ඒ ලස්සනට නොඇලීමට, ලස්සන ඔබේ කර නොගැනීමට ඔබ ශක්තිමත් විය යුතුය. මේ ලෝකයේ සියලුම ලස්සන රූප ඔබගේ කමටහන් විය යුතුය. හින්දි සිනමාවේ සුරූපීම නිළියත් වැඳිරියක්, ඇටසැකිල්ලක් සේ දැකීමට ඔබට හැකිවිය යුතුය. ඒ අවස්ථාව ඔබට ලැබුණේ ඇය සුරූපී වූ නිසාය. ලස්සන නොමැති ලොවක ඔබට අසුභය වැඩිය නොහැක. අවලස්සන බවට යමක් පවතින්නේ ලස්සන තිබුන හොත්ය. මන්ද ලස්සන අනිත්‍ය වී අවලස්සන ඇතිවන බැවිනි. මේවා ලෝකයේ ස්වභාවයන්ය.

ඔබ මෙසේ අවංකව, වීර්යවන්තව ප්‍රතිපදාවේ යෙදී සිටිනා විට ලොව්ව්තුරා බුදුරජාණන් වහන්සේ ඔබගේ හදවතට වඩීවි. මොකද දැන් ඔබේ හදවත සැබෑ බුදු කුටියක් නිසා. උන්වහන්සේ ඔබට කියා දෙනු ඇත. ඊළඟට ගතයුතු මග සංඥා වශයෙන් ඔබට වැටහෙනු ඇත. මෙවිට ඔබ සද්ධන්ත හස්තිරාජයකු සේ වීර්යයෙන් නැගී සිටීවි. ඇයි දන්නවද? ඔබට ප්‍රත්‍යක්ෂ වශයෙන් වැටහෙනවා ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ඔබ ළඟ වැඩසිටින බව. ඔබට කමටහනක් දෙන බව වැටහේවි. නිවන් මග වඩන්න! බුදු සමිඳුන් දකින්න!

මේ විශ්වාසය තුළ ජයග්‍රහණයේ දොරටුව ඇත. ඔබගේ උත්සාහයෙන් එය විවෘත කර ගන්න. ඔබ දොරටුව විවෘතකර ගතහොත් ලෝකය තුළ ඔබ නිවෙනු ඇත. එවිට දෑස් පියාගත් සැනින් මුළු ලෝකයම නිරුද්ධ කර දැකීමට ඔබට හැකිය. එයට ඔබ ශක්තිමත් වනතුරු කලබල නොවන්න. තවමත් ඔබට උන්වහන්සේගේ මග පෙන්වීම අවශ්‍යය. එතෙක් ඔබ බුදුරජාණන් වහන්සේ මනසින් ඔබේ ආරක්ෂකයා වශයෙන් වඩම්මවා ගන්න දක්ෂ වන්න.

3 - නිදහස් පරිසරය 1

 මහ රහතුන් වැඩි මග ඔස්සේ - අතහැරීම පොත 1

        මේ ජීවිතය තුළදීම නිවීම සාක්ෂාත් කිරීම සඳහා වෙහෙසෙන භික්ෂුවකට නිදහස් පරිසරයක් අවශ්‍යමය. නිදහසට එක් අර්ථයක් දිය නොහැක. ලෞකික, ලෝකෝත්තර උවමනාවන්ට අනුව නිදහසේ අර්ථය වෙනස් වෙයි. කෙනෙක් විශ්ව විද්‍යාල අධ්‍යාපනය, ගුරු පත්වීම, රජයේ රැකියාව, දේශපාලන... නිදහස ලෙස දකියි. මේ කිසිත් වරදක් නොවේ. ඒ තම තමන්ගේ දෘෂ්ඨීන්ටය. එහෙත් ඒ ලොව්තුරා නිර්වාණ ප්‍රතිපධාවේ කියවෙන නිදහස නම් නොවේ. මෙහි සඳහන් කරුණු අදාළ වන්නේ ශාසනයේ හික්මෙන ළමා තරුණ භික්ෂූන් වහන්සේලාට නොව, ජීවිත අවබෝධයෙන් ලෞකික සම්පත් දුක බව දැක, මේ සියල්ල තුලින් රැස්වන්නේ දුකම බව දැක, ගිහි බැමි වලින් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මිදී මේ ජීවිතයේදීම නිවීම සාක්ෂාත් කරගැනීමට ප්‍රතිපදාවේ යෙදෙන වීර්යවත්යන්ටය. මෙවැනි සත්පුරුෂයන් විශාල පිරිසක් ශාසනය තුළ සිටින බව සත්‍යයකි. ඒ මග යන්නට ඔබ රුචි නම් ඔබටද මග විවෘතය. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ඔබට නිවැරදි මග කියාදී ඇත. නිදහස අර්ථවත් වීමට ඔබ මෙසේ සිතිය යුතුය. ‘මා පැවිදි වූයේ අනුන්ට බණ කීමට, පිරිත් කීමට, පන්සල් ආරණ්‍ය පාලනය කිරීමට, නායක හිමිනමකගේ මීළඟ උරුමක්කාරයා වීමට හෝ දිව්‍ය, භ්‍රක්ම සංඥා වැඩීමට නොව, මේ ආත්මභාවය තුළදීම නිවන් මග සම්පුර්ණ කරගැනීමට බව සිතීමට ඔබට ශක්තිය තිබිය යුතුය. ලොව්තුරා බුදු වදනට අනුව නිදහස යනු මෙසේ සිතන්නට හැකි වීමයි. මාරයාගේ ධර්මයට අනුව නිදහස යනු මීට ප්‍රතිවිරුද්ධව සිතීමයි. බුදු පුතෙකු ලෙස පළමුවෙන්ම, ඔබගේ නිවීම ඇත්තේ බුදුරජාණන් වහන්සේ ළඟවත්, නායක ස්වාමීන් වහන්සේ ළඟවත්, පිරිත් පොතේ හෝ ත්‍රිපිටකයේ නොව තමා තුළම බව සිතිය යුතුය. ඉහත කිසිවක් තුළ නිවීම නොමැත. දැනුම, ආදර්ශ, මාර්ගය ඉහත කරුණු කාරණා තුළ ඇත. ඒ ගැන තර්කයක් නොමැත. ඔබ ධර්මය ඉගෙනීමට පොතපතටම පමණක් යොමු වුවහොත් ඊළඟට සිදුවන්නේ දැනුමේ පණ්ඩිතභාවය වැඩිවී ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා පැවැත්වීමට යාමය. එසේ නැතිනම් මිහිරි ස්වරයෙන් බුදු මැදුරට, බෝ මළුවට කොටුවී පුජාවන් පැවැත්වීමටය. ගිහිදායකයන් මේවාට ඉතා ප්‍රියය. භික්ෂූන් වහන්සේටද ලැබෙන ලකුණු, ජනප්‍රිය භාවය හා සැලකිලි ඉහළය. දෙපාර්ශවයන්ටම වැඩෙන්නේ කෙලෙස් ධර්මයන්ය. ඒවා සංසාරික සැප පිණිස හේතුවේ. අවසානයේ සියලු දේ අතහැර පැවිදිවූ හාමුදුරුවෝ දායක පිංවතුන් සතුටු කරන රූකඩයකි.

        මෙහිදී ඔබ සියල්ල අත හැරීමට ඔබ දක්ෂ විය යුතුය. හැබැයි ඔබට වඩා දක්ෂ, මාර්ගය වැඩු, කල්‍යාණ මිත්‍රයෙක් ඔබ ආශ්‍රය කළ යුතුය. ඔබ ශක්තිමත් තැනකට එන තුරාවට ඔබ එය අතහරින්න එපා. නිරතුරුවම ඔබ ඉදිරියේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ වැඩසිටින බව, සැරියුත් මුගලන් මහෝත්තමයන් ඔබ ඉදිරියේ වැඩ සිටින බව, ඔබට අවවාද දෙන බව සිතන්න. දකින්න. මේ ගමනේදී ඔබට මෙයට වඩා ආරක්ෂාවක් අවශ්‍ය නැත. ඔබට හැමෝම කියාවි රැස් කරන්න කියල. මොනවද...? දැනුම, ගාථා, පිරිත්,සුත්‍ර, අභිධර්ම, බණ... මේ සියල්ලේම අන්තයට නොයා ඔබ සිටින්න. ඔබ සැහැල්ලු වන්න. සෑම බරකින්ම නිදහස් වන්න උත්සාහ ගන්න. නිවීම කියන්නෙ මෙහෙයුමක්. මේ මෙහෙයුමට අවශ්‍ය වන්නේ තුන් සිවුරත්, පාත්‍රයත්, හුදෙකලා වන කුටියත් පමණයි. ඔබ ශීලයෙන්, සමාධියෙන් පරිපුරණ බවට පත්ව ඇතැයි ඔබට විශ්වාස නම්, ඔබගේ සීලය ගැන කුකුසක් නොමැතිනම් වනයේ හුදෙකලා කුටියක් තෝරාගැනීමට ඔබ සුදුස්සෙක්. ඔබගේ ශීලය ගැන ඔබට විශ්වාසයක් නොමැතිනම්, වනසේ හුදෙකලා වීමට ඉක්මන් නොවිය යුතුය. ඔබ ශක්තිමත් නොවීම මාරයාට ගොදුරකි. එවැන්නකු වනයේදී, ගල් කුටියේදී අමනුෂ්‍යයන් විසින් වහලෙකු, ලෙඩෙකු, මානසික රෝගියෙකු කරනු ඇත. ඔබ පසුබට නොවන්න. මග වැඩු කල්‍යාණ මිත්‍රයෙකුට කෙටි කමටහන් කිහිපයකින් ඔබව ශක්තිමත් කිරීමට හැකියාව ඇත. මෙහිදී සීලය යනු ඔබ සාමනේරද, උපසම්පදාද, මොන නායක ස්වාමින් වහන්සේගේ ගෝලයකුද යන්න නොව, ඔබ නිවැරදි බවට ඔබ තුළ ඇති විශ්වාසය පමණි. ලොව්තුරා ධර්මය කෙරෙහිද, ඔබ කෙරෙහිද විශ්වාසය තබන්න. අවශ්‍ය වේලාවට කල්‍යාණ මිත්‍රකුගෙන්, ගුරුවරයෙකුගෙන් අවශ්‍ය උපදෙස් ලබාගන්න. තමාගේ ආරක්ෂාවට අවශ්‍ය මොහොතක දී තෙරුවන් වඳින ගාථා තුනක්, කරණීය මෙත්ත සුත්‍රයත්, කඳ පිරිතත් ඔබ අර්ථ සහිතව දැන සිටියහොත් එය වුවද ප්‍රමාණවත්ය... සියල්ල ඔබ අතහරින්න. අත්හැරීමේ ප්‍රමාණයට ඔබට නිවන් මග වැඩීම පහසු කරගත හැකිය. අන් සියල්ල අත්හැරීමට දක්ෂවූවේ නම් පමණක් ඔබ නිවන් මෙහෙයුමට සුදානම්ය. හැබැයි මේ වන විට ඔබ ළඟ පාවිච්චියට මුහුණ බලන කණ්නාඩියක්, උණුවතුර බෝතලයක්, සීතලට පොරෝනයක්... මේ වාගේ දෑ තිබුණහොත් තවම ඔබ සුදානම් නොමැති බවයි පෙනෙන්නේ. මොකද මේ සියල්ල තුළ තිබෙන්නේ ‘මගේ කයේ සැප පිලිබඳ චේතනාවයි. සියල්ල අතහරින්න. එතෙක් ඔබ සුදානම් නැත. මුහුණ බලන කන්නාඩිය අතහැරීමට නොහැකි කෙනෙකුට, කය අතහරින්න යයි කීම විහිළුවකි. අනිවාර්යයෙන්ම ඔබට හැකිය. ඔබ නැවත නැවත බුදු සමිදුන්ව හිතෙන් මවාගන්න. ඔබේ හදවතට වඩම්මවා ගන්න්න. නිරතුරුවම ඔබ උන්වහන්සේගේ සෙවනෙහි සිටින බව දකින්න. ඔබ හිමිදිරියේ පිණ්ඩපාතය වඩිනා විට ඔබ ඉදිරියෙන් බුදු සමිඳුන් වඩිනා බව දකින්න. සැරියුත්, මුගලන්, ආනන්ද මහෝත්තමයන් වහන්සේලා සිතින් මවාගෙන ඒ උතුමන් සමග සිතින් ජීවත් වන්න. උන්වහන්සේලා සමග සිතින් සාකච්ඡාවේ යෙදෙන්න. උන්වහන්සේලාගේ ජීවිතයේ ඇවතුම් පැවතුම් ඔබේ ජීවිතයට එකතු කර ගන්න. උන්වහන්සේලා නිවන් මග අවබෝධ කර ගැනීම පිණිස ගත වෙර වීරිය මනසින් දකින්න. චක්කුපාල මහරහතන් වහන්සේගේ උත්සාහය සිතින් මවා ගන්න.

        ඉහත උපක්‍රම භාවිතා කර ඔබ නිවන් මගට සිත පුරුදු පුහුණු කරන්න. මාර බැමි එකිනෙක කඩා දමමින්ද, අත්හළ යුතු දේවල් අත්හරිමින්ද ඔබ සුදානම් වන්න. හැබැයි ඔබ ලෝකය ඉදිරියේ මහරහතන් වහන්සේ කෙනෙක් ලෙස හැසිරෙන්න එපා. එවිට ඔබ වැටෙන්නේ මාරයාගේ මල්ලටය. ඔබ ලෝකය ඉදිරියේ එසේ හැසිරෙන්නට ගියහොත් නිවන් මග ගබ්සා වෙනවාමය. එවිට ඔබ නිවීම කරා නොව, මානසික රෝහලකට යා හැකිය. හොඳින් මතක තබා ගන්න, ඔබ දක්ෂ නම් භාවනාව නිවන් මග කරාද, අදක්ෂ නම් භාවනාව ඔබ මානසික රෝගියෙකු බවටද පත්කරනු ඇත. මෙවැනි අසරණ උද්යෝගිමත් පින්වත් චරිත අනන්තවත් අපට හමුවී ඇත. අර්ථවත්ව මග වැඩු ගුරුවරයකුගේ මාර්ගෝපදේශනය නොලැබීම මෙම විනාශයට හේතුවේ. තමා තුළ ඇති මාන්නයද, මාර්ගඵල උන්මාදයද, ඉලක්කය කරා යෑමට ඇති හදිස්සියද, ගිහිපින්වතුන්ගෙන් ලැබෙන වැඩි ප්‍රතිචාරද ඔබට මර උගුලක් වනවා ඇත. පිං පව්, කුසල් අකුසල්, රුචි අරුචි ආදිය ගැන ඇති කැමැත්ත අත් හරින්න. මේවයේ අනිත්‍ය බව දකින්න. ඔබ නිවන් මෙහෙයුමට සුදානම් වන්න. මේ වනවිට ඔබගේ කුටියේ තිබිය යුත්තේ තුන් සිවුරත්, පාත්‍රයත්, කය පිරිසිඳු කිරීමට අවශ්‍ය අවම දෙයකුත් පමණකි. ඔබ නැවත කුටිය දෙස බලන්න. එහි පැරසිටමෝල් පෙත්තක් තිබුණද එයත් ඔබ අයින් කළ යුතුය. ඔබ එය තබා ගන්නේ කය සුවපත් කිරීම සඳහාය. දැන් ඔබ සුදානම් වන්නේ කය අත්හැරීමේ මෙහෙයුමටය. වේදනාව සමනය කිරීමට උත්සහ ගන්න එපා. වේදනාව අනිත්‍ය බව, එහි ස්වභාවය, වේදනාව තමන්ට අයත් දෙයක් නොවන බව දකින්න උත්සහ ගන්න. ඔබේ ශරීරයේ යම් වේදනාවක් දැනේ නම් හිමිදිරියට ස්වමුත්‍රා උගුරු දෙකක් වළඳන්න. මුත්‍රා වල මුල් කොටසද, අග කොටසද අතහැර මැද කොටස පාවිච්චිය සඳහා ගන්න. උගුරු දෙකකට වඩා නොගන්න. මන්ද ශරීරයේ ඇසිඩ් ගතිය වැඩිවී දාහය වැඩිවන හෙයිනි. මෙම ඖෂධය ඔබගේ කායික වේදනාව අවම කරාවි. මෙම ස්වමුත්‍රා උගුරු දෙක ඔබ ඊයේ රාත්‍රියේ වැළඳු පැන් බව මෙනෙහි කරන්න. මාරයාට හීන් නුලෙන් පහර දෙන්න. ඔබ ස්වභාව ධර්මයේ කොටසක් වන්න. ස්වභාව ධර්මයත්, ඔබත් දෙකක් නොව එකක් බවට පරිවර්තනය කරගැනීමට දක්ෂ වන්න. ඔබ ඉදිරියේ තිබෙන රූස්ස ගසත්, ඔබේ කයත් සංසන්දනය කර බලන්න. දෙකම ධාතූන්ගේ විවිධත්වය පමණක් බව දකින්න.      

2 - ගිහිවත

මහ රහතුන් වැඩි මග ඔස්සේ - අතහැරීම පොත 1

            පැවිදිව නිවන් මග වැඩීමට බලාපොරොත්තු වන ඔබ ගිහිව සිටිනා කාලයෙදී ගිහිවත සම්පූරණ කිරීම පැවිදිව නිවන් මග වැඩීමට පහසුය. ඔබ ගිහිව සම්පූරණ කර නොමැතිනම් නිවීමේ අරමුණ සඳහා පැවිදි වීමට හදිසි නොවන්න. ගිහිවතේ තිඹිරිගෙය ගමේ පන්සලය. පන්සලේ ස්වාමීන් වහන්සේලාගේ ස්වභාවය විවධ වුවද ඒවා ඔබට අදාළ නොවන බව සිතන්න. අනිත්‍යභාවය නිසා විවිධත්වය ඇතිවීම ස්වභාවිකය. අප පුදුම විය යුත්තේ එසේ නොවුණහොත්ය. අනුන්ගේ වැරදි ඔබ අතහරින්න. ඔබේ අරමුණ කරා යන්න. පන්සලේදී හැමෝගේම සේවකයා, දාසයා ඔබ වන්න. නිදහසේ අන් අයට වඳින්න පුදන්න, සිල් පිරිසට සිව්පසය සපයන්න ඔබ මැදිහත් වන්න. අනුන්ගේ පැමිණීම, දායකත්වය ඔබ නොසොයන්න. ඔබේ අරමුණ උදෙසා වෙහෙසී සියල්ල කරන්න. හැමගේ සිත් තුළ ඇතිවන කරුණාවෙන්, මෙත් සිතින් ඔබ ඔබේ ආධ්‍යාත්ම ශක්තිය ලෝකයට හොරා වැඩි දියුණු කරගන්න. ඔබ සිදු කරන සෑම ක්‍රියාවකම අනිත්‍ය දකින්න. ඔබ මැදිහත්ව කළද එහි මුල් තැන අන් අයට දෙන්න. අත්හැරීම පුරුදු කරන්න. සැවොම සතුටු කර ඒ පිනෙන් ඔබ ශක්තිමත් වන්න. දායකයින් උදෙසා බෝධි පූජා , පෙරහැර, ධානමාන, කඨීන පිංකම් සංවිධානය කොට ඔබ ඒවායේ අවසානයද අනිත්‍ය බව දකිමින් ආධ්‍යාත්මික වශයෙන් ශක්තිමත් වන්න. අනුන්ගේ කුස පුරවා ඔබ නිරාහාරව සිටින්න. ඒ බව අන් අයට නොඅඟවන්න. වයෝවෘධ ස්වාමින් වහන්සේලා සිටී නම් උන්වහන්සේලාට උපස්ථාන කර උන්වහන්සේලාගේ ආශිර්වාදයෙන් ඔබ ශක්තිමත් වන්න. සමාජ සේවයට කැපවී අනුන් සතුටු කොට අනුන්ට සේවය කොට ඔවුන්ගේ ආශිර්වාදයෙන් ඔබ ශක්තිමති වන්න. ලාබය, කීර්තිය, ප්‍රධානත්වය නොව තම ඉලක්කය නිවන් මගය කියා අරමුණ සිහි කරන්න. ලෝකයේ කොතෙක් මහන්සිවී වැඩ කළද පොඩ්ඩ වැරදුණු තැන ලැබෙන්නේ ගල් මුල්, දොස් පරොස් බව දකින්න. විවේචන, අසත්පුරුෂකම්, නොසලකාහැරීම්, ලෝකයේ ස්වභාවය බව දකින්න. අප පුදුම විය යුත්තේ ඒවා නොමැතිනම් බව සිතන්න. අනුන්ට සේවය කරමින්, අනුන්ව සතුටු කරමින්, ගුණාගුණ අසමින් අනිත්‍යම දකින්න. ලෝකයේ ස්වභාවය මෙනෙහි කරමින්, ලෝකයෙන් ගත හැකි සියල්ලෙන් ඔබ ඔබේ ආධ්‍යාත්මය සංවර්ධනය කරගන්න.

        රෝගීන්ට උපස්ථාන කිරීමට මැලි නොවන්න. රෝගියෙක් යනු දේවදුතයෙක් බව දකින්න. රෝගියාගේ කයේ ස්වභාවය, ඔහු විඳින වේදනාවේ ස්වභාවය හා රෝගයේ ස්වභාවය ඔබටද පොදු බව සිතන්න. ඔබේ ස්වභාවයද එයම බව දකින්න. ඔහුට උපස්ථාන කර ඔහුගේ ආශිර්වාදයෙන් ශක්තිමත් වන්න. ඔබ මාස දෙක තුනකට වරක් මහා රෝහලට, ළමා රෝහළට, පිළිකා රෝහළට ලෙඩුන් බලන මුවාවෙන් යන්න. අසාධ්‍ය රෝගීන් සිටින වාට්ටුවල ඇවිදින්න... ඔබ රෝගීන්ගේ දුක් බෙදා ගැනීමට නොයන්න. වේදන්නවෙන් ලතෝනි දෙමින් ඔබට ඇසෙන හඬ ඔබේම බව අවබෝධ කරගන්න. පිළිකා රෝහලේ හිසකෙස් ගැලවීගිය, පියයුරු ඉවත්කළ රෝගී පිංවතුන්ව ඔබ කමටහනක් කර ගන්න. හින්දි සිනමාවේ සුරූපී නිළියටද, නළුවාටද මේ ස්වභාවය පොදු බව දකින්න. ඔබේ සිතට නිතර රාගී සිත් ඇතිවේනම් ඔබ කාන්තා රෝහලක ගැබිණි වාට්ටුවවලට ලෙඩුන් බලන වෙලාවට යන්න. දරු ප්‍රසූතියට සුදානම්වූ සහෝදර මව්වරුන්ගේ වේදනාත්මක හැසිරීම් රටා, ඒ අයගෙ ස්වභාවය මනුෂ්‍යත්වයෙන්, සහෝදරත්වයෙන් දකින්න. එය ඔබගේ රාග සිත මැඩපවත්වනු ඇත.

        පාරිභෝගික විසිතුරු ලෝකය ඔබව මුලා කරන, රස නහර පිනායන පාරිභෝගික දෑ පිරීගත් සුපිරි වෙළඳ සංකීරණවල සෑම ආහාරයක්ම මේ කය පෝෂණය කිරීම සඳහාය යන්න දකින්න. එහිම රාක්කයක ඇති විසිතුරු දවටනයක බහාලූ සනීපාරක්ෂක තුවා ඇත්තේ කුමක් සඳහාදැයි නුවණින් දකින්න. මලු පුරවා කරත්තය තල්ලු කොට උජාරුවට බඩු ගෙනගියද අප සැවොම පෝෂණය කරන්නේ අපවිත්‍ර සිරුරක් බව දකින්න. සෑම දෙයක්ම කමටහනක් කර ගැනීමට ඔබ දක්ෂ වන්න. ඔබ බසයක යනවානම් ඔබ වාඩිගත් අසුන ඕනෑම අයෙක් වෙනුවන් දීමට මැලි නොවන්න. අවශ්‍ය මොහොතේ එය පරිත්‍යාග කරන්න. තව යෑමට ඇති දුර ගැන නොසිතන්න. ඔබේ සපපහසුව අන් අගේ උවමනාවන් උදෙසා කැප කරන්න. අන් අය අවඥාවෙන් සිනාසුනද එය නොතකන්න. සේවය ලැබුණු කෙනාගේ ආශිර්වාදයෙන් ඔබ ශක්තිමත් වන්න. ඔබේ නිවන් මග උදෙසා ලෝකයාගෙන් ගතහැකි ශක්තිය ඔබ උපක්‍රමශීලීව නිදහසේ ලබාගන්න. අන් අය ආමිසහි යොදවමින් ඔබ ප්‍රතිපත්තිය වඩන්න. ලෝකයෙන් එතෙරවීමට මග හදාගන්න. සියල්ල අතහැර සියල්ලක්ම කමටහනක් කොටගෙන ඔබ ලෝකයෙන් එතෙර වන්න.

        ඔබ ලෝයෙන් සුවසේ එතෙරවීමට දක්ෂ වුවහොත්, ලෝකයාගේම යහපත උදෙසා, ලෝකයාගේම පරමාර්ථය ඔබට නිවන් මග පෙන්විය හැකිය. එම පරමාර්ථය උදෙසා වර්තමානයේ ඔබ ආත්මාර්ථකාමී වන්න. ඉහත ක්‍රියාකාරකම් තුලින් ඔබ ලබන සතුට ආරක්ෂක දෙවියන්ටද අනුමෝදනා කරන්න. ඔබ යන එන ගමනේදී බාධක මග හැර ආරක්ෂාව ලබා සලසා ගැනීමට, නොපෙනෙන බලවේගද සතුටුකොට ඒ අයගේ ආශීර්වාදයෙන්ද ශක්තිමත් වන්න. අත්හළ යුතු දේවල් අත්හැරීමට උත්සාහ ගන්න. අත්නොහළ දේවල් අත්හැරීමට අවශ්‍ය කාලය පැමිණෙන තෙක් ඉවසිලිමත් වන්න. ඉක්මන් නොවී සිටින්න වගබලා ගන්න. ඔබ හැම විටම ඔබේ සිතේ අවිචාරවත් බව විචාරයට ලක්කරන්න. සිත විමසන්න. ඔබේ සිතට ඉහලින් ඇති ප්‍රඥාවේ ඇසින් නිරතුරුවම සිත සමග පිළිසඳරේ යෙදෙන්න. ඇතිවෙමින් නැතිවන සිත ප්‍රඥාවේ ග්‍රහණයට ගැනීමට සියුම් ලෙස පුහුණු කරන්න.

ඔබ තවම ගිහි පින්වතෙකි. ඔබේ ඉන්ද්‍රියන් කැමති හැම දෙයක්ම අත්දැකීමෙන් විඳ, රසබලා එහි අනිත්‍ය දකින්න. ඔබට ඒ නිදහස තවම ඇත. අත් නොවිඳ, අත්නොදැක අනිත්‍ය දකින්නට යෑමෙන් ඔබට ඉදිරියේදී ප්‍රශ්න මතුවීමට හේතුවිය හැකිය. ඔබ වැඩියෙන් ආශා කරන හෝ කැමති කරණා දෙයක් වෙතොත් නැවත නැවත ඒ දෙය රසවිඳ ඒ කැමැත්තෙන් මිදෙන්න. කැමති දෙය අත්දකිමින්, අත්විඳිමින් අවබෝධය ලබමින් අනිත්‍ය දකිමින්, අත්හැරීමට පුරුදුවෙමින් ‘ගිහිවත සම්පුර්ණ කොට නිවන් මග වඩන්නට සසුන් කෙතට පිය නගන්න. ගිහි ජීවිතය තුළ ඔබ සිත පමනක් පැවිදි කරන්න. ඔබ පුරුදු කරන්න අවම සම්පත් සමග හුදෙකලාවේ ගත කරන්න. ඔබ පරික්ෂා කර බලන්න. පාවහන් නොදා ඔබට ගල් බොරළු මත ඇවිදින්න හැකිද කියා. ඇඳුම් කට්ටල දෙකකින් ජීවත් වන්නට පුළුවන්ද කියා. ආහාර වේල් දෙකක් ඔබට ප්‍රමාණවත්ද කියා. ඔබ කැමතිම කරන, ආසම කරන රූපයක් ඔබට අත්හරින්නට පුළුවන්ද කියා. ඥාතීන්, ගේ දොර අත්හැර ජීවත් වීමට හැකිද කියා. ඔබ ඉදිරියට එන ඕනෑම අභියෝගයකට ඔබට මුහුණ දීමට ශක්තිය තිබෙනවාද කියා. පිළිතුර ඔව් නම් ඔබ දැන් පැවිද්දට ඔබ දැන් සැබෑම සුදුස්සෙක්. ඉහත අත්දැකීම් ගැලපෙන්නේ ජීවිතයේ තරුණ වයසේ සහ ඉන් ඔබ්බට ගොස් ජීවිතාවබෝධයෙන් මේ ආත්මභාවායේදීම නිවීම උදෙසා වීර්ය වඩන, අධිෂ්ඨාන සහගතව නිවන් මග වැඩීමට පමණක් බව හොඳින් සිහියේ තබා ගන්න. ශාසනය ආරක්ෂා කරගැනීමට, මනුෂ්‍ය, දිව්‍ය, භ්‍රක්ම සුගති ප්‍රාර්ථනා කරන, රට ආගම, ජාතිය ආරක්ෂා කිරීමට බලාපොරොත්තුව පැවිදිවන පින්වතුන්ට ඉහත ප්‍රතිපදාව අවශ්‍ය නොවන බව සලකන්න. එවැනි උතුමන් ආරක්ෂාකර දෙන සම්බුද්ධ ශාසනය ප්‍රයෝජනයට ගනිමින්, දක්ෂයා ලෝකයෙන් එතෙර වීමට දක්ෂ විය යුතුය. ඔබ ලෝකයෙන් එතෙරවීමට දක්ෂ වුවහොත් එය ශාසනය ආරක්ෂා කරන ගෞරවනීය ස්වාමීන් වහන්සේලාටද මහත්ඵල මහානිශංස කුසලයක් වනවා ඒකාන්තය.

1 - ඔබත් සොබාදහමත් අතර පරතරයක් නොතබන්න

 මහ රහතුන් වැඩි මග ඔස්සේ - අතහැරීම පොත 1

    මේ මුළු ලෝක ධාතුව තුළම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නිදහස තිබෙන්නේ කොතනද කියා ඇසුවොත් දෙවරක් නොසිතාම එම ප්‍රශ්නයට දිය හැකි පිළිතුර අරහත් උත්තමයකු තුළ බවයි. රහතන් වහන්සේ යනු නිදහසේ ප්‍රතිබිම්බයයි. රහතන් වහන්සේගේ සිත සුදුම සුදු පිරුවටයක් සේය. එහි ඉඳිකටු තුඩක තරම්වත් කිලුටක් නොමැත. රහතන් වහන්සේ වර්තමානය තුළ සිටිමින් එම සුදු පිරුවටයේ චිත්‍ර අඳී. ඒවා ඒ මොහොතේම මැකී යයි. රහතන් වහන්සේ අඳින චිත්‍ර රැස් කරන්නේවත්, ගොඩගසන්නේවත් නොමැත. රහතන් වහන්සේ ඒ වර්තමානය තුළ අඳින චිත්‍ර සඳහා පාවිච්චි කරන්නේ නිකෙළෙස් තීන්තය. එහි ඝන බවක්, ගොරෝසු බවක්, ඇලීමක්, ගැටීමක්, උපේක්ෂාවක් නොමැත. ඒවා නිවුණු තීන්තය. එහෙයින් උන්වහන්සේගේ ඇතිවෙමින් නැතිවන සිත නමැති පිරුවටය සෑමවිටම නොකිලිටිය. කොතනකවත් සත්වයෙක් පුද්ගලයෙක් නොදකින ඒ හිත නිරතුරුවම අනිත්‍ය දැක මැකී යන රූපම අඳී. එහෙයින් උන්වහන්සේලාගේ ජීවිත සැහැල්ලුය. සරලය. පැහැදිලිය. විවෘතය. එය නිදහසේ ප්‍රතිබිම්බයයි.

ගිහි පැවිදි නිවන් මග වඩන ඔබද, මමද සොයා යන්නේ ඔන්න ඔය ස්වභාවයේ නිදහසයි. ජීවිතයෙන් සියළු බැඳීම් හිස්කල තැන... එතන ඇත්තේ නිදහසයි. පැවිදිවීම  සඳහා ගිහි ගෙදරින් ඔබ ඉවත්ව එන්නේ එතෙක් තමා රැස් කළ, අයිති කරගත් සියලු ලෞකික සම්පත් අයින් කර දමාය. ඔබ එසේ සියල්ල අයින්කර දමා එන්නේ ඇයි? අයින්කර දමා පැමිණි සියල්ල අතහැරීමටයි (ගතින් අයින් කළ දෙය සිතින් අයින් කිරීම). හොඳින් සිතන්න අයින් කිරීමත්, අත්හැරීමත් අහස පොළොව වගේ පරතරය ඇති දෙකකි. පැවිදි වීමෙන් පසුව කළ යුත්තේ අයින් කළ දේවල් අත්හැරීමට පුරුදු වීමටය. පුරුදු කිරීමටය. මොනවද ඔබ අයින් කළ දේවල්... දෙමාපියන්, නෑදැයින්, රැකියාව, ඉඩ කඩම් හා සමාජ තත්වය... කොටින්ම ඔබ මෙම ඉන්ද්‍රියන් හයට ඇලෙන දේවල් අයින් කොටදමා පැමිණ ඇත්තේ ඒ සියල්ල අතහැරීම සඳහාය. දැන් අරමුණ පැහැදිලිය. එසේ නම් ඔබ සොයා යායුත්තේ, අත්හැරීමට පුහුනුවීමට සුදුසු, රැස්කිරීම් නොකරන තැනකි. මොනවා රැස් නොකරන තැනක්ද...   කෙලෙස් රැස් නොකරන තැනකි...   සුවසේ සිත වැඩෙන තැනකි.

එවැනි ආරණ්‍යයක්, ශුන්‍යාගාරයක් නොමැතිනම් නිවන් මග වඩන ගුරුවරයකුගේ ඇසුර ලබාගනිමින් හුදෙකලා කුටියකට ඔබ යා යුතුය. ආරණ්‍ය තෘෂ්ණාව ගෝල තෘෂ්ණාව, විනය තෘෂ්ණාව, දිව්‍ය බ්‍රක්ම ලෝක තෘෂ්ණාවන්ට කොටුවුණ ස්ථාන මග හරින්න. ඉහත ස්වභාවයන් ඔබ ස්පර්ශ කිරීමෙන් නිවන් මග බව මගක් බවට පත් වීමට පුළුවන. අරමුණ ශක්තිමත්වුව ඔබ තවම පැවිද්දට නවකයෙක් වීමට පුළුවන. රැල්ල හමන දිශාවට ගසාගෙන යෑම තවමත් ඔබගේ ස්වභාවය වීමට පුළුවන. ඔබ ගිහි ගෙදර හැර ආවේ ජනප්‍රිය රැල්ල සමග යාමට නොව උඩුගංබලා යෑමටය. ඔබ අදක්ෂ වුවහොත් සශ්‍රීක සිව්පසය, දෙස් විදෙස් ගිහි පැවිදි සම්බන්ධතා, ගුරු ගෝල බැඳීම්වල අත්අඩංගුවට පත්වීමට සිදුවනු ඇත. ඔබ කිසිවක් අල්ලා නොගන්න. අල්ලා ගෙන ඇති සියලු දේ ක්‍රමානුකූලව අත්හරින්නට පුරදු කරන්න. ඔබ වයසින්, ජීවිතාවබෝධයෙන් පරිපූර්ණ පුද්ගලයකු ලෙස අරමුණක් ඇතිව ශාසනයට පැමිණි කෙනෙකු බව සිතන්න. එහෙත් තමා ගැන අධිතක්සේරුවකට නොඑන්න වගබලා ගන්න. සාමනේර ශීලය, උපසම්පදා සීලය ඉක්මවා ගිය සීලයක් මේ ශාසනය තුළ තිබෙන බව දකින්න. ඒ සීලය තවෙකුගෙන් ලැබිය හැකි දෙයක් නොව තමා විසින්ම ධර්ම විනය දෙක වැඩීමෙන්, තමා තමාවම පිහිටකර ගැනීමෙන් ලබාගත යුත්තක් බව සිහි තබා ගන්න. විනය යනු සුවසේ නිවන් මග තරණය කිරීමට ඇති මෙවලමක් මිස තමන්ගේ දෑත් දෙපා ස්වකැමැත්තෙන් බැඳගන්නා වරපටක් හෝ තමන්ගේ නිදහස මරාගන්නා පෝරකයක් නොවේ. ඉහළ අහසට ගුවන් යානයකින් යන ගුවන් භටයෙක් නිරුපද්‍රිතව බිමට පතිත වීමට පැරෂුටයක් උපයෝගී කරගන්නා සේ විනය ඔබ සුවසේ නිවන් මග තරණය කිරීමට යොදාගන්න. ගුවන් භටයා තම දෙපා පොළොවේ ස්පර්ශවන සැනින් පැරෂුටය අතහැර දමනු ඇත. විනය යනු අවබෝධය ලබමින් නිවැරදිවෙමින් අතහරින දෙයක් මිස බදාගන්නා දෙයක් නොව. වැරදි අතහැරීම පිණිස විනය බදාගැනීම තුළ රැස්වන්නේ තණ්හාවයි. තණ්හාව ඔබව රැගෙන යන්නේ නිවීම දෙසට නොව භාවය කරාය. විනය තුළ මා ඇතැයිද, ම තුළ විනය ඇතැයිද කියා ග්‍රහණය කර නොගැනීමට අප වග බලාගත යුතුය. විනය යනු සතිය හා සමාධියයි. ධර්මය යනු ස්වභාව ධර්මයයි. ධර්මයේ ස්වභාවය අනිත්‍යයි. අනිත්‍යය දෙස සතියෙන් බැලීම ධර්මය, විනය දෙක තුළ ජීවත් වීමයි. විනය අත්‍යාවශ්‍යය. ඒ නැවත නැවතත් වැරදි කිරීමට නොවේ. වැරදි කිරීමෙන් යුත් පෘථග්ජන සිත අවබෝධයෙන් හඳුනාගෙන වැරදි අතහැරීමටය. විනය සමග ගැටෙමින් නොසිට ඔබේ දුර්වලකම් සිහිය හා සමාධියෙන් යුතුව මගහරවා ගන්න. නිතරම “චේතනාහං භික්ඛවේ කම්මං වදාමි” යන බුදු බණ පදය මතක තබා ගන්න.

නමුත් ඔබට ඔබව විශ්වාස නැතිනම්, ඔබ අදක්ෂ නම්, මාන්නය උද්දච්ච බව හා මාර්ග ඵල උන්මාදයෙන් පෙළෙන්නේ නම් ගුරුවරයා හා විනය අත්‍යාවශ්‍ය බව සිතන්න. එසේ නොවුන හොත් ඔබ මංමුලා වනු ඇත. ඔබේ හැකියාවන් ගැන අධිතක්සේරුවකට නොඑන්න. තීරණ ගැනීමේදී බුද්ධිමත් වන්න. මන්දගාමී නොවන්න. සීග්‍රගාමීද නොවන්න. කාලසටහන්, පෙරසුදානම්, සැලසුම්වලින් හිස්වන්න. අමුතු ආයාසයක් නොදරන්න. ඉර, හඳ, මහපොළොව, සාගරය ආයාසයකින් තොරව ඒවායේ ස්වභාවයෙන් හැසිරෙන්නා සේ ඔබ ඔබේ ස්වභාවය තුළම නිවන් මග වඩන්න. ස්වභාව ධර්මයේ කොටසක් වන්න. ස්වභාව ධර්මයත්, ඔබත් අතර පරතරයක් නොතබන්න. බැස යන සඳත්, නැග එන ඉරත් ඔබ ඔබේ සිතිවිලි සමග සසඳන්න. නිදහස සොයා උඩුගං බලා යන සෙබලෙක් වන්න. විනයෙහි ඇලීම, බුදු දහම සජ්ජායනා කිරීම මදකට නවතා ඔබ පැවිදි වුයේ ඇයිද යන්න නිරතුවම මෙනෙහි කරන්න. එසේ මෙනෙහි කරනා වාරයක් පාසාම ඔබ දකින්නේ බුදුරජාණන් වහන්සේම බව අත්දැකීමෙන් දකින්න. නිහතමානීකම යනු හීනමානය නොවේ. භික්ෂුව යනු මේ ලොව සිටිනා ජවසම්පන්නම ඉලක්කය හඹායන්නා විය යුතුය. ඔහුව ඉක්මවීමට සමතෙක් මේ තුන් ලෝකයෙවත් නොමැත. මහ වනයේ තනිවම සරනා ඇතකුසේ ඔබ සොයන නිදහස ඔබ විසින්ම සොයා යායුතුය. ඔබ යන මේ ගමනේදී දහවල, රැය, වැස්ස, සීත නොදැනෙනු ඇත. මේ කිසිවකට ඔබව පාලනය කළ නොහැක. මෙලොව සිටිනා ජවසම්පන්නම පුද්ගලයා ලෙස ඔබ කෙලෙස් මාරයා හඹා යනු ඇත. ඔබ සොයා යන නිදහස සාක්ෂාත් කරගත යුතුව ඇත්තේ ඔබ විසින්මය. එය දෙවියෙකුට හෝ බ්‍රක්මයකුට කළ නොහැක්කකි. ඔවුනට කළ හැක්කේ ඔබට සාදු කාර දීමටය. ඔබ ඉදිරියේ ඔවුන් දෙවැනියාය. මේ මුළු විශ්වයම සියුම් කොට ඔබේ දෝතට ගෙන ඔබ මේ ලෝකයෙන් එතෙරවූ මුනිවරයෙක් වන්න. ඔබට එය කළ හැකි වන්නේ ‘එක්කෝ මරණය... එක්කෝ නිවීම...’ යන බරපතලම තීරණය ගැනීමට දක්ෂ වුවහොත් පමණකි. එවිට ඔබ සොයන නිදහස අර්ථවත් කරගත හැකිය.

චේතනාව - රජයේ මුද්‍රණාලය

රජයේ මුද්‍රණාලයීය බෞද්ධ සංගමය - රජයේ මුද්‍රණාලය කොළඹ 08

ධම්මො හවෙ රක්ඛති ධම්මචාරී

මාසික ධර්ම ප්‍රකාශනය - අංක 270 

බු. ව. 2562 වූ දුරුතු පුර පසළොස්වක පොහෝදා                       

 චෙන්තනාහං භික්ඛවේ කම්මං වදාමි චේතයිත්වා කම්මං කරෝති කායෙන වාචාය මනසා........

 පින්වතුනි,

අද දුරුතු මස පුර පසළොස්වක පොහෝ දිනයයි. සකළ ලෝකවාසීන්ටම මෙම උතුම් පොහෝ දිනය කරුණු කිහිපයක් නිසාම වැදගත් වෙනවා. සම්මා සම්බුදු පදවි ලබා නව මසක් ගිය තැන තිලෝගුරු බුදුරජාණන් වහන්සේ අද වැනි පොහෝ දිනක  උරුවෙල් දනව්වේ වාසය කළ උරුවේල් කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප යන තුන් බෑ ජටිලයින් ප්‍රමුඛ දහසකට අධික පිරිසක් දමනය කළ බව සඳහන් වේ. පළමුව උරුවේල් කාශ්‍යප දමනය කළ අතර ඔහු දමනය කිරීම සඳහා පෙළහර පෑ බව ද සඳහන් ය. ගින්න උපමා කරමින් ආදිත්ත පරියාය සුත්‍රය දේශනා කර ඇත. දේශනා අවසානයේ සම්බුදු සව්වන් වශයෙන් සසරින් නිවී ගියේ ය.

බුදුරදුන්ගේ ප්‍රථම ලංකාගමනය ද දුරුතු පොහොය දිනයේ ම සිදුවීම නිසා ලක්වැසි අපට ද අතිශය වැදගත් පොහෝ දිනයක් ලෙස සඳහන් කළ හැකිය. සවනක් ඝන බුදු රැස්මාලාවන් සමලංකෘතව මහියංගන පූදබිමට වැඩම කළ උන්වහන්සේ දුටු ලක්වැසි යක්ෂ සේනාව විශ්මයට පත්වූ බවද ප්‍රාතිහාර්ය පෑමත් සමග බුදුරදුන් කෙරෙහි ගෞරවය දක්වන්නට ඇතැයිද සිතිය හැකිය.  සම්බුද්ධ දේශනාවන් ශ්‍රවණය කළ සමන්තකූට පර්වතවාසී සුමන සමන් දෙවියන් අතිශය සතුටට පත්ව වැඳුම් පිදුම් කිරීමට වස්තුවක් බුදුරදුන්ගෙන් ඉල්ලා ඇත. එවිට බුදුරදුන් හිස පිරිමැද කේශ ධාතු සවල්පයක් ලබා දී ඇති අතර ඒවා නිදන් කොට සත්රියන් දාගැබක් නිර්මාණය කරන ලදී. සුමන සමන් දෙවියන් සෝවාන් භාවයට පත් වූ බව සඳහන් වේ.

කැළණි විහාරස්ථානයේ වාර්ෂිකව සිදු කරනු ලබන අලංකාර දුරුතු පෙරහැර ද ලක්වැසි සැමට වැදගත් ය. දෙස් විදෙස් බොහෝ දෙනාගේ ප්‍රසාදය දිනාගත් අලංකාර සංස්කෘතික මංගල්‍යයක් ලෙසට ද සඳහන් කළ හැකි ය. ඉහතින් මා සඳහන් කළේ දුරුතු පොහෝ දිනයේ වටිනාකමයි.

කාරුණික පින්වතුනි, මාගේ මාතෘකාවට අනුව “මහණෙනි, මම චේතනාව කර්මය යැයි කියමි. සිතින් සිතා කයෙන්, වචනයෙන්, මනසින් කර්ම රැස් කරයි” යනු බුදු වදනයි. බුදු දහමට අනුව කර්මය යනු ක්‍රියාවයි. සචේතනික ක්‍රියාවන් බව ද සිහියේ තබාගත යුතුයි. මිනිසුන් සිතාමතා හොඳ දේ යහපත් දේ මෙන්ම නරක දේ ද කරති. නරක ක්‍රියා නරක ප්‍රතිඵල ලබාදෙන අතර හොඳ ක්‍රියා හොඳ ප්‍රතිඵල ලබා දේ. තවත් ලෙසකට පැවසුවහොත් මරණින් මතු දුගතිගාමී වීම ද සුගතිගාමී වීම ද කරනු ලබන ක්‍රියා අනුව සිදු වේ. බුදු දහමේ හොඳ ක්‍රියා පින, කුසලය යන වචනවලින් හඳුන්වයි. නරක ක්‍රියා පව, අකුසලය ලෙසට හඳුන්වයි.

මිනිසුන් වශයෙන් ඔබ අප සෑම දෙනාම තිදොරින් කර්ම රැස් කරනු ලැබේ. තිදොර නම් සිත, කය, වචනයයි. දුක් විපාක දෙන කර්ම මෙන්ම සැප විපාක දෙනු ලබන කර්ම ඇත. එබඳු වූ සැප දුක් විපාක කර්මයන් තුලින් උපදින බැවින් නැවත නැවත ඉපදීමද ඇතිවේ. එනිසා සුගතියක හෝ දුගතියක නැවතත් ඉපදීමට සිදු වේ. එය කර්මානුරූපව සිදුවන ක්‍රියාවලියකි. ඒ හොඳ නරක ක්‍රියාවන්ට අනුරූපිවය. එලෙස නැවතත් ඉපදෙමින් මියැදෙමින් සිටියි. එය චක්‍රයක් බඳු ය. සංසාර චක්‍රය ලෙසට හඳුන්වන්නේ ද මේ ක්‍රියාවලියයි. රැස් කරනු ලබන පින්, පව්, කුසල්, අකුසල්වලට කැමති වුවත් අකමැති වුවත් සැපදුක් විපාක විඳීමට සිදුවේ.

ලෝකය තුළ ජීවත්වන පුද්ගලයන් සමාන නොවේ. එකම අම්මාගේ දරුවන් වුවද සමාන නොවේ. ඔවුන්ගේ හැඩරුව ගතිගුණද අසමානය. මෙලෙස සිදුවන්නේ කෙලෙසදැයි කෙනෙකුට ප්‍රශ්නයක් ඇතිවිය හැකි ය. බුදු දහමට අනුව පුද්ගල විශමත්වය ඇති වන්නේ අතීත කර්මවල විපාක අනුව බව සඳහන් කළ හැක. කර්මය කුසල අකුසල කර්ම ලෙසට ද සිතින්, කයෙන් හා වචනයෙන් සිදුවන කුසල හා අකුසල ලෙසට ද බෙදිය හැකිය. කුසලාකුසැල කර්ම නිසා සසර දික්වේ. අපි අරහත් වී සසර ගමන් නිමා කරන තුරුම බියකරු සසරේ ගමන් කරයි. පුබ්බේනිවාසානුස්සති ඥානය හා චුතූපපාත ඥානය ඇති ය සසරේ නියම තතු අත්දැකීමෙන් ම දැන ගනිති. සසර ගමන විමසීම සඳහා දිනක් තොදෙයිය පුත්‍ර සුභ නම් තරුණයා බුදුරදුන් හමුවීම සඳහා ජේතවනාරාමයට පැමිණියේ ය. ඔහුට බුදුරජාණන් වහන්සේ චුල්ල කම්ම විභංග සුත්‍රය දේශනා කළ සේක. එහිදී ඔහු විසින් මෙලොවදී අපට දකින්නට ලැබෙන විෂමතා 14ක් බුදුරදුන්ගෙන් විමසා තිබේ. ඒවා නම් -

01.         අඩු ආයුෂ ඇති සත්ත්වයා                 (අප්පායුකා)

02.         දීර්ඝායුෂ ඇති සත්ත්වයා                  (දීඝායුකා)

03.         ආබාධ බහුල සත්ත්වයා                    (බහු ආබාධා)

04.         අල්ප බහුල සත්ත්වයා                      (අප්පාබාධා)

05.         අවලස්සන (විරූපී) සත්ත්වයා          (දුබ්බවණ්ණා)

06.         ලස්සන (සුරූපී) සත්ත්වයා               (වණ්ණවන්තා)

07.         යසස් නැති සත්ත්වයා                      (අප්පේ සක්ඛෝ)

08.         යසස් ඇති සත්ත්වයා                        (මහේසක්ඛෝ)

09.         භවභෝග අල්ප සත්ත්වයා               (අප්ප භෝගා)

10.         මහත් වූ භවභෝග ඇති සත්ත්වයා   (මහාභෝගා)

11.         පහත් යැයි සම්මත සත්ත්වයා           (නීච කුලීනා)

12.         උසස් යැයි සම්මත සත්ත්වයා           (උච්චා කුලීනා)

13.         නුවණ මද සත්ත්වයා                        (දුප්පඥ්ඥා)

14.         නුවණින් පිරිපුන් සත්ත්වයා             (පඥ්ඥාවතිකා)

මෙම පැනයට පිළිතුරු ලබාදුන් බුදුරදුන් “මානවකය, සත්වයෝ කර්මය ස්වකීය කොට ඇත්තේ ය. කර්මය දායාද කොට ඇත්තේ ය. කර්මය කරණ කොට ඇත්තේ ය. කර්මය නෑදෑ කොට ඇත්තේ ය. කර්මය පිළිසරණ කොට ඇත්තේ ය. කර්මය නිසාම පුද්ගලයාගේ හීන බව හා උසස් බව ඇතිවේ යනුවෙන් දේශනා කළ සේක. එවිට ඔහු එම පිළිතුරින් සෑහීමකට පත් නොවී තවත් විස්තර කර දෙනමෙන් ඉල්ලා සිටියේ ය. එය මෙලෙස දැක්විය හැකිය.



    සිදු කරනු ලබන ක්‍රියාව                                     එයට අනුරූපි ප්‍රතිඵලය

 

සතුන් මරන්නා                                                  - අඩු වයසින් මියදේ

සතුන්ට දයාව කරුණාව දක්වන්නා                  - දීර්ඝායුෂ විඳී

සත්වයන්ට හිංසා කරන්නා                               - බොහෝ රෝගාබාධවලට හිමිකම් කියයි

සත්ව හිංසනය පිටු දකින්නා                             - නිරෝගීව උපදී

තරහවෙන් කටයුතු කරන්නා                           - දුර්වර්ණව (විරූපිව) උපදී

තරහ නොගෙන කටයුතු කරන්නා                   - වර්ණවත්ව (සුරූපිව) උපදී

අනුන්ගේ සැපත දැක සතුටු නොවන්නා          - යසස් නැතිව උපදී

අනුන්ගේ සැපත දැක සතුටු වෙන්නා               - යසස් ඇතිව උපදී

දන් නොදෙන්නා                                              - දුප්පත්ව (අල්පභෝගී) උපදී

දන් දෙන්නා                                                      - පොහොසත්ව (මහාභෝගී) උපදී

මානයෙන්, අනුනට ගරුසරු නොදක්වන්නා   - පහත් යැයි සම්මත කුලවල උපදී

අනුනට ගරුසරු දක්වන්නා                              - උසස් යැයි සම්මත කුලවල උපදී

ධර්මය විමසුම් නොකරන්නා                           - ප්‍රඥාව අඩුව උපදී

ධර්මයට ගරු කරමින් විමසන්නා                     - ප්‍රඥාව ඇතිව උපදී

දේශනාව අවසානයේ දී ඔහු අතිශය සතුටට පත්ව ඇත. අප ද ජීවිතය සාර්ථකව ගත කිරීම සඳහා මෙම ඉගැන්වීම සාර්ථකව භාවිතා කළ යුතු ය. අඩු පාඩු සකසාගත යුතු ය. පෙර අප සිදු කරනු ලැබූ කර්මයන් නිසා විඳීමට ඇති සැප දුක් විපාක තේරුම් ගත යුතු ය. යහපත අයහපත හඳුනාගෙන කළයුත්ත නොකළයුත්ත දැන හැඳින ජීවත් වීම වැදගත් වේ. එය දෙලොව ජීවිතය පමණක් නොව සසර යහපත පිණිස ද හේතු වන බව දැනගත යුතු ය. මේ පොහෝ දින කරනු ලබන උතුම් දන් පින් බලයෙන් සැමට ම යහපත වේවා ! නිවන් ලැබේවා !

සැමට තෙරුවන් සරණයි !

 

මෙම දහම් පත්‍රිකාව සම්පාදනය කළේ මරඳගහමුල            

වාලුකාරාම විහාරවාසී වලස්මුල්ලේ ධම්මවිමල හිමි වේ.

 

ශ්‍රී ලංකා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මුද්‍රණය කරන ලදී.